කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයට වසර 75 යි | සිළුමිණ

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයට වසර 75 යි

ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ සිංහල අංශයක් හා සිංහල මහාචාර්ය පදවියක් පිහිටුවා වසර 75ක් සපිරීමේ සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ උත්සවය හා පර්යේෂණ සැසිය 2019 දෙසැම්බර් 04 වන දා කොළඹ විශ්වවිද්‍යලයේ පැවැත්වෙයි. ඒ වෙනුවෙන් පළ වන ‘ සිංහල අධ්‍යයනාංශයේ වෘත්තාන්තය - ලංකා විශ්වවිද්‍යාලය හා කොළඹ විශ්වවිද්‍යාලය ‘ නමින් පළ වන විශේෂ ලිපි සංග්‍රහයෙන් උපුටා ගත් කොටස් කීපයක් මෙහි පළ වේ.

ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉතිහාසය කොළඹ විශ්වවිද්‍යාලය සමඟ බැඳී පවතී. සිංහල, පාලි, සංස්කෘත පිළිබඳ උසස් අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ ආරම්භ වූයේ 1921 දී කොළඹ විද්‍යාල මන්දිර ගොඩනැගිල්ලේ පිහිටි යුනිවර්සිටි කොලීජියේ දී ය.

ඉන්පසුව 1942 දී ලංකා විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් පසුව සිංහල, පාලි, සංස්කෘත යන විෂයයන් ඉගැන්වීම සිදු වූයේ ප්‍රාචීන අධ්‍යයන පිඨයේ ය. 1943 දී ප්‍රථම වරට ලංකා විශ්වවිද්‍යලයේ ස්වාධීන සිංහල අධ්‍යයන අංශයක් පිහිටුවීම සිදු වූ අතර 1944 දී ආචාර්ය එම්. ඩි. රත්නසූරිය මහතා ප්‍රථම සිංහල මහාචාර්යවරයා වශයෙන් වැඩ බාර ගත්තේය. 

1951 දී ඔහුගේ අභාවය සිදු වූ අතර මේ කාලයේ දී කොළඹ පිහිටි ලංකා විශ්ව විද්‍යාලය පේරාදෙණියේ ඉදි වුණු නව ගොඩනැගිලි වෙත ගෙන යෑම ද සිදු විය.

1963 දී නැවත වරක් පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයට අනුබද්ධව කොළඹ දෙවන ශාස්ත්‍ර පීඨයක් ආරම්භ කිරීමත් ඉන්පසුව 1967 දී කොළඹ විශ්වවිද්‍යාලය වෙන ම පරිපාලනයකට යටත් වීමත් සමඟ සිංහල අධ්‍යයන අංශය පේරාදෙණිය හා කොළඹ වශයෙන් දෙකක් බවට පත් විය.

මේ අවදිය වන විට විද්‍යෝදය හා විද්‍යාලංකාර යන පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් වී එ් ආයතනවල ද සිංහල අධ්‍යයනාංශ ස්ථාපිත වී තිබිණ.

1978 දී රුහුණු විශ්වවිද්‍යාලය පිහිටුවීමෙන් පසුව එහි ද සිංහල අංශයක් ආරම්භ කිරීම සිදු විය. වර්තමානයේ කොළඹ, පේරාදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර (විද්‍යෝදය), කැලණිය (විද්‍යාලංකාර ) හා රුහුණ වශයෙන් සිංහල අධ්‍යයන අංශ පහක් මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ ක්‍රියාත්මක වේ. ඒ අනුව අප 2019 වසරේ දී සමරන්නේ 1944 දී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ සිංහල අංශයක් හා සිංහල මහාචාර්ය පදවියක් පිහිටුවා වසර 75ක් සපිරීමේ සංවත්සරය යි.

එ් ගෙවුණු 75 වසරක කාලය තුළ ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ සිංහල අංශ වෙතින් විද්‍යාර්ථින් දස දහස් ගණනක් ශිල්ප ලබා ඇති අතර සිංහල අධ්‍යයනයේ නිම් වළලු ද පුළුල් වී ඇත.

සිංහල භාෂාව, සාහිත්‍යය, සංස්කෘතිය හා කලා ශිල්ප යන විෂයයන්හි ප්‍රාමාණික ඥානයක් අත්පත් ගනිමින් ස්වකීය විෂය ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා කටයුතු කළ දෙස් විදෙස් පශ්චාත් උපාධි සුදුසුකම් ලැබූ උගතුන් රැසකගේ මෙහෙවර ද ගෙවුණු අවදියේ දී දැක ගත හැකි විය.

