වොෂිංටන් ගුවන් කලාපයට ඇතුළු වූ හඳුනා නොගත් වස්තුව | සිළුමිණ

වොෂිංටන් ගුවන් කලාපයට ඇතුළු වූ හඳුනා නොගත් වස්තුව

අමෙරිකාවේ වොෂිංටන් නුවර ගුවන් අවකාශය උල්ලංඝණය කර ඇති බව පවසමින් ධවල මන්දිරය වසා දැමීමට හේතු වූ ආන්දෝලනාත්මක සිද්ධිය කුරුළු රෑනක පියාඹා යෑමක් දැයි මේ වනවිට සැක මතුව තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන අගනුවර පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.

කුරුළු රෑනක පියාසැරිය ඉතා සෙමින් සිදුවන්නට ඇති බවත්, එවිට එය කුඩා ගුවන් යානයක ඇතුළුවීමක් ලෙස රේඩාර් පද්ධතියේ සටහන් වීමත් සිදුවන්නට ඇති බවටයි මෙහිදී සැක පළ වන්නේ.

ඇතැම් පැරණි රේඩාර් පද්ධතිවලින් මෙවැනි සිදුවීම් වාර්තා විය හැකි බව ද පොලිස් කණ්ඩායම් සැක පළ කරයි.      

කෙසේවෙතත් මෙම සිදුවීම කුමක්දැයි කිසිඳු පාර්ශ්වයක් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නැහැ.

වොෂිංටන් නුවර ගුවන් කලාපයට සැකකටයුතු කිසිවක් ඇතුළුවූ බවට රේඩාර් පද්ධතිවලින් නිරීක්ෂණය වීම හමුවේ ධවල මන්දිරය වසා දැමීමට බලධාරීන් කටයුතු කළා.

ගුවන් යානයක් හෝ කුඩා ඩ්‍රෝන යානයක් වොෂිංටන් ගුවන් කලාපය උල්ලංඝණය කර ඇති බවට මතුවූ සැකය ඊට හේතුවයි.

ඒ අනුව ආරක්ෂාව සඳහා මෙලෙස ධවල මන්දිරය තාවකාලිකව වසා දැමුණා. එසැනින් ප‍්‍රහාරක ජෙට් යානා ද යොදවා ගුවන් කලාපය පරීක්ෂා කළත් එවැනි සැකකටයුතු යානයක් ඇතුළුවී ඇති බවට මෙතෙක් තහවුරු වී නැහැ.

එලෙස ඇතුළු වූ කිසිවක් සොයා ගැනීමට නොහැකි වූ බවයි බලධාරීන් පැවසුවේ. සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසුව වොෂිංටන් ගුවන් කලාපයේ ගුවන් ගමන් කටයුතු අමෙරිකාවේ අනෙකුත් ගුවන් කලාපයන්ට සාපේක්ෂව සීමා කර තිබේ.

එම ගුවන් කලාපය හරහා පියාසර කිරීමට අවස්ථාව හිමිවන්නේ ආරක්ෂක පරිපාලන නිලධාරීන්ගේ අනුමැතිය හිමිවන ගුවන් යානා කිහිපයක් සඳහා පමණයි.

 

Comments