කරාටේවලින් දුර ගමනක් යන එකම පවුලේ අක්කා නඟෝ | සිළුමිණ

කරාටේවලින් දුර ගමනක් යන එකම පවුලේ අක්කා නඟෝ

ලොකු දුව තරුෂි, ආසියාතික තරගාවලියෙන් 5 වන ශූරතාව ලැබුවා. ඇය ජපානය, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව වගේ  රටවල සංචාරය කර තිබෙනවා.  පොඩි දුව බිමාෂා දෙව්මිණිත් පුංචි කාලේ ඉඳලම  කරාටේවලට දක්ෂයි. පාසල් තරගාවලි  කීපයක් ජයග්‍රහණය කළා අක්කා අනුගමනය  කරමින්. ගෙදරදී පුහුණුවීම් කරනවා  අක්කයි නංගියි දෙන්නම එකට.

එකම පවුලේ මේ අක්කයි නංගියි දෙන්නම කරාටේ ක්‍රීඩාවට හරි දක්ෂයි. ඒ හින්දම අන්තර්ජාතික කරාටේ තරගාවලි කීපයකින්ම දිනන්න පුළුවන් වුණා. තරුෂි සෙව්මිණි සම්පාය, ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ 12 වසර ඉගෙන ගන්නේ. ඈට අවුරුදු 17 යි. බිමාෂා දෙව්මිණී සම්පාය. සපුගස්කන්ද විශාඛා විද්‍යාලයේ 10 වසරේ ඉගෙන ගන්නේ. ඇයට අවුරුදු 15 යි. මෙයාලා දෙන්නා මල්ලියි, අම්මයි, තාත්තයි එක්ක පසුගියදා ලේක්හවුස් එකට ආවා.

තරුෂිටයි බිමාෂටයි මේ කරාටේ හැකියාව ලැබුණේ තමන්ගේ තාත්තගෙන්. සිසිර රුවන් සම්පාය කලක් හොඳ කරාටේ ශූරයෙක්. ඒත් දැන් නම් ස්වයං රැකියාවක් ලෙස තමන්ගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. ඒ සියඹලාපේ ප්‍රදේශයේයි. ඔහු පාසල් වියේදී මලල ක්‍රී‍ඩා, ජිම්නාස්ටික් ක්‍රීඩාවල යෙදිලා තිබෙනවා. මව (උදයන්ති රණතුංග) රැකියාවක් කරන්නෙ නැහැ. ඒ නිසා ඇයට දරුවන්ගේ වැඩ කටයුතු හොයලා බලලා කරලා දෙන්න හරිම පහසුයි. උදයන්ති තමන්ගේ දුවලා දෙන්නාගේ දස්කම් ගැන පස‍ුවන‍්නේ සතුටිනි.

“ලොකු දුව තරුෂි මූලික අධ්‍යාපනය ලැබුවේ හෙයියන්තුඩුව සංඝමිත්තා විද්‍යාලයෙන්. පුංචි කාලේම කරාටේවලට අංකුර දක්ෂතා තිබුණා. ඇය සා.පෙළ කළේ සපුගස්කන්ද විශාඛා බාලිකාවෙන්. කරාටේවලට අමතරව උස, දුර ක්‍රීඩාවලටත් දක්ෂයි. අ.පො.ස සා.පෙළ විභාගයේ A8 - B1 ලබා ගත්තා. චිත්‍ර අඳින්නත් තරුෂිට පුළුවන්. ඇය අන්තර්ජාතික තරගාවලි කීපයක්ම නියෝජනය කළා. 2015 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියෙන් ලෝකඩ පදක්කම ලැබුවා. කරාටේ තනි ඉසව් හා කණ්ඩායම් තරග කීපයකටම සහභාගි වුණා. දහම් පාසලේ ශිෂ්‍ය නායිකාවක්. ක්‍රීඩාවලට දක්ෂ වුණත් ඇගේ බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීමටයි. ඒ සඳහා ඇය ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කරනවා.”

