මහ සෑ කොත් බබ­ළ­ව­න්න ඔස්ට්‍රි­යා­වෙන් වැඩමවූ චූඩා මාණි­ක්‍යයේ කතා වස්තුව | සිළුමිණ

මහ සෑ කොත් බබ­ළ­ව­න්න ඔස්ට්‍රි­යා­වෙන් වැඩමවූ චූඩා මාණි­ක්‍යයේ කතා වස්තුව

නු­රා­ධ­පුර ස්වර්ණ­මාලී මහ සෑ රදුන් මත නව චූඩා මාණි­ක්‍ය­යක් පැල­ඳ­වීමේ මහා පුණ්‍යෝ­ත්ස­වය හෙට (25) දින සවස් භාගයේ පැවැ­ත්වී­මට සිය­ලුම කට­යුතු සූදා­නම් කර තිබේ. ශ්‍රද්ධා සම්පන්න ජන­තා­වට දැක බලා ගැනී­ම­ටත් වන්ද­නා­මාන කිරී­ම­ටත් කොළඹ බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා පරි­ශ්‍රයේ මිහි­ලක මැඳුරේ තැන්පත් කර තිබූ මෙම චූඩා මාණි­ක්‍යය කොළ­ඹින් වැඩම කර­වනු ලැබුවේ පසු­ගිය 21වැනිදා ය. එදින කුරු­ණෑ­ගල ඇත්කඳ විහා­රයේ තැන්පත් කිරී­මෙන් අන­තු­රුව බැති­ම­තුන්ගේ වන්ද­නා­මාන කට­යුතු සඳහා 22 වැනි දින දහ­වල් 12.00 වන තුරු විවෘ­තව තැබුණු මෙම චූඩා මාණි­ක්‍යය 22 වැනිදා පස්ව­රුවේ අනු­රා­ධ­පු­ර­යට වැඩම කෙරිණි. එතැන් සිට හෙට දවසේ පස්ව­රුව දක්වා බැති­ම­තුන්ගේ දැක බලා ගැනීම සඳහා මන­රම් මණ්ඩ­ප­යක තැන්පත් කර තිබෙන නව චූඩා මාණි­ක්‍යය රුව­න්මැලි සෑර­දුන් මත පැල­ඳ­වීමේ පින්කම හෙට දිනයේ පැවැ­ත්වෙන්නේ ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ­යන්ගේ බුද්ධා­ල­ම්භන ප්‍රීතිය සමඟ මුසුව නැ‍ඟෙන සාධු­කාර හඬ මාධ්‍ය­යෙ­හිය.

රුව­න්මැලි මහ සෑයට අලුත් චූඩා මාණි­ක්‍ය­යක් පැල­ඳ­වී­මට සිදු වූයේ මෙතෙක් තිබූ චූඩා මාණි­ක්‍යය පළුදු වී ඇති නිසාය. ඒ බව මීට වස­ර­කට පමණ පෙර රුව­න්මැලි මහ සෑයේ භාර­කාර පූජ්‍ය පල්ලේ­ගම හේම­ර­තන හිමි­යන් විසින් සිදු කළ දැනුම් දීම­කට අනුව අට­ම­ස්ථා­නා­ධි­පති ස්වාමි­න් ව­හ­න්සේගේ අව­ස­රය ඇතිව අලුත් චූඩා මාණි­ක්‍ය­යක් නිර්මා­ණය කිරීමේ කට­යුත්ත ආරම්භ විය. මෙම වග­කීම භාර­ගෙන කට­යුතු කිරීම සිදු වූයේ විශ්ව පාරමී පද­නම මගිනි. ප්‍රථ­ම­යෙන්ම උණ­බට ආධා­ර­යෙන් සල­ප­තළ මළුවේ සිට කොත්ව­හන්සේ වෙත ඉණි­ම­ඟක් ඉදි කොට විශ්ව පාරමී පද­නම මගින් දේශීය සහ විදේ­ශීය විශේ­ෂඥ කණ්ඩා­ය­මක් යොදවා පූර්ණ තත්ත්ව පරී­ක්ෂා­වක් සිදු කරනු ලැබීය. එහිදී අවශ්‍ය මිනුම් කට­යුතු මෙන්ම පින්තූර ඇතුළු බොහෝ දත්ත ලබා ගැනිණි.

