පශ්චාත් ජනා­ධි­ප­ති­ව­රණ කතිකාව | සිළුමිණ

පශ්චාත් ජනා­ධි­ප­ති­ව­රණ කතිකාව

ශ්‍රී ලංකාවේ අනා­ග­තය තීර­ණය කරන ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රති­ඵල පසු­ගිය ඉරු දින නිකුත් විය. ඒ අනුව හත්වන විධා­යක ජනා­ධි­පති ලෙස ගෝඨා­භය රාජ­පක්‍ෂ මහතා වැඩි ඡන්ද ලක්‍ෂ 14කට ආසන්න සංඛ්‍යා­ව­කින් තෝරා පත් කර­ගැ­නිණි. අපේ­ක්‍ෂ­ක­යන් 35ක් තරග කළ ද තර­ගය පැව­තියේ ප්‍රධාන අපේ­ක්‍ෂ­ක­යන් දෙදෙ­නෙකු අතර ය. මැති­ව­රණ ලාංඡ­න­යන් ගෙන­හැර දක්ව­මින් කතා කරන්නේ නම් පොහො­ට්ටුව හා හංසයා අතර ය.

මේ මැති­ව­ර­ණය ශ්‍රී ලංකා මැති­ව­රණ ඉති­හා­ස­යට නවමු අත්දැ­කී­මක් විය. පරි­සර හිත­කාමී ප්‍රචා­ර­ණය මුළු­ම­නින්ම සිදු නොවූ­වත් සතුටු විය හැකි මට්ට­මක පැව­තිණි. මීට පෙර මැති­ව­ර­ණ­ව­ලදී සාක­ච්ඡා­වට භාජ­නය වන ප්‍රධාන මාතෘකා දෙකක් වන පූර්ව මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ පශ්චාත් මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා යන මාතෘකා දෙකම මෙවර අන­වශ්‍ය වීම තවත් ප්‍රග­ති­ශීලී පිය­ව­රකි. ඒ නිසා මෙබඳු පශ්චාත් මැති­ව­රණ කථි­කා­ව­කින් අභි­නව ජනා­ධි­ප­ති­ව­රයා සමඟ එතුමා ජය­ග්‍ර­හ­ණය කර­වී­මට කට­යුතු කළ සියලු පුර­වැ­සි­යන් සිතා බැලිය යුතු කරුණු කීප­යක් සහ අභි­යෝග කිහි­ප­යක් ඉස්මතු කර දැක්වීම මේ සාක­ච්ඡාවේ අර­මු­ණයි.

ශ්‍රී ලංකා මැති­ව­රණ ඉති­හා­සයේ නව හැර­වුම් ලක්‍ෂ්‍යක් සට­හන් කර­මින් ශ්‍රී ලංකා ප්‍රජා­තා­න්ත්‍රික සමා­ජ­වාදී ජන­ර­ජයේ හත්වන විධා­යක ජනා­ධි­ප­ති­තුමා ජන­තා­වගේ පර­මා­ධි­පත්‍ය බල­යෙන් තෝරා අව­සන් වූ හෝරා කිහි­පය තුළ පශ්චාත් මැති­ව­රණ කථි­කාව ආරම්භ විය. ශ්‍රී ලංකා මැති­ව­රණ සිති­යම ඒ ඒ අපේ­ක්‍ෂ­ක­යන් ගත් ඡන්ද ප්‍රමා­ණ­යන්, ප්‍රති­ශ­ත­යන් අනුව වර්ණ ගන්වා අව­සන් ය. මැති­ව­රණ ප්‍රති­ඵල විශ්ලේ­ෂ­ණ­යක යෙදෙන උතුරු පළාතේ මහ ඇමති සී.වී. විශ්නේ­ශ්ව­රන් මහතා පව­සන්නේ ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රති­ඵ­ල­යන්ට අනුව ජන­වා­ර්ගික වශ­යෙන් යම් බෙදී­මක් පෙන්නුම් කරන බවයි. බැලූ බැල්ම­ටම මෙය සත්‍ය යට­පත් කිරී­මකි.

