රුධි­ර­යෙන් ලියැ­වුණු රාජ වංශයේ බල අර­ග­ලය | සිළුමිණ

රුධි­ර­යෙන් ලියැ­වුණු රාජ වංශයේ බල අර­ග­ලය

 

ක්‍රි. ව. 368-410 කාලයේ දී  අනු­රා­ධ­පු­රයේ රජ කළ උප­තිස්ස රජුගේ අභා­වය ද සිදු වී ඇත්තේ රජ­ගෙයි සිදු වූ කුම­න්ත්‍ර­ණ­ය­කිනි.  උප­තිස්ස රජු කළ පැවි­දිව සිටි ඔහුගේ  සොහො­යුරා,  රජුගේ බිරිය සමඟ එක්ව සැල­සුම් කොට උප­තිස්ස රජු  ඝාත­නය කොට තිබේ. එම ඝාත­නය සිදු කොට ඇත්තේ රාජ දේවිය විසිනි. එම ඝාත­නය සඳහා ඇය උල් ආයු­ධ­යක් යොදා­ගත් බව  මහා­වං­සයේ  සඳ­හන් වේ.

ශුභ රජු රාජ්‍ය විචා­රන සමයේ දී (ක්‍රි. ව. 59-65) ලම්භ­කර්ණ ගෝත්‍රයේ උපන් වසභ නම් වූ මාන­ව­ක­යෙක් මතු අනු­රා­ධ­පු­රයේ රජ වන්නේ­යැයි අනා­වැ­කි­ක­රු­වන් විසින් කියන ලද්දේය. එම ප්‍රකා­ශය කෙරෙහි දැඩි අව­ධා­න­යක් යොමු කළ ශුභ රජු වසභ නම් වූ සෑම පුරු­ෂ­ය­කුම ඝාත­නය කිරීමේ ව්‍යායා­ම­යක නිරත වූයේය. එම අව­ධියේ දී ශුභ රජුගේ සෙන්ප­ති­යාගේ නිවසේ වාසය කළ වසභ නම් වූ ඔහුගේ ඥාති පුත්‍ර­යෙක් ද වූයේ ය. තම බිරිය සමඟ සාකච්ඡා කොට එම ඥාති පුත්‍ර­යාව ශුභ රජුට භාර­දී­මට සෙනෙ­වියා ඉදි­රි­පත් වූ අව­ස්ථාවේ දී සෙනෙවි බිරිය ප්‍රයෝ­ග­ය­කින් තම ඥාති පුත්‍රයා මර­ණ­යෙන් මුදා­ගෙන කුම­න්ත්‍ර­ණය ගැන දැනු­වත් කොට මුදල් ද දී ඔහු අග­න­ග­ර­යෙන් පිටමං කරන ලද්දේය.

 

සේනා­වක් ගොඩ­න­ඟා­ගෙන පළ­මුව රුහුණු රට බලය ගොඩ­න­ඟා­ගත් එම මාන­ව­කයා අවු­රුදු දෙක­කට පසුව අනු­රා­ධ­පු­රය ආක්‍ර­ම­ණය කොට රජ­ගෙයි මිඳුලේ දී ම ශුභ රජු ඝාත­නය කළේය. මෙරට රජු ලෙස සේසත් එසවූ ඒ වසභ රජ (ක්‍රි. ව. 65-109) තමන්ට පෙර උප­කාරී වූ නැන්ද­ණිය අග­මෙ­හෙ­සිය කොට ගත්තේය. එම රජුගේ වසර 44ක් වූ දීර්ඝ පාලන කාලය තුළ මෙරට වාරි­ක­ර්මා­න්තය බෙහෙ­වින් සංව­ර්ධ­නය විය.

