භාණ්ඩා­ගා­රය කාගෙ­වත් වොලි­බෝල් පිටි­යක් නොවේ | සිළුමිණ

භාණ්ඩා­ගා­රය කාගෙ­වත් වොලි­බෝල් පිටි­යක් නොවේ

ජාතික ආර­ක්ෂාව තහ­වුරු කිරීම, ආර්ථි­කය වර්ධ­නය කිරීම සහ සුබ­සා­ධ­නය ඉහළ නැංවීම සඳහා දේශ­පා­ලන තීන්දු­ගැ­නී­මට හැකි පැහැ­දිලි ජන­ව­ර­ම­කින් බල­යට පත් වූ රාජ්‍ය නාය­ක­ත්ව­යක් පව­තින අව­ස්ථාවේ රාජ්‍ය නිල­ධා­රීන් වශ­යෙන් ඔබ අප සියලු දෙනා හරි දේ කිරී­මට මැළි විය යුතු නැතැයි මුදල් අමා­ත්‍යාං­ශයේ සහ මහා­භා­ණ්ඩා­ගා­රයේ නව ලේක­ම්ව­රයා ලෙස පත් වූ එස්.ආර්. ආටි­ගල මහතා ප්‍රකාශ ක‍රයි.

ජන­තා­වට සහ රටට අවශ්‍ය දූර­දර්ශී නාය­ක­ත්ව­යක් බිහි වී ඇති නිසා ජන­තාව බලා­පො­රොත්තු වන අපේක්ෂා මල්ඵල ගැන්වී­මට නිල­ධා­රීන් අවං­කව, කැප­වී­මෙන් කාර්ය­ක්ෂ­මව වැඩ කිරී­මට සූදා­නම් විය යුතු බවද නව ලේක­ම්ව­රයා කියයි. නව ලේක­ම්ධු­රයේ වැඩ භාර­ගැ­නී­මෙන් අන­තු­රුව අප සමඟ පැවති සම්මුඛ සාක­ච්ඡා­වේදී එස්.ආර්. ආටි­ගල මහතා ඒ බව සඳ­හන් කළේය.

 

මුදල් අමා­ත්‍යාං­ශයේ සහ මහා­භා­ණ්ඩා­ගා­රයේ නව ලේක­ම්ව­රයා ලෙස පත් වීම පිළි­බඳ ඔබගේ අද­හස කුමක්ද?

ඇත්ත­ටම සතු­ටුයි. ‍මෙය මට අමුතු ‍තැනක් නොවෙයි. මම මේ අව­ස්ථා­වේදී විශේ­ෂ­යෙන් මා කෙරෙහි විශ්වා­සය තබා මේ ධුර­යට මාව පත් කළ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මැති­තු­මාට ගෞර­ව­යත්, ස්තූති­යත් පුද කර­නවා. ඒ වගේම අපට මුදල් අමා­ත්‍යාං­ශයේ කට­යුතු සිදු කර­ගෙන යෑ‍මේදී අතී­තයේ ගුරු­හ­රු­කම් ලබා­දුන් ඒ වගේම මඟ පෙන්වීම් ලබාදී අපිව මෙහෙය වූ වත්මන් ජනා­ධි­පති ලේකම් ආචාර්ය පී.බී. ජය­සු­න්දර මහ­තා­ටත් මාගේ ස්තූතිය පුද කර­නවා.

 

අතී­ත­යේදී මුදල් අමා­ත්‍යාං­ශ­යට මහා භාණ්ඩා­ගා­ර­යට කීර්ති­යක් ජන­තා­වගේ ගෞර­ව­යත් පැව­තියා. එය මඳක් දුරස් වූ ස්වරූ­ප­යක් දක්නට ලැබුණා නේද?