ද්‍රවිඩ හා මුස්ලිම් ජන ප්‍රති­ශ­තය ඉහළ අග­යක් ගන්නා යාප­නය දිස්ත්‍රි­ක්කයේ වලංගු ඡන්ද­ව­ලින් 90%කට වඩා භාවිත කොට ඇත්තේ සිංහල අපේ­ක්‍ෂ­ක­ය­නට ය. එම ප්‍රති­ශ­තය මඩ­ක­ල­පුවේ ද 90% කි. වන්නි දිස්ත්‍රි­ක්කයේ වලංගු ඡන්ද වලින් 95%ක් භාවිත කර ඇත්තේ ප්‍රධාන සිංහල අපේ­ක්‍ෂ­ක­යන්ට ය. එසේ නම් අනෙ­කුත් දෙමළ අපේ­ක්‍ෂ­ක­යන්ට දෙමළ ඡන්ද දාය­කයා ආක­ර්ෂ­ණය වී නැතුවා සේම මුස්ලිම් ඡන්ද­දා­ය­කයා මුස්ලි­ම්කම මත තම ජන වර්ගයේ මුස්ලිම් අපේ­ක්‍ෂ­ක­යාට ඡන්දය භාවිත කර නැත. එසේ නම් ඒ ඒ අපේ­ක්‍ෂ­ක­යන් ලබා­ගත් ඡන්ද ජන වර්ගය පද­නම් කොට ඡන්ද­දා­ය­ක­යන් විසින් ලබා දී තිබේ ය යන උප­ක­ල්ප­නය මෙන්ම මේ මැති­ව­ර­ණය ජන­වර්ග වශ­යෙන් යම් බෙදී­මක් පෙන්නුම් කරන ඡන්ද­යක් ලෙස හැදි­න්වීම සත්‍ය යට­පත් කිරී­මකි.

එබැ­වින් ඡන්ද­දා­ය­ක­යාගේ ආක­ර්ෂ­ණය ලබා­ගැ­නීම සඳහා අපේ­ක්‍ෂ­ක­යන් ඉදි­රි­පත් කරන ලද වැඩ­පි­ළි­වෙළ රට තුල බහු­ත­රය විසින් අනු­මත කර තිබේද? නැද්ද? යන්න උතුරු පළාතේ මහ ඇම­ති­තු­මාගේ සාක­ච්ඡා­වට ගත්තේ නම් එය මෙරට සිංහල, දෙමල, මුස්ලීම් හා අනෙ­කුත් සියලු ජන­කො­ට­ස්වල වැරදි මත ඉවත් කර ගැනී­මට රුකු­ලක් වනු ඇත.

මෙවර මැති­ව­රණ වේදි­කාවේ දී ද පෙර වතා­ව­ල්ව­ලදී මෙන්ම ජනතා සුභ­සා­ධ­නය පිළි­බඳ පොරොන්දු ඉදි­රි­පත් වූව ද, බහු­තර ජන­තාව ඉතා දැඩිව තම අව­ධා­නය යොමු කරන ලද්දේ ජාතික ආර­ක්‍ෂාව, රාජ්‍යයේ ඒකීය භාවය, හා ස්වෛරී­භා­වය යන කරු­ණු­ව­ලට ය. ශ්‍රී ලංකාවේ දේශ­පා­ල­නය තුළ ශ්‍රී ලාංකික ජාතිය පිළි­බඳ නිවැ­රදි අර්ථ­යෙන් සිංහල, බෞද්ධ­යෙකු කතා කරන විට එය වැර­දි­යට අර්ථ ගන්වා අන්ත­වා­දි­යෙකු ලෙස හැඳි­න්වී­මට දරන උත්සා­හය අපි දැක ඇත්තෙමු. ජාතිය නොව තම ජන වර්ගය පද­න­ම්කොට දේශ­පා­ලන පක්‍ෂ පිහි­ටුවා ගනි­මින් ඔවුන්ගේ හද­ව­තට ආවේ­ග­ශී­ලීව ආම­න්ත්‍ර­ණය කර රටේ බහු­තර ජන­කො­ටස වන සිංහ­ල­යන් සෑම විට­කම අන්‍ය ජන­ව­ර්ග­වල අයි­ති­වා­සි­කම් නැති කිරී­මට, ඔවුන්ව පාගා දැමී­මට මාන බලා සිටින ජන­කො­ට­සක් ලෙස හංවඩු ගසා තම ඡන්ද ගොඩ වැඩි­කර ගැනී­මට උත්සාහ කරන දේශ­පා­ලන පක්‍ෂ ශ්‍රී ලංකාවේ සැබෑ ජන­වා­ර්ගික සම­ඟිය ගොඩ­නැං­වී­මට බාධා­වක් වී ඇත.

උතුරු නැගෙ­න­හිර ස්වයං­පා­ල­න­යක් ලබා­ගැ­නීම වෙනු­වෙන් පැවති වසර 30ක යුද්ධය අව­සන් වූ පසු නැවත එවන් දේශ­පා­ලන ඛේද­වා­ච­ක­ය­කට අප රට ඇද නොදමා සියලු ජන­ව­ර්ග­යන්ට එක්ව ජීවත් විය හැකි වාතා­ව­ර­ණ­යක් සකස් කිරීම වෙනු­වෙන් වර්ත­මාන සෑම දේශ­පා­ලන නාය­ක­යෙ­කු­ටම වග­කී­මක් ඇත. එහෙත් උතුරු නැඟෙ­න­හිර ඇතුළු ශ්‍රී ලංකාවේ සෑම ජන කොට­සක්ම මුහුණ දෙන සමාජ ආර්ථික ගැටලු නිවැ­ර­දිව අව­බෝධ කර­ග­නි­මින් එකම ජාති­යක් ලෙස නැඟී සිටී­මට පව­තින බාධා ඉවත් කිරීම සඳහා යැයි කිය­මින්, නැවත ශ්‍රී ලංකා රාජ්‍ය දෙකඩ කිරී­මට තුඩු­දෙන දේශ­පා­ලන විස­ඳුම් යැයි කියා ගන්නා ව්‍යාජ පිළි­තුරු සහිත ව්‍යව­ස්ථා­වක් ගෙන වර්ත­මාන වග­කීම වන්නේ නැත.