ලක් ඉති­හා­සයේ මීළඟ රාජ්‍ය­නා­යක ඝාත­නය සිදු වන්නේ කනි­ටු­තිස්ස රජුගේ (ක්‍රි. ව. 164-192) පුත්‍ර සුළු­නාග රාජ්‍ය සමයේ දී ය. ඒ රජුගේ සොහො­යුරු කුඩ්ඪ­නාග (ක්‍රි. ව. 192-194) කුමරු තම සොයුරා මරා මෙරට රජ වී එක් වස­රක් පාල­නය ගෙන ගොස් ඇත. සුළු­නාග රජු­ගෙන් රාජ්‍ය උදු­රා­ගෙන ඇත්තේ ඔහුගේ බිරි­යගේ සොහො­යුරා වූ සිරි­නාග සෙන­වියා විසිනි. එම බලය පැහැ­ර­ගැ­නීම ගැන කරුණු ඉදි­රි­පත් කරන මහා­නාම හිමි­යන් සිරි­නාග සෙන­වියා කුඩ්ඪ­නාග රජු පලවා දැමූ බව සඳ­හන් කළ ද ඉනි­ක්බි­තිව ඒ රජු ගැන කිසිදු විස්ත­ර­යක් සැපැ­යී­මට ඉදි­රි­පත් නොවේ. එම නිසා මෙම රාජ්‍ය පැහැ­ර­ගැ­නීමේ කුම­න්ත්‍ර­ණයේ දී හෝ රාජ්‍ය පැහැර ගැනී­මෙන් පසුව හෝ බලයේ සිටි කුඩ්ඪ­නාග රජු ඝාත­න­යට ලක් වූයේ දැයි පැව­සී­මට අවශ්‍ය සාධක මහා­වං­සයේ අන්ත­ර්ගත නොවේ. සිරි­නාග රජුගේ (ක්‍රි. ව. 244-246) පුත්‍ර විජය කුමා­රයා ඒ රජුගේ අභා­ව­යෙන් පසුව වස­රක් පමණ (ක්‍රි. ව. 246-247) මෙරට පාල­නය ගෙන­යෑ­මට භාග්‍ය­වන්ත විය.

මෙකල මහි­යං­ග­ණය ප්‍රදේ­ශයේ විසූ ලම්භ­කර්ණ ගෝත්‍රික සංඝ­තිස්ස, සංඝ­බෝධි හා ගොළු­අබා යැයි ප්‍රකට වූ තරු­ණ­යන් තිදෙ­නෙක් රාජ්‍ය සේවය පතා අනු­රා­ධ­පු­රයේ විජය රජු වෙත පැමි­ණි­යහ. විජය රජුගේ සිත් දිනා­ගෙන රජ­ගෙ­යිම වාසය කළ එම තෙමි­තුරෝ රජ­ගෙයි තුළ දී ම විජය රජු මරා දැමූහ. බලය පැහැ­ර­ගත් එම ලම්භ­කර්ණ කුමා­ර­ව­රුන් අතු­රින් ප්‍රධා­නියා වූ සංඝ­තිස්ස කුමරු අනෙක් කුමා­ර­වරු දෙදෙ­නාගේ ආශි­ර්වා­ද­යෙන් පළ­මුව අනු­රා­ධ­පුර රාජ්‍යයේ පාල­කයා බවට පත් වූයේ ය. අවු­රුදු හත­රක පමණ කාල­යක් හෙතෙම අනු­රා­ධ­පු­රයේ රජ කළේය. එම රජු ඝාත­න­යට පත් වන්නේ ජන­තාව අතිනි.

දඹ අනු­භව කිරීම සඳහා නැඟෙ­න­හිර දිව­යි­නට තම අන්තඃ­පුර අඟ­නුන් සහ මැති ඇමැ­ති­යන් පිරි­වරා නිර­තු­රුව යෑමට රුචි­යක් දැක්වූ එම රජුගේ ක්‍රියා­ක­ලා­පය එම පෙදෙසේ වැසි­යන්ට හිරි­හැ­ර­යක් වූයේ ය. එම රජු එහි ගිය එක අව­ස්ථා­වක දී රජුගේ භෝජ­න­යට වෙන් කොට තුබූ දඹ ඵල­ව­ලට වස යොදා එම රජු එහි­දීම ඝාත­නය කිරී­මට ජන­තාව ක්‍රියා­කොට තිබේ.

