ජාතික හැඟීමක් නැති කිසිවකුගෙන්වත් ජාතියකට විජයග්‍රහණයක් හිමි නොවේ | සිළුමිණ

ජාතික හැඟීමක් නැති කිසිවකුගෙන්වත් ජාතියකට විජයග්‍රහණයක් හිමි නොවේ

 

නාගතයක් නොපෙනෙන තරමට ලාංකේය ක්‍රීඩාව කඩා වැටී ඇති බවත්, කනගාටුවට කරුණ වන්නේ ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය අසීමිත වියදමක් දරා තිබියදී එම තත්ත්වය උදා වී තිබීම බවත් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සිය ධූරයෙන් සමුගනිමින් පැවැසීය.

ක්‍ර‍ීඩාවට ක්‍රීඩා අමාත්‍යාංශය අසීමිත වියදමක් දැරුවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බලාපොරොත්තු වන තරම් අපේක්ෂා ඉටුවීම අවම මට්ටමක පැවැතීම තුළ ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික ජයග්‍රහණයන් මේ වනවිට පදක්කම් එකකට දෙකකට සීමාවී ඇතැයි ද හිටපු අමාත්‍යවරයා පවසයි.

තමා අමාත්‍ය ධූරයෙන් සමු ගැනීමට දින කිහිපයකට පෙර හෝ ක්‍රීඩාව දූෂණයෙන් වළක්වා ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට හැකිවීම පිළිබඳ වඩාත් සතුටු වන බව ද පවසයි. එමඟින් ඉදිරියේදී මේ රටේ ක්‍රීඩාවේ දූෂණයේ යෙදෙන දූෂිතයන් වන වැරැදිකරුවන්ට දැඩි දඬුවම් පැමිණවීමේ අවස්ථාව සැලසී ඇතැයි ද පවසයි.‍

“නේපාලයේ පැවැත්වෙන දහතුන්වන සාග් ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව සූදානම් වන අතර, 2021 දී මෙරට දී සාග් ක්‍රීඩා තරගාවලිය පවත්වන්න අපි සූදානමින් සිටිනවා‍. ඒ කටයුතු මා අමාත්‍යාංශයෙන් ඉවත්ව ගියත් ඉදිරියේදී සිදුවේවි. රාජ්‍ය සේවයේ නිලධාරීන් හැම වෙලාවේම කොන්ද කෙළින් තබාගෙන වැඩ කළ යුතුයි. මම කවදාවත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ට කිසිදු කරුණක් සම්බන්ධයෙන්වත් බලපෑම් කරලා නෑ. ඉදිරියටත් එහෙමයි.“ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සිය ධ‍ූරයෙන් නික්ම යමින් වැඩිදුරටත් පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ ක්‍රීඩා, අධ්‍යාපන සහ තරුණ කටයුතු අමාත්‍ය ධූරය හිමි වූයේ මාධ්‍ය සගයකු ද වන ඩලස් අලහප්පෙරුමට ය. ක්‍රීඩා අමාත්‍ය ධූරය යනු වැඩකට නැති අමාත්‍ය ධූරයක් බව ගෙවී ගිය යහපාලන රජය මැනවින් පසක් කළේ ය. යහපාලන රජයේ පළමු දින සියයට නවින්ය. අනතුරුව වැඩි කාලයක් දයාසිරි ය. ඊට පසු ෆයිසර් ය. ඊටත් පසුව හරින් ය. පසුගිය වසර පහ ගෙවී යන්නටත් මත්තෙන් ක්‍රීඩා අමාත්‍යවරු සිවු දෙනකි. එකී සිවු දෙනාගේ ම ප්‍රගතිය පිළිබඳ සාරාංශ ගතවන විට ඉතිරි වන්නේ අනාගතයක් නොපෙනෙන තරමට ලාංකේය ක්‍රීඩාව කඩා වැටී ඇති බව නම් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාට අයන්නෙන් ම පටන් ගත යුතුව තිබෙන බව පැහැදිලියි.

