මේ ජීවිත ගැනත් අනුකම්පාවෙන් බලන්න | සිළුමිණ

මේ ජීවිත ගැනත් අනුකම්පාවෙන් බලන්න

  • වනයේ සිටින ක්ෂීරපායි සතුන් රැසක්ම වාහනවල ගැටී ආබාධිත තත්ත්වයට
  • ප්‍රධාන මාර්ග රාශියක් දිව යන්නේ වන රක්ෂිත හරහා. මේ නිසා අධික වේගයෙන් යන වාහනවලට දුර්ලභ සතුන් බිල්ලට
  • බොහෝ දෙනා වන රක්ෂිත කලාප වල වාහන ධාවනය කරන්නේ නිශ්චිත වේගසීමා පවා ඉක්මවමින්
  • දින 10කට සත්ත්ව වර්ග 1000 ක් මරණයට
  • බළල් පවුලේ දැවැන්තයන් රිය අනතුරුවලට ලක් වන්නේ රාත්‍රී කාලයේදී
  • බොහෝ උරගයින් අවු රශ්මිය විඳින්න එන්නේ තාර පාරවලට

 

දිනෙන් දින අප මැදි කර ගෙන විසල් වු ගොඩනැගිලි, යාන වාහන, මංමාවත් ඉදි වෙමින් රට සංවර්ධනය කරා පිය නගමින් සිටියි. ලංකාවේ ප්‍රධාන මාර්ග පද්ධතීන් අලුත්වැඩියා වෙමින්, අධිවේගී මාර්ග අලුතින් ඉදි වෙමින්, උප මාර්ග බිහි වෙමින් ගමත් - නගරයත් අතරේ මාර්ග ජාලයක් ඉදි වෙමින් පවති. ජනාකීර්ණ වටපිටාවක, කාර්ය බහුලත්වයට නතු වු මිනිසුන් අබිමුව කාලය යනු රන් වලටත් වඩා වටිනාකමින් වැඩි ඒකකයක් බවට පත්ව ඇත. එබැවින්දෝ හොඳින් සකස් කළ මාර්ගයන්හී වේග සීමාවන්ද නොතකමින් රථ වාහන ගමන් කරන්නේ අධික වේගයෙන්ය. රටේ ක්‍රියාත්මක මාර්ග නීතිද උල්ලංඝනය කරමින් සිදු වන මෙකී ක්‍රියාවලිය නිසාවෙන් දෛනිකව සිදු වන අනතුරුද වැඩිවීමක් මිස අඩු වීමක් නම් වාර්තා වන්නේ නැත. එසේ අධික වේගයෙන් රථ වාහන ධාවනය වන්නේ මිනිස් ජීවිත පමණක් නොව සංඛ්‍යාත්මකව ගත් කල සත්ව ජීවිතද බොහෝසේ විනාශ කරමින්ය.

මේ පිළිබදව සමාජය තුළ වැඩි වශයෙන් කතිකාවතක් ඇති නොවනුයේ මිනිස් ජීවිත වලට සාපේක්ෂව සත්ව ජීවිත නොවටිනේ යැයි මිනිසුන් විසින්ම වටිනාකම් සහ නොවටිනාකම් ලබා දී ඇති නිසාවෙනි. දෛනික ගමන් බිමන් සදහා යොදා ගන්නා මං මාවත් තමන්ගේ නිරීක්ෂණයට ලක් කරන්නේ නම් එයට හොදම උදාහරණයන් සොයා ගත හැක. වාහන වල ගැටීම් නිසාවෙන් මියගිය විවිධ සත්වයින්ගේ සිරුරු මාර්ගයේ කාපට් ඇතිරිල්ලටම චප්ප වෙමින් ඉවත් කිරීමට පවා බැරි ආකාරයට විනාශ වී ඇති අයුරු මේ හරහා ගමන් ගන්නා බොහෝ දෙනෙක් නිරීක්ෂණය කරන්නේ දැඩි පිළිකුලෙනි. එසේම මිනිස් ගුණ දම් අප අතරින් ගිලිහි යන බවට කදිම සාක්ෂියක් ලෙස තාර ඇතුරුම් අතරේ කාපට් වන සත්ව මළ සිරුරු හැදින්විය හැකිය.