මෙම පරී­ක්ෂා­වේදී චූඩා මාණි­ක්‍යය බොහෝ සෙයින් පළුදු වී ඉරි තැළී, දුර්වර්ණ වී ඇති බවට තහ­වුරු විය. එමෙන්ම චූඩා මාණි­ක්‍යය වැඩ සිටින කොත්ව­හන්සේ පවා තඹ කොටස් සම්බන්ධ වන ස්ථාන ඈත් වී, වෙන් වී ඇති බවද තහ­වුරු විය. එප­ම­ණක් නොවේ. කොත්ව­හන්සේ මත එක් එක් කාල­ව­ලදී ආලේප කර තිබෙන්නේ පිරි­සිදු රත්ත­රන් නොව රන් පැහැති ද්‍රව්‍ය­මය ආලේ­පන බවට ද තහ­වුරු කෙරිණි. මේ අනුව වහාම පිළි­ස­කර කොට යහ­පත් මට්ට­මට නොග­ත­හොත් කොත්ව­හන්සේ ඇතුළු චූඩා මාණි­ක්‍යය ඉතා විශාල අන­තු­ර­කට මුහුණ දෙන බව මෙම පරී­ක්ෂ­ණ­ව­ලදී සනාථ විය. මෙම පරී­ක්ෂාවේ තොර­තුරු සමඟ ඒ සඳහා ගත යුතු ක්‍රියා­මාර්ග පිළි­බඳ ඇතු­ළත් කර­මින් සම්පූර්ණ ශක්‍යතා වාර්තා­වක් විශ්ව පාරමී පද­නම විසින් ලබා ගනු ලැබුවේ එබැ­විනි.

එතැන් පටන් විශ්ව පාරමී පද­නමේ මූලික කාර්යය වූයේ වත්මන් චූඩා මාණි­ක්‍යයේ තිබෙන මූලික හැඩ සහ දිග පළල අනුව ඊට ගැළ­පෙන වටිනා පළිඟු පාෂා­ණ­යක් සෙවී­මයි. එය ඔවුන්ට අභි­යෝ­ගා­ත්මක කාර්ය­යක් ම විය. මේ අත­ර­වා­ර­යේදී අනර්ඝ පළිඟු පාෂාණ සැප­යිමේ සහ කැට­යම් කිරීමේ කට­යුතු සඳහා අංක එකේ ආය­ත­නය ලෙස විරු­දා­ව­ලිය ලත් ලෝක විශේ­ෂඥ සමා­ග­මක් වන ඔස්ට්‍රි­යාවේ Swarovski නම් වූ සමා­ගම මෙම උදාර කට­යු­ත්තට සම්බන්ධ කර ගැනී­මට විශ්ව පාරමී පද­නම සමත් විය. මෙම සමා­ගම මගින් දිය­ම­න්ති­ව­ලට පම­ණක් දෙවැනි වන රොක් ක්‍රිස්ට්ල් (Rock cristle) නම් වූ ඉතා වටිනා පළිඟු පාෂ­ණ­යක් චූඩා මාණි­ක්‍යය කැට­යම් කිරීම සඳහා සපයා දෙනු ලැබීය. එහෙත් මේ තරම් විශාල පළිඟු පාෂා­ණ­යක් කැට­යම් කිරීමේ භාර­ධූර කට­යුත්ත ඔස්ට්‍රි­යානු සමා­ග­මට කළ නොහැකි බව දැනුම් දුන් නිසා එය බුරුම සමා­ග­ම­කට භාර දීමට කට­යුතු පිළි­යෙල කෙරිණි. ඒ අත­රේදී ඔස්ට්‍රියාවේ Swarovski සමා­ගම ඔවුන් සතු අති නවීන උප­ක­රණ සහ මෙව­ලම් තව­දු­ර­ටත් නවී­ක­ර­ණය කළේ රුව­න්මැලි සෑයේ චූඩා මාණි­ක්‍යයේ කැට­යම් කිරීමේ පුණ්‍ය කට­යු­ත්තට දායක වීම සඳ­හා­මය. ඒ අනුව එය ඔස්ට්‍රි­යානු සමා­ග­මට ම පැව­රිණි.

මෙම නව චූඩා මාණි­ක්‍ය­යට වසර 100 ක් ගත වන තුරු කිසිදු හානි­යක් නොවන බව ඔස්ට්‍රි­යානු සමා­ගම විසින් සහ­තික කර තිබේ.

