බඳ­ගි­රිය අළු කර රට ම ගිනි තිය­න්නට ගිය වාර්ගික ගින්න අනූ නව­යෙන් නිවා ගත් හැටි | Page 3 | සිළුමිණ

බඳ­ගි­රිය අළු කර රට ම ගිනි තිය­න්නට ගිය වාර්ගික ගින්න අනූ නව­යෙන් නිවා ගත් හැටි

මිය­ගිය තිවංක
මිය­ගිය තිවංක

කුත් 16 වන දිනය මුළු රටේම ජන­තා­වගේ විශේෂ අව­ධා­න­යට යොමුව තිබු දින­යකි. ඒ ජනා­ධි­පති මැති­ව­ර­ණ­යක් පැවැ­ත්වීම හා එහි ප්‍රථි­ඵල භුක්ති විඳී­මට රට වැසියා සුදා­න­මින් සිටිම හේතු­වෙනි. මේ හේතුව නිසාම රටේ වෙනත් කිසිදු සිදු­වී­මක් කෙරෙහි ජනතා අව­ධා­න­යක් නොති­බුණි. 16 වෙනි දින දවස පුරා ම මුළු රට ම මැති­ව­රණ උණු­සු­මින් වෙළා ගෙන තිබුණි. වෙනදා වැඩ­කට පල­කට ගොස් නිව­සට එන්න පරක්කු වෙන පිරිස ද 16 වෙනි දින කලින් ම ගෙදර ආවේ වේලා­ස­නින් මොනවා හෝ කා බී ඡන්ද ප්‍රථි­ඵල බල­න්නට ඕනෑ නිසා ය.

හම්බ­න්තොට බඳ­ගි­රිය ප්‍රදේ­ශයේ ජන­තාව ද මැති­ව­රණ ප්‍රථි­ඵල දැන­ග­න්නට තැන තැන එකතු වී සිටියේ සිය අපේ­ක්ෂ­ක­යාගේ ජය­ග්‍ර­හ­ණය බලා­පො­රො­ත්තු­වෙනි. එහෙත් පළමු ප්‍රථි­ඵ­ලය අස­න්න­ටත් කලින් ම බඳ­ගි­රියේ ජන­තා­වට අහන්න ලැබුණේ අහස පොළොව නුහු­ලන අපා­ර­ධ­යක් පිළි­බඳ කතා­වකි. ඉන් කියැ­වුණේ බඳ­ගි­රිය මැලේ කොල­ණිය ප්‍රදේ­ශයේ දී පිරි­සක් විසින් තරු­ණ­යකු කපා කොටා ඝාත­නය කර ඇති බව ය. ඡන්ද ප්‍රථි­ඵල බලන්න රූප­වා­හි­නිය අබි­යස සිටි බඳ­ගි­රියේ ජන­තාව ඡන්ද ප්‍රථි­ඵල ඇසීම පසෙක ලා ඇඳි­වත පිටින්ම අප­රා­ධය වු ස්ථාන­යට ගියේය. ගම්වැ­සි­යන් එහි යන විටත් තරු­ණයා තුවාල සහි­තව බිම වැටී සිටි­යේය. පිරි­සක් ඒ මේ අත යමින් විය­රු­වෙන් මෙන් යමක් කිය­ව­මින් සිටි­යහ. කිසි­ව­කු­ටත් තුවා­ල­කරු රෝහ­ලට රැගෙන යාමට ද අව­ස්ථා­වක් නොවුයේ ඒ වන විට එහි සිටි ඇතැ­මුන්ගේ ආවේ­ග­කාරී හැසි­රීම් හේතු­වෙනි. අව­සා­නයේ දී තරු­ණයා මිය ගියේය.

හම්බ­න්තොට පොලී­සියේ අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක  තිළිණ ද සිල්වා

මෙලෙස පහ­ර­කෑ­මට ලක්ව මිය­ගොස් තිබුණේ බඳ­ගි­රියේ පදිංචි 26 හැවි­රිදි කේ.එම්.හෂාන් තිවංක නැමති අවි­වා­හක තරු­ණ­යෙකි. මිය­ගිය තරු­ණයා පිරි­සක් අතර ඉතා ජන­ප්‍රිය චරි­ත­යක් ලෙසත් තවත් පිරි­සක් අතර ගමේ චණ්ඩි­යෙක් ලෙසත් ප්‍රසිද්ධ ව සිටියේ ය.