මේ ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ද්‍රවිඩ සන්ධා­නය උත්සාහ කළේ කුමක්ද? ඔවුන් ඉදි­රි­පත් කළ යෝජනා 13 තුළ දී ශ්‍රී ලංකාවේ ඉදි­රි­ග­මන සඳහා කෙසේ වෙතත් ශ්‍රී ලංකා­වාසී සාමාන්‍ය ජන­තාව අතර දැනට පව­තින සංහි­ඳි­යාව විනාශ කිරී­මට උත්සාහ දරා ඇති බව නම් පැහැ­දි­ලිය. එම යෝජ­නා­වල අර­මුණ සහ අන්ත­ර්ජා­තික වශ­යෙන් ක්‍රියා­ත්මක දෙමළ ඊලාම් ආණ්ඩුව 2010 මැයි 17 වන දා පිහි­ටුවා ප්‍රකා­ශ­යට පත් කළ ප්‍රධාන අර­මුණ අතර මනා එක­ඟ­ත්ව­යක් ඇත. ශ්‍රි ලංකාව තුළ ඊලාම් රාජ්‍යය බිහි කිරීම තම අර­මුණ බවත් ඒ සඳහා උප­ක්‍රම වෙනස් කොට ඇති බවත් අන්ත­ර්ජා­තික ද්‍රවිඩ ඊලාම් රාජ්‍ය ප්‍රකා­ශ­යට පත් කර ඇති අතර හමු­දා­මය බලය වෙනු­වට මෘදු බලය යොදා අව­සන් ඉල­ක්කය සපුරා ගන්නා බව එම සංවි­ධා­නය පව­සයි.

එහි මෘදු බලය යන්න පුළුල් ආර්ථි­ක­ය­කින් යුත්ත ය. ගිවි­සුම්, ව්‍යවස්ථා, අන්ත­ර්ජා­ති­ක බල­පෑම් සහ අන්ත­ර්ජා­තික උගුල් එම මෘදු බලය අතර වේ. දැනට ද්‍රවිඩ සන්ධා­නය හා බෙදු­ම්වා­ද­යට උද­ව්දෙන දේශ­පා­ලන කණ්ඩා­යම් ඉහත කී උපාය මාර්ග ක්‍රියා­වට නඟන දේශීය බල­වේග බවට පත්වී ඇත. මේ ජනා­ධි­ප­ති­ව­ර­ණයේ දී ප්‍රසි­ද්ධියේ එක්සත් ජාතික පක්‍ෂය දෙමළ සන්ධා­නය යෝජනා පිළි­ගත් බව ප්‍රකාශ නොක­ළත් දෙමළ සන්ධා­නයේ හා එක්සත් ජාතික පක්‍ෂය අතර මේ යෝජනා 13 පිළි­බඳ එක­ඟ­තා­ව­යක් පැවති බව අද සියලු දෙනා­ටම තහ­වුරු වී අව­සන් ය. එම යෝජනා 13 තුළ කෙත­රම් අන්ත­වාදී යෝජනා තිබෙන්නේ ද යන්න මඳක් සිතා බලන්න.

පළ­මු­කොට එම යෝජ­නා­ව­ලින් පෙඩ­රල් ක්‍රම­යක් තුළ ස්වයං පාල­න­යක් හා ස්වයං නිර්ණ බලය සහිත ඒක­ක­යක් නිර්මා­ණය කිරී­මට ඉල්ලීම් කර ඇත. මෙහි තවත් අන්ත­වාදී ප්‍රකාශ රැසක් අන්ත­ර්ගත වේ. රාජ්‍ය අනු­ග්‍ර­හය යටතේ උතුරු නැඟෙ­න­හිර සිදු වන සිංහ­ලී­ක­ර­ණය, බෞද්ධා­ග­මී­ක­ර­ණය, සිංහල ජන­ප­ද­ක­ර­ණය වහාම නතර කළ යුතු බව යෝජනා කරන විට දැනට රාජ්‍ය අනු­ග්‍ර­හය යටතේ එබඳු ක්‍රියා­දාම සිදු වන්නේ යැයි වැරදි අද­හ­සක් ඇති වේ. එප­ම­ණක් ද නොව වන්නි දිස්ත්‍රි­ක්කය හා සම්බන්ධ මොර­ග­හ­කන්ද වාරි යෝජනා ක්‍රමය සහ සිංහල ජන­ප­ද­ක­ර­ණය වහාම නැවැ­ත්විය යුතු අතර රජයේ පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව, වන සංර­ක්‍ෂණ හා වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තුව හරහා සිදු­වන ඉඩම් අත්පත් කර­ගැ­නීම නතර කිරී­මට වහා ක්‍රියා­ත්මක විය යුතුය. මේ සිය­ල්ල­ටම වඩා සමස්ථ රාජ්‍යයේ බලය හා රාජ්‍යයේ ස්වෛරී­ය­භා­ව­යට අභි­යෝ­ග­ක­රන්නා වූ යෝජ­නා­වක්ද මෙම යෝජනා 13 අතර වේ.

