නිදහස සොයා ඉගිළී ගිය අරාබි කිරිල්ලිය | සිළුමිණ

නිදහස සොයා ඉගිළී ගිය අරාබි කිරිල්ලිය

මීට සියවස් ගණනාවකට පෙර අරාබි දේශයේ රාජ්‍ය උදහසට ලක් වූ එක්තරා කුමාරිකාවක ඇගේ මරණය කල් දමාගැනීමේ උපක්‍රමයක් ලෙස රාත්‍රී 1001ක් පුරා කතන්දර ගොතා කියමින් ජීවිතය බේරාගැනීමට ගත් උත්සාහයක ප්‍රතිඵලයක් විදියට ලෝක සාහිත්‍යයට දායාද වූ ‘එක්දහස් එක් රැය‘කතාමාලාව ‘අරාබි නිසොල්ලාසය’ නමින් ලොව පුරා ප්‍රචලිත වුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උපසභාපති, අගමැති හා ඩුබායි පාලකයා වන අල් මක්තුම්ගේ 6 වැනි බිරිය හයා කුමරිය අපට සිහිපත් කරන්නෙත් අතිශය කුතුහලයෙන් පිරුණු අරාබි නිසොල්ලායේ එක්දහස් එක් රැය කතාමාලාව මෙන් විස්මයජනක කතාවක්. බටහිර සංස්කෘතියත්, සාම්ප්‍රදායික ඉස්ලාමයත් අතර දෝලනය වූ අපූරු ජීවිතයක් ගෙවා දමමින් සිටි හයා කුමරිය ‌ෙජා්ර්දානයේ සුප්‍රකට හුසේන් රජුගේ දූ කුමරිකාවයි. ඇය 45 තම සැමියා අතහැර සිය දරු දෙදෙනාත් සමග ඩුබායි නුවරින් පලා ගියේ පසුගිය ජුනි මාසයේදියි.

දැඩි මතධාරී මිනිසකු ලෙස ප්‍රකට අල් මක්තුම්ගෙන් ජීවිතය බේරාගැනීමේ අරමුණින් සයිඩ් හා ජලීලා නමැති දරු දෙදෙනාත් සමග ජර්මනියට පලා ගොස් දේශපාලන රැකවරණ ඉල්ලා සිටි ඇය මේ වන විට ජීවත්වෙන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර අතිශය රහසිගත මන්දිරයකයි. ඇය පලා ගියේ පවුම් මිලියන 31ක අතිවිශාල මුදලකුත් රැගෙනයි. ඇය දැන් ලන්ඩනයේ අතිසුඛෝපභෝගී මන්දිරයක දැඩි ආරක්ෂක රැකවල් මැද ජීවත්වෙන අතර සැමියාගෙන් දික්කසාද වීමටත්, ජීවිතය බේරාගැනීමටත් උසාවියේ පිහිට පතමිනුයි සිටින්නේ.

නූතන අරාබියට බටහිර වසන්තය ගෙන ආ අපූරු රාජකුමාරිය ලෙස එමිරේට්ස්හී සාමාන්‍යය කාන්තාවන් අතර අසීමිත ජනප්‍රියත්වයක් අත්කර ගත් 45 හැවිරිදි හයා කුමරියට මෙවැනි ඉරණමකට ගොදුරු වීමට සිදුවූයේ නිදහස සීමා කළ සැමියාගේ දරදඬු පාලනය නිසයි.

අරාබිය කියන්නේ කොහොමත් ගැහැනුන්ගේ නිදහස අසීමිත විදියට සීමා කළ මිනිසුන්ගේ රාජධානියයි. පසුගිය අවුරුදු දෙක ඇතුළත නිදහස සොයා බටහිර රටවලට පලා යන ගැහැනුන් හා තරුණියන් ගැන වැඩිපුරම අසන්නට ලැබුණු අරාබිකරයේ එවැනි සිදුවීමකට ලක්වූ අලුත්ම කතා පුවතයි මේ.