මිය­ගිය හෂාන් තිවංක බඳ­ගි­රියේ පදිං­චි­ක­රු­වෙකි. 26 හැවි­රිදි වියේ පසු වු ඔහු ගමේ බොහෝ දෙනෙකු අතර ඔහු ප්‍රසිද්ධ චරි­ත­යකි. ගමේ සිදු­වෙන සැම කට­යු­ත්තක දී ම ඔහු ද පෙර­මුණ ගත්තේය. බඳ­ගි­රිය යනු සිංහල හා මුස්ලිම් වැසි­ය­න්ගෙන් සම­න්විත ප්‍රදේ­ශ­යකි. බඳ­ගි­රිය මැලේ­කො­ල­ණියේ පදිංචි 25 හැවි­රිදි විවා­හ­ක­යකු වු මොහො­මඩ් ෂිවාස් ද තිවං­කගේ ළඟ ම යහ­ළු­වකු විය. දෙදෙනා අතර පැවති යහ­ළු­කම නිසා තිවංක ද සිය මුස්ලිම් යාළු­වාගේ නිව­සට නිතර නිතර ආවේය. තිවං­කගේ මේ යාළු­ක­මට මොහො­මඩ් ෂිවාස්ගේ ඥාතීහු එත­රම් කැමැ­ත්තක් නොදැ­ක්වූහ.

කෙසේ හෝ දිනක් මොහො­මඩ් ෂිවාස්ට සිය බිරි­යගේ පාර්ශ්වයේ කිහිප දෙනෙකු තිවංක පිළි­බ­ඳව යමක් පවසා තිබිණි. ඉන් කියැවු‍ණේ තිවංක හා ෂිවාස් ගේ බිරිය අතර අනි­යම් සම්බ­න්ධ­ක­මක් ඇති බව ය. එය එක හෙළාම පිළි­නො­ගත් ෂිවාස් ඒ පිළි­බඳ ව සිය යහ­ළුවා වු තිවං­කට ද පැව­සු­වේය. මින් කෝප­යට පත් තිවංක ෂිවාස්ගේ බිරි­යගේ ඥාතීන්ට දොස් පැව­රු­වේය. සිද්ධියේ ආර­ම්භය එසේ විය.

මැති­ව­ර­ණය වු 16 දිනය උදා විය. වෙලාව සවස 5ට පමණ ඇත. තිංවක සිය වෙනත් යහ­ළු­වකු සමඟ මදු­විත තොල­ගා­මින් සිටි­යේය.

මේ අතර මොහො­මඩ් ෂිවා­ස්ගෙන් තිවං­කට දුර­ක­තන ඇම­තු­මක් ලැබිණි.

“තිවංක කොහෙද ඉන්නේ” ෂිවාස් විම­සු­වේය.

“ මම යාළු­වෙ­කුගේ ගෙදර... එත­නට වරෙන්” තිවංක පැව­සු­වේය.

දේහය අව­සන් කට­යුතු සඳහා

ෂිවාස් ද තිවංක හා යාළු­වන් පිරිස සිටි තැනට ආවේය. ෂිවාස්ට ද මධු­වි­තට එක්ව­න්නට ආරා­ධනා ලැබිණි. නමුත් ඔහු එය ප්‍රති­ක්ෂේප කළේය. ෂිවාස් සිටියේ තර­මක නොස­න්සුන් සිතිනි. ෂිවාස්ගේ බිරිය හා තිවංක අතර අනි­යම් සබ­ඳ­තා­වක් ඇති බව ෂිවාස්ගේ ඥාතීහු යළිත් ඔහුට දන්වා තිබිණි. ෂිවාස් පැමිණ සිටියේ තිවං­කට පැමිණ මෙම ගැට­ලුව නිරා­ක­ර­ණය කර දෙන ලෙස ඉල්ලා සිටි­න්නට ය.

