ශාස්ත්‍රාලීය කතිකාවෙන් පිටමන් කළ විශිෂ්ට රංගවේදියා නිහාල් සිල්වායි | සිළුමිණ

ශාස්ත්‍රාලීය කතිකාවෙන් පිටමන් කළ විශිෂ්ට රංගවේදියා නිහාල් සිල්වායි

ධර්මජිත් පුනර්ජීව

සාජන්ට් නල්ලතම්බි කියූ සැණින් මතකයට නැ‍ගෙන මේ ප්‍රතිභාපූර්ණ රංගවේදියා මෙරට ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රේක්‍ෂක ජනතාව තම රංගනයෙන් මුසපත් කර, සිය ජීවිත රඟමඬලින් නික්‌ම ගොස් අනිද්දාට (03) වසර 30ක්‌ සපිරේ. එය නිමිති කරගෙන එළඹෙන 07 වැනි දා ඔහුගේ රංග කාර්යය අගයමින් නාට්‍යවේදී ධර්මජිත් පුනර්ජීව සංස්කරණය කළ ‘ආදරණීය නිහාල්’ නමැති කෘතිය ජනගත කිරීමට නියමිතය. එහිදී ඔහුගේ රංග කාර්යය පිළිබඳ විද්වත් කථිකාවක් හා වාර්තා චිත්‍රපටයක්ද ප්‍රදර්ශනය කෙරේ. මේ ඒ පිළිබඳ නාට්‍යවේදී ධර්මජිත් පුනර්ජීව සමඟ කළ කතාබහකි.

නිහාල් සිල්වාගේ රංග කාර්යය අගයමින් මෙවැනි කෘතියක් සහ උපහාර උත්සවයක් කරන්න ඔබ ඇතුළු පිරිස පෙලඹුණේ ඇයි?

නිහාල් සිල්වා නළුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ මිනිස්සු දැනගන්න බොහෝ කාලෙකට කලින්. ඒ කියන්නේ 70 දශකයේ අගභාගයේ ඉඳලා ඔහු ජීවත් වුණේ අපේ ගෙදර. ඔහු ජීවත් වුණේ අපේ පවුලේ සාමාජිකයෙක් විදියට. ඔහු අපේ පවුලට එක්කරගෙන ඒමේ ගෞරවය හිමිවන්නේ සමන්ප්‍රිය මාරසිංහටයි. ඔවුන් දෙදෙනා අතර ඇති වන මිත්‍රත්වය උඩ තමයි ඔහු අපේ ගෙදරට එන්නේ. මේ සම්බන්ධය උඩ තමයි අපේ කලා කටයුතු ආරම්භ වන්නේ. ඒ නිසා මේ කාර්යය සඳහා පොලඹවන්න හේතුවක් වුණා.

මේ වන විට නිහාල් සිල්වා මිය ගිහින් වසර ගානක් ගත වෙලා. ඔහු ගැන ඇගයීමක් කරනවා නම් කරන්න තිබුණේ මීට බොහෝම කාලෙකට කලින්. ඒත් එහෙම කිසිම කටයුත්තක් ඔහු මියගිහින් වසර 30ක පමණ කාලය තුළ දකින්න ලැබුණේ නැහැ. එක පාරටම මෙවැනි කටයුත්තක් කරන්න හිතුවේ ඇයි?