වර්තමාන ලෝකයේ බොහෝ රටවල් ඔවුන්ගේ රටේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා බොහෝ දෑ සිදු කරමින් පවතියි. හොඳ ක්‍රීඩා තරගාවලි සංවිධානය කරමින්, ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ට ප්‍රතිපාදන ලබාදෙමින්, ක්‍රීඩාංගණ ඇතුළු අනිකුත් පහසුකම් ලබාදෙමින්, ඒවා වැඩි දියුණු කරමින්, වඩාත් හොඳ පුහුණුකරුවන්ගේ සේවය ලබා ගනිමින්, රටේ ජනතාව එකී තරගාවලි නැරඹීම සඳහා උනන්දු කිරීමට විවිධ ආකර්ෂණීය වැඩසටහන් ඉදිරිපත් කරමින්, එකී තරගාවලි විකාශනය කරමින්, හොඳ අනුග්‍රාහකයන් සොයා ගනිමින් අතිවිශාල කාර්යය භාරයක් ලෝකය වටා ම සිදුවෙමින් පවතියි. නමුත් අප රටේ වැඩසටහන් ගැන මීට වඩා ගැඹුරින් කල්පනා කළ යුත්තේ මෙවන් පසුබිමක ය. ලෝකය ඉදිරියට ගමන් කරන විට අප ගමන් කරන්නේ පසු පස්සට නම්, ගල් යුගයකට නම් මෙයට දැන්වත් තිත තැබිය යුතු ය. එමඟින් අප රටෙහි ක්‍රීඩාවේ වර්ධනය වීමක් සිදු නොවන අතර, දිනෙන් දින ම ක්‍රීඩාව කඩා වැටෙන බව පමණක් පැහැදිලි ය. පදක්කම් රහිත ක්‍රීඩා තරගාවලි හරහා තහවුරු වන්නේ අප රටෙහි වැඩපිළිවෙළක් නැතිකමේ ආදීනවයන් ය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රට නගන පෙර දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 26 වැනි පරිච්ඡේදය වන්නේ ජවසම්පන්න තාරුණ්‍යයට ක්‍රීඩාවේ සවි බලය යන්නයි. ක්‍රීඩාව යනු තරුණ පරපුරේ භාෂාව වන අතර ක්‍රීඩාව තාරුණ්‍යය අවදි කරන්නට හේතුවේ.‍ ජව සම්පන්න නිරෝගිමත් සහ විනය ගරුක සමාජයක් බිහි කිරීම සඳහා ක්‍රීඩාශීලී ජීවන රටාවකින් යුත් පරපු‍රක් නිර්මාණය කිරීම අපේ අපේක්ෂාව ය. ගම රට නඟන පෙර දැක්මේ ක්‍රීඩාව පිළිබඳ දැක්මයි. ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාට කාලය කෙටි වුව ද දිගු වුව ද අත ගැසීමට සිදුව ඇත්තේ ජව සම්පන්න තාරුණ්‍යයයට ක්‍රීඩාවේ සවි බලය ‍මේ තියෙන තැනින් හැකිතාක් ඉහළට ඔසවා තැබීමට අතවැසි වැඩපිළිවෙළකට හාපුරා කියා අත ගැසීමට ය.

අලහප්පෙරුම අමාත්‍යවරයාට අයන්නෙන් ම මෙය පටන් ගැනිමට සිදුව තිබෙන බව සක්සුදක් සේ පැහැදිලි ය. මන්ද යත් ඒ තරමටම ලාංකේය ක්‍රීඩාව වළ පල්ලටම ගොස් ඇති බැවිනි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය යටතේ ලාංකේය ක්‍රීඩාව හෙට දවසේ කවර දිශාවක් කරා ගමන් කරයිද යන්න කීමට කල් වැඩිය‍‍.

