සිත නිවන වන අරණ මඩකඩ ආරණ්‍ය සේනාසනය | සිළුමිණ

සිත නිවන වන අරණ මඩකඩ ආරණ්‍ය සේනාසනය

ගමන් මාර්ගය

 ඔබ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පැමිණෙන්නේ නම් ගැලනිගම හුවමාරුවෙන් පිටතට විත් රත්නපුර පාරෙන් ඉදිරියට පැමිණ බෝගස් අසලින් වමට හැරී ඉංගිරිය මීපේ මාර්ගයේ 2 kmක් පමණ පැමිණි විට හමු වන ඉංගිරිය හන්දියෙන් දකුණට ඇති මාර්ගයේ පැමිණිය යුතුය.

 හයිලෙවල් මාර්ගයේ පැමිණෙන්නේ නම් මීපේ හන්දියෙන්  ඉංගිරිය මාර්ගයේ පාදුක්ක නගරයට පැමිණ  ඉංගිරිය මාර්ගයේ 11 kmක් පැමිණි විට හමුවන හන්දියෙන්  වමට ඇති මාර්ගයේ පැමිණිය යුතුය.

 

“යමකු ස්වභාවධර්මය දකී නම් ඔහු ධර්මය ද දකී. ධර්මය දකී නම් ස්වභාවධර්මය ද දකී”

මේ පුවරුව දකින විට ම සිතට දැනෙන්නේ ස්වභාවදහම හා ඒකාත්මික බවේ වන සැහැල්ලුවයි; පිවිතුරු බව යි. හාත්පස පරිසරය ම දැඩි නිහඬ බවෙන් යුතුයි. කකුලට පෑගෙන වියළි කොළවල සරසරය පරිසරය පවා හිත තිගස්වන සුලුයි. අපූරු ශාන්ත සාමකාමී බවකින් වෙළුණු ගහකොළ පවා මඳනල හා ලතාවට පැද්දෙන්නේ කිසිදු හඬක් නොනගමින්.

මෙවර මා ඔබ කැඳවාගෙන යන්නේ වෙනස් ම තැනකට. ඒ වෙනස පරිසරය පුරා මෙන් ම සිත් පුරාත් විසිරිලා. බස්නාහිර කළුතර දිස්ත්‍රික්කයට අයත් මේ පුණ්‍ය භූමිය හඳුන්වන්නේ ‘මඩකඩ ආරණ්‍ය සේනාසනය’ නමින්. මේ භූමිය වසර 75කට වඩා පැරණියි.

ඔබ අනන්ත වාරයක් නාච්චිමලේ දොළෙන් නාන්නට ගොස් ඇති. එය සරතැස නිවාගන්නට බස්නාහිර පළාතේ ඔබට තිබෙන ආසන්නම ක්ෂේම භූමියයි. නාච්චිමලේ සිහිල් දිය ආරෙන් නිවී සැනසෙන බොහෝ දෙනා මඩකඩ ආරණ්‍ය සේනාසනයට යන්නත් අමතක කරන්නේ නෑ.

භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කරන බැවින් ඔබේ නිහඬ බව රැක ගැනීම උන්වහන්සේලාගේ භාවනානුයෝගී බව රැකගැන්මට අත්‍යවශ්‍යයයි. ශබ්ද නඟා කතා කිරීමෙන්, සංයමයකින් තොරව හැසිරීමෙන් මේ නිහඬ කැප කිරීම කරන්න උන්වහන්සේලාට අපහසු වේවි; එය පවක්.

ආරණ්‍ය සේනාසනයට අවැසි අංගවලින් පමණක් සමන්විත මෙහි අලංකාර විහාර මන්දිරය මුළුමනින් ම ගල් ගුහාවක්. ඒ විහාර මන්දිරය තනා තිබෙන්නේ දොස්තර හාමුදුරුවන් ලෙස ප්‍රචලිත රංවල සද්ධාතිස්ස හිමියන් වනන්තරයේ භාවනානුයෝගීව වැඩ විසූ ගල් ගුහාව යොදා ගනිමින්.