විදේශ රට­වල් හි වාසය කර­න්නාවූ ශ්‍රී ලංකි­ක­යන්ට යුද්ධ­යෙන් බල­පෑම් එල්ල වූ ප්‍රදේ­ශ­වල ඉඩම් මිල­ට­ගැ­නී­මට, එම ප්‍රදේ­ශ­වල සෘජු ආයෝ­ජන සිදු කිරී­මට ඇති නීති­මය බාධා ඉවත් කළ යුතුය. එම යෝජ­නා­වට අනුව රටේ උතුරු නැඟෙ­න­හිර භූමිය වෙනත් රටක ජීව­ත්වන ශ්‍රී ලාංකි­ක­යෙ­කුට මිලට ගැනී­මට හා සෘජුව ආයෝ­ජන ගෙන ඒමට ඉඩ­කඩ ලබා දීමෙන් රටක් තුළ තවත් රටක් නිර්මා­ණය වීමට පව­තින ඉඩ­කඩ පුළුල් වේ. එම යෝජනා 13 සමඟ තමන්ගේ ලක්‍ෂ 10කට ආසන්න ඡන්ද මල්ල කේවල් කිරී­මට ද්‍රවිඩ සන්ධා­නය ක්‍රියා කළ අතර එයට එක­ඟ­තාව පළ කළ එක්සත් ජාතික පක්‍ෂයේ ජනා­ධි­පති අපේ­ක්‍ෂ­ක­යාට උතුරු නැඟෙ­න­හිර තම ඡන්ද මල්ල ලබා දෙන ලදී. එ සමඟ ද්‍රවිඩ දේශ­පා­ලන නාය­ක­ත්වය සිංහල බහු­ත­ර­යම මෙම දේශ­පා­ලන ගැට­ලුවේ වග උත්තර කරු­ව­න්කොට කතා කරනු දක්නට ලැබිණි. සිංහ­ලයා පරා­ජය කිරීම යන්න ආණ්ඩු­බල හුව­මා­රු­ව­කට සමාන කර කතා කිරීම කෙතෙක් සදා­චාර සම්පන්න වේද?

මේ තත්ත්වය තුළ ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ සංඛ්‍යා­ත්ම­කව බහු­තර ජන­ග­හ­නය වන සිංහල බෞද්ධ ජන­තා­ව­ගෙන් උතුරු නැඟෙ­න­හිර ද්‍රවිඩ, මුස්ලිම් ජන කොටස් වෙන් කිරීමේ දේශ­පා­ලන ව්‍යාපෘති ක්‍රියා­ත්මක කරන දේශ­පා­ල­ක­යන් විසින්ම මෙම මැති­ව­ර­ණ­යේදී ජන­වා­ර්ගික ඈත් වීමක් සිදු වී ඇත යනු­වෙන් චෝදනා කිරී­මට හැකි­යා­වක් පව­ති­න්නේද යන්නයි. මෙහිදී සිදු වී ඇත්තේ දේශ­පා­ල­නික වශ­යෙන් ඒකීය රාජ්‍ය පවත්වා ගැනීම සඳහා ගෝඨා­භය රාජ­පක්‍ෂ මහ­තාට බහු­තර බලය ජන­තාව විසින් ලබා­දීම ය. ඔහුගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශය තුළ රටේ පොදු ප්‍රශ්න විස­ඳී­මට ජාති ආගම් ආදී භේද­ව­ලින් තොරව තිර­සාර සංව­ර්ධන උපාය මාර්ග ක්‍රියා­ත්මක කරන බවට ප්‍රතිඥා දී ඇත.