සංඝ­තිස්ස රජු­ගෙන් පසුව රජ පැමිණි සංඝ­බෝධි කුමා­රයා ශ්‍රී සංබෝ ලෙසින් සිංහල රාජා­ව­ලි­යට එක් වූයේ ය. ඉතාම දැහැ­මින් අනු­රා­ධ­පුර රාජ්‍යය ගෙන­ගිය එම රජු ඝාත­නය කොට බලය පැහැර ගැනීම ඔහුගේ අමා­ත්‍ය­ධු­රය දැරූ සුමි­තුරු ගොළු­අබා කුමරු කළ කුම­න්ත්‍ර­ණයේ දී දිවි ගල­වා­ගැ­නී­මට සංඝ­බෝධි රජු සමත් වූයේ ය. අනු­රා­ධ­පු­ර­යෙන් පලා ගොස් වන­ග­තව සැඟ වී සිටි ශ්‍රී සංඝ­බෝධි රජුගේ හිස ගෙන­විත් දෙන්න­කුට මාහැඟි වස්තු ප්‍රදා­න­යක් කරන බවට බලය පැහැ­ර­ගත් ගොළු­අබා කුමරු හඬ­බෙර හැසි­ර­වීය.

අව­සා­නයේ මහා­වං­සයේ දැක්වෙන්නේ සිරි­ස­ඟබෝ රජු සිය කැමැ­ත්තෙන්ම තමන්ගේ හිස සිඳ දුගි­ය­කුට දුන් බවය. මෙම වංශ­කථා විස්ත­රයේ ඇති සඳ­හ­නින් අපට පැහැ­දිලි වන්නේ රාජ්‍ය කුම­න්ත්‍ර­ණ­යක දී බලයේ සිටින රජු පැන යෑමට වාස­නා­වන්ත වුවත් බල­යට පත් වන නව රජු ඔහු ඝාත­නය කිරී­මට විකල්ප ක්‍රම යෙදූ බවය. අප විසින් ඉහත අවස්ථා කිහි­ප­ය­ක­දීම පෙන්වා දෙනු ලැබූ ලෙස රාජ්‍ය බලය පැහැ­ර­ගන්නා අව­ස්ථාවේ දී ඝාත­න­යට ලක් නොවූ රජ­ව­රුන් ද මෙවැනි ඉර­ණ­ම­කට පසු අව­ස්ථා­වක දී මුහුණ දුන් බව විශ්වාස කළ හැකිය. එලෙස සිරි­ස­ඟබෝ රජු­ගෙන් බලය පැහැ­ර­ගත් ගොළු­අබා කුමරු මේඝ­ව­ණ්ණා­භය නමින් සේසත් ඔසවා අවු­රුදු 13ක් අනු­රා­ධ­පු­රයේ රජ­කම් කොට තිබේ (ක්‍රි. ව. 253-266).

ක්‍රි. ව. 368-410 කාලයේ දී අනු­රා­ධ­පු­රයේ රජ කළ උප­තිස්ස රජුගේ අභා­වය ද සිදු වී ඇත්තේ රජ­ගෙයි සිදු වූ කුම­න්ත්‍ර­ණ­ය­කිනි. උප­තිස්ස රජු කළ පැවි­දිව සිටි ඔහුගේ සොහො­යුරා, රජුගේ බිරිය සමඟ එක්ව සැල­සුම් කොට උප­තිස්ස රජු ඝාත­නය කොට තිබේ. එම ඝාත­නය සිදු කොට ඇත්තේ රාජ දේවිය විසිනි. එම ඝාත­නය සඳහා ඇය උල් ආයු­ධ­යක් යොදා­ගත් බව මහා­වං­සයේ සඳ­හන් වේ. සිය සොහො­යුරා මරා­දැ­මී­මෙන් පසුව රජ වූ මහා­නාම කුමරු තම සොහො­යු­රාගේ ඝාත­න­යට ඍජු­වම දායක වූ ඔහුගේ දේවිය තමන්ගේ අග­මෙ­හෙ­සිය බවට පත්කොට ගැනී­මට ඉදි­රි­පත් වූයේ ය. අනු­රා­ධ­පුර රාජ්‍යයේ බලය තහ­වුරු කොට­ගත් මහා­නාම රජු අවු­රුදු 22ක (ක්‍රි. ව. 410-432) සාර්ථක පාල­න­යක් ගෙන යෑමට සමත් වූයේ ය.

මහා­නාම රජුගේ අභා­ව­යෙන් පසුව ඔහුගේ අන්තඃ­පු­රයේ විසූ දෙමළ කාන්තා­ව­කගේ කුසින් උපන් සොත්ථි­සේන නම් කුම­රෙක් රජ වූයේ ය. එහෙත් ඒ රජු මහා­නාම රජුගේ මෙහෙ­සි­යගේ දුව වූ සංඝා නම් කුම­රි­යක අතින් ඝාත­න­යට ලක්වූයේ ය. වංශ­ක­ථාවේ පැහැ­දි­ලිව දක්වා නැතත් සොත්ථි­සේන රජුට රජ කිරී­මට හැකි වූයේ ඉතාම කෙටි කාල­යක් බව පෙනේ. බලය පැහැ­ර­ගත් සංඝා කුම­රිය තමන්ගේ වල්ල­භ­යාට රජ­කම ප්‍රදා­නය කළාය.