ඒ අනුව තිවංක හා ෂිවාස් දෙදෙනා එක්ව ෂිවාස්ගේ බිරි­යගේ ගෙද­රය ගියේය. ඒ වන විට වේලාව රාත්‍රි 09 පසු වී තිබුණි. නිව­සට ඇතුළු වූ තිවංක හා ෂිවාගේ බිරි­යගේ ඥාතින් අතර ගැටු­මක් ඇති­විය. ගැටුම උත්සන්න වන විට අවට සිටි මුස්ලිම් පිරිස් ද ඊට එකතු වී තිබිණි. අන­තු­රුව එතැ­නට එක් වු පිරිස එක්ව ෂිවාස්ට හා තිවං­කට පහර දෙන්නට සුදා­නම් වූහ. එහිදී ෂිවාස් කෙසේ හෝ එතැ­නින් පැන ගන්නේය; ඒ තිවං­කට ද හොරෙනි. තිවංක ෂිවාස්ගේ බිරි­යගේ ඥාතින්ගේ ග්‍රහ­ණ­යට හසු­විය. එකට එකතු වු පිරිස එක්ව තිවං­කට දිගට හර­හට පහර දි තිබුණි. පහර කෑමෙන් බිම වැටුණු තිවං­කට තියුණු ආයු­ද­ය­කින් ප්‍රහා­ර­යක් එල්ල විය. ඒ මුහුණ හා දෙපා කැපෙන පරි­දිය.

මේ සිදු­වීම මුළු බඳ­ගි­රිය පුරාම පැතිරී ගොස් තිබුණි. ගම්මුන් එහි ගියත් කිසි­ව­කු­ටත් තිවං­කගේ සිරුර රෝහ­ලට රැගෙන යෑමට අව­ස්ථා­වක් හිමිවී නොති­බුණි. ඒ අවට සිටි ඇතැම් පිරිස් ආවේ­ග­කාරී අයු­රින් හැසි­රීම නිසා ය.

රාත්‍රි 10ට ආසන්න වෙමින් තිබි­යදී පොලිස් හදිසි දුර­ක­තන අංක­යට ලද පණි­වි­ඩ­ය­කට අනුව එම අංශයේ නිල­ධා­රීහු වහාම මේ අප­රාධ පිළි­බ­ඳව හම්බ­න්තොට පොලිස් ස්ථානය දැනු­වත් කළහ. ඒ අනුව පොලිස් නිළ­ධා­රීන් කණ්ඩා­ය­මක් වහාම බඳ­ගි­රිය වෙත පිටත් කර යැවි­මට කට­යුතු කෙරුණි. පොලිස් නිල­ධා­රීන් එහි යන­වි­ටත් දරුණු කැපුම් තුවාල සහි­තව තරු­ණ­යකු බිම ඇද වැටී සිටි­යේය. පොලි­සියේ මැදි­හ­ත්වී­මෙන් තුවා­ල­කරු හම්බ­න්තොට මහ රෝහ­ලට ඇතු­ළත් කෙරිණි. නමුත් ඒ වන විටත් ඔහු මිය­ගොස් සිටියේ ය. හම්බ­න්තොට මුල­ස්ථාන පොලිස් පරී­ක්ෂක ප්‍රියන්ත මහ­තාගේ උප­දෙස් පරිදි අප­රාධ ප්‍රදේ­ශය අවට විශේෂ පොලිස් ආර­ක්ෂා­වක් යෙද­විණි.

සිද්ධිය වු 16 වෙනි දින මධ්‍ය රාත්‍රි­යට ඔන්න මෙන්න තිබි­යදී මොහො­මඩ් ෂිවාස් ද හම්බ­න්තොට පොලී­සි­යට ආවේය.

“ සර් මට පැමි­ණි­ල්ලක් කරන්න ඕනෑ...” ඔහු කීවේය.

ඒ අනුව පොලිස් නිළ­ධා­රි­යකු විසින් ෂිවාස්ගේ පැමි­ණිල්ල සට­හන් කර­ගැ­නී­මට කට­යුතු කෙරුණි. පැමි­ණිල්ල සිදු­කළ මොහො­මඩ් ෂිවාස් පොලි­සි­යට පවසා තිබුනේ තමන්ගේ බිරි­යගේ ඥාතීන් විසින් තිවං­කට පහර දී මරා දැමූ බව ය.

මේ අප­රා­ධය පිළි­බ­ඳව පරී­ක්ෂණ කට­යුතු පැව­රුණේ හම්බ­න්තොට පොලී­සියේ අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක තිළිණ ද සිල්වා මහතා ඇතුළු නිළ­ධා­රීන් කණ්ඩා­ය­ම­කට ය. පරී­ක්ෂණ ආරම්භ කළ නිල­ධාරී කණ්ඩා­ය­මට තිබු පළමු අභි­යෝ­ගය වුයේ මේ ඝාත­නයේ සැක­ක­රු­වන් නිවැ­ර­දිව හඳුනා ගැනීම හා අත්අ­ඩං­ගු­වට ගැනී­මය. පරී­ක්ෂණ පව­ත්වන නිල­ධා­රීන්ට ද මේ ඝාත­නය හා එහි සිදු­වීම් ජාලය පිළි­බ­ඳව තිබුණේ මහා පැට­ළිලි සහිත භාව­යකි.