ඒ පිළි­බ­ඳව ගොඨා­භය රාජ­පක්‍ෂ මහතා දිවු­රු­ම්දුන් දිනයේ සිදු කළ විශේෂ ප්‍රකා­ශය හොඳින් තේරු­ම්ගැ­නීම වැද­ගත් වේ. තම ජය­ග්‍ර­හ­ණය සඳහා වෙසෙ­සින් දායක වූ සිංහල බෞද්ධ ඡන්ද පිළි­බඳ සඳ­හන් කරන අතර තුරම එම ජය­ග්‍ර­හ­ණ­යට දායක වන ලෙස අනෙ­කුත් ජන­ව­ර්ග­ව­ලින් කළ ඉල්ලී­මට සතු­ටු­දා­යක ප්‍රති­ඵල නොලැ­බුණු බවත් අව­ධා­ර­ණය කළේය. එහෙත් ජය­ග්‍ර­හ­ණ­යෙන් පසු එතුමා ඡන්දය දුන් නොදුන් සැමගේ ජනා­ධි­පති බැවින් තම විධා­යක බලය සැමගේ යහ­පත වෙනු­වෙන් යොද­වන බවත් සෑම ජන­ව­ර්ග­ය­ක­ටම සෑම ආග­ම­කට අයත් ඕනෑම ජන කොට­ස­කට කිසිදු බිය­කින් තොරව සාම­කා­මීව ජීවත් වීමට සුදුසු ක්‍ෂෙම භූමි­යක් ශ්‍රී ලංකාව තුළ නිර්මා­ණය කරන බවට සහ­තික විය.

එම තත්ත්වය තුළ ද්‍රවිඩ දේශ­පා­ලන නාය­ක­යන් ශ්‍රී ලංකාවේ පශ්චාත් ත්‍රස්ත­වාදී යුද්ධ සාමා­ජය පිළි­ස­කර කිරීමේ ක්‍රියා­දා­මය නව කෝණ­ය­කින් තේරු­ම්ගැ­නී­මට සහ රටේ බහු­තර ජන­ව­ර්ග­යෙන් ඈත් වී උතුරු නැඟෙ­න­හි­රට ආවේ­ණික ගැටලු විස­ඳා­ගැ­නීමේ උපාය මාර්ගය ඉවත දෑමීම කළ යුතු වන්නේ ය. රටක් තුළ තිර­සාර සංහි­ඳි­යා­වක් ජන වර්ග­යන් අතර ඇති කළ හැක්කේ දේශ­පා­ලන නාය­ක­යන්ගේ බල­පො­රය සමඟ බැඳුණු ගිවි­සු­ම්ව­ලින් නොව රටේ සාමාන්‍ය ජන­තාව ගේ සිත් තුළ එකි­නෙකා කෙරෙහි ඇති සැක සංකාව දුරු කොට ඒක­රාශි වී ගොඩ­න­ඟනු ලබන සැබෑ වැඩ පිළි­වෙ­ළ­කිනි. ඒ සඳහා නාය­ක­ත්ව­යක් දිය හැකි හොඳම තේරීම වන්නේ අභි­නව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්‍ෂ මැති­තුමා ය. එසේ නැතිව සිංහල බෞද්ධ ජන­කො­ටස දෙස වෛරී සහ­ග­තව බැලී­මෙන් හෝ රටේ සැබෑ ජන­නා­ය­ක­යෙකු නොවන විවිධ උප්ප­ර­වැට්ටි හරහා නාය­ක­ත්ව­යට පැමි­ණී­මට මාන බලන දේශ­පා­ල­ක­යන් පසු­පස යෑමෙන් හෝ, ශ්‍රී ලංකාව තුල ජන­වර්ග අතර එක­මුතු කමක් සහ සංහි­ඳි­යා­වක් හෝ ඇති කිරීම දුෂ්කර වනු ඇත.

මේ දක්වා ද්‍රවිඩ සන්ධා­නය හා අනෙ­කුත් ද්‍රවිඩ මෙන්ම වෙනත් අන්ත­වාදී කණ්ඩා­යම් නොද­කින එහෙත් යතා­ර්ථ­වා­දීම මේ මහ­පෙ­ළොවේ පව­තින බොහෝ සමාජ සංස්කෘ­තික කරුණු මතක් කිරීම ද වැද­ගත් ය. උතුරු නැඟෙ­න­හිර ප්‍රදේ­ශ­යන් හි දෙමළ හා මුස්ලිම් ජන­ප්‍ර­ති­ශ­තය ඉහළ ගිය ද එම ප්‍රදේ­ශ­වල අද­ටත් ඉති­හා­සයේ දී සිංහල ජන­ව­ර්ගය ද ජීවත් වේ. එසේම සමස්ත ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජා­වෙන් සිය­යට 50ක් එනම් අර්ධ­ය­කට වඩා ජීවත් වන්නේ උතුරු පළා­තෙන් බැහැර අන්‍ය පළා­ත්වල ය. මුස්ලිම් ප්‍රජාව ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රි­ක්ක­ය­කම ව්‍යාප්තව ඇත. එබඳු ජන­වර්ග සම්මි­ශ්‍ර­ණ­යක් සහි­තව ජිවත් වන කිසිදු ජන­ව­ර්ග­ය­කට තම ජන­ව­ර්ගය නිසා රටේ තමන්ට හිමි නිද­හස අහිමි වීමක් හෝ අඩ­ත්තේ­ට්ටම් කිරී­මක් සිදු වී තිබේ ද?

