සුනිල් මිහිඳුකුලගේ අවසාන කෘතිය | Page 2 | සිළුමිණ

සුනිල් මිහිඳුකුලගේ අවසාන කෘතිය

ප්‍රවීණ මාධ්‍යවේදී, ලේඛක සුනිල් මිහිඳුකුල සම්පාදනය කළ අවසාන කෘතිය එඩ්වඩ් චන්ද්‍රසිරි අතින් සංස්කරණය වී “රංජිත් ධර්මකීර්ති නාට්‍යාවලෝකනය” නමින් දෙසැම්බර් 04 සවස 3.30ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදි එළිදැක්වෙනවා. මේ ග්‍රන්ථය ජනගත කරන්න සංවිධානය කර තිබෙන්නේ සුනිල් මිහිඳුකුල මිත්‍ර සංසදය මඟින්. සුනිල් මිහිඳුකුල ලියූ කරුණු කාරණාවලට අමතරව තවත් කරුණු එකතු කර මේ ග්‍රන්ථය සකසන්න චන්ද්‍රසිරිට වසර 2ක් පමණ ගත වෙලා. මේ ගැන ඔහු තොරතුරු ටිකක් රසඳුනට කීවේ මෙහෙමයි.

“සුනිල් මිහිඳුකුල රසඳුනින් විශ්‍රාම ගියාට පස්සේ, ලේක්හවුස් පත්තර කීපයකටම ලීවා. අරුණ ගුණරත්නගේ ආරාධනයෙන් සරසවියට ලිපි පෙළක් ලීවා නාට්‍යකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ ගැන. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගෙන් පටන්ගෙන ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, සුගතපාල ද සිල්වා ආදී වශයෙන් ලියලා ඊළඟ පියවර වශයෙන් රංජිත් ධර්මකීර්තිගේ නාට්‍ය නිර්මාණ ගැන ලීවා. රංජිත්ගෙන් අහලා තියනවා ඔහුගේ නිර්මාණ ගැන ‍පොතක් ලීවොත් හොඳයි නේද කියලා. ඒ ගැන රංජිත් හුඟාක් සතුටු වෙලා පොත ලියන එකත් සුනිල්ටම පවරලා. ඒත් පොතෙන් බාගයකට වැඩියෙන් කරලා තියෙද්දි තමයි සුනිල් වියෝ වුණේ. හැබැයි මිය යන්න කලින් සුනිල් ලියූ පිටපත් ටික රංජිත්ට භාර දීලා තියනවා සුනිල් අසනීපෙන් හිටිය නිසා. 2017 මැයි 31 දින සුනිල් නැති වුණා. සුනිල්ට වුවමනා වුණා ජයලත් මනෝරත්නගේ නාට්‍ය ආකල්ප ගැනත් ලියන්න. නමුත් ඒක කරගන්න බැරිව ගියා.

රංජිත්ගේ නාට්‍යාවලියේ එකම කෙටි නාට්‍යය ‘රඟ පපා’. ඒ නාට්‍යයේ තොරතුරු සොයා ගන්න සුනිල්ට බැරිවුණා. රංජිත් ධර්මකීර්ති මගෙන් ඉල්ලීමක් කළා. සුනිල් ලියූ පොත ඉවරකරලා දෙන්න කියලා. ඇත්තටම සුනිල් තමයි මට ලියන්න ඉඩක් ලබා දුන්නේ. මාව පොත් ලියන්න පෙලඹෙව්වෙත් එයා තමයි. ඒ නිසා ඔහු වෙනුවෙන් යමක් කළ යුතුයි කියලා මට හිතුණා. ඒ නිසයි මම ඒ අභියෝගය භාර ගත්තෙත්. සුනිල්ගේ පිටපත් අධ්‍යයනය කරද්දි මට හිතුණා බොහොම පුළුල් ලෙස ඒ දේවල් ලියලා තියනවා කියලා. රංජිත් ධර්මකීර්ති ගැනත් ලිපියක් තිබුණා. පුළුල් අන්තර්ගතයක් එහි ගැබ්වුණා.

හස්තිරාජ මහත්තයා, හිරු නැති ලොව, මෝදර මෝල, චෙරි උයන, අංගාරා ගඟ ගලා බසී, මේඝ වගේ නාට්‍යවල ඊට ඇතුළු කරන්න තව කරුණු තිබෙනවා කියලා මට හිතුණා. ඒ කරුණුත් මම මෙයට ඇතුළත් කළා. පිටු 180 පමණ තමයි සුනිල් ලියලා තිබුණේ. ඉතුරු ටික මම ලියලා දැන් පිටු 300 විතර තියනවා. සුනිල් වෙනුවෙන්මයි ඒ කැපවීම මම කළේ.”

තවදුරටත් ඔහු මෙහෙමත් කීවා “මම රජයේ සේවයෙන් විශ්‍රාම ගත්තේ 2012 දි. ඒ කාලේමයි මගේ පළමු පොත “සිනාකතා” නිකුත් වුණේ. 2009 සිට රසඳුනට ලියූ ලිපි පෙළක් ඇසුරින් තමයි සිනා කතා පොත එළිදැක්කේ. 2013 සිනා සයුර 2 කළා. ආර්.ආර්. සමරකෝන් ගැන 2013 පොතක් ලීවා. 2014, 2015 දී ගීත කීපයක් ලීවා.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඇතුළු නාට්‍යවේදීන්ගේ නාට්‍ය ගැන චරිතාපදාන ගැන ලියවිලානැහැ. මම අවුරුදු 25ක් ආර්.ආර්. සමරකෝන් නාට්‍යවේදියා සමඟ කටයුතු කළා. 2013 වසරේ රසාලිප්ත රඟමඬලක උරුමක්කාරයා කියලා ආර්.ආර්. සමරකෝන් ගැන පොතක් ලීවා.

ටී.බී. ඉලංගරත්නයන්ගේ පරමාදර්ශී දේශපාලන ‘ශතකයක නොනැසෙන මතකය’ කියලා 2014 දී විශේෂ ග්‍රන්ථයක් ලීවා. ඒ වගේම මැලේවරුන්ගේ අභිමානය කියලා වසර 3ක් ගවේෂණය කරලා පොතක් ලීවා.

සුනිල් මිහිඳුකුලගේ ග්‍රන්ථවලින් වැඩි හරියක් ඔහු ලීවෙ සිනමාව ගැන. නාට්‍යකරුවන් ගැන ලියූ පොත් කීපයකුත් ඒ අතර තිබුණා. රන්ජිත් ධර්මකීර්ති නාට්‍යාවලෝකනය කියන මේ ග්‍රන්ථය හා රංග කලාව විෂය හදාරන අයට බොහෝ වැදගත්. ඔබටත් හැකි නම් කියවලා බලන්න පොත හොඳද කියලා. ඔබටත් ආරාධනා කරනවා දෙසැම්බර් 04 සවස 3.30ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයට එන්න කියලා.

Comments