මදක් සිතා බලන්න. අප කුඩා සන්ධියේ පාරේ මිය ගිය සත්වයෙක් දුටු කල වැඩිහිටියන්ගේ මැදිහත් වීමෙන් එවැනි සතුන් රැගෙන විත් වළක් කපා වළ දමා මිනිසුන් ලෙස ඒ සතුන්ට හිමි ගරුත්වය ලබා දුන් ආකාරය. නමුත් අද ඒ සදහා වේලාවක් නැත. ඒ නිසාදෝ වාහන වල හැපී මියගිය සත්වයින්ගේ සිරුරු කාපට් තාර ඇතුරුමට මුසු වන තෙක් යළි යළිත් හැපෙමින් තැලෙන අයුරු වේදනාවෙන් වුවද නරඹන්නන් බවට පත්වීමට අද අපට සිදුව තිබේ. ජනාකීර්ණ වටපිටාවක් තුළ තත්වය එසේ විය හැකි වුවත් වඩාත් කණගාටුදායක කතාන්දරය වන්නේ නගරයෙන් දුර බැහැර වනජීවී රක්ෂිත ආසන්නයෙන් දිව යන මාර්ගයන් ආශ්‍රිතවද රථ වාහන වල වනසතුන් ගැටීම් බහුලව වාර්තා වීමය. කුඩා කෘමියාගේ සිට විසල් වූ වන අලින් දක්වා දිවයන විවිධ සතුන් රථ වාහන වල ගැටීම් දිනෙන් දිනම බහුල සිදු වන්නේ රියදුරන්ගේ නොසැලකිළිමත් රිය ධාවනයෙන් බවද සිහිපත් කළ යුතුමය.

සංවර්ධනය නාමයෙන් රට තුළ පුළුල් වන මාර්ග ජාලයන් දිව යන්නේ කෙබදු වු පාරිසරික කලාපයන් තුළින්ද? ඒ ඒ වැදගත් පාරිසරික කලාපයන් ඇසුරේදි රථ වාහන මෙහෙයවන්නන් විසින් තම රථය හැසිරවිය යුතු වන්නේ කෙබදු ආකාරයෙන්ද? යන්න අප විසින් වටහා ගත යුතු වැදගත්ම කරුණකි. නාගරික වටපිටාවක් තුළ තම රථය ධාවනය කරන්නාක් හා සමැව වනසතුන් බහුලව ගැවසෙන වනජීවී රක්ෂිත ආසන්නයේදී ධාවනය නොකළ යුතුය. මන්ද යත් වනසතුන් නිරන්තරවම වනය දෙකඩ කරමින් දිව යන මාර්ගය හරහා වනයේ එක් පසක සිට අනෙක් පසට දිව යාම සිදු කරයි. අපරික්ෂාකාරීව මෙවැනි ප්‍රදේශයන් පසු කරමින් රිය ධාවනය කිරීම යනු බොහෝ සත්ව විශේෂයන් රිය අනතුරුවලට ලක් කිරිමක් වන බවත් සදහන් කළ යුතුමය.