නව චුඩා මාණි­ක්‍යය හා සම්බ­න්ධිත පාදම පිරි­සිදු රනින් නිර්මා­ණය කිරීමේ කට­යුත්ත භාර වූයේ ලෝක ප්‍රකට සිංග­ප්පුරු සමා­ග­ම­ක­ටය. මෙම සමා­ගම බෲනායි රජ පවුල සහ ඕමාන රජ පවුල ඇතුළු බොහෝ රාජ­කීය පවුල් සඳහා රන් කට­යුතු කරන අත්දැ­කීම් බහුල ඉතා දක්ෂ රන්ක­රු­ව­න්ගෙන් සම­න්විත වූවකි. නව චූඩා මාණි­ක්‍යයේ පාදම සඳහා පිරි­සිදු රන් කිලෝ ග්‍රෑම් 28 ක් යොදා ඇති අතර හැඩ ගන්වන ලද ස්වාභා­වික නිල් මැණික් සහ රතු මැණික් ගල් 4,300ක් ඔබ්බවා ඇත.

මෙම නව චුඩා මාණි­ක්‍යය අනු­රා­ධ­පුර රුව­න්මැලි මහ සෑයේ පැල­ඳ­වීමේ පින්කම හෙට දිනයේ සිදු කෙරෙන්නේ වසර 80 කට පසු­වය. මෙහි අව­සාන වතා­වට චූඩා මාණි­ක්‍යය ඇතුළු කොත් වහන්සේ පැල­ඳ­වීමේ පුණ්‍යෝ­ත්ස­වය සිදු කෙරුණේ වසර 800 ක් පමණ වල් වැදී නට­බුන් වී ගිය රුව­න්මැලි සෑය ප්‍රති­සං­ස්ක­ර­ණය කරන අව­ස්ථා­වේ­දීය. එනම් 1940 ජුනි මස 17 වැනි දින උදැ­සන 8.50 ට යෙදී තිබුණු සුබ මොහො­තින් කොත තැන්පත් කර චූඩා මාණි­ක්‍යය සවි කිරීම සිදු කෙරිණි. මෙය සිදු කරනු ලැබුවේ රුව­න්මැලි සෑයේ එව­කට භාර­කාර උදු­රු­ව­හ­ල්මි­ල්ලෑවේ රේවත, යූ. වින­යා­ලං­කාර, බද්දේ­ගම පිය­ර­තන යන ස්වාමීන් වහ­න්සේ­ලාගේ ප්‍රධා­න­ත්ව­යෙනි. චූඩා මාණි­ක්‍යය තැන්පත් කිරී­මෙන් අන­තු­රුව දක්ෂි­ණ­වෘත සංඛ­ය­කින් චූඩා මාණි­ක්‍යය මතට පැන් ඉස සෑය අභි­ෂේක කර තිබේ. ජුනි 19 වැනි දිනට යෙදී තිබුණු පොසොන් පෝදා සවස 4.00 ට සුබ මොහො­තින් කොත නිරා­ව­ර­ණය කෙ‍රිණි.

