කැළෑ මුවකුගේ උදරයෙන් කසළ කිලෝ 07 ක් | සිළුමිණ

කැළෑ මුවකුගේ උදරයෙන් කසළ කිලෝ 07 ක්

තායිලන්තයේ උතුරු දිග වනෝද්‍යානයක මියගොස් සිටියදී හමුවූ කැළෑ මුවෙකුගේ උදරයේ තිබී කැළි කසළ කිලෝගෑම් හතක් හමුවූ බව බලධාරීහු පවසති.

ප්ලාස්ටික් බෑග්, පිරිමි යට ඇඳුම්, ක්ෂණික කෝපි හා නූඩ්ල්ස් අසුරණ, රබර් අත්වැසුම්, කුඩා තුවායක් සහ ප්ලාස්ටික් කඹයක කොටසක් මුවාගේ උදරයේ තිබී හමුවී ඇත.

කුන් සාතන් වනෝද්‍යානයේ නිලධාරියකු පවසා ඇත්තේ මුවා මිය යෑමට පෙර, දිගු කාලයක් තිස්සේ ප්ලාස්ටික් ආහාරයට ගෙන ඇති බවයි.

ප්ලාස්ටික් හේතුවෙන් මුවාගේ ආහාර මාර්ගය අවහිර වී තිබූ බවත් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් බලධාරීහු පවසති.

මෙම සිද්ධියෙන් පසු වනෝද්‍යානයේ කැළිකසළ කළමනාකරණය සම්බන්ධ නව නීති පැනවීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

(බීබීසී ඇසුරිණි)

 

Comments