නිහාල් සිල්වා මිය ගියේ අවුරුදු 35ක් වැනි ඉතාම අඩු වයසකදි. ඒත් ඔහු මේ රටේ ලිබරල් ජනප්‍රිය සංස්කෘතික ක්ෂේත්‍රය ඇතුළෙ ජනප්‍රිය සංස්කෘතික සංකේතයක් බවට පත් වී සිටියා. එවැනි පුද්ගලයෙක් බවට පත් වෙලා සිටියදී ඔහු අසාමාන්‍ය ආකාරයට මිය යනවා. එහෙම මියගියාට පස්සේ ඒ සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ ප්‍රවාද ඇති වුණා. ඒ ප්‍රවාද බොහොමයක් අසුබවාදී ඒවා මිසක් සුබවාදී ඒවා නෙමෙයි. ඒක එක හේතුවක් වුණා මේ කාරණය පස්සට යන්න. අනෙක් කාරණය තමයි ඔහු මිය යන විට ‘සාජන්ට් නල්ල තම්බි’ නාට්‍ය කලා ලෝකය තුළ අතිශයින් ජනප්‍රියත්වයට පත්ව තිබුණා. ‘සාජන්ට් නල්ල තම්බි’ කියන චරිතය නාට්‍යයෙන් පරිබාහිරව වෙනම කීර්තිනාමයක් විදියට පිළිගැනීමට ලක්ව තිබුණා. ඒ නිසා ඔහු මිය ගිය මොහොතේ පටන් පරපුටුවො ටිකක් නැත්තම් බඩගිනිකාරයො ටිකක් මේ චරිතය තලුමරමින් භුක්ති විඳින්න පටන් ගත්තා. ඒකට හේතුව වුණේ ඔහුගේ කලා කටයුතුවල නීත්‍යනුකූල අයිතිය ඔහුගේ රංග කාර්යය පිළිබඳ නොදන්නා පිරිසක් අතට අනියමින් පත්ව තිබීමයි. මේ කාර්යය ප්‍රමාද වන්න තවත් හේතුවක් වුණේ ඒ ගැටලුවයි. වෙනත් සම්බන්ධතා නිසා ඔහු වටා රොක්ව සිටි මේ පිරිස ඔහුව ජනප්‍රිය ඇදහිල්ලක් බවට පත් කරගත්තා. ඔවුන් නිහාල් සිල්වාගේ කෝට් එක; පදක්කම්; තට්ට හිස; සපත්තු දෙක; කනේ මයිල්; රැවුල වගේ ජනප්‍රිය සංකේත ටික එකතු කරගෙන තමන්ගේ බඩගින්න නිවාගන්න කටයුතු කළා. ඒත් ඒවා හුදු අනුකරණයක් පමණක්ම වුණා. මේ තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ මේ රටේ ඇකඩමියාව; ඔවුන් ජෝතිපාල පීචං ගායකයෙක් කළා වගේ නිහාල් සිල්වා පීචං නළුවෙක් කර නොතකා හැරියා. මේ නිසා ඔහු පිළිබඳ කතා කරන්න තිබුණු අවකාශය ඒ මොහොතේ අපට අහිමි වුණා. ඒ නිසා අප නිහඬව කාලයක් බලාගෙන හිටියා. දැන් මේ පාර්ශ්ව දෙකම අක්‍රීය වී තිබෙනවා. ඒ නිසා මා සුදර්ශියෙන් බිහි වූ නළුවෙක් නිසා ඔහු ගැන ඇගයීමක් කරන්න අවස්ථාව ඉල්ලලා සුදර්ශියට ලිපියක් යොමු කළා. එහි නව සභාපතිවරයා සහ ලේකම් වරයා එය ඉතා අගේ කොට පිළිගත්තා. ඒ අනුව තමයි වසර 30කට පස්සේ මේ කටයුත්ත කරන්න අපට අවස්ථාව උදා වී තිබෙන්නේ.

ඔබ සඳහන් කළ සාජන්ට් නල්ල තම්බි සංකේතාත්මක වේශ නිරූපණය තුළ වෙනස්ම දේශපාලන කියවීමක් තිබුණා. ඔහු අනුකරණය කළ බොහෝ අය ඒ දේ කළේ ඒ පිළිබඳ වැටහීමක් ඇතිවද?

නැහැ; ජනප්‍රිය සංස්කෘතිය තු‍ළ සාජන්ට් නල්ල තම්බිගේ කළුකබාය, පදක්කම්, තට්ට හිස වගේ දේවලින් නිහාල් සිල්වා සමාජය තුළට ගෙනගිය සමාජ දේශපාලන කතිකාව පසුකාලීනව ඔහු අනුකරණය කළ කිසිවෙක් තේරුම් අරන් තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි ඩබ්ලිව් ජයසිරි කියනවා වගේ මේ රටේ නාට්‍ය කලාව සම්බන්ධ ඇකඩමියානු කතිකාව තුළ නිහාල් සිල්වා අගතියට හා අවමානයට ලක් කළ නළුවකු වීම. මේ ඇකඩමියාව කිසිදු ලෙසකින් ඔහුව ඇගයීමට ලක් නොකරන්න වගබලාගත්තා. මේ නිසා ඔහුගේ අභාවයෙන් පසුව ගෙවී ගිය වසර 30 පුරම බඩගිනිකාරයන්ට හොඳ තොතැන්නක් බවට ඔහු නිරූපණය කළ චරිත පත් වුණා. මොකද: ඒ චරිත සඳහා හොඳ වෙළෙඳපොළ වටිනාකමක් ඒ වෙද්දී ලැබී තිබුණා. ඒ නිසා නිහාල් සිල්වා කියන චරිතය මේ අවස්ථාවාදී බඩගෝස්තරවාදීන්ගේ පටු අරමුණුවලින් වැසී ගියා. මං මේ බඩගිනිකාරයන්ට එක අභියෝගයක් කරන්න කැමතියි. පුළුවන් නම් නල්ලතමිබිව අනුකරණය කළා වගේ ‘පුන්තිලා’ අනුකරණය කර පෙන්වන්න.