සංඝා කුම­රි­යගේ වල්ලභ පුරු­ෂයා ඡත්ත­ගා­හක ජන්තු (ක්‍රි. ව 432) නමින් රජ වූ අතර ඔහු අවු­රු­ද්දක් රජ කිරී­මෙන් අන­තු­රුව මිය­ගොස් තිබේ. එම රජුගේ අභා­ව­යෙන් පසුව එම රජු මිය­ගිය බව ප්‍රසිද්ධ නොකොට එම රජුගේ ඇමැ­ති­යාගේ මැදි­හත් වීමෙන් සාම්ප්‍ර­දා­යික රාජ්‍ය උරු­ම­යක් නොවූ මිත්සෙන් නැමැ­ත්තකු රජු බවට පත් කොට­ගෙන තිබේ. එහෙත් පසුව ජන­යාගේ සහ­යෝ­ගය ද ඇතිව රට පාල­නය කිරී­මට එකී රජු ඉදි­රි­පත් වුවද ඔහුගේ පාල­නය වස­ර­කට වඩා පව­ත්වා­ගැ­නී­මට නොහැකි විය. ආක්‍ර­ම­ණික පඬු නම් ද්‍රවි­ඩ­ය­කුගේ අතින් රණ­බිමේ දී මිත්සෙන් රජු (ක්‍රි. ව. 432-433) ඝාත­න­යට ලක් වෙයි. බලය පැහැ­ර­ගත් පඬු අනු­රා­ධ­පු­රයේ රජ වූ වහාම මෙරට වංශ­වත් ජනයා අනු­රා­ධ­පුර අත­හැර රෝහණ දේශ­යට සංක්‍ර­ම­ණය වී තිබේ.

වංශ­ක­ථාවේ සඳ­හන් වන ඊළඟ රාජ්‍ය නායක ඝාත­නය සිදු වන්නේ රණ­බිමේ දී ය. මිත්සෙන් රජු­ගෙන් බලය පැහැ­ර­ගත් පණ්ඩු ද්‍රවිඩ රජ පස් වසක් රජ­කොට මිය ගිය විට ඔහුගේ පුත් පාරින්ද රජ වූ අතර ඔහුගේ පාල­නය මහ­ජ­න­යාට බෙහෙ­වින් කර­දර ගෙන දුන්නේ ය. එක­ලම මෞර්ය වංශික ධාතු­සේන නම් කුම­රෙක් ද්‍රවි­ඩ­ය­න්ගෙන් මෙරට මුදා­ගැ­නීමේ විමුක්ති සට­න­කට මුල පිරීය.

තරුණ කාලයේ දික්සඳ සෙනෙවි පිරි­වනේ පැවි­දිව සිටි එම මෞර්ය වංශික තරු­ණයා ඝාත­නය කිරී­මට ඔහුගේ පාලන සමයේ දීම පණ්ඩු රජු අසා­ර්ථක උත්සා­හ­යක නිරත වූයේය.

එහෙත් ඉන් බේරී පලා­ගිය තරුණ භික්ෂුව උපැ­වි­දිව රට ද්‍රවිඩ පාල­ක­ය­න්ගෙන් මුදා­ගැ­නී­මට සට­නට පිවි­සියේ ය. පාරින්ද රජු සමඟ ධාතු­සේන කුමරා යුද කළ බවට සඳ­හන් වුවද පාරින්ද රජු මිය­ගියේ සට­නෙන් ද යන්න පැහැ­දිලි නැත. එහෙත් පාරින්ද රජු­ගෙන් පසු රජ වූ තිරි­තර රජුට රජ­කම් කිරී­මට හැකි වූයේ දෙම­සක් පමණි. තිරි­තර සමඟ මහ යුද කළ ධාතු­සේන කුමරු සටනේ දී ඔහු මරා­දමා තිබේ. ඉන් අන­තු­රුව බල­යට පැමිණි දාඨිය තුන් අවු­රු­ද්දක් රජ කළ ද අව­සා­නයේ එම රජු ද ධාතු­සේන කුමරු අතින් මර­ණ­යට පත්ව තිබේ.