රටක ක්‍රීඩාව මෙන් ම අධ්‍යාපනය ද එක සමානව ගොඩ නැඟිය යුතු අංශ දෙකකි.‍ මේ දෙකටම තැබිය යුත්තේ එක හා සමාන බරයි. ක්‍රීඩාව මෙන් ම අධ්‍යාපනය ද වැඩි දියුණු කිරීමට දියුණු වැඩපිළිවෙළක් ඇවැසිය. ලාංකේය ක්‍රීඩාවේ තිඹිරිගෙය පාසලය. එසේ නම් පාසල මෙන් ම ක්‍රීඩාව ද ගමන් කළ යුතු වන්නේ සමාන්තර රේඛා මත ය. පාසල් ක්‍රීඩා තවාන් තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි නොවී, මෙරටේ අනාගත ක්‍රීඩාවන් පැවැතිය නොහැකි ය. කලකට පසු මෙරටේ අමාත්‍යාංශ බෙදා වෙන් කිරීමේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයේ නිවැරැදි ම අමාත්‍යාංශ බෙදා වෙන් කිරීමක් ලෙස ක්‍රීඩා, අධ්‍යාපන සහ තරුණ කටයුතු එක් අමාත්‍යවරයකු යටතට පත් කර තිබීම විශේෂත්වයකි.

මෙරට බොහෝ ක්‍රීඩා අමාත්‍යවරුන් ධූර බාර ගනිමින් ලාංකේය ක්‍රීඩාව ජය ටැඹක් කරා ගෙන යාමට සිහින දැක්කද? වැඩිකල් නොගොස්ම අවදිවීමට සිදු වීය. ක්‍රීඩාව රටකට අත්‍යාවශ්‍ය සාධකයක් නොවන කළෙක එය අයාලේ යාම ගැන පුදුම විය යුතුද නොවේ. පසුගිය කාළයේ රජයන් මෙරට ක්‍රීඩාව වළපල්ලට ගෙන යාමට ඇවැසි පිඹුරුපත් කළ අතර යහපාලනය රජය එයට ඇවැසි මල්වඩම්, ගොක්කොළ, සුදු කොඩි එකතු කරමින් සිටියේ යැයි ප්‍රවීණයෝ ප්‍රකාශ කලේ කටකහනවට නොවිය යුතුය.

දශක හතක පමණ ඉතිහාසයකට උරුමකම් කියන ආසියානු ක්‍රීඩා උලළේ සිවුවැනි වරටත් හිස් අතින්ම පැමිණීමට ලාංකේයන්ට සිදුවුයේ පසුගිය වසරේදීය. මීට පෙර අඛණ්ඩව 1982 සහ 1986 මේ ඉරණමට ගොදුරුවීමට ශ්‍රී ලංකාවට සිදුවූ අතර, ඉන්පසු 2010 දී සහ මෙවර ද එකී ඉරණම වෙනස් නොවීය.

කිසිම ක්‍රීඩාවක අන්තර්ජාතික ජයග්‍රහණයක් හුදු ෂෝට්කට් හරහා වැටී ඇතැයි සිතීම මුලාවකි. විචාරයට පෙර හැදෑරීමේ වැදගත්කම අන්තර්ජාතිකව පවා පිළිගත් මුඛ්‍ය සාධකයක්වන විට එය අමතක කර හෝ නොසලකා කටයුතු කිරීම තුළම ප්‍රදර්ශණය වන්නේ තම හිස්කම පමණි. ඉන්දුනීසියාවේ පැවැති 18 වැනි ආසියානු ක්‍රීඩා උ‍ලෙළට ඉතිහාසයේ වැඩිම පිරිස එවර එක්වූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරින් පුහුණුකරුවන් සහ සෙසු ආවතේවකරුවන් ද එක් වූ කළ මේ නඩය අවම 275 දෙනකු ඉක්මවා යාමකි. ක්‍රීඩා අමාත්‍යංශය මිලියන 25 ක් මේ සඳහා යටකර ඇති අතර ඔලිම්පික් කමිටුව යෙදූ මුදල පිළිබඳ සද්දයක් නැත. කෙසේ වෙතත් එකී මුදල ද මිලියන 25 කට වැඩි මිසක් අඩු නැත. ඒ අනුව මිලියන 50 කට අධික මුදලක් ඉන්දුනීසියානු වන්දනාවට විය පැහැදම් කළ ද, ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට නොහැකි තරමට ම මෙරට ක්‍රීඩාව බිමට සමතලා වී ගොස් තිබේ.

