උත්සාහය සහ කැපවීම එක්කයි මේ ජයග්‍රහණ හිමි කරගත්තේ | සිළුමිණ

උත්සාහය සහ කැපවීම එක්කයි මේ ජයග්‍රහණ හිමි කරගත්තේ

මෙවර යෞවන සම්මාන උලෙළේ හොඳම නිෂ්පාදනය, හොඳම නළුවා, හොඳම රංගවින්‍යාසය, හොඳම වේශ නිරූපණය, හොඳම සංගීතය ඇතුළු ප්‍රධාන සම්මාන අටකටම හිමිකම් කීවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවකු වන ළහිරු ප්‍රසාද්ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන Brain Wash දිගු නාට්‍යයයි. 2015 වසරේ ජාතික තරුණ සේවා රංග ශිල්ප ශාලිකාවේ නාට්‍යකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියකු ද වන ළහිරු මෙවර හොඳම නළුවා

ලෙසින් ද සම්මානයට පාත්‍ර වුණා.

කුලුඳුල් නිර්මාණයෙන්ම සම්මාන අටක් දිනා ගැනීම ඔබේ ප්‍රවිෂ්ටයට හොඳ ඇරැඹුමක්?

වසර තුනක කාල සීමාවක ගොඩනැඟිච්ච විශාල මහන්සියක ප්‍රතිඵලයක් ලෙසයි මම එය දකින්නේ. මෙය අඳුරේ අතපත ගා සොයාගත් දෙයක් නෙමෙයි. එයට සෑහෙන්න ඉවහල් වුණේ මගේ Brain Wash කණ්ඩායමයි. මේ සියලු දෙනා විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්. ඔවුන්ගේ සහාය, අදහස් සහ එයට මගේ අධ්‍යක්ෂණය එක් වී බොහොම සාමුහිකවයි මේ කාර්යය ගොඩනැඟෙන්නේ. ඔවුන්ගේ දැනුම, මගේ උත්සාහය සහ කැපවීම එක්කයි අපට මෙවැනි ජයග්‍රහණයක් හිමි කරගන්න ලැබුණේ. මේ ජයග්‍රහණය පිටුපස අපට මෙතැනට එන්න නන් අයුරින් සහාය වූ බොහෝ දෙනෙක් හිටියා. එහිදි අපට අභිරූපණ නාට්‍ය කලාව ඉගැන්නූ අපේ විශ්වවිද්‍යාලයේ ප්‍රදීප් රාමවික්‍රම, අපේ විශ්වවිද්‍යාලය, අපේ අංශාධිපති ඉරාන් ප්‍රනාන්දු මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රසන්නජිත් අබේසුරිය සහ මා සමඟ සම වයසේ ඉගෙන ගන්නා විද්‍යාර්ථීන්ගෙන් ලැබුණු ඒ දායකත්වය සහ උපදෙස් වටිනවා.

ඔබේ නිර්මාණ කාර්යය පටන් ගන්නේ රංගනයෙන්?

විශ්වවිද්‍යාලයෙන් හැම වසරකම නාට්‍ය උලෙළක් කරනවා. 2016 විශ්වවිද්‍යාලයට ආවාට පස්සේ මම අභිරූපණ නාට්‍යයකට රංගනයෙන් එක් වුණා. ඒ තමයි මගේ පළමු රංගනය.

Brain Wash නිර්මාණ පසුබිම ගැන කතා කළොත්?

2017 දී විශ්වවිද්‍යාලයේම තෙස්පියන් නාට්‍ය උලෙළට මගේම නිෂ්පාදනයක් ලෙස සජීව සංගීතය හා සජීව රංගනය එකට බද්ධ කරමින් කෙටි නාට්‍යයක් ලෙස Brain Wash ඉදිරිපත් කරන්නේ පර්යේෂණාත්මක නිර්මාණයක් විදිහටයි. ඉන්පසු 2019 වසරේ මේ නාට්‍යය රැගෙන ඉරානයේ ටෙහෙරාන් විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබූ නාට්‍ය උලෙළකට සහභාගී වෙන්න අපට අවස්ථාව ලැබුණා. එහිදි මේ කෙටි නාට්‍යය වේදිකාගත කෙරෙන්නේ විනාඩි 45 දක්වා දිර්ඝ කරමින්. ඒ ලැබූ අත්දැකීම් එක්කයි 41 යෞවන නාට්‍යය උලෙළට පැයයි විනාඩි 10 දිගු නාට්‍යයක් ලෙස Brain Wash ඉදිරිපත් කරන්නේ.

කිසිදු භාෂාවකින් තොරව අභිරූපණ ශෛලියේ නිර්මාණයක් වූ Brain Wash මෙතරම් ප්‍රේක්ෂකයාට සමීප වන්නේ කොහොමද?

