මහ සෑ රද සිරස සැරසුණ පින්බර දිනක අසිරිය | සිළුමිණ

මහ සෑ රද සිරස සැරසුණ පින්බර දිනක අසිරිය

සර 70කට පසුව රුව­න්මැලි මහා සෑයේ විශේෂ වෙන­සක් සිදු විණි. එනම් ඉකුත් 25 වන දින සවස 2.00ට පමණ එම උතුම් කාර්ය සිදු විණි. වසර 70ක් පමණ පැරණි චූඩා­මා­ණි­ක්‍යය ඉවත් කර රුව­න්මැලි මහා සෑ රදුන් වෙනු­වෙන් අති නවීන තාක්ෂ­ණය මැන­වින් භාවිත කර­මින් චූඩා­මා­ණි­ක්‍ය­යක් සකසා පැල­ඳ­වීම සිදු කෙරිණි.

නොවැ­ම්බර් මස 22 වන දින අනු­රා­ධ­පු­ර­යට වැඩම කළ චූඩා­මා­ණි­ක්‍යය දැක­බලා වැඳ­පු­දා­ගැ­නී­මට වැල නොකැඩී පැමිණි බැති­ම­තු­න්ගෙන් රුව­න්මැලි මහා සෑ භූමිය මෙන්ම ශ්‍රී මහා බෝධිය සහිත පුණ්‍ය භූමිය පිරී ගියේය. චූඩා­මැ­ණි­ක්‍යය දැක වැඳ­ පු­දා­ගැ­නීම සඳහා අනු­රා­ධ­පු­ර­යට වැල නොකැඩී ආ බෞද්ධ ජන­තාව නිසි ක්‍රම­වේ­ද­ය­කින් ආර­ක්ෂක වැඩ­පි­ළි­වෙ­ළ­කින් යුතුව සංවි­ධා­න­ග­තව අප­හ­සු­ව­කින් තොරව බැති­ම­තුන්ට චූඩා­මා­ණි­ක්‍යය වැඳ­පු­දා­ගැ­නී­මට අව­ස්ථාව සල­සා­දීම බෞද්ධ අප කාගේත් වාස­නා­වකි.

අනු­රා­ධ­පු­රය බලා ලංකාවේ නන් දෙසින් පැමිණි බෞද්ධ ජන­තාව විටෙක දැඩි අවු රශ්මිය ද වරෙක දැඩි වර්ෂාව ද නොතකා සුදෝ සුදු­ව­තින් පෙළ ගැසී බලා සිටියේ දැඩි සංය­ම­ය­කින් යුතුව ය. චූඩා­මා­ණි­ක්‍යය වැඳ­පුදා අව­සා­නයේ පුණ්‍ය භූමි­යෙන් පිට­තට පැමිණි බැති­ම­තුන්ට ලැබුණේ කිරි කෝපි සංග්‍ර­හ­යකි. අවු­වට වැස්සට හෙම්බත් වූ ඔවුන්ට ලැබුණු කිරි කෝපි විත දිව ඔසු­වක් විය. 

පල­ඳ­වනු ලැබූ චූඩා­මා­ණි­ක්‍යය

25 වැනි දා සඳුදා දහ­වල් 11ට පමණ බැති­ම­තුන්ට වැඳ­පු­දා­ගැ­නීමේ අව­ස්ථාව අහ­වර වුව ද වැල නොකැඩී ආ බැති­ම­තුන් රුව­න්මැලි මහා සෑ‍ භූ­මියේ රැදී සිටියේ ඉතා ආර­ක්ෂි­තව පූජ­නීය අන්ද­මින් ධාතු ගර්භයේ ඉහ­ළට ගොස් චූඩා­මා­ණි­ක්‍යය පල­ඳ­වන අයුරු දැක­බ­ලා­ගැ­නී­මට ය. එසේ වැලි­ම­ළුවේ සිට චූඩා­මා­ණි­ක්‍යය පල­ඳ­වන ස්ථානය දක්වා කප්රු­ක­කින් ආව­ර­ණය කිරීම හේතු­වෙන් චූඩා­මා­ණි­ක්‍යය පල­ඳ­වන අයුරු දැක­ගැ­නී­මට නොහැකි විය.