ඒ අනුව ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ සිංහල අධ්‍යයනාංශවල ඉතිහාසය හා ගමන්මග නැවත විමසා බැලීමට ද කාලය එළඹ ඇත.


අභිමානනීය විද්වත් ඇදුරු මඬුල්ලක්

 සිංහල අධ්‍යයන අංශය සමඟ අපගේ සබඳතා තහවුරු වීම ඇරඹෙන්නේ විශේෂ උපාධි පාඨමාලාව සඳහා තෝරා ගැනීමෙන් පසුවයි. 1985-1992 දීර්ඝ ශිෂ්‍ය කාලය තුළ විශ්වවිද්‍යාලය පිළිබඳ අපට ඇත්තේ ඉතා කටුක අමිහිරි අත්දැකීම් වුවද සිංහල අංශය සමඟ පැවති සමීපත්වය අපට සරසවි දිවිය රසවත් කරලීමට හේතු වීය. එකල ශාස්ත්‍ර පීඨයේ අභිමානනීය ඇදුරු මඩුල්ල සිංහල අංශය තුළ විය. හේමපාල විජයවර්ධන, ජේ.බී. දිසානායක, කුසුමා කරුණාරත්න, රෝහිණී පරණවිතාන, ඒ.බී. දිසානායක, තිස්ස ජයවර්ධන, පියසීලි විජේගුනසිංහ, අනුර වික්‍රමසිංහ, මාලනී කුලතුංග, සරත් විජේසූරිය, ආනන්ද තිස්ස කුමාර වැනි චරිත ඒ අතර වූහ.

අංශ ප්‍රධාන ධුරය මහාචාර්ය හේමපාල විජයවර්ධන විසින් දරන ලදී. එහෙත් ඔහු අප දැක තිබුණේ නැත. කෙටි කලකින්ම ඔහු නිවාඩු ලබා විදේශගතව සිටි අතර ඔහු පිළිබඳව අප තුළ මැවී පැවතියේ මහා ශාස්ත්‍රීය පෞරුෂයකි. පසුකාලීනව ඔහු ඇසුරු කරන්නට ලද කල්හි අපට දැනුනේ ඔහුගේ ශාස්ත්‍රීය පෞරුෂය ඉක්මවා ගිය කුඩා දරුවෙකු සේ අහිංසක සහ නිහතමානී ගති පැවතුම්වලින් යුත් සරල මිනිසෙකි. දේශන ශාලාවෙහි ඔහුගෙන් ඉගෙන ගන්නට වරම් නොලද්දේ වුව ද මාගේ පශ්චාද් උපාධි නිබන්ධයෙහි උපදේශකවරයා වෙමින් අවසන් අන්තේවාසිකයකු වන්නට මට භාග්‍ය ලැබීම පිළිබඳ ව මහත් සේ සතුටු වෙමි.

අපගේ සිසු දිවියෙහි වැඩි කාලයක් අංශ ප්‍රධානවරිය ලෙසින් අපට හමුවන්නේ මහාචාර්ය කුසුමා කරුණාරත්න මැතිනියයි. පළමු වසරේ නවකලාගාර ශාලාවෙහි සාහිත්‍ය ප්‍රවේශය ඉගැන්වූ එතුමියගේ චරිතයටත්, එතුමියගේ සාහිත්‍ය විචාර විග්‍රහයන්ටත් අපි මහත් සේ ඇලුම් කළෙමු. දවසට කිහිප වරක් අධ්‍යයනාංශයට කුඩා මෝටර් රථයක් පදවාගෙන පැමිණෙන එතුමියගේ දර්ශනය අපට මහත් වූ ආහ්ලාදයක් ඇති කළේය. මානුෂීය ගුණයෙන් ද පියකරු සිනහවෙන් ද ළගන්නා හෙළ කතකගේ අනන්‍යතාවෙන් ද නොඅඩු එතුමිය සිංහල අධ්‍යයන අංශයට මහා පෞරුෂයක් එක් කළ චරිතය ලෙසින් සිසු අපගේ අවධානය දිනන්නට සමත් විය.