නිහාල් සිල්වාගේ ප්‍රභාමත්ම රංග කාර්යය බවට පත් වන්නේ ‘පුන්තිලා’ නාට්‍යය; ඒ ගැන යමක් සඳහන් කළොත්?

නිහාල් සිල්වා කොච්චර දක්ෂ නළුවෙක්ද කියන කාරණාව විග්‍රහ කර බලන කොට; ජෝ අබේවික්‍රම අපට මුල්කාලයේ හමු වන්නේ හුදු හාස්‍යෝත්පාදක චිත්‍රපට නළුවෙක් විදියටයි. එහිදී බොහෝවිට ප්‍රධාන නළුවට සහාය වන විකටයකු‍ගේ රංගනයක් තමයි ඔහුට කරන්න තිබුණේ. මේ විකට නළුවාව ඩීබී නිහාල්සිංහ ‘ගෝරින් මුදලාලි’ විදියට ‘වැලිකතර’ චිත්‍රපටයට ගෙනාවම ඔහුට වත් අපට වත් හිතාගන්න බැරි තරම් පුදුමාකාර රංගප්‍රතිභාවක් එළියට එනවා. එය ඔහුගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට එය පත් වනවා. වේදිකාවේ මේ හපන්කම කර පෙන්නූ එකම සමර්ථයා නිහාල් සිල්වා. ඒ කාලේ සුදර්ශියේ බොරැල්ල වයිඑම්බී-එකේ. හැව්ලොක් ටවුමේ, ලුම්බිනියේ රංග කාර්ය ආරම්භ කරපු නළුවෙකුට ඊට එහා තියෙන කොළඹ හතේ ලයනල් වෙන්ඩ්ට් නාට්‍ය සංස්කෘතියට ලේසියෙන් ඇතුළු වෙන්න ඉඩක් ලැබුණේ නැහැ. එදා ඒක කෙනෙකුට ලෙහෙසියෙන් ජය ගත නොහැකි කලා සංස්කෘතික පවුරක් විදියටයි තිබුණේ. මේ පවුර බිඳින්න සුදර්ශියේ වයිඑම්බී එකේ කරක් ගහපු ලුම්බිනියේ නන්නත්තාර වුණු නළුවෙකුට අවස්ථාව ලැබෙනවා. ඒ ලෝ පතළ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් කියන සමාජ දේශපාලනික දෘෂ්ටියක් සහිත ආන්දොලනාත්මක නාට්‍යකරුවාගේ පිටපතක් වන ‘පුන්තිලා ඇන්ඩ් හිස් මැන් මත්තී (puntila and his man matti)’ කියන නාට්‍යයේ පරිවර්තනයක් වුණු ‘පුන්තිලා’ නට්‍යයේ පුන්තිලා ලෙස කළ විශිෂ්ට රංග කාර්යය නිසා. මේ පිටපත ලංකාවට අරන් එන්නේ ෆින්ලන්ත ජාතික නාට්‍ය අධ්‍යක්ෂවරියක වන හෙලේනා ලෙහ්තමකී. ඇය ජර්මානු සංස්කෘතික ආයතනයත් එක්ක එකතු වෙලා මේ නාට්‍යය ලංකාවේ නිෂ්පාදනය කරනවා. මේක පරිවර්තනය කරන්නේ එවකට නීති ශිෂ්‍යයකු වුණු වසන්ත බණ්ඩාර. නිහාල් සිල්වාගේ නාට්‍ය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේ මේ නාට්‍යයි. මේ වගේ චරිතයක් විකට නළුවකුට ලැබුණාම බොහෝ විට අසාර්ථක වන්න තියෙන ඉඩ වැඩියි. ඒත් ඔහු විශිෂ්ට ලෙස ඒ කඩයිම ජය ගන්නවා. මෙහිදී අවුරුද්දකුත් මාස තුනක් තිස්සේ ඔහුට ලැබෙන පරිචය ඔහුගේ රංග කාර්යය සාක්ෂාත් කරගන්න විශ්වවිද්‍යාලයක් බවට පත් වූ බව කිවයුතුයි.