අමාත්‍යතුමනි,
ලාංකේය කීුඩාව වනාහි ඛේදයකී. මේ ඊට කදීම නිදසුනයි. රිය අනතුරට පත් නිමාලිගේ අතට කාඩ්බෝඩ් තබා ගැට ගැසීමට තරම් දුප්පත් වුයේ කෙසේදැයි සොයා බැලිම ඔබේ පළමු කාර්යය කරගන්න.

ශ්‍රී ලංකාව ද ඇතුළු මෙවර ආසියානු ක්‍රීඩා උ‍ෙලළේ දී කිසිදු පදක්කමක් ජයග්‍රහණය නොකළ රටවල් 9 කි. එම රටවල් 9 අතරින් ද වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් ආසියානු ක්‍රීඩා උ‍ලෙළට ඉදිරිපත් කළ රට වූයේ ද ශ්‍රී ලංකාවයි.

ඒ අනුව කිසිදු පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වූවද අප රටේ නම මේ ආකාරයෙන් හෝ එම නිල වාර්තා අතර සටහන් වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ බලධාරීන් සතුටු වනු ඇත. ශ්‍රී ලංකාව දහ අටවැනි ආසියානු ක්‍රීඩා උලෙළට පෙර ගිය වසරේ මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියට සහ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට එක් විය.

ලන්ඩනයේ පැවැති දහසයවැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී විදේශ රටවල සිට ශ්‍රී ලංකාව නියෝජනය කළ මැරතන්, ක්‍රීඩක ක්‍රීඩිකා දෙපලට තරගයක් අහවර කරගැනීමට තරම්වත් ශක්තියක් නැත. මේ අතර ඇසෙන්නේ පරණ කුණුකන්දල පමණි. ඒවා සියල්ලක්ම අවසන් වන්නේ විකට සිදුවීම්වලින්ය. අවසානයේ බඩවල් කටවල් අල්ලාගෙන සියල්ලට සිනාසී සතුටින් විසර යාමට හැකිය. දහසයවැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලි වුවද, බෝල්ට්ගේ අවසන් තරග දෙක හැර අපට අප ගැනවත් වගේ වගක්වත් නැත. 1948 - 2000 ඔලිම්පික් මෙන්ම 1997 - 2007 මලල ක්‍රීඩා ලෝක ශූරතාවලි හැර ඉතිරි සියල්ල හුදෙක් විනෝද චාරිකාවලට පමණක් සීමා වූ බව සැබෑය.

අන්තර්ජාතික තරග වරම් දිනා ගන්නත් (ඔලිම්පික්, ලෝක ශූරතාවලි) ලොකු කැප කිරීමක් කරන්න ඕනෑ. හැබැයි අපේ අය එසේම කරන පාටක් පේන්නවත් නෑ. අපි ඉස්සෙල්ලා දකුණු ආසියාව ජය ගන්න බලන්න ඕනෑ. ඒක නැතුව එතැනින් එහාට කිසිම දෙයක් ගැන හිතලවත් වැඩක් නෑ.