දේශ­පා­ලන මැදි­හ­ත්වීම් සමඟ ඇතිවු ගැටුම් කිහි­ප­යක් හැරුණු කොට වසර 30 ක දරුණු ත්‍රස්ත­වාදී යුද්ධය පැවති කාලයේ පවා දකුණු ප්‍රදේ­ශයේ සෑම ජන කොට­සක්ම සාම­යෙන් ජීව­ත්වනු දැක තිබු­ණද සිංහල බෞද්ධ ශික්‍ෂ­ණය එම සංහි­ඳි­යා­වට හේතුව බව පිළි­ගැ­නී­මට මැළි­වීම තේරු­ම්ගත නොහැ­කිය. නාග­රික ජීවි­තයේ දී ජන­වර්ග හා ආගම් පද­නම් කර­ගත් පාසල් පද්ධ­තිය තුළ දැනට විවිධ පාර්ශ්ව­යන්ට පව­තින ගැටලු නිරා­ක­ර­ණය සඳහා ද ගෝඨා­භය රාජ­පක්‍ෂ මහතා යෝජනා කීප­යක් ගෙන­හැර දක්වා ඇත. ඒ කෙසේ වෙතත් ජන­වර්ග වශ­යෙන් එකි­නෙ­කාට වෛර කරන්නා වු දේශ­පා­ලන දැක්මක් සහි­තව, පෙඩ­රල් ක්‍රමය හැර වෙනත් විකල්ප නැති බව පව­ස­මින් සාමාන්‍ය දෙමළ ජන­තා­වත්, විවිධ පොරොන්දු දෙමින් මුස්ලිම් ජන­තා­වත් මුළා කර­මින් සිදු කරන්නා වු මානව වර්ග පද­නම් කර­ගත් දේශ­පා­ල­නය අත්හැර දැමීම දැන්වත් සිදු කළ යුතුය.

සිංහල බෞද්ධ­යන් යනු ද මනු­ෂ්‍ය­යෝය. ඔවුන් දෙස ආක්‍ර­ම­ණි­ක­යෙකු ලෙස, හිංස­ක­යෙකු ලෙස බැලී­මට තම දේශ­පා­ලන අනු­ගා­මි­ක­යන් යොමු නොකි­රී­මට අත්ත­වාදී දේශ­පා­ලන නාය­ක­යන් වග­බ­ලා­ගත යුතුය. එසේ නැතිව මේ රට තුළ ජීවත් වන අහිං­සක සිංහල දෙමළ, මුස්ලිම් සාමාන්‍ය ජන­තා­වගේ ගැටලු විස­ඳ­මින් රට තුළ තිර­සාර සාමය හා සංව­ර්ධ­නය අත්පත් කර­ගැ­නී­මට හැකි­යාව නොලැ­බෙනු ඇත. එබැ­වින් බහු­තර සිංහල බෞද්ධ ඡන්ද­යෙන් බල­යට පත් ගෝඨා­භය රාජ­පක්‍ෂ මැති­තු­මාගේ නාය­ක­ත්වය තුළ ශ්‍රී ලංකාවේ සෑම ජන­ව­ර්ග­ය­කම හා ආග­ම­කට ම නිද­හස හා අන­න්‍ය­තාව ආරක්‍ෂා කර­ග­නි­මින් රට ඉදි­රි­යට ගෙන යෑමට අවශ්‍ය ශක්තිය පව­තින බව අප වට­හා­ගත යුතු වේ. ශක්ති­මත් නාය­ක­ත්ව­යක් වටා ජනයා පෙළ­ගැ­ස්වීම තිර­සර සාම­යට මාව­තයි. එසේ නැතිව මෙම මහ­පො­ළොවේ සංස්කෘ­තික යථා­ර්ථ­යන් නොදැන ජාතික ගීය වෙනත් භාෂා­ව­කට පරි­ව­ර්ත­නය කිරී­මෙන් හෝ සංස්කෘ­තික සංද­ර්ශන පැවැ­ත්වී­මෙන් හෝ විදේශ සම්ම­න්ත්‍ර­ණ­වල ජන­වර්ග පිළි­බඳ ගැටලු වමාරා පෞද්ග­ලික වාසි ලබා­ගැ­නී­මෙන් හෝ රට තුළ ප්‍රශ්නය නොවි­ස­ඳෙන බව සැවොම තේරු­ම්ගැ­නී­මට කාලය එළඹ ඇත.