සැක­ක­රු­වන් සොයා පරී­ක්ෂණ ආරම්භ කළ පොලිස් නිළ­ධා­රීන් කණ්ඩා­ය­මට මෙහි එකින් එක ලිහා­ගත යුතුව තිබු කරුණු ගණ­නා­වක් විය. පැට­ළිලි සහ­ගත තත්ත්ව­ය­කින් පරී­ක්ෂණ ආරම්භ කළ පොලිස් නිල­ධා­රින් ගැටලු එකින් එක ලිහා ගනි­මින් පරී­ක්ෂණ මෙහෙය වූයේය. පොලිස් නිළ­ධා­රීහු ඝාත­ක­යන් සොයා බඳ­ගි­රිය, මැලේ කොළ­ණිය, හම්බ­න්තොට, පල්ලෙ­ම­ලල ඇතුළු ප්‍රදේශ රැසක් පීරා සිද­ධි­යට ඍජු ලෙස සම්බන්ධ බවට සැක කළ සැක කරු­වන් 05 දෙනෙ­කු­ගෙන් සිව් දෙනෙකු පසු­දි­නම (17) අත් අඩං­ගු­වට ගත්තේය. එක් සැක­ක­රු­වකු ඒ වන විටත් ප්‍රදේ­ශ­යෙන් පලා­ගොස් තිබුණි.

අත්අ­ඩං­ගු­වට පත් වු සැක­ක­රු­වන් සිව් දෙනා 18 වන දින හම්බ­න්තොට මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළහ. එහිදී සිව් දෙනා මේ මස 27 වන දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගාර ගත කරන ලෙස හම්බ­න්තොට මහේ­ස්ත්‍රාත් හා අති­රේක දිසා විනි­සුරු ජේ.ඒ.නාලක සංජිව ජය­සු­රිය මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගාර ගත කෙරුණේ අංක 19, සද­ළු­ගම, මැලේ­කො­ල­ණිය, බද­ගි­රිය පදිංචි 29 හැවි­රිදි හකීම් මොහො­මඩ් ඉම්ෂාඩ්, අංක 67/1, බඳ­ගි­රිය පදිංචි 21 හැවි­රිදි බබා­රි­ල්වාන් දූල්, අංක 663, කුඩා­ග­ම්මාන 08, වැලි­ගත්ත පදිංචි 27 හැවි­රිදි මුස­ල්හිම් අහ­මඩ් උස­ව්වීර් හා මැලේ කොල­ණිය බද­ගි­රිය පදිංචි 40 හැවි­රිදි ස්ලේදීන් මොහො­මඩ් රාත්දීන් නැමති සැක­ක­රු­වන් සිව් දෙනෙකි.

පරී­ක්ෂණ පව­ත්වන පොලිස් නිල­ධා­රීන් විසින් මේ ගැටු­මට මුල් වු බව කියන ෂිවාස්ගේ බිරි­ය­ගෙන් කට උත්ත­ර­යක් ගැනී­මට පොලි­සි­යට කැඳ­ව­න්නට සොයන විට දැන­ග­න්නට ලැබුණේ ඇය සිය සැමියා සමඟ ගමෙන් පිටවී ගොස් ඇති බව ය.

මිය­ගිය තරු­ණ­යාගේ සිරුර බඳ­ගි­රියේ පිහිටි නිවසේ තැන්පත් විය. දැන් ප්‍රදේ­ශය රත් වෙමිනි. මුස්ලිම් පිරි­ස­ක­ගෙන් පහර කා සිංහල තරු­ණ­යෙක් මිය ගොස් ඇත. ගැටුම ජාති­වාදී ගැටු­මක් දක්වා දික්ගැ­ස්සෙ­මින් තිබුණි. මැලේ කොල­ණි­යට ප්‍රහා­ර­යක් එල්ල වන බවට කට­කතා පැති­රිණි. සම­හර මුස්ලිම් ජාති­කයෝ සිය නිවෙස් හැර­පියා ආර­ක්ෂිත යැයි සිතෙන තැන් සොයා යන්නට වූහ. ප්‍රදේ­ශය පම­ණක් නොව රටම දැන් අන­තු­ර­කය.