ආක්‍ර­ම­ණික ද්‍රවි­ඩ­ය­න්ගෙන් අව­සා­න­යට රජ වූ පීඨිය ද සත් මස­කින් මරු වස­ඟ­යට පත් වූ බව මහා­වං­සයේ සඳ­හන් වෙතත්, එම රජු මර­ණ­යට පත් වූ ආකා­රය දක්වා නැත. එන­මුත් පීඨිගේ අව­සා­න­යෙන් පසුව මහා­වං­සයේ ඇති “දෙමළ වංශ­යම දාසෙන් කුමරු හා යුද­කොට ශූන්‍ය විය” යන වාක්‍යය කෙරෙහි අව­ධා­නය යොමු කළ­හොත් එම සියලු රජුන්ගේ මරණ සිදු වී ඇත්තේ ධාතු­සේන කුම­රුගේ සටන් නිසා යැයි උප­ක­ල්ප­නය කිරී­මට අව­ස්ථා­වක් ද වේ.

ද්‍රවිඩ පාල­ක­ය­න්ගෙන් රට මුදා­ගත් ධාතු­සේන මහ­ර­ජ­තුමා අවු­රුදු 18ක් (ක්‍රි. ව. 459-477) රජ කර­මින් බිඳ­වැටී තුබූ මෙරට ආර්ථි­කය හා බුද්ධ සාස­නය නඟා­සි­ටු­වී­මට මහත් වෙහෙ­සක් ගෙන තිබේ. වාරි කර්මා­න්තය වැඩි දියුණු කිරී­මට අමිල මෙහෙ­ව­රක් ඉටු කළ ධාතු­සේන රජුගේ විශි­ෂ්ට­තම නිර්මා­ණය වන්නේ කලා­වැ­වය. ඊට අම­ත­රව අති­රේක වැව් විශාල ප්‍රමා­ණ­යක් ද නිර්මා­ණය කිරී­මට එතුමා කට­යුතු කොට ඇත. සිංහල රාජා­ව­ලියේ ශෝකා­ත්මක ඝාත­න­යට ලක් වී ඇත්තේ ද රට දැය සමය වෙනු­වෙන් මෙවන් මහා කාර්ය­භා­ර­යක් ඉටු කළ ධාතු­සේන මහ­ර­ජ­තුමා ය. රාජ්‍ය බලය උදෙසා ධාතු­සේන මහ­ර­ජුගේ පළමු පෙළ බිසව කුසින් උපන් මොග්ග­ල්ලාන හා දෙවන පෙළ බිස­ව­කට දාව උපන් කාශ්‍යප යන කුමා­ර­වරු අතර පැවැති සීතල යුද්ධ­යට, ධාතු­සේන රජු සිය මව මරා දැමීම පිළි­බඳ වෛර බැඳ­ගත් මිගාර නම් සෙන­වියා ද එක්වූයේ ය.

ධාතු­සේන රජු­ගෙන් පළි­ගැ­නී­මට අධි­ෂ්ඨාන කළ මිගාර සෙන­වියා ඒ සඳහා කාශ්‍යප කුම­රුට රාජ්‍ය බලය හිමි කොට­ගැ­නීම සඳහා වූ සාම්ප්‍ර­දා­යික ඌන­තාව දඩ­මීමා කොට ගත්තේ ය. රහ­සි­ග­තව පිය­රජු හා බිඳවූ කාශ්‍යප කුමරු පෙර­මුණේ තබා­ගෙන සිදු කළ විප්ල­ව­ය­කින් ධාතු­සේන මහ­රජ අත්අ­ඩං­ගු­වට ගෙන කාශ්‍යප කුමරු මෙරට මහ­රජ ලෙස පත් කිරී­මට මිගාර සෙන­වි­යාට හැකි වූයේය. රාජ්‍ය විප්ල­වයේ දී අල්ලා සිර­ගත කොට සිටි ධාතු­සේන රජු මරා දැමී­මට කාශ්‍යප මහ­රජු (ක්‍රි. . 477-495) නොමඟ යැවූයේ ද එම සෙන­වි­යාම ය.