අලුත් චූඩා­මා­ණි­ක්‍යය පල­ඳවා පැරණි චූඩා­මා­ණි­ක්‍යය පහ­ළට ගෙනෙන තෙක් බැති­ම­තුන් රැස්ක­මින් බලා සිටියේ තමන් මෙතෙක් කලක් වැද පුදා සත්කාර කළ චූඩා මාණි­ක්‍යය දැක­බ­ලා­ගැ­නී­ම­ටය. 25 වැනි දින සවස් භාගයේ දී බොහෝ සාධු­කාර මැද පැරණි චූඩා­මා­ණි­ක්‍යය බැති­ම­තුන්ට දැක වැඳ­පු­දා­ගැ­නී­මට, විශ්ව­පා­රමී පද­නම සහ අට­ම­ස්ථා­නා­ධි­පති පල්ලේ­ගම සිරි­නි­වාස ස්වාමීන් වහ­න්සේගේ අනු­ශා­ස­ක­ත්ව­යෙන් රුව­න්මැලි මහා සෑයේ භාර­කා­ර­ත්වය උසු­ලන පල්ලේ­ගම හේම­ර­තන හිමි­පා­ණන් වහ­න්සේගේ මඟ පෙන්වී­මෙන් අව­ස්ථාව සලසා දී තිබිණි.

චූඩා­මා­ණි­ක්‍යය පැල­ඳ­වී­මට ආස­න්නයේ දී දැඩි වර්ෂා­ප­ත­න­යක් ඇද­වැ­ටු­ණත් සිටි ස්ථාන­ව­ලින් එකම බැති­ම­තෙ­කු­වත් නොසෙල්වී සිටියේ බුද්ධා­ල­ම්බන ප්‍රීති­යෙන් ඔද වැඩීය. වැස්සත් සමඟ මුළු පරි­ස­ර­යම සිහිල් බවක් ඇති කර­වූයේ චූඩා­මා­ණි­ක්‍යය පැල­ඳ­වී­මට අවු රශ්මිය බාධා­වක් වෙතැයි ස්වභාව ධර්මය සිතුවා විය හැකි ය. සුදෝ සුදු­ව­තින් පැමිණි බෞද්ධ ජනයා දැඩි වර්ෂාව නොත­ක­මින් පෙළ ගැසී සාධු­කාර දී මුළු වා තල­යම සාධු හඬින් දෝංකාර නංව­න්නට විය.

රුව­න්මැලි මහා සෑයට චූඩා­මා­ණි­ක්‍ය­යක් පම­ණක් නොව විශ්ව­පා­රමී පද­නම මඟින් අති නවීන භූගත විදුලි රැහැන් පද්ධ­ති­යක් සවි කිරී­මට පිය­වර ගත් අතර, මීට පෙර චූඩා­මා­ණි­ක්‍යය ආර­ක්ෂාව සඳහා අකුණු සන්නා­යක සවි කර තිබුණේ ධාතු ගර්භ­යට පම­ණයි. වර්ත­මාන චූඩා­මා­ණි­ක්‍යය සවි කිරීමේ දී අකුණු සන්නා­ය­ක­යක් සවි කර ඇත්තේ මුළු පුණ්‍ය භූමි­යම ආව­ර­ණය වන පරිදි මෙන්ම අඩි 07ක් දක්වා උස­කට අකුණු සැර සඳහා ආර­ක්ෂක වළ­ල්ලක් ලෙසිනි.

25 වැනි දින පැල­ඳවූ චූඩා­මා­ණි­ක්‍යය මහ­ජ­න­තා­වට දැක­බ­ලා­ගැ­නීම සඳහා නිරා­ව­ර­ණය කරනු ලැබුවේ 26 වැනි දින උදෑ­සන ය. චූඩා­මා­ණි­ක්‍යය දැක­බලා වැඳ­පු­දා­ගැ­නී­මට රැය­ප­හන් වන තුරු දහස් ගණන් බැති­ම­තුන් බලා­සි­ටියේ චූඩා­මා­ණි­ක්‍යය මොහො­ත­ක­ට­වත් තනි නොක­ර­මිනි. බැති­ම­තුන් සඳ­හන් කර සිටියේ මහත් ආනි­සංස සහිත උතුම් පූජා­වක් සිදු කිරී­මට අව­ස්ථාව ලැබුණු බවයි.

වසර 100කට වඩා බල­ස­ම්පන්න පව­තින චූඩා­මා­ණි­ක්‍යයේ පාද­මට රන් කිලෝ 28ක් යොදා ඇති අතර, අගනා මැණික් 4300ක් මෙන්ම ඕස්ට්‍රි­යා­වෙන් ගෙන්වන ලද වටිනා පළි­ගු­වක් යොදා ඇත. අවු රශ්මි­යෙන් හැරෙ­න්නට වෙනත් කිසිදු පාරි­ස­රික ගැට­ලු­ව­ලට මුහුණ නොදෙන ස්ථාන­යක් වූ අනු­රා­ධ­පු­රය වැනි පුණ්‍ය භූමි­යක රුව­න්මැලි මහා සෑය නිර්මා­ණය වීම අපේ පිනකි.