වනජීවී රක්ෂිත එකිනෙකට යාවෙන වනමං තීරූ හරහාත්, වනජීවී රක්ෂිත ආසන්නයෙනුත් ප්‍රධාන මාර්ග දිව යයි. උදාහරණ ලෙස මින්නේරිය ජාතික උද්‍යානය මැදින් දිව යන හබරණ - කදුරුවෙල මාර්ගය, කවුඩුල්ල අසලින් දිවයන හතරැස් කොටුව දොර නවය මාර්ගය, ගිරිතලේ ස්වභාව රක්ෂිතය අසලින් දිව යන ගිරිතලේ - ඇළහැර බකමූණ මාර්ගය, ලුණුගම්වෙහෙර - උඩවලව ජාතික උද්‍යානයන් යා වෙන වැටහිරකන්ද අලි සංක්‍රමණික මං පෙත මැදින් දිව යන වැල්ලවාය - තණමල්විල මාර්ගය, ලාහුගල ජාතික උද්‍යානය මැදින් දිව යන සියඹලාණ්ඩුව - පොතුවිල් මාර්ගය, මාදුරුඔය වනපෙත ආසන්නයෙන් දිව යන මාර්ගය, වික්ටෝරියා - රන්දෙණිගල, රන්ටැඹේ අභය භූමිය මධ්‍යයෙන් දිව යන මාර්ගය (රජ මාවත/ දහඅට වංගුව), ලුණුගම්වෙහෙර සහ යාල මායිමෙන් දිව යන බුත්තල - කතරගම මාර්ගයද ඇතුළුව වනජීවී හෝ වේවා, වන සංරක්ෂණ හෝ වේවා කිනම් හෝ වනගත පෙදෙසක් ආසන්නයෙන් දිව යන ප්‍රධාන මෙන්ම අතුරු උප මාර්ගයන්ද රැසක් අප රට තුළ පිහිටා ඇත.

ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ සත්ව විශේෂයන් බොහෝමයක්ම රිය අනතුරු වලට ලක් වීමත් කණගාටුදායක තත්වයකි. ඒ අතරේ උරග පරපුරේ සාමාජිකයින්ට හිමි වන්නේ ප්‍රමුඛතැනකි. සත්ව ලොව සිතල රුධිරය දරන්නන් ලෙස ප්‍රකට උරග පවුලේ සාමාජිකයින් තමන්ගේ සිරුරේ සිතල රුධිරය උණුසුම් කර ගනු වස් හිරු රැස් විද ගැනිමට දක්වන්නේ ප්‍රියතාවකි. ඒ අතරේ කටුස්සන්ට හිමි වන්නේ පළමු තැනයි. අපේ රට තුළ පමණක් ජීවත් වන කටුසු විශේෂයන් 21 කට ආසන්න සංඛ්‍යාවක් ජිවත් වන අතර ඉන් විශේෂ 17 කට ආසන්න සංඛ්‍යාවක් ආවේණික විශේෂ ලෙස වාර්තා වේ. අව් රශ්මියෙන් උණුසුම් වු තාර පාරවලට කටුස්සන් ඇදි යන්නේ නිසගයෙනි. එබැවින්දෝ බොහෝ රිය අනතුරු වලට භාජනය වන්නේ උරග පවුලේ කටුසු සාමාජිකයන් වේ. පරිසරයත් සමඟ තමන් ජීවත් වන අවට වටපිටාවත් සමඟ සහජීවනයෙන් වාසය කරනා කටුසු සාමාජිකයින් තමන් ජීවත් වන අවට පරිසරයට ඉතාමත් සංවේදී වූ ජීවී විශේෂයන් වශයෙන්ද හැදින්විය හැකිය. පාරිසරික සමතුලිතතාවය සඳහා මෙවැනි සත්වයින්ගෙන් ඉටු වන්නේ අනුපමේය වු මෙහෙවරකි.

එසේම සර්ප විශේෂයන් බොහෝ දෙනෙක්, ක්ෂිරපායි විශේෂයන් බොහෝමයක්, කුරුලු සාමාජිකයින් බොහෝමයක් ආදී ලෙස විවිධ නම් ශ්‍රී ලංකාවේ මාර්ග රිය අනතුරුවලට ලක් විමෙන් මිය යන සතුන්ගේ ලේඛනයට ඇතුළත් කළ හැකිය. මිය යාමට අමතරව විසල් වු ක්ෂිරපායි සත්වයින් වන අලියා, කොටියා, වලසා ආදී සත්වයින් රිය අනතුරුවලට ලක් විමෙන් පසුව ආබාධිත තත්වයන්ට පත්ව වනජීවී සෞඛ්‍ය කළමනාකරණ ඒකකයන්හී ප්‍රතිකාර ලබන අතරේ අනේක විද ශාරීරික පීඩා විද සදාකාලික ආබාධිත තත්වයන්ට හෝ මිය යන අවස්ථාවන්ද වාර්තා වේ. පාරිසරික සමතුලිතතාවය වෙනුවෙන් මෙවැනි සත්වයින්ගෙන් සිදු වන අනගි මෙහෙවර නිහඩ බැවින් කිසිවකුට හෝ නොදැනීම අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බවත් සිහිපත් කළ යුතුමය.

