නීතිය ඉදිරියේ අසරණ වුණු ජය ශ්‍රී මහ හාමුදුරුවන්ගේ රැකවල්ලු | සිළුමිණ

නීතිය ඉදිරියේ අසරණ වුණු ජය ශ්‍රී මහ හාමුදුරුවන්ගේ රැකවල්ලු

 

 

ක්‍රි.පූ. 3 වැනි සිය­ව­සෙහි අනු­රා­ධ­පුර ශ්‍රී මහා බෝධිය ලක්දිව යාපා පටු­නෙහි සංඝ­මිත්තා තොටු­පළ ලෙස දැනට හඳු­න්වන තොටු­ප­ළට ගෙන එන ලද්දේ අශෝක අධි­රා­ජ­යාගේ දිය­ණිය වන සංඝ­මිත්තා මෙහෙ­ණීය විසිනි. ඇය ශ්‍රී ලංකා භික්ෂූණී ශාස­නය පිහි­ටු­වී­මෙහි ලා පුරෝ­ගාමී වූවා ය. ක්‍රි.පූ 249 දේවා­න­ම්පි­ය­තිස්ස රජ­තුමා විසින් අනු­රා­ධ­පුර මහ­ම­මෙව්නා උය­නෙහි ජය ශ්‍රී මහා බෝධිය රෝප­ණය කරන ලදි.

 

ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ පිහිටි පූජ­නීය වෘක්ෂ­යයි. බුදුන් වහන්සේ බුද්ධ­ත්වය ලබා­ගැ­නීමේ දී පිට ­දුන් ඓති­හා­සික බෝධි වෘක්ෂයේ දකුණු අංකුර පැළ­යකි. මෙය පැළ කරන ලද්දේ ක්‍රි.පූ 288 දී ය. ශ්‍රී මහ බෝධීන් වහන්සේ මේ දක්වා ලෝකයේ මිනිස් අත­කින් රෝප­ණය කරන ලද පැර­ණිම වෘක්ෂය ලෙස ඉති­හාස තොර­තුරු පරි­ශී­ල­නය කිරීමේ දී හඳුනා ගැනී­මට හැකි­වනු ඇත.

ශ්‍රී මහ බෝධීන් වහන්සේ මෙර­ටට වැඩම කර­වී­මට මූලික හේතුව වූයේ අනුලා දේවිය ප්‍රධාන කාන්තා පාර්ශ­වය පැවිදි වන්නට අව­සර ඉල්ලා සිටී­මය. මේ කාලයේ ඉන්දි­යාවේ විසූ ධර්මා­ශෝක රජු රටරට­ව­ලට ධර්මය ව්‍යාප්ත කිරීමේ කාර්යයේ නියැලී සිටි අතර එහි එක් පිය­ව­රක් ලෙස අස­ල්වාසී රට වූ ශ්‍රී ලංකා­වට ධර්මා­ශෝක රජුගේ පුත්‍ර මහින්ද (මිහිඳු) තෙරුන් එවී­මට පිය­වර ගත්තේ බුදු දහ­මත් ඒ හා බැඳුණු සංස්කෘ­ති­යත් ලංකා­වට එවී­මෙනි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ස්ථාපිත කිරී­මෙන් අද මෙන්ම එදාද බෝධීන් වහන්සේ රැක­ගැ­නීම සඳහා අප්‍ර­ති­හත ‍ෙධෙර්ය­යක් දරා ඇත. එකල බෝ සමි­දුන් වැඳ පුදා ගැනීම සඳහා පැමි­ණීමේ දී පූජෝ­ප­ක­රණ ද්‍රව්‍ය­යක් වශ­යෙන් දර මිටි රැගෙන එම බැති­ම­තුන්ගේ සිරි­තක් වූයේ රාත්‍රී කාලයේ දී බෝධීන් වහ­න්සේගේ ආර­ක්ෂාව සඳහා ගිනිමැල ගැසී­ම­ටය. බෝධී ආර­ක්ෂාව රැක ගැනීමේ ක්‍රම­වේ­ද­යක් වශ­යෙන් පැවති මෙය ''දර­මිටි පෙර­හැර" නම් වූ චාරිත්‍ර විධිය බවට පත්විය. කෙසේ වුවත් දර­මිටි පොහොය නමින් සැල­කෙන්නේ ඇසළ පොහො­යයි. විශේෂ වූ චාරිත්‍ර ක්‍රම අනු­ග­ම­නය කර ඇත්තේ අලි ඇතුන් මෙන්ම වන සතු­න්ගෙන් ශ්‍රී මහා බෝධිය රැක ගැනීම සඳහා ය.

 

ආව­තේව සඳහා අටළොස් කුල­යක්

 

ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කිරී­මට මෙන්ම නිති­පතා ක්‍රමා­නු­කූල පුද සත්කා­ර­යන් සඳහා පුහුණූ අට­‍ෙළාස් කුල­යක පිරිස් ද එවනු ලැබූ බව වංශ­කතා ආදී මූලාශ්‍රය ග්‍රන්ථයෝ සාක්ෂි දරති. සම­න්ත­පා­සා­දිකා නම් විනය අටු­වාව පව­සන පරිදි දේවතා කුල 18ක්, අමච්ච කුල, බ්‍රාහ්මණ කුල, තරච්ච කුල, කාලිංග කුල 08 බැගින් ද පැන් ඉසී­මට රන් ඝට 8ක් ද ලංකා­වට එවා ඇත.