26 වන දින අනු­රා­ධ­පු­ර­යට අලුත් ඉරක් පායා ඇති සෙයක් දැනුණේ උදෑ­සන 9.54ට යෙදුණු සුබ මොහො­තින් චූඩා­මා­ණි­ක්‍යය නිරා­ව­ර­ණය කළ මොහො­තේය. මීට ඉහත දී කොත් වහන්සේ මත එක් එක් කාල­ව­ලදී ආලේප කර තිබෙන්නේ පිරි­සිදු රත්ත­රන් නොවන බවට දැන් පැහැ­දි­ලිය. චූඩා­මා­ණි­ක්‍යයේ වැඩ සිටි කොත් වහන්සේ තඹ කොට­ස්ව­ලින් නිර්මා­ණය කර තිබූ අව­ධි­යක වර්ත­මා­නයේ දී රත්ත­රන්, මැණික් උප­යෝගී කර­ගෙන නිර්මා­ණය කර තිබේ.

රජ­රට ගොවි­යන්ට වර්ෂාව තදින්ම අවශ්‍ය වූ මොහො­තක 22 වන දින සවස් කාලයේ දී ඇද හැලෙ­න්නට පට­න්ගත් වර්ෂාව මේ මොහොත වන තෙක් පතිත වෙමින් පවතී. චූඩා­මා­ණි­ක්‍යයේ අනු­හ­සින් වර්ෂාව පතිත වන බව රජ­රට වැසි­යන්ගේ අද­හ­සයි. සිරි­පොද මල් වැස්සේ කොත් වහන්සේ මත පල­ඳනු ලැබූ චූඩා­මා­ණි­ක්‍යය එසේ නිරා­ව­ර­ණය වූයේ රජ­ර­ටට මෙන්ම මුළු­ම­හත් රට­ටම ආලෝ­ක­යක් ලබා දෙමින් ය.

නිරා­ව­ර­ණය වන මොහොතේ සාධු­කාර හඬ මැදින් අප දුටුවේ පහන් සංවේ­ගය උප­ද­වා­ගත් ඇත්තන්ගේ දෙනෙ­ත්වල සතුටු කඳුළු ය. සම­හර උවැසි උවැ­සියෝ දෙනෙත් අගින් ගලා ආ කදුළු පිස නොදමා ගලා යන්නට ඉඩ හැ‍ර බලා­සි­ටි­යහ.

රුව­න්මැලි මහ සෑයේ භෞතික ලක්ෂණ කෙරෙහි අව­ධා­නය යොමු කළ හොත් උසින් අඩි 308 (103 මීටර්) සහ අඩි 942 (287.1 මීටර්) විශ්ක­ම්භ­ය­කින් යුක්ත මෙය ලෝකයේ දැනට පව­තින උසම ස්මාරක අත­රික් එකකි. ගර්භයේ මූල වටා ප්‍රමා­ණය අඩි 708කින් සම­න්විත ය. අන්වර්ත නාම කීප­ය­කින් එම පුණ්‍ය භූමිය හැඳි­න්වු­වත් මේ වන විට සිය­ලු ජන­යාගේ මත­කයේ රැඳි ඇත්තේ රුව­න්මැලි මහා සෑය නමිනි.

මීට අවු­රුදු 2200කට පමණ පෙර ඉදි කළ රුව­න්මැලි සෑය කාල­යක් ඉක්ම ගිය තැන බෞද්ධ­ය­න්ගෙන් ගිලිහී ගියේ එකල විටින් විට වෙනත් ජාති­ක­යක් ලංකාව ආක්‍ර­ම­ණය කිරී­මෙනි. කුමන කරු­ණක් පද­නම් කර­ගෙන වුවත් මෙම ස්ථානය හඳු­නා­ගත් පසුව එදා මෙදා තුර බෞද්ධ ජන­යාගේ හද­වත බවට පත් වූයේ නිරා­යා­ස­යෙනි. නව ජනා­ධි­ප­ති­ව­ර­යාගේ දිවු­රුම් දීම ද සිදු වූයේ රුව­න්මැලි මහ සෑ භූමියේ සිට ය.

දශක ගණ­නක සිට රුව­න්මැලි සෑය නොක­ඩවා ආරක්ෂා කර­මින් ප්‍රති­සං­ස්ක­ර­ණය කළ පර­පුරේ පින්වන් හත­ර­වැනි පර­ම්ප­රාවේ නිය­මු­වන් ලෙසින් විශ්ව­පා­රමී පද­නම හැඳි­න්වී­මට පුළු­වන. පර­ම්ප­රා­වෙන් පර­ම්ප­රා­වට එම පද­නම බෞද්ධ ස්ථාන ප්‍රති­සං­ස්ක­ර­ණය කර­මින් කරන්නා වූ මහගු සේවය බැති­බර ලෙසින් සිහි­පත් කළ යුතු ය.

 

Comments