ධාතු­සේන මහ­රජු සතු මහා වස්තු­වක්, එම රාජ්‍ය විප්ලව අව­ස්ථාවේ දී දඹ­දි­වට පැන­ගිය මුග­ලන් කුම­රුට පෙරළා සිය­රට පැමිණි විට දීමට ධාතු­සේන මහ­රජ සඟවා ඇතැයි යන අද­හස මුග­ලන් සෙනවි කාශ්‍යප මහ­ර­ජුගේ හිතට කාවැ­ද්ද­වූයේ ය. අව­සා­නයේ දී කලා­වැවේ බැම්මට තබා පස් ගස්සවා, ධාතු­සේන රජු මරා­දැ­මී­මට මිගාර සෙනවි කාශ්‍යප රජුගේ අනු­මැ­තිය ලබා­ගත් බව මහා­වං­සයේ සඳ­හන් වේ. නිරු­වත් කළ ධාතු­සේන රජුව පණ­පි­ටින් මැටි­ගස්වා මරා­දමා ඇත්තේ මිගාර සෙන­වියා විසිනි. එම රාජ්‍ය නායක ඝාත­නය වැද­ගත් වන්නේ එම ඝාත­නය සිදු කිරී­මට මුල් වන්නේ ධාතු­සේන මහ­ර­ජුගේ එක් පුත්‍ර­යකු සහ බෑන­ණු­වන් විසින් වීම නිසාය.

ධාතු­සේන මහ­රජු මරා­දැ­මී­මෙන් පසුව ඉන්දි­යා­වට පැන­ගිය තම සොහො­යුරු මොග්ග­ල්ලාන කුමරු එරට දීම මරා දැමී­මට කාශ්‍යප මහ­රජු උත්සාහ ගෙන ඇතත් එය සාර්ථක වී නැති බව පෙනේ. එම ඝාතන උත්සා­හය රාජ්‍ය­බ­ලය උදෙසා රාජ්‍යයේ හිමි­කරු විදේ­ශීය රටක දී ඝාත­නය කිරී­මට සැල­සුම් කළ මෙරට පළමු මෙන්ම එකම රාජ්‍ය උත්සා­හය වෙයි. මෙරට සංස්කෘ­තික ඉති­හා­සයේ අම­ර­ණීය සිහි­ව­ට­න­යක් වූ සීගිරි මහා කලා­ගා­රය ගොඩ­නැඟූ කාශ්‍යප මහ­ර­ජුගේ (ක්‍රි. ව. 417-495) අව­සා­නය සිදු වූයේ ද රාජ්‍ය බලය උදු­රා­ගැ­නීම සඳහා සිය වැඩි­ම­හල් සොහො­යුරු මොග්ග­ල්ලාන මෙහෙය වූ ආක්‍ර­ම­ණ­යක දී ය.

මොග්ග­ල්ලා­නගේ ආක්‍ර­ම­ණ­යට මුහු­ණ­දී­මට සිය සේනාව ද කැටුව ඉදි­රි­යට ගිය කාශ්‍යප මහ­රජු රණ­බිමේ දී තම සේනාව විසින් අත­හැර දමන ලද්දේය. එම අව­ස­ථාවේ දී සතුරු හමු­දා­වට කොටු වූ කාශ්‍යප මහ­රජු සතු­රන් අතින් ඝාත­නය වීමට පළ­මුව සිය රාජ­කීය හස්තියා මත දීම සිරි­යෙන් සිය හිස සිඳ­ගන්නා ලද්දේය. මෙය මෙරට දේශ­පා­ලන ඉති­හා­සයේ රජකු විසින් සට­නේදී සතු­රාට කොටු වීමට පෙර දිවි හානි­කො­ට­ගත් මුල්ම අව­ස්ථාව වේ. යුද්ධ­යෙන් ජය­ගත් මුග­ලන් කුම­රුගේ පාල­නයේ ද මිගාර සෙන­වියා ප්‍රධා­නි­යකු වීමෙන් ම සටනේ දී කාශ්‍යප මහ­ර­ජුගේ සේනාව එරජු සටන් බිමේ තනි කොට පසු­බැස ගියේ මන්දැයි වට­හා­ගැ­නීම දුෂ්කර නොවේ.