මේ මීට වසර පහකට පෙර යෝගානන්ද විජේසුන්දරයන් කළ ප්‍රකාශයකි. ලාංකේය ක්‍රීඩාවේ සිදුවන සිදුවීම් දෙස විමසිලිමත් වන විට තව වසර 25 කටත් මේ ප්‍රකාශය වලංගුවන බව නම් සහතිකය. මන්ද යත් සියලු දෙනා අතරම ඇත්තේ කතා පමණි. අතීතයේ ලාංකේයන්ට උරුම සිටියේ එක් අන්දරේ කෙනෙකි. එකී අන්දරේ අද සිටියා නම් ඔහුත් මේ අන්දරේලාට පරාජය වනු නිසැකය. ඒ අප ලාංකේය ක්‍රීඩාවේ සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්නේ කයිවාරු අන්දරේලාගෙන් මිසක් වැඩකාරයන් ගෙන් නොවන බැවිනි. ක්‍රීඩා අමාත්‍යවරයාට පවා අතපය දිග හැර වැඩක් කිරීමට නම් සිටිය යුත්තේ වැඩකාරයන් මිසක් අඳගොලු බිහිරන් නොවේ.

 

වරුණ ලක්ෂාන්ට මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය හිමි වන්නේ එක් රටකින් ක්‍රීඩකයන් තිදෙනකු පමණක් එක් වන නීතිය යටතේය. ජර්මනියෙන් මේ තරගාවලියට ක්‍රීඩකයන් පස් දෙනකු සුදුසුකම් ලබන්නේ එකී රටවල දක්ෂයන් බහුල බැවිනි. නිමාලි ලියනආරච්චි මීටර් 800 විනාඩි 01:08.45 කින් මූලික වටයේ දෙවැනි තරගය නිම කරන අතර සමස්ත පෙළ ගැස්ම අනුව ඇයට හිමි වන්නේ 45 දෙනකු අතරින් 43 වැනි තැනය. නිමාලිගේ හොඳම කාලය විනාඩි 01:02.58 කි. නිමාලි ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී පවා සිය හොඳම කාලයටත් ළඟාවීමට නොහැකිවිවීම කියාපාන ගැටලුව කුමක්ද යන්න බලධාරින් විමසිලිමත් විය යුතුය.

1997 ග්‍රීසියේ ඇතැන්ස්හිදී සුසන්තිකා මීටර් 200 ඉසව්ව, තත්. 22.39 කට රිදී සහ 2007 දී ජපානයේ ඔසාකාහිදී මීටර් 200 ඉසව්ව තත්. 22.63 කට ලෝකඩ පදක්කම් දෙක දිනා නොගන්නට මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේද ශ්‍රී ලංකාව පදක්කමක් අහිමි රටවල් අතර තවත් එක් රටක් වනු ඇත.

පසුගිය වසරේ ඉන්දියාවේ ඔඩිෂාහි පැවැති ආසියානු ශුරතා මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාව රන් පදක්කමක් හා රිදී පදක්කම් හතරක් දිනා ගනිමින් එවර තරගාවලියේ නමවැනි ස්ථානයට පත්වන විට, සත්කාරක ඉන්දියාව, රන් පදක්කම් 12 ක් දිනා ගනිමින් මෙකී තරග ඉතිහාසයේ පළමුවරට ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. මේ තරගාවලියට රටවල් 45 ක් එක්වූ අතර රටවල් 23 ක් කුමන හෝ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. මෙකී තරග ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනා ගෙන සිටින චීනය මෙවර රන් පදක්කම් අටක් පමණක් දිනා ගෙන දෙවැනි ස්ථානයට පත්වන විට මෙකී තරගාවලිය පිළිබඳ ඔවුන්ගේ ආකල්පය හා ඉදිරි දැක්ම ගැන අදහසක් ලබා ගත හැකිය.