ප්‍රථම වසරෙහි ‘භාෂා ප්‍රවේශය’ ඉගැන්වීම රෝහිණී පරණවිතාන මහත්මිය සිදු කළාය. එහි විශේෂත්වය නම් කොළඹ විශ්වවිද්‍යාලයෙහි ඉපැරණි දේශනාගාරය වූ ජෝර්ජ් රාජ ශාලාවෙහි මේ දේශන පැවැත්වීමයි. මීට තිස් හතර වසරකට පෙර එ් ශාලාවෙහි කිසියම් තැනක වාඩි වී සිටි අපට රෝහිණී පරණවිතාන මහත්මිය එ් යෝද වේදිකාවට පිවිසෙනු මැවී පෙනේ. මහාචාර්ය ජේ.බී. දිසානායක නිවාඩු ලබා විදේශගත වීමෙන් එතුමාගෙන් ප්‍රථම වසරෙහි අධ්‍යාපනය ලබන්නට අපට අවකාශ නොලැබුණි.

කුහුලින් ගෙවී ගිය ප්‍රථම වසර අවසාන විභාගයෙන් ලද ප්‍රතිඵල මත විශේෂ උපාධිය සඳහා තෝරා ගත් බව දැන්වීම් පුවරුවේ පත්‍රිකාවකින් දුටු විට එය මා පිරිවෙන් අධ්‍යාපනයෙහි සිට පැවති ප්‍රාර්ථනාවක් මුදුන් පැමිණීමක් සේ හැඟුණි. මෙකල පවතින තරගයක් නොපැවති එකල ඉහළ ලකුණු ලබා තිබූ සිසුන් මෙසේ තෝරා ගැනීම සිදු විය. ඒ අනුව ඉතා කුඩා කණ්ඩායමක් සමගින් 1986 වසරේ දී විශේෂ උපාධි පාඨමාලාව ඇරඹෙන අතර එහි දේශන පැවතියේ අද ශාස්ත්‍ර පීඨ ගොඩනැගිල්ල ඉදි වූ භූමියෙහි පැවති ජරාජීර්ණ කුඩා කාමරයක ය. එය ඉතා අප්‍රසන්න සහ අපිරිසුදු ස්ථානයක් වූ අතර වර්තමාන යෝධ ජලස්තම්භය ආසන්නයේ එ් දේශන ශාලා පිහිටා තිබුණි. රීඩ් මාවතෙහි අද ද දකින දැවැන්ත නුග ගස හැර ඒ පැවති පරිසරය වෙනස් වී අද දෙව්ලොවක අසිරි මැවී තිබෙයි.

දෙවන වසරෙහි අධ්‍යයන සෙමෙන් ගලා ගියද තෙවන හා සිව්වන වසර අප මුහුණ දුන්නේ ඉතාම අභාග්‍යසම්පන්න කාලයක් ලෙසිනි. 1987 ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් ඇති වූ ගැටුම් දෙවසරක් පුරා ගලා යෑමෙන් ඒවායේ කේන්ද්‍රස්ථාන බවට සරසවි පත් වීමත් නිසා සරසවිය බොහෝ කාලයක් වසා දැමිණි. එතරම් බිහිසුණු පසුබිමක් අපගේ දෙනෙත් පුරා දකින්නට වීම මහා අභාග්‍යයක් වීය. එය කෙතරම් ප්‍රබල ද යත් අප උපකුලපතිව විසූ ස්ටැන්ලි විජේසුන්දර ද විද්‍යාල මන්දිර කාර්යාලයේදීම ඝාතනය කර දැමිණි. එතුමා ඝාතනය කරන ලැබූව ද කොළඹ සරසවියේ නිර්මාතෘවරයා වන්නට තරම් කළ මෙහෙවර ඉමහත්ය. එතුමාගේ සංකල්පයක් ලෙස අපට නව ශාස්ත්‍ර පීඨ ගොඩනැගිල්ල ලැබීමෙන් නව සිංහල අංශය එහි ස්ථාපිත වීය.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි


ලේඛකයන්ට හා ජනමාධ්‍ය‍ෙව්දීන්ට විවර වූ විශ්වවිද්‍යාලයක්

මගේ ජීවිත කාලයෙන් අඩක් පමණ ගෙවුණේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි ය. මා එහි සේවයට එන විට එහි අංශ ප්‍රධාන පදවිය හෙබවූයේ මහාචාර්ය එම්.බී. ආරියපාල මහතා ය. ඒ වන විට මා සේවය කරමින් සිටියේ පේරාදෙණියෙහි සිංහලාංශයෙහි ය. පේරාදෙණිය වැනි මනස්කාන්ත පරිසරයක පිහිටි විශ්වවිද්‍යාල භූමියක් අත් හැර කොළඹ වැනි ජනාකීර්ණ නගරයකට ඒම එක් අතකින් බලන විට කනගාටුවට කරුණක් වුවත් තවත් අතකින් බලන විට මගේ ජීවිත ගමනට මහත් පිටුබලයක් විය.

