අද අපේ රටේ තිබෙන්නේ සල්ලි දීලා ගීත ප්‍රචාරය කරගන්න කලාවක් | සිළුමිණ

අද අපේ රටේ තිබෙන්නේ සල්ලි දීලා ගීත ප්‍රචාරය කරගන්න කලාවක්

ලේඛකයකු හා දේශකයකු වූ ඔහු ගැන කිව හැකි ඉතාම හොඳ හඳුන්වා දීම නම් ඔහු ගීත රචකයකු බවය. මේ බව වඩාත් හොඳින් තහවුරු කරන්නේ ඉකුත්දා පැවැති රූපවාහිනි සම්මාන උලෙළේදී හොඳම ගීත රචකයා සම්මානයෙන් පිදුම් ලැබීමය. ඔහු නම් නාරද විජේසූරියයි. මේ දිනවල කෙටි නිවාඩුවකට ලංකාවට පැමිණ සිටින ඔහු හා කතා කරන්නට අපට අවස්ථාව ලැබිණි.

“හදන්නට වැහි බින්දුවක්

පොළොව ගහ කොළ විඳි දුකක්

දන්නවා නම් තෙමෙනවා නුඹ

මහා වැස්සේ කල්පයක්....”

නාරද එසේ ලියන්නේ තාත්තා ටෙලි නාට්‍යය වෙනුවෙනි. මේ ගීතයේ ලියැවුණේ කෙසේදැයි අපි ඔහුගෙන් පළමුව ඇසුවෙමු.

“තාත්තා ටෙලි නාට්‍ය කතා වස්තුවේ තියෙන්නේ තාත්තාගේ ආදරය පුතෙකුට තේරුම් ගැනීමට බැරිකමක් ගැන. මේ බව ඔවුන් මට කියූ වෙලාවේ මම කල්පනා කළා. මට මතක් වුණා මම ලියා තිබුණ නවයොවුන් පෙම්වතුන්ගේ ප්‍රේමයේ විප්‍රෙයා්ගය ගැන පද පෙළක්. මම එය ලියන්න හේතු වුණේ දවසක් දා ජර්මනියේ මගේ කාමරයේ සිටින විට ලොකු වැස්සක් වහින හඬ ඇසුණා. මම කාමරයේ ජනේලයෙන් පහළ බැලුවා. ඒ වෙලාවේ මම දැක්කා පහළ මාර්ගයේ සිටින මිනිස්සු වැස්සෙන් බේරෙන්න කුඩ ඉහලනවා, වැහි කබා ඇඳගෙන යනවා, එහෙමත් නැති අය කොහේ හෝ සෙවණක් සොයාගෙන යනවා. ඒ එක්කම මට මගේ පුංචි කාලේ මතක් වුණා. අපේ මහ ගෙදර මැද මිදුලක් තිබුණා. මම කෙටි තාප්පයේ වාඩි වෙලා අතේ තියෙන මොනවා හරි වැස්සට විසි කරනවා. එහෙම කරන්නේ බැරිවීමකින් වුණ දෙයක් වගේ. ඊට පස්සේ වැටුණා කියලා ඒක ගන්න වැස්සට පනිනවා. වැස්සට තෙමුණම ගුටි කන්නත් වෙනවා. සමහර දවස් වලට මැද මිදුලේ තිබුණ පීල්ලෙන් වැහි වතුර නානවා. මේ සිද්ධි දෙකම එකට එකතු වෙලා තමයි ගීතයේ පද පෙළ මට ලියැවුණේ. ගීතයට තනුව නිර්මාණය කළේ විශාරද රෝහණ ධර්මකීර්ති සහෘදයා. මේ ගීතය ඇගයීමට ලක්වීම මට සතුටක්. සම්මානය නොලැබුණත් ඒ සම්මාන උලෙළේදී මහින්ද චන්ද්‍රසේකර, වසන්ත කුමාර කොබවක ආදී වූ ගීත රචක දැවැන්තයන් අතර මගේ නම නිර්දේශ වීමම මට අපමණ සතුටක්.

ගුරුවරයකු වූ ඔබ ගීත රචනා ක්ෂේත්‍රයට පිවිසියේ කොහොමද?

මම උසස්පෙළ විභාගයට හැදෑරුවේ ආර්ථික විද්‍යාව, තර්ක ශාස්ත්‍රය, දේශපාලන විද්‍යාව. නමුත් මම විශ්වවිද්‍යාලයේදි හැදැරුවේ නීති විෂය. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අධ්‍යාපනය ලබන කාලයේ මම හොඳම කථිකයා වී තිබෙනවා. කෙසේ හෝ මම මගේ ටියුෂන් පන්තිවලදී මගේ ශිෂ්‍යයන්ට දෙන ටියුට්වල අවසානයේ ගී සංකල්පනා ලියනවා. ඒක පුරුද්දක් හැටියට වුණා. ඔහොම ඉන්න අතරේමයි මම යුරෝපා රටකට ගියේ. ඔය කාලේ තමයි මා ඇතුළේ නිදාගෙන සිටිය කවියා අවදි වුණේ. මම දන්න ගෑනූ ළමයෙක් විවාහ වුණා. ඇගේ මංගල උත්සවයේ ඡායාරූප ගන්න ගියේ දයාන් විතාරණ. මම සින්දුවක් ලියලා ඒ සංගීත කණ්ඩායමේ ශිල්පියාට දුන්නා මේ ගීතය දයාන් ලවා ගායනා කරන්න කියලා. දයාන් එදා ඒ ගීතය ගායනා කළා. “මා ගැනම සිතූ- මගෙ හිතම පැතූ” ඒ තමයි මගේ පළමු ගීතය.

ඉන් පස්සේ මම තවත් ගී ලියූවා.

ඔබ ඒ ලියූ ගීතවලට මොකද වුණේ..

මෙහෙමනේ... අද අපේ රටේ තියෙන්නේ සල්ලි දීලා ගීත ප්‍රචාරය කරගන්න කලාවක් නේ. මම කැමැති නැහැ කාගෙවත් පස්සේ ගිහිල්ලා ගීත ප්‍රචාරය කර ගන්න. මා ලියූ ගීත ඕනෑම කෙනෙකුට යූ ටියුබයෙන් අහන්න පුළුවන්. මම ගීත, කවි ලියන්නේ මම වෙනුවෙන්. එය මගේ හැඟුම් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක්. අද ගීත රචකයන්ට ගායකයන්ට තම නිර්මාණ ප්‍රචාරය කරගන්න තිබෙන හොඳම මාධ්‍ය තමයි අන්තර්ජාලය. මගේ ජනප්‍රිය වූ ගීතවලට වඩා තවත් ලස්සන ගීත අන්තර්ජාලයේ තියෙනවා කියලා මම විශ්වාස කරනවා.

ගීත හැරුණ විට ඔබ පොත් ලියනවා. ඔබේ මීළඟ පොත කුමක්ද?

මගේ චාරිකා සටහන් ඇතුළත් පොත තමයි ‘නොරිකෝ සන් සොයා’ පොත. පළමු පොත තමයි ‘මතක පොත‘. මේ දවස්වල මම මගේ පළමු ගීත පොත කරන්න සූදානම් වෙනවා. එළැඹෙන ජනවාරි මාසයේදී ගීත පොත එළිදැක්වීමයි මගේ අරමුණ.

Comments