ලාංකේය මලල ක්‍රීඩාව මෙකී තරගාවලියේදී අත්පත්කරගත් ජයග්‍රහණය පිළිබඳ කප්පරක් කයිවාරු ඇදබානවාද? නැත්නම් අඩුපාඩු සකසා ගෙන හෙට දවස සැලසුම් කරනවාද යන්න සිහිබුද්ධියෙන් කල්පනා කිරීමට මෙකී තරගාවලිය උපයෝගි කරගන්නවාද? නැද්ද? යන්න තීරණය නොකිරීම එදා වැරදුනු තැනය. මේ සෑම දෙයකින් සෝඩා බෝතලය කැඩුවා සේ සෑහීමට පත්වන සිංහලයෝ කෙන්ද පවා මහා ලොකුවට හිස් මුදුනේ තබා ගෙන වන්දනාමාන කිරීමට පුරුදුව සිටිති. මේ නිසාම කෙන්ද පවා කන්ද කිරීමේ හරි අපූර්ව හැකියාවක්ද ජන්මයෙන් ම ලැබී තිබේ.

2015 දී මෙකී තරගාවලියේ මීටර් 800 කාන්තා ඉසව්ව විනාඩි 2:03.94 කින් නිම කරමින් ලෝකඩ පදක්කම දිනා ගන්නා නිමාලි ලියනආරච්චි එකී පදක්කම මෙවර රන් පදක්කමක් බවට පෙරළා ගන්නේ විනාඩි 02:05.23 කින් තරගය නිම කරමින්ය. මේ පදක්කම පසුපස තව රිදී පදක්කම් හතරක් ශ්‍රී ලංකාවට හිමි වන්නේ රුමේෂිකා කුමාරි රත්නායක මීටර් 200 තත්. 23.43 කට ගයන්තිකා අබේරත්න මීටර් 800 විනාඩි 02:05.37 කට, මීටර් 400 x 4 පිරිමි සහාය විනාඩි 03.04.80 කට සහ නදීෂා දිල්හානි ලේකම්ගේ මීටර් 58.1 ක දුරකින් පතිත කරන හෙල්ලයටය.

ශ්‍රී ලංකාව දිනා ගත් රන් පදක්කම ඇතුළු සෙසු පදක්කම් හතර ද රිදියෙන් නොව, ලෝකඩින් ආලෝකවත් වුවද, එය අගය කළ යුතුය. මන්ද යත් මෙකී සෑම පදක්කමක් තුළම ඇත්තේ දුක - කඳුළ මතින් ගිය දුෂ්කර ගමනක ප්‍රතිඵල මිස රෝස මල් ඇතිරූ මාවත් දිගේ කට්ටක් නොකා දිනා ගත් පදක්කම් නොවන බැවිනි. රන් පදක්කම ආරක්ෂා කර ගැනීමට, රිදී පදක්කම් රන් පදක්කම් කර ගැනීමට, ගිලිහිණු ලෝකඩ පදක්කම ලෝකඩ පදක්කම් කර ගැනීමේ අභියෝග ලේසිපහසු කරුණක් නොවේ. 2009 මංජුල කුමාර පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තාට පසු නිමාලි ලියනආරච්චි රන් පදක්කමක් දිනා ගන්නා තෙක්ම ලාංකේය ක්‍රීඩා බලධාරින් නිලධාරින් කළේ කුමක්ද යන්න දැන්වත් සිහිබුද්ධියෙන් විමසා බැලිය යුතුය. 2009 දී මංජුලගේ රන් පදක්කමකින් 10 වැනියා වන විට ඉන්දියාව ද එක රන් පදක්කමක් දිනා ගෙන එකී පදක්කම් සටහනේ හත්වැනි ස්ථානය හිමිකර ගනියි. අප එතැන් පටන් අඳුරේ අතපතගාද්දී, 2011 රන් පදක්කමක්, 2013 රන් පදක්කම් දෙකක්, 2015 දී රන් පදක්කම් හතරක් දිනා ගෙන පදක්කම් සටහනේ පිළිවෙළින් 7 - 6 සහ 3 වැනියා වූ ඉන්දියාව 2017 දී පදක්කම් සටහනේ ප්‍රථම ස්ථානය හිමිකර ගන්නා විට, 2009 දී දහවැනි ස්ථානය හිමිවූ අප 2017 දී නවවැනි ස්ථානය හිමිකර ගෙන තිබේ.