අවුරුදු හතළිස් එකකට පසු මා විශ්වවිද්‍යාල ජීවිතයෙන් නිල වශයෙන් සමු ගත්තත් මගේ විශ්වවිද්‍යාල ජීවිතය එතැනින් කෙළවර වූයේ නැත. මම අදත් විශ්වවිද්‍යාලයට යමින් එහි සිංහලාංශය මගින් පවත්වනු බලන පශ්චාද් උපාධි පාඨ මාලාවලට ද සිංහල ඩිප්ලෝමා පාඨ මාලාවලට ද ජනමාධ්‍ය ඩිප්ලෝමා පාඨ මාලාවලට ද දායක වෙමි.

1966 දී ආපසු ලංකාවට පැමිණි මම යළිත් පේරාදෙණි විශ්වවිද්‍යාලයෙහි සිංහල අංශයෙහි ඉගැන්වීම් ආරම්භ කෙළෙමි. ඒ වන විට සුගතපාල ද සිල්වා මහතා විදේශගතව සිටි හෙයින් වාග්විද්‍යාව ඉගැන්වීමේ වගකීම පැවරුණේ මට ය. මේ වන විට එංගලන්තයේ යෝක් විශ්වවිද්‍යාලයේ වාග්විද්‍යාව අංශය සැලසුම් කිරීමේ වගකීම පැවරී තිබුණේ එතුමාට ය.

මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතියෙහි තවත් වෙනසක් සිදු වී තිබිණ. එනම් සිංහලාංශයක් ද ඇතුළත් නව ශාස්ත්‍ර පීඨයක් කොළඹ ද පිහිටුවා තිබීම යි. එහෙයින් පේරාදෙණියෙහි පමණක් නොව කොළඹ ද වාග්විද්‍යා දේශන පැවැත්වීමේ කාර්ය භාරය මට පැවරිණ. මම සතියකට වරක් දුම්රියෙන් කොළඹට පැමිණ ජෝර්ජ් රාජ ශාලාවෙහි දී හෝ නව කලාගාරයෙහි දී හෝ මගේ දේශන පැවැත්වීමි.

අවුරුදු කීපයකට පසුව කොළඹ ශාස්ත්‍ර පීඨය පේරාදෙණියෙන් වෙන් වුණු ස්වතන්ත්‍ර පීඨයක් බවට පත් විණ. එහි සිංහලාංශයේ අධිපති පදවිය දැරුවේ මහාචාර්ය එම්.බී. ආරියපාල මහතා ය. පේරාදෙණියෙහි සිංහලාංශයෙහි හුන් මට කොළඹ සිංහලාංශයට බැඳෙන සේ එතුමා දිගින් දිගට ම කළ ආරාධනාව කිසිසේත් බැහැර කළ නොහැකි වූ තැන මම කොළඹ සිංහලාංශයට එක් වීමි. ඒ 1967 දී ය. එදා පටන් 2002 දී විශ්‍රාම යන තුරු පන් තිස් වසරක් මම කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිංහලාංශයෙහි සේවය කෙළෙමි.

එවක සිංහලාංශයෙහි සේවය කළ ආචාර්යවරුන් අතර තිස්ස කාරියවසම්, විමල් දිසානායක, කුසුමා කරුණාරත්න, සුචරිත ගම්ලත්, වික්ටර් හපුආරච්චි, තිස්ස ජයවර්ධන හා අනුරාධ සෙනෙවිරත්න ද වූහ. පසු කලක දී හේමපාල විජයවර්ධන හා පුඤ්චිබණ්ඩාර සන්නස්ගල ද සිංහලාංශයට එක් වූහ. මේ අතරතුර දී අනුරාධ සෙනෙවිරත්න පේරාදෙණි සිංහලාංශයට ගියෙන් එහි සිටි මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා කොළඹ සිංහලාංශයට එක් විය.