විවිධ අවවාදාත්මක නාම පුවරු සවි කර ඇති මේ සෙනසුන් බිම පුරා ඔබට විවිධ ගස්වැල් වැවී වියනක් ලෙස අලංකාරවත් ව ඇති බිම්කඩ දැකගත හැකියි. සෙනසුන් භූමිය පුරා නිසොල්මනේ සක්මන් කළත් ඔබට භාවනානුයෝගීව සිටින භික්ෂූන් වහන්සේලා නම් දැකගන්න ලැබෙන්නේ නෑ. ඒ උන්වහන්සේලා ආරණ්‍ය සේනාසනය නැරඹීමට එන පොදු සාමාන්‍ය ජනයාගෙන් ඈත්ව මහ වන මැද තම කුටි ඇතුළතට වී සසර මඟ එතෙර වන්නට පාරමී පුරමින් භාවනා කරන නිසා. දිනපතා හීල් දානයටත්, දවල් දානයටත් පමණක් උන්වහන්සේලා වැඩම කරති. භාවනානුයෝගී භික්ෂූන් වහන්සේලාගේ භාවනා වුතයට බාධා වන සේ උන්වහන්සේලාගේ කුටිවලට යෑමට ඔබ කිසි විටෙකත් උත්සාහ කරන්න එපා. ඔබට යමක් විමසීමට තිබේ නම් ධර්මශාලාව ආශ්‍රිතව පවතින සංඝාවාසයේ වැඩ සිටින හිමි නමකගෙන් ඒ විස්තර ලබාගත හැකියි.

මඩකඩ ආරණ්‍ය සේනාසනයට දාන මාන ලබාදීම සඳහා පැමිණෙන බැතිමතුන්ගෙන් අඩුවක් නැහැ. දිනපතාම සවස් යාමයේ ඒ සඳහා එන පිරිස් රාත්‍රී නවාතැන් ගෙන පසුදා හීල් හා දවල් දානය පිළිගන්වා පිටත්ව යනවා. දාන ශාලාවට පහළින් ගලා බසින දොළ පාරේ බොහෝවිට ස්නානය කරනු ලබන්නේ දානමාන කටයුතු සඳහා පැමිණෙන අයයි.

ගලා බසින දොළ පහරේ ශබ්දයට අමතරව කන් බිහිරි කරවන ඒකතානමය රැහැයි නාදය මේ භූමියට ඇතුළු වන සැණින් ඔබේ දෙසවනට කරදර කරනු නොඅනුමාන යි. එහෙත් ටික වෙලාවක් ගත වෙද්දී පරිසරය හා ඔබ ඒකාත්මික වීමේදී ඒ නාදය ඔබට නෑසී යාවි. එවිට අනන්ත අප්‍රමාණ සියොත් නාදාවලි පමණක් ඔබේ දෙසවනට ඇසෙන්නට පටන් ගනීවි. ඒ නාද අතර සියුම් ගීතවත් නාද මෙන් ම, තියුණු නාද ද අන්තර්ගතයි. ඊට අමතරව අසීමිත නිහැඬියාව නිසා ගස්වැල් එකිනෙකා හා කොඳුරමින් කරන කතා බහත් ඔබට ඇසෙනවා නිසැකයි.

එකිනෙකා හා වෙළී තුරු වියනක් බවට පත්ව ඇති හාත්පස පරිසරය හවස දෙක තුන වන විටම අඳුරු ස්වභාවක් ගන්නවා. ගුප්ත හා ඒකාකාරී නාද රටා පමණක් ම එවිට ඔබට ගොම්මන පුරා ඇසේවි. ඉඳහිට බකමූණකු හ්ම් හ්ම්... ගා සිය පෙම්බරියට අඬගසනුත් ටිකක් ඈතින් එයට පිළිතුරු බඳින බකමූණියගේ නාදයත් වෙන් වෙන්ව හඳුනා ගැනීමට තරම් පරිසරය ඔබට නිහඬ බව ම තිළිණ කරාවි.

නාච්චිමලේ සිහිල් දිය පාරෙන් ගත දෝවනය කර ගන්නා ඔබ ආරණ්‍ය සේනාසනයට ඇතුළු වීමට පෙර සංවර ඇඳුමෙන් හා පැවැත්මෙන් යුතු වීම මේ භූමියට පා නඟන්න පෙර සපුරා ගත යුතු ම දෑ. අනන්ත අප්‍රමාණ දුක් දෝමනස්සයන්ගෙන් සිත පීඩාවට පත් කරගෙන ඇති ඔබට මේ භූමියේදී ලැබෙන සැනසීම ගැන කියන්නට වදන් මිහිමිපිට නැහැ. පාසල් නිවාඩු කාලය ඇරඹී ඇති මේ වකවානුවේ දරුවනුත් කැටුව ජීවිතය ගැන, නිහඬ බව ගැන මෙන්ම එහි මහත් ඵල ගැන ඉගෙනගන්න මඩකඩ ආරණ්‍ය සේනාසනයට යන්නැයි අපි ඇරියුම් කරන්නේ ඒ නිසාය.

Comments