ඒත් ඔහු ඒ වන විටත් ප්‍රේක්ෂකයන් අතරට නොගිය බොහො විශිෂ්ට ගණයේ නාට්‍යය වන ‘අංග විකල’, ‘රුධිර වාණිජ’, ‘හතරේවාට්ටුව’ පිටපත ලියා අධ්‍යක්ෂණය කර රඟපා තිබුණා. ඒ එකක් වත් කාගෙ වත් අවදානයට ලක් වුණේ නැහැ. ඒත් පුන්තිලා අධ්‍යක්ෂවරිය හා එහි අර්ථපතීත්වය නිසා ඔහුට පුන්තිලා චරිතය හරහා විශිෂ්ට ගණයේ නළුවෙකු බවට පත් වන්න වරම් ලැබෙනවා. ‘ආදරණීය නිහාල්’ කෘතියේ ඔහුගේ නාට්‍ය භාවිතාව පිළිබඳ බොහෝ සාරවත් අදහස් එක් තැන් වී තිබෙනවා. මං මේ කාර්යයට පැමිණෙන ලෙස නාට්‍ය හා රංග කලාව හදාරන විද්‍යාර්ථීන්ට වගේම නාට්‍ය කලාව ගැන උනන්දු වන හැමොටම විවෘත ආරාධනාවක් කරනවා.

නන්නත්තාර තරුණ ප්‍රවාහයේ සිටි

බුද්ධි ප්‍රවාහය: නිහාල්

නිහාල් සිල්වා 80 දශකයේ බිහි වූ දක්ෂතම වේදිකා නළුවායැයි මම සිතමි. ඔහු ‘වළ’ බැස්සේ සුදර්ශි පරිශ්‍රයේය. ඇකඩමි පසුබිමක් නොමැතිව ඔහු පෙන්වූ ප්‍රතිභාව ඔහුම පමණක් වේ. නිහාල් නන්නත්තාර වූ තරුණ පිරිසක් අතර හැදුණු එකම බුද්ධි ප්‍රභාවය ලෙස තේරුම් ගැනීම ඔහුට කරණ ගෞරවයකි. ඔහුගේ ‘සාජන්ට් නල්ලතම්බි’ ලාංකික නාට්‍ය ප්‍රජාව මුදුන සිට පාදාන්තය දක්වා වෙව්ලුම් කැවූ අතර, ඒ වේදිකා නිර්මාණයේ අහිංසක අර්ථය නොවැටහුණු බොහොමයකට ලංකාවේ හාස්‍යෝත්පාදක නාට්‍ය රැල්ලක් බිහිවුණේ ‘සාජන්ට් නල්ලතම්බි’ නිසායැයි අදහසකට බිලි වෙන්නට සිදු විය. ඇත්තටම ඔක්කොටම ‘සාජන්ට් නල්ලතම්බි’ වගේ දුවන නාට්‍ය හදන්නට ඕනෑ විය. ඒ කාටවත් ‘නල්ලතම්බිගේ’ වලිගයවත් අල්ලාගන්න බැරි විය. ‘පුන්තිලා’ නරඹන්නන් අතර සිටි හැම නළුවෙක්ම මනසින් නිහාල් රඟපෑ චරිතය රඟපෑවේය. මම එලෙස මනැසින් නිහාල් සමඟ අනන්‍ය වීමි. පසු කලෙක ‘පුන්තිලා’ නාට්‍යයේ නව නිෂ්පාදනයක ඒ චරිතය රඟපෑමට ආරාධනා ලැබ පුහුණුවීම් සඳහා සහභාගි වීමට ගියද ඒ නිෂ්පාදක මට නිහාල් රඟපෑ ලෙසම ඒ චරිතය රඟපෑමට කියූ හෙයින් එදිනම නාට්‍යය ප්‍රතික්ෂේප කර ආපසු ආවෙමි. නිහාල් කොපි කරන්න අසීරූ ය. කොපි කිරීම මගේ කලාව නොවේ. නිහාල් සිල්වා නම් වූ ඒ දැවැන්ත රංගවේදියා වගේ රඟපාන්න උත්සාහ කර නිහාල් සිල්වාට අපහාස කරන අය අද බොහෝ සිටිති. 