කොළඹ සිංහල අංශය පිහිටි ස්ථානය ද කලින් කලට වෙනස් විය. එය මුලින් ම පිහිටා තිබුණේ දැනට විද්‍යා අංශයෙහි පරිගණක ආයතනය පිහිටා තිබෙන ස්ථානයෙහි කුඩා කාමරයක ය. ඊට යාබදව පිහිටියේ නීති පීඨයයි. ඒ ගොඩනැගිල්ල ද දැන් නැත.

පසුව විශ්වවිද්‍යාලයේ පැරණිතම ගොඩනැගිල්ලක් වූ 'කලම්බු ඇකඩමිය' පිහිටි දෙමහල් ගොඩනැගිල්ලෙහි පහත මාලයට සිංහලාංශය ගෙන යන ලදි.

පැරණි තුරඟ තරග පිටියේ කොටසක් කොළඹ විශ්වවිද්‍යාලයට පවරා ගැනීමෙන් පසුව නව ගොඩනැගිලි සංකීර්ණයක් එහි බිහි විණ. එහි එක් තෙමහල් ගොඩනැගිල්ලකට සිංහලාංශය ගෙන යන ලදි. එය මුලින් ම පිහිටුවන ලද්දේ එහි පළමුවෙනි මාලයෙහි දකුණු කෙළවරෙහි ය. පසුව එය එහි වම් කෙළවරට ගෙන යන ලදුව අද දක්වාත් එහි විරාජමානව පවතී. එහි විශාලතම කාමරය 'එම්.බී. ආරියපාල ශ්‍රවණාගාරය' යනුවෙන් නම් කෙරිණ. ඊට යාබද කාමරය සිංහලාංශයේ පුස්තකාලය විය.

වෙනත් විශ්වවිද්‍යාලවල සිංහලාංශ කෙසේ වෙතත් කොළඹ විශ්වවිද්‍යාල සිංහල ආචාර්යවරුන් උදෙසා තනි කාමර වෙන් විණ. ඒ කාමර වැඩි හරියක් පිහිටියේ දෙවෙනි මහලෙහි ය. එ්වායෙහි පොත් රාක්ක අලුත් පොත්වලින් පිරී තිබිණ. විශ්ව විද්‍යාලයට යන එන ලේඛකයන්ට හා ජන මාධ්‍යවේදීන්ට මේ කාමර නිතර ම විවෘත ව පැවතිණ.

සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක


මහාචාර්ය ආරියපාලයන් සිංහල අංශයට මහඟු සේවයක් කළා

සුපුරුදු පරිදි, සුදු වතින් සැරසුණු මහාචාර්ය ඇම්. බී. ආරියපාල, අපගේ ඇදුරුතුමා විද්‍යාල මන්දිරයේ ප්‍රධාන සභා ශාලාවේ අසුන් ගෙන සිටි දර්ශනය මගේ නෙත ගැටිණි. එතුමා සමඟ එහි අසුන් ගෙන සිටි අනෙක් විද්වත් පිරිස ද කල්පනාවේ නිමග්න වී සිටිමින් ම, විටින් විට එකිනෙකා සමඟ කතාබහ කරන ආකාරය ද මට දිස් විය.

ඒ, වසර 1970 ඔක්තෝබර් මාසයේ දිනයක පස්වරුවේය. විද්‍යාල මන්දිරය හෝ එය පිහිටි භුමිය මා හට එතරම් හුරු පුරුදු පරිශ්‍රයක් නොවීය. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරක් සඳහා වූ පුරප්පාඩුවක් වෙනුවෙන් මවිසින් යොමු කරන්නට යෙදුණ ඉල්ලුම් පත්‍රයට ප්‍රතිචාර වශයෙන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා මා කැඳවා තිබුණේ එදින පස්වරු තුනට ය.

මගේ සැමියා, මහාචාර්ය සමරජීව කරුණාරත්න ද සමඟ එහි ගොස් ප්‍රධාන සභා ශාලාවට මා ඇතුළු වූයේ නියමිත පරිදි මා එහි කැඳවූ විට ය. ඒ වන විට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ දී අපට දැනුම බෙදා දෙමින්, අපගේ භක්ත්‍යාදරය දිනාගෙන සිටි කාරුණික මහාචාර්යවරයෙකු වූ ආරියපාල මහතා එදින තේරීම් මණ්ඩලයේ ප්‍රධානත්වයක් ගෙන තිබූ බව මට අවබෝධ විය.