මුග­ලන් මහ­ර­ජුගේ (ක්‍රි. ව. 495-512) මුනු­පුරු කිත්ති­සේන කුමරු රාජ්‍ය විචා­ර­මින් සිටි අව­ස්ථාවේ, රජ වීමෙන් මාස නව­ය­කින් පසුව සිය මාම­ණ්ඩිය වූ සීව නම් රාජ­කී­ය­කුගේ කුම­ණ්ත්‍ර­ණ­ය­කට ලක් වී ඝාත­නය වූයේ ය. සීව රජු (ක්‍රි. ව. 521) බලය අල්ලා­ගත්ත ද එය පව­ත්වා­ගෙන යෑමට නොහැකි වූයේ ය. රජ වී දින විසි පහක දී උප­තිස්ස නම් වූ අනෙ­කෙකු අතින් එරජු ඝාත­න­යට ලක්වූයේ ය. මෙයට පසුව රාජ්‍ය බල­යට පැමිණි රාජ­කී­ය­යන් කිහිප දෙනෙක් ද තම පවු­ලේම සාමා­ජි­ක­යන් විසින් ඝාත­නය කොට තිබේ.

සිලා­කාල රජුගේ (අඹ හෙරණ සල­මෙ­වන්) රජුගේ පුත් උප­තිස්ස ඝාත­නය කොට බලය පැහැ­ර­ගෙන ඇත්තේ ඔහු­ගේම සොහො­යුරු දාඨා­ප­භූති කුමරු විසිනි.

කෙටි කාල­යක් (ක්‍රි. ව. 535) මෙරට රජ වූ ඔහුගේ රාජ්‍ය කාලය අව­සා­න­යට පැමි­ණියේ ද තමන්ගේ ම තවත් සොහො­යු­රකු වූ මොග්ග­ල්ලාන කුම­රුගේ ආක්‍ර­ම­ණ­යක් නිසාය. දෙසේනා මහා යුද්ධ­ය­කට සැර­සෙද්දී මොග්ග­ල්ලාන කුමරු (පසුව IIමොග්ග­ල්ලාන රජු) රාජ්‍ය උරු­මය උදෙසා අප දෙදෙනා අතර ඇති එම අර­ග­ල­යට නික­රුණේ අහිං­සක මිනි­සුන් සටන් නොකළ යුතු බව පවසා තම සොහො­යු­රාට, තමා සමග ද්වන්ධ ඇත් යුද්ධ­ය­කට ආරා­ධනා කළේ ය. එම අභි­යෝ­ගය පිළි­ගත් දෘඨ­භූ­පති රජු ද සිය ඇතු­පිට නැඟී සට­නට පිවි­සියේ ය. එහෙත් සටනේ දී පහර කෑ සිය ඇතු පසු බසිද්දී දාඨා­ප­භූති රජු සිය හිස සිඳ­ගැ­නී­මට ඉදි­රි­පත් වූයේ ය. සොහො­යුරු මොග්ග­ල්ලාන කුමරු සිය­දිවි තොර කොට­ගැ­නී­මට සැර­සුණු පරා­ජිත දාඨා­ප­භූති රජු­ගෙන් එසේ නොක­රන ලෙස ආයා­චනා කළ ද එය සඵල නොවූයේ ය.

අනු­රා­ධ­පුර රාජ්‍යයේ අව­සන් පාල­කයා වූ V මිහිඳු රජු ද චෝල අධි­රා­ජ්‍යයේ ආක්‍ර­ම­ණික සේනා­ව­ලට කොටු වුවද චෝල සේනා එම රජු ඝාත­නය කිරී­මට ඉදි­රි­පත් නොවූයේ ය. ක්‍රි. ව. 1017 දී V මිහිඳු රජුව චෝල­දේ­ශ­යට රැගෙන ගොස් ක්‍රි. ව. 1029 දී එරජු මිය යන තෙක් චෝල දේශයේ සිර­කොට රඳ­වා­ගනු ලැබීය. ක්‍රි. ව. 1017 දී අවු­රුදු එක්ද­හස් පන්සි­ය­ය­කට ආසන්න කාල­යක් පැවැති අනු­රා­ධ­පුර රජ පෙළ­පත අව­සන් වූ අතර අනු­රා­ධ­පුර රාජ්‍යය ද බිඳ­වැ­ටිණි. චෝලයෝ තමන්ගේ පාලන අග නග­රය ලෙස පොලො­න්න­රුව තෝරා­ගන්නා ලද්දෝය.

Comments