මේ ඓති­හා­සික ජය­ග්‍ර­හ­ණය අනා­ගත ශ්‍රී ලංකාවේ හැර­වුම් ලක්ෂ්‍ය බවට පත් කිරීම සඳහා අවශ්‍ය වන්නේ මැති­ව­රණ ප්‍රති­ඵ­ලය විවෘත මන­ස­කින් කියවා ජන­තාව තෝරා­ගෙන ඇති නව ආකෘ­ති­යක දේශ­පා­ලන නාය­ක­ත්වය සමඟ සහ­යෝ­ග­යෙන් කට­යුතු කිරී­මයි. ඒ සඳහා බෙදු­ම්වා­දය අත­හැර රටේ යහ­පත සඳහා ප්‍රති­ප­ත්ති­මය තීන්දු­ව­කට එළ­ඹී­මට උතුරු නැගෙ­න­හිර ඡන්ද බැංකුවේ හිමි­ක­රු­වන් යොමු වීම අත්‍ය­වශ්‍ය වේ.

අප රට පසු­ගිය වසර හත­ර­හ­මා­රක නොඅඩු කාල­සී­මාව තුළ බෙදු­ම්වාදී උගුල තුළ සිර කළා පම­ණක් නොව විවිධ ආර්ථික ගිවි­සුම් මඟින් ද රට ඉදි­රි­යට ගෙන යෑමට අප­හසු තත්ත්ව­ය­කට පත් කර ඇත. ශ්‍රී ලංකා රජය පසු­ගිය කාලය පුරා­වට සිදු කළ එබඳු ගිවි­සුම් ගත­වී­ම්ව­ලින් බැහැර වීමට හෝ එම ගිවි­සු­ම්ව­ලින් රටේ ආර්ථි­ක­යට ස්වෛරී­භා­ව­යට වන හානිය අවම කර­ගැ­නී­මට කට­යුතු කිරීම නව ජනා­ධි­ප­ති­ව­රයා මුහුණ දෙන්නා වූ තවත් ප්‍රධාන අභි­යෝ­ග­යකි.

ACSA, SOFA, MCC ­ආදී ගිවි­සුම් රැසක් එක දිග­ටම ගෙන ඒම­ටත් ඒවා­යින් ලැබෙන ආර්ථික හෝ මූල්‍ය­මය වාසිය ගැන පම­ණක් කතා කිරී­ම­ටත්, නිවැ­ර­දිව වාසි පිරි­වැය විශ්ලේ­ෂ­ණ­යක් හා සමාජ පිරි­වැය විශ්ලේ­ෂ­ණ­යක් නොකොට එම ගිවි­සුම් අස්සන් කිරී­ම­ටත් කට­යුතු කළ අව­ස්ථාවේ අප ලැබූ ජනා­ධි­ප­ති­ව­රණ ජය­ග්‍ර­හ­ණය රටේම ජය­ග්‍ර­හ­ණ­යකි. එම අව­ස්ථාව වන විට ශ්‍රී ලංකාව ස්වාධීන ස්වෛරී රාජ්‍ය­යක් යැයි නොපෙ­නෙන තර­ම­ටම ඇම­රි­කාව ප්‍රමුඛ බට­හිර බල­ව­තුන්ට හීලෑවී තිබිණ. එබඳු එක් බල කඳ­වු­රක් සමඟ සමීප වීම අනි­වා­ර්යෙන්ම අන්ත­ර්ජා­තික තවත් බල කඳ­වු­රක ඉල­ක්ක­යක් වීමට හේතු­වක් වේ.

අන්ත­ර්ජා­තික දේශ­පා­ල­නයේ ශ්‍රී ලංකාවේ භූමි­කාව සිදු­විය යුත්තේ බල තර­ගයේ මැදට නොපැන නොබැඳි පිළි­වෙ­තක ගමන් කිරී­මයි. කෙතෙක් අප­හසු වුවද විය යුත්තේ එයයි. එම තත්ත්වය නිසි ලෙස තේරු­ම්ගෙන ඇති අභි­නව ජනා­ධි­ප­ති­ව­රයා ජාතිය අමතා සිදු කළ සිය ප්‍රථම කතා­වේ­දීම ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රති­ප­ත්තිය පිළි­බඳ සිදු කළ ප්‍රකා­ශය පුර­වැසි සැමගේ ගෞර­ව­යට පාත්‍ර­විය යුතුය.