සම්මුඛ පරීක්ෂණයට සාර්ථක ලෙස මුහුණ දුන් මම පරීක්ෂණ මණ්ඩලයට ස්තුති කොට එතැනින් නික්මුණෙමි. එලෙස මුල් වරට පා තැබූ විද්‍යාල මන්දිරයේ ප්‍රධාන සභා ශාලාව තුළ මතු කවරදා හෝ මාගේ ප්‍රධානත්වයෙන් ද රැස්වීම් පැවැත්වෙනු ඇතැයි මම සිහිනයකිනුදු නොසිතුවෙමි.

ඒ සම්මුඛ පරීක්ෂණයෙහි ප්‍රතිඵල වශයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයට මා ඇතුළත් වුයේ වසර 1970 නොවැම්බර් මස 30 වන දා ය. ඒ වන විට මගේ විශ්වවිද්‍යාල ජීවිතයට වසර දහයක් ගෙවී තිබුණි. අධ්‍යයන හා පර්යේෂණ කටයුතු නිමකොට යළිත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සේවයට වාර්තා කරන විට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශය මහාචාර්ය ආරියපාල යටතේ සාර්ථක ඉදිරි ගමනක් යමින් තිබිණි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මාගේ මාතෘ විශ්වවිද්‍යාලය ලෙස සිත තුළ සනිටුහන් කොට ගෙනම, කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක ලෙස (1970) සේවය ඇරඹූ මම එතැන් පටන් ද යළිත් වරක් මහාචාර්ය ආරියපාල ගුරු දේවයාණන්ගේ සෙවණේ මට පැවරී තිබූ ඉගැන්වීම් හා වෙනත් රාජකාරී කටයුතු ද උපරිම ශක්තියෙන් ඉටුකිරීමට අදිටන් කරමින් සේවය කරගෙන ගියෙමි. ඒ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ආචාර්ය මණ්ඩලය, මහාචාර්ය ආරියපාල ප්‍රමුඛ ආචාර්ය භවතුන් සමූහයකින් සමන්විත විය.

ආචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල, ආචාර්ය පී. බී. ජී. හේවාවසම්, ශාස්ත්‍රපති ඩී. වී. හපුආරච්චි, ආචාර්ය සුචරිත ගම්ලත්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජේ. බී. දිසානායක වැනි ජ්‍යෙෂ්ඨ ආචාර්යවරුන් මෙන්ම පියසීලි විජේගුනසිංහ, ඒ. බී. දිසානායක, අනුර වික්‍රමසිංහ, රෝහිණී පරණවිතාන, මාලනි කුලතුංග වැනි වෙනත් ස්ථිර කථිකාචාර්ය මණ්ඩලයක් ද 1970 වර්ෂය වන විට එහි සේවයේ නිරතව සිටියහ.

මහාචාර්ය ආරියපාල අංශ ප්‍රධානතුමා සිංහල අධ්‍යයනාංශයේ පාඨමාලා ඉගැන්වීම් ඇතුළු සියලු ශාස්ත්‍රීය කටයුතු මැනවින් සංවිධාන කරමින්, තම ආචාර්ය මණ්ඩලය වෙත දයාවෙන් යුතුව, මනා නායකත්වයක් දෙමින් සිංහල අංශයට මහඟු සේවයක් ඉටු කළේය. අනතුරුව, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයෙහි පීඨාධිපති තනතුර හොබවමින් එහි කටයුතු ශීඝ්‍රයෙන් වැඩි දියුණු කිරීමට ද උත්සුක විය.

සම්මානිත මහාචාර්ය කුසුමා කරුණාරත්න


එදා සිංහල අධ්‍යයනාංශය තිබුණේ තාවකාලික ගොඩනැගිල්ලක

1963 දී කොළඹ විශ්වවිද්‍යාල භූමිය තුළ පේරාදෙණියේ ශාස්ත්‍ර පීඨය යටතේ වූ නව ශාස්ත්‍ර පීඨයක් ආරම්භ කරන ලදී. එහි ප්‍රධානත්වයගෙන කටයුතු කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කළ මහාචාර්ය ඇම්.බී. ආරියපාල මහතා ය.

කොළඹ විශ්වවිද්‍යාල භූමිය තුළ පැවති පන්ති කාමර ම නව ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු සඳහා ඉතා සකසුරුවමින් භාවිත කරන ලදී. සිංහලාංශයේ කාර්යාලය සඳහා ද එවැනි කාමරයක් යොදා ගනු ලැබූ අතර ටික කලකට පසුව එය තර්ස්ටන් පාරේ පිහිටි විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ පහත මාලයේ වම් පස කාමරයේ ස්ථානගත කෙරිණ.