මම එවැනි අත්දැකීමක් පළමුව ලබා ගන්නේ 2016 මම රංගනයෙන් දායක වූ අභිරූපණයෙන්. එයට ලැබුණු ප්‍රතිචාර එක්ක මම තේරුම් ගත්තා වචනවලින් කියන්න බැරි බොහෝ දේවල් අපේ ශරීරය සහ අවකාශ භාවිත කරමින් අපූර්වත්වයකින් යුතුව ප්‍රේක්ෂකාගාරය වෙත ඉතා සංයමයකින් සහ සංවේදීව ප්‍රකාශ කරන්න පුළුවන් බව. අන්න ඒ හේතුව නිසයි Brain Wash වැනි නිර්මාණයක් නිෂ්පාදනය වෙන්නේ. ප්‍රේක්ෂකයෝ එකම ආකෘතියක දෙබස් සහිත නාට්‍යය නරඹලා රාමුගත වෙලා. කලාකරුවෙක් විදිහට අප ඒ රාමුව කැඩිය යුතුයි. වෙනස් විදිහකට හිතන්න ඔවුන්ගේ ඔළු හැදීම තමයි අපේ කාර්යය. අධ්‍යාපනය හදාරමින් අප කළ යුත්තේ ඒ පිළිබඳ අධ්‍යනය කිරීමක්. ඒතැනදී මේ නාට්‍යයට ලැබුණු ප්‍රතිචාර එක්ක ප්‍රේක්ෂකයාට මම ඉදිරිපත් කරන්න හදපු අදහස නිවැරැදිව තේරුම් ගිහින් ඇතැයි මම හිතනවා. මේ ලැබිච්ච් ඇගැයීම්වලින් එය හොඳාකාරවම තේරුම් ගන්න පුළුවන්.

මෙහි රංග වින්‍යාසය පිළිබඳ මොන වගේ අදහසක් ද තිබෙන්නේ?

මෙය pantomime ආකෘතිය ඔස්සේ දිග හැරෙන රංගයක්. මුල මැද අග පෙළගැස්වූ සිදුවීම් මාලාවක් ගොඩනගල තියෙනවා. සාත්වික අභිනය හා ආංගික අභිනය (body movement) මෙම නාට්‍යයවලදී විශාල කාර්යයක් සිදු කරනවා. මෙය දිගු කාලයක් පුරා පුහුණුවීම් කළ නිර්මාණයක්. බොහෝ විට ලංකාවේ අභිරූපණ රංග කලාව හඳුනාගන්නේ කිසියම් හාස්‍යෝත්පාදක අංගයක් විදිහට. නමුත් මෙම කලාව මිනිසුන්ට භාවමය හැඟීම් දැනවිය හැකි සියුම් ස්පර්ශයන්ට නතු වන කලාවක් බව පෙන්වා දෙන්න මෙහිදී අපට හැකි වුණා.

ඉදිරියේදී ළහිරුගේ වැඩි නැඹුරුව අධ්‍යක්ෂණයට වේවිද?

මොන පැත්තකට හැරේවිද කියලා දැනට ලොකු විශ්වාසයක් නැහැ. හැබැයි අපි කලාකරුවන් වූ පසු ඕනෑම දේකට හුරු විය යුතුයි. මම මොන පැත්තටද යොමු වන්නේ යැයි තීරණය වෙන්නේ ප්‍රේක්ෂකාගාරය අපව බාර ගන්න විදිහ මත. ඒ නිසා මම නළුවෙක් ද හොඳ අධ්‍යක්ෂවරයෙක් ද යන්න ප්‍රේක්ෂකාගාරය තීරණය කරයි. ඒ අනුව මම ඉස්සරහට වැඩ කරයි.

ඉදිරි නිර්මාණ කාර්යය?

මේ දිනවල අපේ අවසන් වසර නිෂ­්පාදනය එක්ක වැඩ කරනවා. සිනමාව පැත්තටත් ආරාධනා කිහිපයක් ලැබී තිබෙනවා. නමුත් වේදිකාව අත­්හරින්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම මෙතැනින් තමයි හැදුණේ. වේදිකාවෙන් සජීවිව ලබන අත්දැකීම සහ එයින් ලබන තෘප්තිය සිනමාවෙන් මට ලබන්න පුළුවන් වේවිද දන්නේ නැහැ. කොහොමත් වේදිකාවට මම සෑහෙන ආදරෙයි. ඉදිරියටත් නාට්‍යය කලාව පිළිබඳ තව දුරටත් හදාරමින් හොඳ නිර්මාණ බිහි කරන්න උත්සාහ කරනවා.

Comments