කුඩා කෘමියාගේ සිට විසල් වු අලි ඇත් සත්ව පරපුරේ සියලුම නියෝජනයන් මෙකී අවාසනාවන්ත වු තත්ත්වයට දෛනිකව ලක් වීම සැබැවින්ම කණගාටුදායක තත්ත්වයකි. බොහෝ විට බළල් පවුලේ දැවැන්තයින් වන කොටියා (Leopard), කොළ දිවියා (Rusty Spotted Cat), හදුන් දිවියා (Fishing Cat) සහ වල් බළලා (Jungle Cat) වැනි දුර්ලභ සත්වයින් රිය අනතුරු වලට ලක් වන්නේ රාත්‍රි කාලයේදීය. එබැවින් එවැනි වු අනතුරු වළක්වා ගැනිම සඳහා විමසිලිමත්ව, නියමිත වේග සිමාවන් පිළිපදිමින් රිය ධාවනය කිරීම සිදු කළ යුතු බැව් අවධාරණය කළ යුතුය.

වනජීවී රක්ෂිත ආසන්නයෙන් දිව යන ප්‍රධාන මාර්ගයන් අසල ගමන් ගන්නා රථ වාහන වළ වේගය සීමා කිරිම සදහා මාර්ගයේ තැනිත් තැන මාර්ග ගැටි (Humps) නිර්මාණය කිරීම, රථ වාහන පදවන රියැදුරන් දැනුවත් කිරීම සහ රථ වාහන තුළ ගමන් ගන්නා පුද්ගලයින් දැනුවත් කිරීම වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මුල් වී දැනුවත් කිරීමේ පුවරු මාර්ගය දෙපසට වන්නට සවි කරීමද මේ වන විට ගෙන ඇති පියවර අතරට ඇතුළත්ය.

මාර්ගයේ තැනින් තැන යොදා ඇති මාර්ග ගැටි මගින් රථයේ වේගය සිමා කරන අතරම මාර්ගය දෙපස සවි කර ඇති දැන්වීම් හරහා රිය­ැදුරන් වෙත කාරුණිකව මතක් කර සිටින්නේ “ඔබ ගේ රිය ගමන් ගන්නේ වනජීවීන් බහුලව ගැවසෙන ප්‍රදේශයක් හරහාය”, “ඒ පිළිබදව අවධානයෙන් වේගය සීමා කර ගෙන (පැයට කිලෝමීටර් 25 - 30 ක පමණ) රිය ධාවනය කරන්න”, “මාර්ගය දෙපස ආහාර ගැනීමෙන් වළකින්න”, “නියමිත ස්ථානයන් තුළ රැදෙමින් ආහාර ගන්න”, “ආහාර ද්‍රව්‍ය මාර්ගය දෙපස බැහැර කිරිමෙන් වළකින්න”, “මේ වනසතුන්ගේ නිවහනයි”, “අප ගමන් ගන්නේ ඒ හරහායි”, “අහිංසක වනසතුන්ගේ ජීවත් වීමේ අයිතිය සුරකින්න සහය වන්න” වැනි වු කාරණාවන් පිළිබඳවය. මන්ද යත් මෙවැනි දෑ නොසලකා හැරීමෙන් වර්තමානයේදි අසන්නට හා දකින්නට ලැබෙන කණගාටුදායක වු වනසත්ව මරණයන් රිය අනතුරු නිසාවෙන් සිදු වන තත්ත්වය දක්වා වර්ධනය වී ඇත.

