
පසුගිය 19 වැනිදාට හිරු උදා වුණත් එදින හදකම්පා කරන පුවතක් අසන්නට ලැබේ යැයි අනුරාධපුර, ගල්නෑව ප්‍රදේශයේ කිසිවෙකුත් නොසිතුවේය. සමන් විජේසිංහ මහතා ගල්නෑව මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරයෙකි. ඔහුගේ බිරිය ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලිපිකාරිණියකි. කුරුලු කැදැල්ලක් වන් සුන්දර පවුල් දිවියක් ගත කළ ඔවුහු ගල්නෑව, මිදෙල්ලෑව, සියඹලෑව නෑගම්පහ ලිපිනයේ විසූහ. මේ දෙදෙනාට දාව දරුවන් දෙදෙනෙකි. වැඩිමහල් පුතුට වයස දහයකි. සුරතල් දඟකාරියක් වූ 'සුදු නෝනා' නමින් කවුරුත් ඇමතු බාල දියණිය නෙතුන්යා නෙතුලි විජේසිංහයි. මේ දැරිය වයස අවුරුදු තුනයි මාස හතරක කොයි කාගේත් සුරතලියකි.
අසල්වැසි පවුලක අඬදබර
රජයේ රැකියාවක නියැළි මේ මාපිය දෙපළ රැකියාවට යද්දී දරුවන් බලාකියා ගත්තෙ සමන්ගේ බිරියගේ මවයි. පසුගිය දහනව වැනිදා ද මේ මව්පිය දෙදෙනා සුපුරුදු පරිදි රැකියාවට ගියේය. වැඩිමහල් පුත්‍රයාද පාසල් ගියේය.
සමන්ලාගේ නිවෙසට යාබදව මීටර් දහයක, පහළොවක පමණ ඈතින් තිබෙන නිවසේ වෙසෙන්නෙ ඔවුන්ගේ ඥාති පිරිසකි. එම නිවෙසේ වෙසෙන වැඩිහිටි යුවළට සිටින්නේ දියණියකි. ගිම්හානි නම් ඇය අවුරුදු විසිහතරක විවාහක කාන්තාවකි.
ඉතා හොඳින් අධ්‍යාපනය ලැබූ ඇය විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබීමට ලකුණු කිහිපයක් මඳකමින් අධ්‍යාපනය අතරමඟ නතරකර ඇත. පසුව යුද හමුදා සෙබළෙක් සමඟ ඇතිවූ පෙම් පළහිලව්වකින් විවාහයක් කරගෙන හමුදා සෙබළාගේ නිවෙසේ ජීවත් වුවත් ඇතිවූ අඩදබර හේතුවෙන් පසුව තම දෙමාපියන්ගේ සෙවණට පැමිණ ජීවත් වූවාය. සැමියාද එම නිවෙසට ආගියත් දෙදෙනා අතර
නිතර දෙවෙලේ අඩදබර ඇතිවිය. එම නිසා ඔවුන්ගේ පවුල් දිවිය හැළහැප්පිලි මැද ගෙවී ගොස් තිබුණි. ගිම්හානිගේ පවුල් දිවියේ අඬදබර ඇතිවීමට ප්‍රධාන ලෙසම බලපා තිබුණේ ඔවුනට දරු සම්පතක් නොමැති වීම බවට සැලවේ.
ගිම්හානි සමන්ගේ දරුවන්ට පණ මෙන් ආදරය කළාය. නිතර දෙවේලේ සමන්ගේ නිවෙසට යනෙන ඇය එම දරුවන් සමඟ සතුටු වන්නීය. සමන්ගේ සුරතල් දියණිය 'සුදු නෝනා' නිතර දෙවෙලේ ගිම්හානි විසින් සුරතල් කළාය. දහවල් කාලයේ ආච්චි සමඟ නිවෙසේ තනිවන නෙතුලි දියණියව ගිම්හානි බොහෝ අවස්ථාවලදී තම නිවෙසටද රැගෙන යන්නීය. එසේ නෙතුලිව එම නිවෙසට රැගෙන යාම ගැන කිසිවකුගෙන් කිසිදු බාධාවක් නොවීය. ඒ ගිම්හානි, නෙතුලිට බොහෝ සේ ආදරය කරන බව සැවොම දැන සිටි හෙයිනි.