වර්ත­මා­නයේ ආර්ථික ගිවි­සුම් දේශ­පා­ලන ගිවි­සු­ම්ව­ලට එහා ගිය ආකා­රයේ පීඩ­න­යක් දුප්පත් රට­ව­ලට එල්ල කර ඇත. සම බිමක සම බල­ව­තුන් අතර ඇති කර­ගන්නා ගිවි­සුම් මෙන් නොව දුප්පත් හා පොහො­සත් රට­වල් අතර ඇති කර­ගන්නා ගිවි­සු­ම්ව­ලදී කුඩා රාජ්‍ය­යන්ට වන පාඩුව ඉහළ යනු ඇත. ශ්‍රී ලංකාව ද එම යථා­ර්ථය තේරු­ම්ගෙන ගිවි­සු­ම්ව­ලට එළැ­ඹී­මේදී කට­යුතු කළ යුතු වුවත් සිදු වූයේ එම ගිවි­සුම් ඉදි­රි­පත් කරන්නා වූ බල­වත් රට­වල පාර්ශ්ව­යේම අප පාර්ශ්ව­යද හිඳ­ගැ­නී­මයි. මීට හොඳම නිද­ර්ශ­නය ජිනීවා මානව හිමි­කම් කවු­න්ස­ල­යට ඇම­රි­කාව ගෙන ආ යෝජ­නා­වට එහි චූදි­තයා ද පාර්ශ්ව­ක­රු­වෙකු වී යෝජ­නාව කවු­න්සි­ල­යට ඉදි­රි­පත් කිරී­මයි.

එබඳු බෙල­හීන විදේශ ප්‍රති­ප­ත්ති­යක සිට සෘජු නොබැඳි විදේශ ප්‍රති­ප­ත්ති­ය­කට ගමන් කිරී­මට අප වැනි කුඩා රාජ්‍ය­යක නාය­ක­යෙකු කට­යුතු කිරීම ආරම්භ කරන විටම ඊට විවිධ බාධක ඉදි­රි­පත් විය හැකිය. එබැ­වින් එම නාය­කයා වටා රටේ සමස්ත ජන­තාව එක්රොක් වී එතුමා ශක්ති­මත් කිරීම මේ තීර­ණා­ත්මක අව­ස්ථාවේ දී අත්‍ය­වශ්‍ය කරු­ණකි.

දැන් අප රජය එළැඹී ඇති ගිවි­සුම් නැවත සමා­ලෝ­ච­නය කිරීම හා එම ගිවි­සු­ම්ව­ලින් අහිමි වී ගිය ආර්ථික හා සමාජ සම්පත් නැවත ලබා ගැනීම නම් අප­හසු කට­යු­ත්තක් වනු ඇත. එසේම ඒවා­යින් මඟ­හැර සිටී­මට ද නාය­ක­ත්ව­යට හැකි­යා­වක් නැත. විශේ­ෂ­යෙන් ඉදි­රි­යේදී අස්සන් කිරී­මට යෝජිත ගිවි­සුම් සම්බ­න්ධ­යෙන් අභි­නව ජනා­ධි­ප­ති­ව­ර­යාට පැව­රෙන වග­කීම සුළු­පටු නොවේ. ප්‍රබල ජාතීන් සමඟ ගැටු­ම­කට යා නොදී සාම­කා­මීව ශ්‍රී ලංකා­වට වාසි­ගෙන දෙන ලෙස ගිවි­සුම් සකස් කර­ගැ­නීම හෝ එම ගිවි­සු­ම්ව­ලින් ඉවත් වීම සඳහා කට­යුතු කිරීම අති දුෂ්ක­රය. එබැ­වින් ශ්‍රී ලාංකික සෑම පුර­වැ­සි­යෙ­කු­ගේම වග­කීම වන්නේ එම කට­යු­තු­ව­ලදී එතු­මාට ශක්ති­යක් වීමයි. එම අව­ස්ථාව ප්‍රයෝ­ජ­න­යට ගෙන ඒ මඟින් හෝ රටේ දේශ­පා­ලන අස්ථා­ව­ර­ත්ව­යක් ඇති කිරී­මට මාන බලන දේශ­පා­ලන බඩ­ගෝ­ස්ත­ර­වා­දී­න්ගෙන් රට වැසියා දිනා­ගත් සමාජ දේශ­පා­ලන පරි­ව­ර්ථ­නය ආරක්‍ෂා කර­ගැ­නීම පුර­වැසි අප­ටම පැව­රෙන වග­කීම වන්නේය.

සතුරා පරා­ජය කිරී­මෙන් අපි අද ජය ලබා ඇතත් එය සැබෑ ලෙසම අනා­ගත ශ්‍රී ලංකාවේ යහ­පත් පරි­ව­ර්ත­න­යක් කරා ගෙන යන තුරු සැබෑ ජය සම­රනු නොහැ­කිය. මේ අව­ස්ථාවේ අප පරා­ජය කළ සතුරු බල­වේග සියලු අවි සඟවා සැඟව සිටී. ඒ අප සිදු කරන වැර­ද්ද­කින් ඇති වන ඔවුන්ට වාසි සහ­ගත අව­ස්ථා­ව­කදී නැවත අපට පහර දීමට ය. එබැ­වින් වඩා වැද­ගත් වනුයේ සටන ජය­ග්‍ර­හ­ණය කිරීම නොව ලැබූ ජය­ග්‍ර­හ­ණය රටේත්, අනා­ගත දරු­ප­ර­පූ­රේත් යහ­පත වෙනු­වෙන් ආර­ක්‍ෂා­කර ගැනීම යි.

Comments