පළමු වර්ෂය තුළ දී දේශන පැවැත්වීම සඳහා තර්ස්ටන් විද්‍යාලයේ හා රාජකීය විද්‍යාලයේ ශාලා ද, විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පන්ති කාමර ද, ජෝර්ජ් රාජ ශාලාව ද භාවිත කරන ලදී. ඊළඟ වසර වන විට නව කලාගාරය ඉදිකරනු ලැබිණ. වසර පනහකටත් අධික කාලයක් තිස්සේ එය දේශන පැවැත්වීම සඳහා භාවිත වූ අතර, වෙනත් රැස්වීම් හා කලා කටයුතු සඳහා ද යොදාගනු ලැබිණ. දේශනවලට අමතරව සතිපතා නිබන්ධන පන්ති පැවැත්වීමේ ක්‍රමයක් ද ක්‍රියාත්මකව පැවතිණ. මේ කාලයේ සිංහල විෂය ඉගෙනීම සඳහා ඉල්ලුම් කළ ශිෂ්‍ය සංඛ්‍යාව දහසක් පමණ වූහ. පේරාදෙණියේ ආචාර්යවරු සතිපතා කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණ, පේරාදෙණියේ පැවැත්වූ දේශන ම කොළඹ පීඨයේ ශිෂ්‍යයන්ට ලබා දුන්හ. පේරාදෙණියේ ද සිංහල විෂයට පැවතියේ ඉහළ ඉල්ලුමකි.

එහි දී සිංහල විෂය සඳහා වූ ශිෂ්‍ය සංඛ්‍යාව අධික වූ බැවින් කණ්ඩායම් දෙකකට එකම වේලාවේ කලාගාරයේ හා බී දේශන ශාලාවේ දේශන පැවැත්වීමට සිදු විය.

1965 වර්ෂයේ රජයේ මැදිහත්වීම මත කොළඹ කලා පීඨයට සිසුන් තුන් දහසක් පමණ සංඛ්‍යාවක් බඳවාගනු ලැබීමෙන් ඉඩකඩ අර්බුදය තවත් උග්‍ර විය. දේශන සඳහා සිසුන් රැස් කරන ලද්දේ පැරණි තුරඟ තරග පිටියේ නැරඹුම් මණ්ඩපයට ය. කථිකාචාර්යවරුන් දේශන පැවැත්වූයේ එ් නැරඹුම් මණ්ඩපයෙන් පිටත බිම් මට්ටමේ සකසන ලද කුඩා කුටියකට වී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමිනි. මෙහි දී සිසුහු ආචාර්යවරයාගේ ද, ආචාර්යවරයා සිසුන්ගේ ද සමීප දර්ශනයක් නොලැබූහ.

1964 දී තුරඟ තරග පිටියේ පැවැත්වුණ කර්මාන්ත ප්‍රදර්ශනය සඳහා තනන ලද තාවකාලික ගොඩනැගිලි ඔවුන්ගේ නිබන්ධන පන්ති පැවැත්වීම සඳහා පන්ති කාමර ලෙස භාවිත කරන ලදී.

1995 වර්ෂය වන තුරු ම කලක් පුස්තකාලය ලෙසත්, පසුව විභාග ශාලාව ලෙසත් භාවිත කරන ලද්දේ එ් ප්‍රදර්ශනය සඳහා ඉදි කරන ලද ‘ලංකා මන්දිරය’ නමින් හැඳින්වුණු ගොඩනැගිල්ලයි. සිංහලාංශයේ පමණක් නොව අනෙක් අංශවල කටයුතු ද සිදු කරන ලද්දේ බොහෝ විට මෙසේ ගොඩනගන ලද තාවකාලික ගොඩනැගිලිවල ය.

එසේ වුව ද මුල් වර්ෂ කීපයේ දී පළමු වර්ෂාවසාන කලා යෝග්‍යතා පරීක්ෂණයේ දී උසස් සාමාර්ථ්‍ය ලැබූවන්ට ඒ ඒ විෂය යටතේ විශේෂ උපාධි පාඨමාලා හැදෑරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ විය හැකි විය.

සම්මානිත මහාචාර්ය රෝහිණී පරණවිතාන

Comments