පිළි­තුර - ඇත්ත­ටම අතී­ත­යේදී මහා­භා­ණ්ඩා­ගා­ර­යට මේ රටේ ජන­තා­වගේ විශාල ගෞර­ව­යක් කීර්ති­යක් පැව­තියා තමයි. නමුත් කෙටි කාල­යක් එය අපෙන් ගිලිහී තිබුණා. ඒ නිසා අපි නැව­තත් මේ රටේ ජන­තා­වගේ ප්‍රශ්න­ව­ලට විස­ඳුම් ලබා­දී­මට මුල් වන ප්‍රධාන ස්ථාන­යක් ලෙසට මහා­භා­ණ්ඩා­ගා­රය පත් කර­ගත යුතුයි. ජන­තා­වගේ ප්‍රශ්න­ව­ලට සියලු විස­ඳුම් ලබා­දී­මට අපට නොහැකි වුණත් ඒවා පිළි­බඳ අව­ධා­නය යොමු කර අදාළ ආය­ත­න­ව­ලට මඟ පෙන්වී­මට හෝ අපි සමත් විය යුතුයි. එසේ කට­යුතු කළ­හොත් අතී­තයේ අප මහා­භා­ණ්ඩා­ගා­ර­යට ලැබුණා වූ ජනතා ප්‍රසා­දය නැවත ළඟා කර­ගත හැකියි. එය ළඟා කර­ගැ­නීම ඔබේත් මගේත් වග­කී­මයි. යුතු­ක­මයි කියා මා නිත­රම මහා­භා­ණ්ඩා­ගා­රයේ සියලු සේව­ක­යන්ට ප්‍රකාශ කර­නවා. ඒ අනුව අපි වැඩ කළ යුතුයි.

මේ වන විට විශාල අභි­යෝග ගණ­නා­ව­කට රටට මුහුණ දීමට සිදු වී තිබෙ­නවා. විශේ­ෂ­යෙන් ආර්ථික අභි­යෝග. ඒවා ජය­ගැ­නී­මට ඔබ සූදා­නම් වන්නේ කෙසේද?

ඔව්. ඔබ කියන ආකා­ර­යට මේ වන විට රටේ ආර්ථි­කය, දේශ­පා­ලන, සාමා­ජික යන අංශ ඇතුළු අංශ ගණ­නා­වක අභි­යෝග මතු වී තිබෙ­නවා. ඒවා ජය­ගැ­නී­මට රටේ ජන­තාව බලා­පො­රොත්තු වන අපේක්ෂා ඉටු කිරී­මට සමත් දේශ­පා­ලන නාය­ක­ත්ව­යක් රාජ්‍ය නාය­ක­ත්ව­යක් මේ වන විට බිහි වී තිබෙ­නවා. ඒ නිසා අපි ඒ නාය­ක­ත්වය, ඒ නාය­ක­ත්වය රටට යෝජනා කළ රටට දින­වන වැඩ­පි­ළි­වෙළ සෞභා­ග්‍යයේ දැක්ම යථා­ර්ථ­යක් කිරී­මට හැකි අයු­රින් උදව් කළ යුතුයි.

මේ අව­ස්ථාවේ අපිට පැවරී තිබෙන්නේ ආර්ථි­කයේ අභි­යෝග ජය­ගන්නා තැනට නාය­ක­ත්වයේ ආශි­ර්වා­දය සහි­තව ගමන් කිරී­මට උදව් කිරී­මයි. ඒ සඳහා මුදල් අමා­ත්‍යාං­ශයේ සියලු දෙනා අප සමඟ අත්වැල් බැඳ­ගෙන දේශ­පා­ලන නාය­ක­ත්වයේ අර­මුණු, වැඩ­පි­ළි­වෙළ කිසිදු භේද­ය­කින් තොරව ක්‍රියා­වට නැංවී­මට කණ්ඩා­ය­මක් ලෙස එක් විය යුතුය. එම­ඟින් අපට දියුණු ආර්ථි­ක­යක් සහිත රටක් ගොඩ­නඟා ගැනී­මට හැකි­යාව ලැබෙනු ඇත.

 

අතී­තයේ තීන්දු තීරණ ගැනී­මේදී නිල­ධා­රීන් නීති­මය ගැට­ලු­ව­ලට මුහුණ දෙන්න නිල­ධා­රීන්ට සිදු වුණා. ඉදි­රි­යේ­දීත් එවැනි දේ සිදු වේ නම් නිල­ධා­රීන් මන්දෝ­ත්සාහි වෙනවා නේද?

රටේ ජන­තා­වත් රටේ දියු­ණු­වත් ඇති කිරී­මට නිල­ධා­රීන් අවං­කව, නිවැ­රැ­දිව, අභී­තව ගත් තීන්දු අභි­යෝ­ග­යට ලක් වූ අවස්ථා දක්නට ලැබුණා. එවැනි තත්ත්ව­යක් මතු වූ විට ඔවුන් රැක­බලා ගැනී­මට ඉහළ නිල­ධා­රීන් ඉදි­රි­පත් වුණේ නැහැ. ඒ නිසා අපි ගැන බලා­ගැ­නී­මට ‍කවුරුත් නැහැයි යන සිතු­විල්ල තීන්දු තීරණ ගන්නා නිල­ධා­රීන්ට මතු වුණා. එය අප දුරු කළ යුතුයි.