එදා රුව­න්මැලි සෑයට කොත සහ චූඩා මාණි­ක්‍යය පැල­ඳ­වීමේ පුණ්‍ය කට­යුත්ත සිදු වූයේ මෙරට යටත් විජි­ත­යක් ලෙස පැවැති වක­වා­නුවේ නට­බුන් වී ගිය රුව­න්මැලි සෑය නැව­තත් ගොඩ නැඟීම සඳහා ඉදි කළ අව­ස්ථා­වේ­දීය. එම උදාර කට­යු­ත්තට මූලි­ක­ත්වය ගෙන ක්‍රියා කළේ නාර­න්විට සුම­න­සාර හිමි­යන්ය. නාර­න්විට සුම­න­සාර හිමි ගේ ප්‍රධා­න­ත්ව­යෙන් රුව­න්මැලි සෑය ඉදි කර­ගෙන යන විට 1910 වස­රේදී නව බැම්මේ නැගෙ­න­හිර කොටස වර්ෂා­වට කඩා වැටිණි. මේ කාල­යේදී නාර­න්විට සුම­න­සාර හිමි­යන් බැහැ දැකී­මට විශේෂ ප්‍රභූ අමු­ත්තෙක් පැමි­ණි­යේය. හේ, කටු­නා­යක ඇව­රි­වත්තේ පදිංචි වී සිටි කුමා­ර­සිංහ රන්සි­රි­නෙල් පෙරේරා නමැති වෙද මහ­තාය. ඔහු රුව­න්මැලි සෑය ඉදි කිරීමේ කට­යුතු සඳහා දායක වීමට කැමති විය. ඔහු ධන­යෙන් රුපි­යල් ලක්ෂ­යක ධන පරි­ත්‍යා­යක් කළා පම­ණක් නොව ඉංජි­නේරු උප­දෙස් පරිදි ඉදි කිරීමේ කට­යුතු සිදු කිරී­මට ද ක්‍රියා කළේය. මේ අත­ර­වා­ර­යේදී 1912 දී අකු­රැස්සේ පදිංචි වැවිලි කර්මා­න්තයේ නිරත ව්‍යාපා­රි­ක­යකු වූ දොන් හේන්දික් සිල්වා නොහොත් හේනේ­ගම අප්පු­හාමි රුව­න්මැලි සෑයට පැමිණ රු.ලකුෂ 2 ½ ක ධන පරි­ත්‍යා­ග­යක් කළේය. එම මුදල එව­කට රුව­න්මැලි සෑයේ ඉදි­කි­රීමේ කට­යුතු සඳහා ඇස්තු­මේ­න්තු­ගත මුද­ලින් 1/5 ක් වූ අතර එය එදා අද­හා­ගත නොහැකි තරම් විශාල මුද­ලක් විය. 1916 වන විට බැමි සකස් කිරීම අව­සන් කෙරුණු අතර 1921 වන විට දැගැබ් ගර්භයේ කට­යුතු අව­සාන කළ හැකි වූ‍වේ නාර­න්විට සුම­න­සාර හිමිගේ අප්‍ර­ති­හත ධෛර්ය­යත් රන්සි­රි­නෙල් වෙද මහ­තාගේ සහ හේනේ­ගම අප්පු­හාමි මහ­තාගේ නොම­සුරු ධන පරි­ත්‍යා­ග­යක් සමඟ ඔවුන්ගේ සහ­යෝ­ග­යත් ලැබුණු නිසාය. ගර්භය ඉහ­ළට ජලය රැගෙන යෑමේ කට­යු­ත්තට තාක්ෂ­ණික අංශ­යෙන් දායක වූයේ කොළඹ ජින­සේන සමා­ග­මයි. එදා හත­රැස් කොටු­වට මුල්ගල තැබුවේ රන්සි­රි­නෙල් වෙද මහ­තාය.

1921 දී නාර­න්විට සුම­න­සාර හිමියෝ වසර 72 ක් ආයු වලඳා අප­වත් වූහ. ඒ වන විට රුව­න්මැලි සෑයේ ඉදි කිරීමේ කට­යුතු අව­සාන වී තිබුණේ නැත. එහෙත් ඇව­රි­වත්තේ කුමා­ර­සිංහ රන්සි­රි­නෙල් පෙරේරා වෙද මහ­තාගේ මූලි­ක­ත්ව­යෙන් ඇර­ඹුණු රුව­න්මැලි චෛත්‍ය වර්ධන සමි­තිය ඉතා ප්‍රායෝ­ගික ප්‍රග­ති­යක් දක්ව­මින් අඛ­ණ්ඩව සිය කට­යුතු කර­ගෙන ගියේය. මෙම ප්‍රති­සං­ස්ක­රණ කට­යු­තු­වල මහා සිටු­වර භූමි­කාව කළ දොන් හේන්දික් සිල්වා හෙවත් හේනේ­ගම අප්පු­හාමි මෙ‍ලොව හැර ගියේ 1932 දීය. 1933 දෙසැ­ම්බර් මාස­යේදී හත­රැස් කොටුවේ ධාතු නිදන් කිරීමේ උත්ස­වය පැවැති අතර ඒ වන විට ගිලන් වී සිටි රන්සි­රි­නෙල් වෙද මහතා 1935 දී අව­සන් සුසුම් හෙළීය.

රුව­න්මැලි සෑයේ පිළි­ස­කර කට­යු­තු­ව­ලට මූලි­ක­ත්වය ගත් තිදෙ­නාම ජීව­තුන් අතර නොමැති නිසා රන්සි­රි­නෙල් වෙද­ම­හ­තාගේ එකම දිය­ණිය සමඟ විවාහ වී සිටි මහර ඒබරං එදි­රි­සිංහ වෙද රාල­හාමි චෛත්‍ය­ව­ර්ධන සමි­තියේ මූලි­ක­ත්වය ගනි­මින් පිළි­ස­කර කට­යුතු අඛ­ණ්ඩව සිදු කර­ගෙන යෑමට ක්‍රියා කළේය. ඉන් අන­තු­රුව ඉතිරි වූ‍යේ චෛත්‍යයේ කොත සෑදීමේ කාර්ය­යයි. පිළි­ම­ත­ලාවේ පිත්තල කර්මා­න්තයේ නිරත කණ්ඩා­ය­ම­කට එම කට­යුත්ත භාර විය. කොතේ උස අඩි 26කි. සෑදු පිත්තල කොතේ බර ටොන් 6කි. කොතේ රන් ආලේප කළේ රන්සි­රි­නෙල් වෙද මහ­තාගේ බිරිය වන මැටි­කො­ටුවේ හාමිනේ විසිනි. ඒ සඳහා මාස තුනක කාල­යක් ගත විය.