![]() |
පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර |
පසුගිය දහනව වැනිදාද සමන්ගේ නිවෙසට පැමිණි ගිම්හානි, සුදු නෝනා වඩාගෙන යළිත් ඇගේ නිවෙසට රැගෙන ගොස් තිබුණාය. ඒ යන මොහොතේ ඇය, සුදු නෝනාගේ ආච්චි අම්මාට පවසා තිබුණේ,
“නැන්දේ... මං සුදු නෝනව ගෙදර එක්කගෙන යනවා... ටිකකින් එවන්නම්“ යනුවෙන් පවසමිණි.
කෝ දුවේ දරුවා?
එදින පෙරවරු දහයහමාරට පමණ රැගෙන ගිය මිනිපිරිය සාමාන්‍යයෙන් විනාඩි කිහිපයක් ගතවෙද්දී යළිත් නිවෙසට රැගෙන ඒම සාමාන්‍ය සිරිතකි. එහෙත් එදින එසේ නොපැමිණි නිසා ආච්චි අම්මා මිනිපිරියට කිහිප වරක්ම කතාකොට තිබුණේ නිවෙසට පැමිණෙන ලෙසයි. එසේ කොතෙක් කතා කළද ඊට කිසිවකුගෙන් ප්‍රතිචාරයක් නොවීය. පසුව ආච්චි අම්මා, ගිම්හානිගේ නිවෙසටද ගොස් තිබුණාය.
“කෝ... දුවේ අපේ කෙලි පැටියා...“ ආච්චි විමසීය.
“ගෙදර යනවා කියලා ගියානේ... ඇයි ආවේ නැද්ද...“ කිසිදු කලබලයකින් තොරව ගිම්හානිද පිළිතුරු දුන්නාය.
ඒත් සමඟ ආච්චිට දෙලෝ රත්වීය. ඇය දරුවා සොයන්නට වූවාය. ඊට නොදෙවැනි ලෙස ගිම්හානිද දරුවා ගැන සොයා බැලුවාය. ගමේ කා අතරත් ක්ෂණයකින් දැරියගේ අතුරුදන්වීම පැතිර යද්දී ආච්චි විසින් 119 පොලිස් හදිසි ඇමැතුම් අංකයටද ඇමැතීය.
ඒ අනුව ඊට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් ගල්නෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර ඇතුළු කණ්ඩායමක් නෙතුලි ගැන සොයා බැලීමට ක්‍රියාත්මක විණි. එහිදී ගල්නෑව අපරාධ අංශයේ ස්ථානාධිපති පී. එම්. සී. පී. තෙන්නකෝන් ඇතුළු නිලධාරින් නෙතුලිගේ නිවෙස අවට ප්‍රදේශය පැය දෙක තුනක පමණ කාලයක් පීරා ඇය සොයන්නට විශාල වෙහෙසක් ගත්තේය.
අතහැර දැමූ ළිඳ
පොලිසිය සමඟ එක්ව ගම්වාසීන්ද ගමේ අත්හැර දැමු නිවෙස්, ඇළදොළ, ළිං, වළවල් පමණක් නොව කැලෑ රොදවලද කුඩා දියණිය ගැන සෙවීය. ඒ අතර පොලිස් නිලධාරින්ගේ සැකයට භාජනය වූයේ ගිම්හානිගේ නිවෙස පිහිටි ඉඩමේම තිබෙන ළිඳකි. ඒ වන විටත් ප්‍රදේශවාසීන් එම ළිඳ තුළට ලී දණ්ඩක් දමා වතුර කලතමින් දැඩි පරීක්ෂාවකට ලක්කර තිබිණි.
““ඒත් අපිට ඒ ළිඳ ගැන පුදුම සැකයක් ඇතිවුණා. අන්තිමට අපි ළිඳ හිස්කරලා බලන්න තීන්දු කළා...“ ඒ ගල්නෑව පොලිසියේ නිලධාරියෙක් අපට කී කතාවයි.
