
ඇය කදුළු අතරින් බිහිවූ ධෛර්යවන්ත කාන්තාවකි. පසුගිය කාලයේ පමණක් නොව මෑතකදී ඇය ගැන බොහෝ දේ සිළුමිණ පිටු අතරට එක්වූයේ “ජීවිතය මහ මෙරක් සේ දරා ගෙන ලෝකය ජයගත් දොස්තර කෙල්ල“ නමිනි. සිය ජීවන ගමනේදි අයට පැමිණි බාධා එකක් දෙකක් පමණක් නොවේ. 2008 වසරේදි ඇය සිය ජීවන ගමන් මගේ අකාරුණික ගොදුරක් බවට පත්වුවාය. ඇයට සිය ජිවිතයෙන් පලා යන්නට සිදුවූ වාර අනන්තය. එහෙත් ඇඳට වැටුණු ඇය දෙපයින් නැඟී නොසිටම රටක් ලොවක් දිනා ගත්තාය. ඇයට ඒ පන්නරය උරුම වූයේ අකුරු කළ සිය දයාබර පාසල් මෑණියන්ගෙන් බව ඇය නොබියව රටට පවසන්නීය.
ඇය විශේෂඥ වෛද්‍ය සමිතා සමන්මලීය. එසේම ඇය කොළඹ ගෝතමි බාලිකා විදුහලේ කීර්තිමත් ආදි සිසුවියකි. 2008 වසරේ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ඇය කුරිරු ඉරණමට මුහුණ දුන්නත්, කඳුළු අතරින් සිනාසුණු ඇය අද රටේ දක්ෂ විශේෂඥ වෛද්‍යවරියකි. රෝද පුටුවේ සිට අභියෝග ජයගන්නා මෙම එඩිතර කාන්තාව පසුගියදා කොරියාවේ පැවැති ආසියානු පැරා ඔරු පැදීමේ තරගාවලියෙන් ලෝකඩ පදක්කමකි හිමි කර ගත්තේ සමස්ත ගෝතමි දරුවන්ට පමණක් නොව රටේ පාසල් දරුවන්ටත් වැඩිහිටි පරම්පරාවටත් අගනා ආදර්ශයක් සපයමිණි.
පසුගියදා සිය විදුහල් මෑණියන් දකින්නට ඇය පැමිණියේ ඇය වෙනුවෙන්ම පාසලේ විදුහල්පති, ගුරු, ආදි සිසුන් හා දරුවන් සූදානම් කළ උපහාර උත්සවයටය.
“මම 1995 වසරේ ගෝතමි විදුහලට ආවේ 5 ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වෙලයි. මම පාසලේ ගොඩාක්ම දක්ෂ දරුවෙක් නෙමෙයි. ඒත් සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඩී ‘ සාමාර්ථ්‍ය 10ක් අරගෙන උසස් පෙළ ජීව විද්‍යාව හදාරන්න පටන් ගත්තා. මට පාසලේ ගුරුවරුන් ගැන විස්වාසයක් තිබුණා. මම තුන්වරක්ම උසස් පෙළ විභාගයට පෙනී සිටියා. තුනවැනි වර ඉහළ සාමාර්ථයත් ගත්තා. මගේ ජීවිතයේ අනපේක්ෂික සිදුවිම වුණේ 2008 වසරේදි. ඒත් මම එම්.බි.බී.එස් වැනි දුෂ්කර විභාගයකට මුහුණ දුන්නේ නොබියව. මගේ ජීවිතයේ කඩා වැටුණු අවස්ථා තිබුණා. මගේ ජීවිතයේ හැමදේම මට ලැබුණේ රීදි බන්දේසියක දාලා නෙමෙයි. ඒ හැම අවස්ථාවකට මට නැඟිටින්න ශක්තියක් වුණේ මගේ උගත් පාසලයි.“ සමිතා පවසන්නීය.
ගෝතමි බාලිකා විදුහලේ වත්මන් විදුහල්පතිනිය වන සුභාෂිණි දෙමටගොඩ මෙණෙවිය ඇතුළු ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍යාවන් විසින ඇය උණුසුම් ආකාරයෙන් පිළිගත් අතර ඇය වෙනුවෙන් සමරු තිළිණ ප්රදානයක්ද සිදු කෙරිණි.
“ අද මගේ ජිවිතයේ අමතක නොවන දිනයක්. මෙම ගෝතමි දිරිය දියණියගේ කතාව අපේ දරුවන්ට පමණක් නොව සමස්ත පාසල් දරුවන්ටත් ආදර්ශයක්. ඇය කදුළු අතරින් බිහිවූ ධෛර්යවන්ත කාන්තාවක් කීවොත් නිවැරදියි. ඒ වගේම ඇය අද ආබාධිත කාන්තාවන් වෙනුවෙන් හඬක් නඟනවා. ගෝතමියන් වෙනුවෙන් ඇයගේ ජයග්‍රහනය අපට ආඩම්බරයක්..“විදුහල්පතිනිය වන සුභාෂිණි දෙමටගොඩ මෙණෙවිය පැවැසුවාය. මෙම ගෝතමියෙන් බිහිවූ දිරිය දියණියට අපිත් සුබ පතමු.
- සුභාෂිණි