මෙකී පදක්කම් සටහන දෙස ආපසු හැරී බැලීමේදී 1995 සහ 98 දී ඉන්දියාව රන් පදක්කම බැගින් දිනා ගනිද්දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙක බැගින් දිනා ගෙන තිබේ. 2002 දී ඉන්දියාව රන් පදක්කමක් දිනා ගන්නා විට ශ්‍රී ලංකාවට රන් පදක්කම් තුනකි. 2003 දී ඉන්දියාවට එකද රන් පදක්කමක් හෝ දිනා ගන්නට නොහැකි වන විටත් ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගෙන තිබේ. එතැන් පටන් 2017 දක්වා ඉන්දියාවේ නැඟීම සහ අපේ බැසීම තේරුම් ගැනීමට වෙහෙසවිය යුතු නොවේ. අප තරග කරනුයේ ලෝකයා සමගය. ඒ නිසාම කිසිම ජයක් ඉදිරියේ උමතු නොවී ඊළඟ ඉලක්ක ජය ගැනීමට සැලසුම් සැකසිය යුතුය.

අද මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සිම්බාබ්වේ - බංග්ලාදේශය ඉදිරියේ පරාජය වුවද, ක්‍රිකට් ලෝක කුසලානයක් හෝ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන අභිමුව අප රොද බැඳගත යුත්තේ එකී විජයග්‍රහණ නැවත අත්පත් කර ගැනීමටය. එකී ලක්ෂණ සැබැවින්ම ක්‍රීඩා මානසිකත්ව ලක්ෂණ විය යුතුය. ඔලිම්පික් පදක්කම් පදක්කම් දෙකක් පවා දිනා ගෙන සිටින අප දැන් සතුටු වනුයේ, උදම් අනනුයේ සාග් පදක්කමකට නම් එය ලාංකේය ක්‍රීඩාවේ කරුමයක් මිස වෙ‍ෙනකක් නොවේ.

එස්. බී. දිසානායක - සුනිල් ගුණවර්ධන යුගයෙන් පසු අපේ රටේ ක්‍රීඩාව ජරාජීර්ණ තත්ත්වයට පත්වූයේ මෙයට අත ගැසූ නිකමුන් මෙය තනිකරම බඩගෝස්තරවාදයක් කරගත් බැවිනි. 2000 න් පසු සියල්ල කණපිට පෙරළමින් සිදු වූයේ ක්‍රීඩාව ජීවත් කරවන්නන් අකාමකා දමමින් ක්‍රීඩාවෙන් ජීවත්වෙන පරපෝෂිතයන් කොටසක් බිහිවීමය. මේ ආකල්ප සියල්ලටම නැවතීමේ තිත තැබිය යුතුය. අපේ රටේ සමස්ත ක්‍රීඩාව ම ජාත්‍යන්තරය දක්වා වර්ධනය කරගත යුතුය. මේ සඳහා මුලින් ම රජයක් තීන්දු තීරණ කළ යුත්තේ රටක පැවැත්මට නිරෝගි ජන කොටසක් ඇවැසි යැයිද, එහිදී අනිවාර්යෙන්ම රජයක් ක්‍රීඩාව සඳහා වැඩි බරක් තැබිය යුතුය. වැඩි කැපකිරීමක් කළ යුතුය. එහි ප්‍රතිඵලය රටක ක්‍රීඩා ජාත්‍යන්තරකරණය වීමය.

ක්‍රීඩාවේ අක්මුල් විහිදූ කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කී අප අද පය ගසා ගෙන සිටින්නේ කොතැනදැයි සිහිබුද්ධියෙන් විමසා බැලිය යුතුය. කාලයෙන් කාලයට පත්වන ක්‍රීඩා ඇමැතිවරයා කවරෙක්ද, හෙතෙම මෙතෙක් කර ඇත්තේ නිකමුන් විසින් එහාට මෙහාට පෙරළා දෙන ජරාගොඩ පාට පාටින් අයිසිං කිරීම පමණි.

Comments