වහා ක්‍රියා­ත්මක වු හම්බ­න්තොට මුල­ස්ථාන පොලිස් පරි­ක්ෂ­ක­ව­රයා හා අප­රාධ අංශයේ ස්ථානා­ධි­ප­ති­ව­රයා හම්බ­න්තොට මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර­මින් 18 දින වාරණ නියෝ­ග­යක් ලබා ගත්තේය. එහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේ මිය­ගිය තරු­ණ­යාගේ අව­සන් කට­යුතු සිදු කෙරෙන 19 දින ඒ අවට කිසිදු අයුතු ජන රාශි­යක් සිදු නොක­රන ලෙසත්, ප්‍රදේ­ශයේ සාමය කඩ­වන පරිදි කට­යුතු නොක­රන ලෙසත් හා උද්ඝෝ­ෂණ හෝ වෙනත් කල කෝලා­හල නොප­ව­ත්වන ලෙසත් ය. මිට අම­ත­රව ප්‍රදේ­ශයේ කුමන හෝ කෝලා­හල තත්ව­යක් සංවි­ධා­නය කරනු ඇතැයි සැක සිතිය හැකි පුද්ග­ල­යන් 05 දෙනෙ­කුට ද 19 දින පෙර­වරු 9.00ට හම්බ­න්තොට මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙසට මහේ­ස්ත්‍රාත් වරයා නොතීසි නිකුත් කළේය.

මිය­ගිය තිවං­කගේ පවුලේ උද­වි­යට ද අධි­ක­ර­ණය නියෝග කර තිබුනේ දේහය රැගෙන වෙනත් කිසිදු ස්ථාන­ය­කට නොයන ලෙසය. නිවසේ සිට ඇති ළඟම පාරෙන් දේහය රැගෙන ගොස් නිවස ආස­න්න­යේම ඇති ස්ථාන­යක සිරුර මිහි­දන් කරන ලෙස ය.

18 වන දින හා 19 දෙදින බද­ගි­රිය, මැලේ­කො­ළ­ණිය හා ඒ අවට යුධ හමු­දාව, පොලිස් විශේෂ කාර්ය බළ­කාය හා පොලිස් නිල­ධා­රීන් යොදා ආර­ක්ෂාව තර කළේය. ලිපිය ලියන 21 වන දිනය වන විටත් බද­ගි­රිය ඇත්තේ විශේෂ පොලිස් ආර­ක්ෂාව යට­තේය.

මේ වන විට සිද්ධි­යට අදා­ලව සැක­ක­රු­වන් සිව් දෙනෙකු අත්අ­ඩ­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගාර ගත කර ඇත. පලා ගිය අනෙක් සැක­කරු සෙවී­මට පොලී­සිය පුළුල් මෙහෙ­යු­මක් අරඹා ඇත. ජාතීන් දෙකක් අතර සිදු­ව­න්නට ගිය මහා ගැටු­මක් ආර­ක්ෂක අංශ නිළ­ධා­රින්ගේ දැඩි විම­සිල්ල හේතු­වෙන් වළක්වා ගැනි­මට සමත් වු බව කිව­යු­තුය. එමෙන්ම මෙම සිදුවීමේදී අදාළ පාර්ශ්වයට සම්බන්ධ ඥාතීන්ද වගකීමෙන් ක්‍රියා කර ඇත.

මාතර හම්බ­න්තොට බාර නියෝජ්‍ය පොලිස් පති විජිත ගුණ­රත්න, තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධි­කාරී ලක්සිරි ගීතාල් යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් පරිදි හම්බ­න්තොට සහ­කාර පොලිස් අධි­කාරී ජය­ශාන්ත ද සිල්වා, හම්බ­න්තොට මුල­ස්ථාන පොලිස් පරි­ක්ෂක කේ.එම්.ජී.එස්.ප්‍රියන්ත යන මහ­ත්ව­රුන්ගේ මෙහෙ­ය­වී­මෙන් හම්බ­න්තොට පොලී­සියේ අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක තිළින ද සිල්වා, පොලිස් සැර­යන් (56701)ප්‍රේම­දාස, පොලිස් කොස්තා­පල් වරුන් වන (45002)අජන්ත, (50598)මහින්ද, (68663) මධු­ෂාන්, (19134) රාජ­පක්ෂ හා කාන්තා පොලිස් කොස්තා­පල් (6598) දිලානි යන නිල­ධා­රින් එක්ව සිද්ධිය සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ පව­ත්වයි.

Comments