වසර 2004දී එවකට 55 හැවිරිදි වියෙහි පසුවූ, ඒ වනවිටත් බිරියන් 5ක්ම සිටි අල් මක්තුම් සමග විවාහ වෙද්දී හයා කුමරිය පසුවූයේ 29 හැවිරිදි වියේ. තමාට වඩා අවුරුදු 25ක් වැඩිමල් මිනිසකු සමග ඇයට විවාහ වීමට සිදුවූයේ සිය පිය රජුගේ වුවමනාවටයි. ඒත් සැබැවින්ම එය ඇයට ප්‍රියජනක විවාහයක් නම් වූයේ නෑ. අන්තිමේදි මේ තරුණ බිරිය අරාබි නිසොල්ලාසයට අලුත් පරිච්ඡේදයක් එකතු වන්නට පෙර ඩුබායි නුවරින් පලා ගියා.

හයා කුමරිය ඩුබායි නුවරින් පලා ගියේ සැමියාට ද්‍රෝහිවීම සහ අනියම් සම්බන්ධතාවක් පැවැත්වීම හේතුවෙන් අල් මක්තුම් ඇයට දඬුවම් කිරීමට ඔන්න මෙන්න කියා තිබියදීයි. ඒ දඬුවම කුමක්දැයි කිසිවකු දැන නොසිටියත්, එය බොහෝ විට නිවාස අඩස්සිය විය හැකියැයි ඇතැමුන් අනුමාන කළා. සමහර විට එය ඉන් ඔබ්බට ගිය අතිශය භයානක ලෙස ඇගේ ඉරණම තීන්දු කිරීමේ පියවරක් වන්නත් තිබුණා. ඇය ජර්මනියට පලා ගියේ සැමියාගේ පැටිකිරිය ගැන හොඳින්ම දන්නා නිසා විය හැකියි.

රූමත්බවේ කිසිම අඩුවක් නැති මේ රජ කුමරිය මක්තුම්ගේ 6 වැනි බිරිය ලෙස කවුරුත් දැන සිටියත් ඇය තරම් දක්ෂ ලෙස අසුන් පැදවීමට සමත් අරාබි කුමරියක මුළු වැලිකතරේම නොසිටි බව දැන උන්නේ අත­‌ෙළ­ාස්සක් පමණි. ඇය මක්තුම්ගේ අතගෙන ඩුබායි රජ මාළිගාවට පැමිණීමට පෙර වැඩිහරියක් කාලය ගත කළේ අසුන් පැදවීමටයි. අවුරුදු 13දී අන්තර්ජාතික අසුන් පැදවීමේ තරග බිමට එක්වූ හයා කුමරිය එකල තමාට අශ්වයකු වුවමනා බව පියරජුට දැන්වූ මොහොතේ සිදුවූ අපූරු සංවාදයයි මේ.

‘ඔබට සැබැවින්ම අවශ්‍ය අශ්වයෙක් ද සැමියෙක් ද..?‘ හුසේන් රජු ඇයගෙන් එසේ විමසා සිටියා. මුස්ලිම් සාම්ප්‍රදායික තරුණියක අසුන් පිට යාම ගර්භාවට ලක් වීමේ කාරණාවක් බව හුසේන් රජු මෙන්ම හයා කුමරියත් හොඳින්ම දැන සිටියා.

‘පිය රජුනි, හැම කුමාරිකාවකටම අපවාදයට ලක්වෙන්න මොනා හරි දෙයක් තියෙනවා. කකුල් දෙකේ මිනි­‌ෙහක් එක්ක හාදකම් පවත්වලා අපවාද විඳිනවාට වඩා ඒක හොඳයි කියලා ඔබට හිතෙනවා නම් කරන්න තියෙන්නේ මට අශ්වයෙක් අරන් දෙන එක විතරයි. ‘ඇය හුසේන් රජුට දුන්නේ අපූරු උත්තරයක්. අන්තිමේදී ඇයට අශ්වයකු ලැබුණා.