ඩබ්ලිව්. ජයසිරි 
සිංහල සංස්කෘතික ආයතනයේ සභාපති

වේදිකාවේ සිටි විශිෂ්ටයන්ටත් වඩා ඔහු ඉදිරියෙන්

එක්දහස් නවසිය අසූගණන්වල මැද එක්තරා දිනෙක කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ වේදිකාගත වූ දයා වයමන්ගේ ‘නෙයිනගෙ සූදුව’ නාට්‍යයේ දර්ශනයක් අවසානයේ, එදින ප්‍රේක්ෂකයන් සිනා සයුරේ ගිල්වූ ඒ අපූරු ශිල්පියා ගැන සිතමින් මා අසල බස්නැවතුමට පියනැගූ අයුරු මතකයේ තවමත් පවතී. එවකට රත්නපුර කහවත්තේ මැණික් ව්‍යාපාරයන්හි නියැළුණු මා හට ඉන් වසර තිස් ගණනකට පසු ඒ අපූරු රංගන ශිල්පියා ගැන මෙලෙස ලියන්නට වේයැයි කිසි දිනෙක නොසිතුවෙමි.

ඉන් වසර එකහමාරකට හෝ දෙකකට පමණ පසු එදවස ෆින්ලන්ත තානාපතිගේ බිරිය වූ හෙලේනා ලෙහ්ත්මකී නිෂ්පාදනය කළ පුන්තිලා නාට්‍යය නිර්මාණය මා නැරඹුයේ රත්නපුර නගර ශාලාවේදීය. එදින රාත්‍රියේ කහවත්ත බලා ආපසු යන ගමනේදී මා වාහනය පැදවූයේ ඉන් පෙර නොලද අත්දැකීම් රාශියක් විඳීමෙන් අනතුරුවය. දර්ශනයකට අදාළව මොටෝ රියක් ශාලාව මැදින් ගමන් කරවීමටත් වඩා, ප්‍රධාන චරිතයකට පණ පෙවූ යට කී ඒ අපූරු රංගන ශිල්පියා මා එතෙක් වේදිකාව මත දැක තිබූ විශිෂ්ටතම ශිල්පීන් සියල්ලටම වඩා ඉදිරියෙන් සිටිනු දැකීමෙන් මම විස්මයට පත් වී සිටියෙමි.

එක් අවස්ථාවකදී ඔහු රංගනය අතරමග නතර කළ අයුරු මට දැනුදු සිහි වේ. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නම් වූ මහා නාට්‍යකරුවාගේ මුල් කෘතිය ඉමහත් පරිශ්‍ර්‍රමයකින් අපේ වේදිකාවට රැගෙන ආ බව ඔහු එහිදී පවසා සිටියේය. රත්නපුර නගරය අවටින් නාට්‍යය නැරඹීමට පැමිණ සිටි තරුණ පිරිසකගෙන් රංගනයට වූ බාධාවට එරෙහිව ඔහු දැඩි ලෙස ප්‍රතිචාර දක්වන්නට විය. අනතුරුව කිසිවක් සිදු නොවූ විලසින් රංගනය අවසානය දක්වා දිවිණි.

ඔහුගේම නිර්මාණයක් වු ‘සාජන්ට් නල්ලතම්බි’ නැරඹීම සඳහා මා හට අවස්ථා කීපයක්ම උදා වුවත් පුන්තිලා වෙත මා තුළ වූ ගෞරවය නිසා එය නැරඹීමට මා සිත පෙලඹුනේම නැත. අකල් මරණයකට ගොදුරු වූ ඒ අපූරු රංගන ශිල්පියාගේ දේහය බැලීමට මෘතශරීරාගාරයට දිව ගියේ මගේ ප්‍රථම චිත්‍රපටය වූ ‘දෙමෝදර පාලම’ සංස්කරණ මැදිරිෙය් සිටි අධ්‍යක්‍ෂ දිනේෂ් ප්‍රියසාද් සහ එහි සහාය අධ්‍යක්‍ෂවරයා වූ අසෝක සෙනරත් මුදලිගේ සමඟිනි. සියල්ලට වඩා මගේ ශෝකය බලවත්යැයි මට සිතේ. ඒ ඔහු ජීවත්ව සිටියදී කිසි දිනෙක ඔහු හා වචනයක් හෝ කතා කිරීමට නොහැකි වීම පිළිබඳය. නිහාල් සිල්වා නම් වූ ඒ අපූරු රංගන ශිල්පියා අනුස්මරණ ග්‍රන්ථයක් සංස්කරණය කිරීම සම්බන්ධව නාට්‍යවේදී ධර්මජිත් පුනර්ජීවයන්ට අපගේ ස්තුතිය පිරිනමමු.

ලක්‍ෂ්මන් මෙන්ඩිස් 
සිංහල සංස්කෘතික ආයතනයේ ලේකම්

රසික කොටුදුරගේ

Comments