ළිඳ ටිකෙන් ටික හිස්වෙද්දී මතු වූයේ පෝර උරයකි. එම පෝර උරය ගොඩටගෙන පරීක්ෂා කර බලද්දී නෙතුලි දියණියගේ මළසිරුර ඒ තුළ තිබුණේ කිලෝ පහහමාරක් පමණ බරැති ගලක්ද සමඟිනි. දැරියගේ මරණය පිළිබඳව ගිම්හානිගෙන් ඒ මොහොතේම ප්‍රශ්න කෙරිණි. එහෙත් ඇය පුන පුනා කීවේ,
“අනේ සර්... මං පණ වගේ ආදරේ කළ සුදු නෝනට වුණේ මොකද්ද කියලා මං කිසිම දෙයක් දන්නෙ නෑ...“
එහෙත් ගල්නෑව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඇයට ගැලවීමක් නොවූවාය. ගල්නෑව පොලිසියට කැඳවූ ගිම්හානිගෙන් දිගින් දිගට කළ ප්‍රශ්න කිරීමේදී ඇය, නෙතුලි දැරියට වූයේ කුමක්ද යන්න එකින් එක පාපෝච්චාරණය කරන්නට වූවාය. අහස පොළොව නුහුලන එකී අපරාධය පොලිස් නිලධාරින්ද අසා සිටියේ හද කම්පා කරවමිනි. මේ ඇය පොලිසියට කී කතාවයි.
ගිම්හානිගේ පාපොච්චාරණය
“සර්... මට වාවගන්න බැරුවයි හිටියේ, නෙතුලිගේ අම්මයි තාත්තයි ගතකරන ලස්සන පවුල් ජීවිතය දැක්කහම... මට පුදුම ඊර්ෂ්‍යාවක් ඇතිවුණා... මට තේරුණා එයාල ලස්සනට ජීවත්වෙන්නෙ මේ කෙල්ල නිසා කියලා. ඒ නිසා මං දින කීපයක්ම නෙතුලිගේ පවුලෙන් පළිගන්න ක්‍රමයක් හිතුවා. පස්සෙ රෑ නිදාගෙන ඉද්දි මං හිතුවා මේ කෙල්ල මරන්න ඕනෙ කියලා. අනේ සර් මට සමාවෙන්න... මට හිතාගන්න බෑ එහෙම වුණේ කොහොමද කියලා...“
අනතුරුව ගිම්හානි, නෙතුලි ඝාතනය කිරීමට නොඉවසිල්ලෙන් මාන බැලුවේය. ඒ අනුව ඇය පසුගිය දහනව වැනිදා ඊට පිඹුරුපත් සැකැසුවාය. ඇය වැඩිදුරටත් පොලිසියට මෙසේ පවසා තිබුණේ,
“පස්සෙ මගේ අම්මයි තාත්තයි කුඹුරට ගියාම... මං ගිහින් නෙතුලිව වඩාගෙන අරගෙන ආවා...“
ඇය පසුව හයක් හතරක් නොතේරෙන සුරතල් වයසේ පසුවූ නෙතුලිව ඇඳක තබා කට තදකොට හුස්ම කරකොට මරා දමා පෝර උරයකට දමා ගලක්ද ගැට ගසා වත්ත පහළ වූ ළිඳට දැමු බව ඇය පොලිසියට පාපොච්ඡාරණය කෙරුවාය.
ඇය කළ අපරාධයේ තරම කොතෙක්ද යන්න ගිම්හානිට තේරුම් යන්නෙ දැන්ය. එහෙත් ඒ වන විට සියල්ල සිදුවී හමාරය. තමනට දරුවන් නොමැති පීඩනයෙන් පෙළුණු ගිම්හානි ඒ නිසාවෙන් අහිංසක දරු පැටියෙක් මරු තුරුළට යැව්වේ කුමන හිතකින් ද?
අනුරාධපුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සඳුන්ගහවත්ත සහ තඹුත්තේගම කොට්ඨාස බාර පොලිස් අධිකාරි විජිත ද අල්විස් මහත්වරුන්ගේ උපදෙස් මත ගල්නෑව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. එම්. ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්. එම්. ආර්. සී. මුණසිංහ, අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක පී. එම්. සී. පී. තෙන්නකෝන් ඇතුළු නිලධාරි කණ්ඩායම මේ පිළිබඳ පරීක්ෂණ සිදුකළහ.