ඉන් පසුව විවිධ අන්තර්ජාතික තරගවලට එක් වූ හයා කුමරියට වසර 2000 සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උ‍ෙලළේ අසුන් පැදවීමේ තරග අංශයට ජෝර්දාන කණ්ඩායමේ නායිකාව ලෙස සහභාගිවීමේ අවස්ථාවත් උදාවුණා. එය වාර්තාවක්. ඒ සියල්ල මක්තුම්ගේ බිරිය බවට පත්වීමෙන් පසුව ඇයට සිහිවටන පමණක් වුණා. ඇයට ක්‍රීඩාවෙන් සමුගැනීමට සිදුවුණා. ඇය දේශපාලනය, ආර්ථික විද්‍යාව හා දාර්ශනික විද්‍යාව පිළිබඳ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක්. එපමණක් නොවෙයි ඇය තාරුණ්‍යය ගැනත්, කාන්තා නිදහස ගැනත් අසීමිතව හඬ නැගූ විශිෂ්ට කාන්තාවක්.

මේ උගත් දිරිය සම්පන්න ගැහැනිය අල් මක්තුම්ගේ රජ සම්පත් අතහැර පලා ගියේ නිදහස සොයා බව පැහැදිලියි. ජෝර්දානයේ වත්මන් රජු අබ්දුල්ලාගේ බාල සොයුරිය ලෙස ඇයට නැවත ජෝර්දානයට යා හැකිව තිබුණත් ඇය ලන්ඩනය තෝරාගත්තේ අනාගතය ගැන හොඳ අවබෝධයකින් බවත් පැහැදිලියි. ඇයට අවශ්‍ය වුණේ නිදහස් ජීවිතයක්.

ඒ නිදහස අරාබියේ නොමැති බව ප්‍රසිද්ධ රහසක්. පසුගිය වසර දෙකක කාලය පුරා අරාබිකරයේ බොහෝ තරුණියන්, කාන්තාවන් මෙසේ නිදහස සොයා බටහිර රටවලට පලා යෑම එක දිගටම සිද්ධ වුණා. අල් මක්තුම්ගේ මුල් කාලීන බිරියන්ගේ දියණියන් වන 38 හැවිරිදි ෂම්සා කුමරියත්, 33 හැවිරිදි ලතීෆා කුමරියත් මීට ඉහත එවැනි ඉරණමකට මුහුණ පෑවා. ඔවුන් දෙදෙනාම පසුව නැවතත් මක්තුම්ගේ ආරක්ෂකයන්ට හසුවී ආපසු ඩුබායි නුවරට රැගෙන යෑමෙන් පසුව ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි තවමත් අබිරහසක් බවයි ඇතැමුන් කියන්නේ.

හයා කුමරිය ඩුබායි නුවරින් පලා ගියේ ඒ සියලු අත්දැකීම් හොඳින්ම අත්විඳීමෙන් පසුවයි. මේ වන විට සිය සමීපතම හා විශ්වාසය දිනාගත් මිතුරියන් කිහිපදෙනකුගේ දැඩි රැකවල් මැද ජීවත් වන හයා කුමරිය ඩුබායි මහාධිකරණයේ පැනවූ දික්කසාද නඩුව තවමත් විභාග වෙනවා. එය බ්‍රිතාන්‍ය දික්කසාද නඩු ඉතිහාසයේ මිල අධිකතම දික්කසාද නඩුවයි. එහි වටිනාකම පවුම් බිලියන 4ක් වෙනවා.

දැන් කවුරුත් කියන්නේ දික්කසාද නඩුව සාර්ථකව නිමාවට පත් වූ පසු ඇය තව දුරටත් එමිරේට්ස රාජ්‍ය‍‍ෙය් පිරිමින්ගේ තාඩන පීඩනවලට ලක් වෙමින් සිටින දහස් සංඛ්‍යාත අරාබි ගැහැනුන්ට වසන්තය උදා කර දීමට පෙරමුණ ගනු ඇති බවයි.

Comments