තරුෂි කරාටේ ක්‍රීඩාවෙන් රන්, රිදී, ලෝකඩ පදක්කම් සියල්ලක් ම දිනාගෙන තිබෙනවා විවිධ ඉසව් නියෝජනය කරමින්. මෙම වසරේ (2019) බංග්ලාදේශ‍යේ ඩකා නුවර පැවැති දකුණු ආසියානු කලාපීය තරගාවලියේ කාන්තා ඉසව්වේ රන් පදක්කම ලැබුවෙත් තරුෂි සෙව්මිනියි. දූලගේ කරාටේ දක්ෂතා ගැන අම්මට හරි සතුටුයි. ඇය තවදුරටත් දූලා ගැන මෙහෙම කීවා.

“ලොකු දුව තරුෂි, ආසියාතික තරගාවලියෙන් 5වන ශූරතාව ලැබුවා. ඇය ජපානය, ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව වගේ රටවල සංචාරය කරලා තියනවා. පොඩි දුව බිමාෂා දෙව්මිණිත් පුංචි කාලේ ඉඳලම කරාටේවලට දක්ෂයි. පාසල් තරගාවලි කීපයක්ම ජයග්‍රහණය කළා අක්කව අනුගමනය කරමින්. ගෙදරදී පුහුණුවීම් කරනවා අක්කයි නංගියි දෙන්නම එකට. චිත්‍ර අඳින්නත් දක්ෂයි. ඇයත් ක්‍රී‍ඩාවට දක්ෂ වුණාට ගණිත අංශයෙන් තමයි ඉදිරියට යන්නේ.”

මේ දෙන්නට කරාටේ පුහුණුකරුවන් කීපදෙනෙක්ම ඉන්නවා. අනුර ලියනගේ, දේශාධි කුරේ, කල­්‍යාන එඩ්වඩ්, සංජීව සේනානායක වගේම ජාත්‍යන්තර පුහුණුකරු මහේෂ් චන්ද්‍රකුමාර යන මහත්වරුන් සහාය වෙනවා. මීට අමතරව තරුෂිටයි, බිමාෂටයි ගෙදරදී කරාටේ පුහුණු කරන්නේ තාත්තා සිසිර සම්පාය තමයි. සිසිර පාසල් යන කාලේ කරාටේ, ජිම්නාස්ටික්, මලල ක්‍රීඩාවලින් හැකියාවන් පෙන්වලා තියන කෙනෙක්. දුවලා දෙන්නත් තාත්තත් දැන් අවුරුදු 6ක පමණ කාලෙක ඉඳලා නිර්මාංසාහාරිකයි. මේ පවුලේ පුංචි පුතා සදෙව් ආකාෂ් සම්පාය. කැලණිය ගුරුකුල විද්‍යාලයේ 6 වසර ඉගෙන ගන්නේ. ඔහුටත් කරාටේ ක්‍රීඩාවල අංකුර දක්ෂතා තියනවා.

දරුවන්ගේ කරාටේ ජයග්‍රහණ ගැන තාත්තා සිසිරටත් යමක් කියන්නට තිබුණා.

“මම පෞද්ගලික ව්‍යාපාරයක් කරගෙන යන නිසා දුවලා දෙන්නා එක්ක යන්නේ මමයි. විදේශ සංචාරවලදි හුඟාක් අතින් වියදම් කරගෙන තමයි යන්නේ. මම තරුණ වියේ කරාටේ මාස්ටර් කෙනෙකුගෙන් ඉගෙන ගත්තා. ඒත් මට හුඟක් දුර යන්න බැරි වුණා. අද මට වඩා දුරක් මගේ දුවලා දෙන්නා ගිහින් තිබීම මට සතුටක්. ජීවිතාරක්ෂක සටන් කලාවක් වන කරාටේ වර්තමානයේ ගැහැනු පිරිමි භේදයකින් තොරව ඉගෙන ගන්නවා. එයින් පෞරුෂ වර්ධනයත්, විනයත්, නිරෝගිබවත් ජීවිතයට ලැබෙනවා. රැකියාව සඳහා කුමන අංශයක් තෝරා ගත්තත් ඕනෑම ක්‍රීඩාවක් ජීවිතයට හරිම වැදගත්.”

මේ කරාටේ පවුලට දුර ගමනක් යන්නට අපි ද සුභාශිංසනය කරමු.

(නො. 77 1, සී. ගලහිටියාව පාර, සියඹලාපේ, බියගම ඔවුන‍්ගේ ලිපිනයයි.)

සේයාරූ - ටෙනිසන් එදිරිසිංහ

Comments