ඊට පසුව ඔවුන් මුහු­ණ­දුන් ප්‍රධාන අභි­යෝ­ගය වූයේ චූඩා මාණි­ක්‍ය­යක් නිර්මා­ණය කර ගැනී­මයි. පොකු­ණු­විට ශ්‍රී වින­යා­ලං­කා­රා­මය සහ දෙම­ට­ගොඩ ශ්‍රී මකු­ටා­රා­මය යන උභය විහා­රා­ධි­පති බුරු­මයේ යු. වින­යා­ලං­කාර හිමි­යන්ගේ සහය පැතී­මට චෛත්‍ය­ව­ර්ධන සමි­ති­යට සිදු වූයේ එම­නි­සාය. ඒ වන විට දළදා මාළි­ගාවේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු කර­මින් සිටි උන්ව­හන්සේ ඒ කට­යුතු අත­ර­මග නවතා 1938 මැයි මස බුරු­ම­යට වැඩම කළේ පළි­ඟු­වක් සොයා ගැනී­ම­ටය. පළිඟු සඳහා ප්‍රසි­ද්ධි­යක් උසු­ලන බුරු­මයේ මෝගොක් නග­ර­යට වැඩම කළ උන්ව­හ­න්සේට ධන­වත් ව්‍යාපා­රික දාන­ප­ති­යන් සිවු දෙනෙකු සතුව තිබූ විශාල පළි­ඟු­වක් නොමි­ලේම ලබා ගත හැකි විය. එය රැගෙන යළි මෙර­ටට වැඩම කළ යූ. වින­යා­ලං­කාර හිමි­යන්‍ට නැව­තත් බුරු­ම­යට යෑමට සිදු වූයේ චූඩා මාණි­ක්‍යය කැපීමේ තාක්ෂ­ණය ඒ වන විට අපේ රටේ නොති­බුණු බැවිනි. එහෙත් චෛත්‍යයේ මිනු­ම්වල ආකා­ර­යට අවශ්‍ය හැඩ­තල එම පළි­ඟු­වෙන් කැපී­මට හැකි වූයේ නැත. ඊට අවශ්‍ය පළි­ඟු­වක් සොයන උන්ව­හ­න්සේට පෙර කී දාන­ප­ති­යන්ට ඉතා විශාල පළි­ඟු­වක් පත­ල­කින් ලැබුණු බව දැන­ග­න්නට ලැබිණි. ඔවුන් හමු වී කතා­බහ කිරී­මෙන් අන­තු­රුව එම විශාල පළි­ඟුව පරි­ත්‍යාග කිරී­මට ඔවුහු කැමති වූහ. අඟල් 18 ක් උසැති, අඟල් 25.5 ක වට ප්‍රමා­ණ­යක් ඇති, රාත්තල් 12.5ක බරැති මෙම චූඩා මාණි­ක්‍යය බුරු­මයේ බෞද්ධ­ය­න්ගෙන් පරි­ත්‍යා­ග­යක් ලෙසින් ප්‍රදා­නය කිරී­මට තීර­ණය කෙරිණි. ඔවු­න්ගෙන් රන්, රිදී ආධාර ද ලැබිණි. සැදෑ­හැ­වත් බුරුම බෞද්ධ­යකු රන්ක­රුවා සිය නිවසේ මාස 3ක් නව­ත්වා­ගෙන චූඩා මාණි­ක්‍යය තැන්පත් කිරී‍ම සඳහා ස්වර්ණ­මය ආධා­ර­ක­යක් සකස් කළ අතර එය රිදි­යෙන් වාත්තු කර රන් අ‍ාලේප කරනු ලැබීය. ආධා­ර­කය පුරා මැණික් ගල් ඔබ්බ­වනු ලැබිණි. මෙම ආධා­ර­කය සඳහා රත්ත­රන් රාත්තල් 12ක් ද රිදී රාත්තල් 152 ක්ද මැණික් ගල් 4796 ක් ද යොදා ගැනිණි. එය සම්පූ­ර්ණ­යෙන් නිමා කිරී­මට මාස 9ක් ගත විය. ඒ හැර චූඩා මාණි­ක්‍යය මස්ත­කයේ රනින් ධාතු කර­ඬු­වක් නිම­වී­ම­ටත් ඒ මත සිව් දිශා­වට මැණික් වැල් දැමී­ම­ටත් කට­යුතු කරනු ලැබීය. එම ධාතු කර­ඬුවේ සර්වඥ ධාතුන් වහ­න්සේලා 98 නමක් තැන්පත් කෙරිණි.