අප කියන්නේ, දේශ­පා­ලන නාය­ක­ත්වය ගන්නා නිවැ­රැදි තීන්දු ජනතා යහ­ප­තට ඉටු කරන ඕනෑම නිල­ධා­රි­යෙකු වෙනු­වෙන් අපි පෙනී සිටි­නවා. එවිට කිසි­වෙ­කු­ටත් තනි­ක­මක් දැනෙන්නේ නැහැ. කවු­රුත් තනි කර­න්නත් අප සූදා­නම් නැහැ. එය සාමූ­හික ක්‍රියා­ව­ලි­යක්. අපි කාට­වත් බැහැ මේ රට අඩ­පණ කරන්න. ඒ නිසා අප කළ යුත්තේ රට‍ ­වෙ­නු­වෙන් වැඩි වැඩි­යෙන් වැඩ කිරීම.

මට මෙහිදී තව දෙයක් කිව යුතුයි. මෙතෙක් කලක් අපි බොහෝ ‍විට ක්‍රියා කළේ එකි­නෙ­කාට බෝලය පාස් කර ප්‍රශ්න­ව­ලින් පැන යෑමයි. එය මින් ඉදි­රි­යට සිදු නොවිය යුතුයි. මෙය මහා­භා­ණ්ඩා­ගා­රයේ කාගෙ­වත් වොලි­බෝල් පිට්ට­නි­යක් නැති නම් ක්‍රීඩාං­ග­ණ­යක් නොවිය යුතුයි. කාට­වත් බෝලය පාස් කරන්න බැහැ. තම තමන් වග­කීම නිසි අයු­රින් ඉටු කළ යුතුයි. එසේ කරන නිල­ධා­රීන් දිරි­මත් කිරී­මට ඒ අය වෙනු­වෙන් පෙනී සිටී­මට අපි සූදා­නම්.

ආ තව දෙයක් කිව යුතුයි. ඔබ කිව යුතු අනෙක් කරුණ කුමක්ද?

අපේ රටේ සේවා අනුව විවිධ බෙදීම් ජනතා සේවය සැප­යී­මේදී දක්නට ලැබෙ­නවා. එය දිගු කලක් තිස්සේ දක්නට ලැබෙන දෙයක්. හැබැයි එය හොඳ දෙයක් නොවේ කියායි මගේ විශ්වා­සය. අපි කවු­රුත් ජනතා බදු මුද­ලින් ඉගෙන ගෙන ඉදි­රි­යට ආපු අය. අපි වග­කිව යුත්තේ ජන­තා­ව­ටයි. ඒ නිසා අපි සේවා පිළි­බඳ භේද වලින් මිරිකී නොසි­ටිය යුතුයි. මගේ හැඟීම නම් මින් ඉදි­රි­යට මුදල් අමා­ත්‍යාං­ශයේ, මහා භාණ්ඩා­ගා­රයේ කට­යුතු කිරී­මේදී සේවා ඉටු කිරී­මේදී සේවා භේද තිබිය යුතු නැත යන්නයි.

 

මේ වන විට අන්ත­ර්වාර ආණ්ඩු­වක් පත් කොට තිබෙ­නවා. අය­වැය කට­යුතු සිදු කරන්නේ කෙසේද?

වසර 2020 මුල් මාස 4ට අදාළ දැන­ට­මත් අතුරු සම්මත ගිණු­මක් මඟින් රජය ආදා­යම් විය­දම් ලේඛන සකස් කර තිබෙ­නවා. ඒ ඔස්සේ අපට කට­යුතු කරන්න කිසිම බාධා­වක් නැහැ. නමුත් ලබන වසරේ මාර්තු මාස­යෙන් පසු බිහි වන ස්ථිර ආණ්ඩුව විසින් අය වැයක් ඉදි­රි­පත් කරන්න කට­යුතු කර­නවා ඇති. දැනට ලබන වසරේ අප්‍රේල් අව­සන් වන තුරු අය වැයක් ඉදි­රි­පත් කිරී­මට අව­ශ්‍ය­තා­වක් නැහැ.

සාකච්ඡා කළේ - ජය­සිරි මුණ­සිංහ

 

Comments