මාර්ගයන් දෙපස ආහාර ද්‍රව්‍යයන් බැහැර කිරීමෙන් එවැනි කුණු කසළ ආහාර ලෙස බුක්ති විදිමේ අරමුණැතිව විවිධ වනසත්ව විශේෂයන් මාර්ග අද්දරට පැමිණීමේ වැඩි ප්‍රවනතාවයක් පවතී. වන අලින්, රිළා, වදුරු විශේෂයන්, මුවන්, ගෝනුන්, විවිධ පක්ෂීන් ආදී සත්වයෝ ඉවතලන ආහාර බුක්ති විදීමේ වැඩි රුචිකත්වයක් දක්වති. ඉවත ලූ කසල ගොඩවල් ආසන්නයේ ගැවසෙන විවිධ කෘමී විශේෂයන් ගොදුරු කර ගන්නා අටියෙන් කටුස්සන් ආදී සතුන් ඇදී එයි.

එවැනි සතුන් ගොදුරු කර ගන්නා අටියෙන් සර්පයින්ද ඇදී ඒම සිදු වේ. වදුරන්, රිළවුන්, මුවන් ආදී සතුන් යනු විසල් ලෙස රැළ ලෙස ගැවසෙන සතුන් වන බැවින් අනතුරුවලට ලක්වීමේ වැඩි ඉඩක් ඇත. කුඩා කටුස්සන්, සර්පයින් වැනි සතුන් මිය ගිය පසුව ඒ සිරුරු ආහාරයට ගැනිමට මාංස භක්ෂක පක්ෂීන්ගේ පැමිණීමද සිදු වේ. එබැවින් වනජීවී රක්ෂිතයක් ආසන්නයේ විවිධ ආහාර ද්‍රව්‍ය බැහැර කිරීමෙන් සිදුවන විපතේ ස්වභාවය සිතන තරම් සුළු පටු වන්නේ නැති බව ඒත්තු යනු නියතය. වනජිවි රක්ෂිත ආසන්නයෙන් දිව යන මාර්ග මත දෛනිකව වන සතුන් රිය අනතුරුවලට ලක් වීම හේතුවෙන් සංඛ්‍යාත්මකව ගත් කල විසල් වු අලි - ඇත්, වලස්, කොටි ආදී සත්වයින් ගේ මිය යාම් බහුලව වාර්තා නොවූවත් සෙසු සත්වයින්ගේ ගැටීම් නම් බහුලවම සිදු වන බවත් සදහන් කළ යුතුමය.

හබරණ - පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය ජාතික උද්‍යානය ආසන්නයේ වනසතුන් රිය අනතුරුවලට භාජනය වීම් පිළිබදව සිදු කළ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ දින දහයකට ආසන්න කාලසීමාවක් තුළ දි කුඩා සත්ත්ව විශේෂයන් (ඒ අතරින් බහුතරය උරග පවුලට අයත් සත්වයින් විමත් විශේෂිතය) 1000 කට ආසන්න ගණනක් මිය ගොස් ඇති බවය. එනම් ඔබේ රථයට යටවී මිය ගියේ එක් කටුස්සෙක් විය හැකියි. එනිසා ඒ ගැන නොසිතා ඔබගේ ගමන ඔබ ගියා නිසැකයි. නමුත් ඒ කටුස්සා ජිවත් වන්නේ මුළු ලොවෙන්ම අප රට තුළ පමණක් (ආවේණික, දුර්ලභ) විය හැකියි. එනිසාවෙන් යළිත් කාරුණිකව සිහිපත් කරන්නේ සිතන්න. මොහොතක්, අඩු කරන්න වනාන්තරයක් අසලින් යන විටදී ඔබේ රථයේ වේගය, අවධානයෙන් ඉදිරියට යන්න, විදින්න පාරිසරික සොදුර බව මග දෙපස, මාර්ගයේ මැද හෝ පසෙක කිනම් හෝ සතෙක් වෙත් නම් ඒ ගැනත් විපරම් කරන්න. ඒ සත්වයාට අවැසි මාර්ගයේ අනෙක් පසට යාමට නම් ඒ සදහා ඉඩ දෙන්න. තවත් සත්වයෙකුගේ ජිවත් වීමේ අයිතිය සහතික කරන්න. මන්ද අප මේ බිලිගනිමින් සිටින්නේ ඔවුන්ගේ නිජ බිම් බව තරයේම සිතට ගන්න.

සේයාරූ - රෝහිත ගුණවර්ධන

Comments