මෙසේ නිර්මා­ණය කළ චූඩා මාණි­ක්‍යය සහ ස්වර්ණ­මය ආධා­ර­කය බුරු­මයේ මෝගොක් නග­රයේ සිට රැන්ගුන් නග­ර­යට වැඩම කළේ විශේෂ දුම්රි­ය­කිනි. රැන්ගුන් නග­රයේ පිහිටි ශ්වේද­ගොන් විහා­රයේ තැන්පත් කළේ ස්වර්ණ­මය ආධා­ර­කය සහිත චූඩා මාණි­ක්‍යය ටික දිනක් බුරුම බෞද්ධ­යන්ට වැඳ පුදා ගැනී­ම­ටය. ඉන් අන­තු­රුව බුරුම රජයේ ඉංග්‍රීසි ආණ්ඩු­කාර ශ්‍රීමත් ඩග්ලස් කොක්රේන් විසින් ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩු­කාර ශ්‍රීමත් ඇන්ඩෲ කොල්ඩි­කේට්ට එවනු ලැබුවේ රාජ­කීය භාණ්ඩ­යක් වශ­යෙනි. මෙම චුඩා මාණි­ක්‍යය දෙම­ට­ගොඩ ශ්‍රී මකු­ටා­රා­මයේ තැන්පත් කරනු ලැබීය. ඉන් පසුව එය පෙර­හ­ර­කින් අනු­රා­ධ­පුර බලා වැඩම කෙරිණි. 1940 ජුනි 10 දින චූඩා මාණි­ක්‍යය අනු­රා­ධ­පු­ර­යේදී පිළි­ගත්තේ අට­ම­ස්ථාන කමි­ටුව වෙනු­වෙන් පී.බී. බුල­න්කු­ලම දිසාවේ. රුව­න්මැලි සෑය චෛත්‍ය වර්ධන සමි­තිය වෙනු­වෙන් එච්.බී. කිරි­මැ­ටිය සහ අනු­රා­ධ­පුර නගර සභාව වෙනු­වෙන් එස්. නඩ­රාජා යන පිරිස විසිනි. කොක් පැල­ඳ­වීමේ පිංකම් මාලාව ජුනි 15 දින සිට ආරම්භ කළ අතර මෙම පිංකම සඳහා බෞද්ධ බැති­ම­තුන් ලක්ෂ ගණ­නින් සහ­භාගි වූ බව වාර්තා වේ. ඔවුන්ට ප්‍රවා­හන පහ­සු­කම් සැප­යීම සඳහා විශේෂ දුම්රිය පවා යොදවා තිබිණි.

1940 ජුනි 17 වැනි දින පැල­ඳවූ චුඩා මාණි­ක්‍යය ඇතුළු පාදම ඉම­හත් ගෞර­ව­යෙන් පහ­තට වඩ­ම්මවා, විශේ­ෂ­යෙන් සකස් කළ ප්‍රද­ර්ශන ආස­න­යක් මත පෞරා­ණික වස්තු­වක් ලෙස මහ­ජ­න­තා­වගේ වන්ද­නා­මා­න­යට පහසු වන පරිදි බහා තැබෙන බව විශ්ව පාරමි පද­නම දන්වා සිටියි. මෙම විශ්ව පාරමි පද­නමේ නාය­ක­ත්වය ගෙන කට­යුතු කරන‍්නේ එදා රුව­න්මැලි සෑයේ පිළි­ස­කර කට­යුතු සඳහා මූලි­ක­ත්වය ගත් රන්සි­රි­නෙල් වෙද මහ­තාගේ පර­ම්ප­රාවේ මී මුනු­පු­රකු බව විශේ­ෂ­යෙන් සඳ­හන් කළ යුතු­මය.

 

Comments