ජය ශ්‍රී මහා බෝධීන් වහ­න්සේගේ අතීත අනු­ස්ම­ර­ණය කථාව සැකෙ­වින් මෙසේ වුවත් මෙහි අභි­ප්‍රාය වනුයේ බෝධි­ගුප්ත කුමා­රයා විසින් ආරම්භ කරන ලද පුද සත්කාර වර්ත­මා­නය වන විටත් පෙර­ටත් වඩා පූජ­නීය වන්ද­නීය ලෙසින් ජය ශ්‍රී මහ බෝ හාමු­දු­රු­වන් රැක­ගන්නා මිනි­සුන්ගේ ඛේද­නීය මෙන්ම ශෝච­නීය පුව­තක ආර­ම්භ­යකි මේ.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වසර 2316 ක සිට ජීවිත පර­දු­වට තබා පුද සත්කාර කර­මින් රැක ගන්නා ඔවුහු අද වන විට අන්ත අස­රණ තත්ව­ය­කට පත්ව සිටිති. ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභි­මු­ඛයේ සිට කි.මි 12ක් ඉක්ම ගිය පසු ගම්මාන 09ක තුලාන 03කට අයත්ව කිසිදු පහ­සු­ක­මක් නොමැ­තිව පර­ම්ප­රා­වෙන් උරුම වූ එහෙත් නීති­යෙන් උරුම නොවූ අයි­ති­වා­සි­කම් වෙනු­වෙන් හඬක් නගන්න අනා­ගත පර­පුර අන්ත අස­රණ නොවී ජීව­ත් වනු දැකී­ම­ටයි.

එදා මෙදා­තුර බෝධීන් වහන්සේ ආරක්ෂා කර­ගත් මොවුහු ගම්මාන 09ක පදිං­චිව සිටිති. වර්ත­මා­නය වන විට මේ පුද සත්කාර කරන පවුල් 1500 කට වැඩි පිරි­සක් විහා­ර­පා­ළු­ගම, විහා­ර­හ­ල්මි­ල්ල­කු­ලම, විහා­ර­ක­ල්ලං­චිය, විහාර කැප්පෙ­ටි­යාව, විහාර ඉලු­ප්පු­කු­ලම, විහාර පුසි­ය­න්කු­ලම ජීවත් වෙති. ඔවුන් පව­සන්නේ ගමන් කිරී­මට මාර්ග­යක් පොදු ප්‍රවා­හන සේව­යක් නිසි අධ්‍යා­ප­න­යක් මෙන්ම පර­ම්ප­රා­වෙන් පර­ම්ප­රා­වට උරුම වූ ඉඩමේ අයිතියි වත් තමන්ට නැති බවයි.

 

අවම පහ­සු­ක­ම්වත් නැහැ

 

ජය ශ්‍රී මහා බෝධීන් වහ­න්සේට වසර 20ක් පමණ පුද සත්කාර කළ ගම් ධූර­යෙකු හා මහ ධූර­යෙකු ලෙස වසර 08 ක්සේවය කළ එල්. කරු­ණා­රත්න (71) මහතා හඬ අවදි කර­මින් කියා සිටියේ

“දන්න කාලෙක සිට ඉල්ලීම් කරලා එම ඉල්ලීම් දැන් විහි­ළුවක් බවට පත්වෙලා. බෝධි­ගුප්ත කුමා­ර­යා­ගෙන් ආරම්භ කළ මේ සේවාව මේ ගම්මාන 09 ක ජිවත් වෙන මිනිස්සු තාමත් රකි­නවා. එදා ලෙසම අදත් බෝධීන් වහන්සේ රැක ගන්න අපි කට­යුතු කර­නවා. ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ සෙව­නේම ගෙවුණු අපේ ජීවිතවලට ජීවත් වීමට අවශ්‍ය අවම පහ­සු­කම් ටික වත් ලබා දෙන්න මේ බල­ධා­රින් මෙතෙක් ක්‍රියා කර නෑ. පර­ම්ප­රා­ගත ඉඩ­ම්වත් තාම අපිට කියලා අයි­ති­යක් තහ­වුරු වන්න ඔප්පු­වක් ලබා දීලා නෑ. මේ හින්දා පදිං­චි­යක් තහ­වුරු කර­ගන්න බැරි නිසා උපාධි දෙකක් තියෙන මගේ දරු­වාට රජයේ රැකි­යා­වක් ගන්න නොහැකි වුණා. මේ නිසා දැන් දරුවා පුද්ග­ලික ආය­ත­න­යක සේවය කර­නවා. මවුපි­යන්ට මොන තරම් වුව­ම­නාව තිබු­ණත් නග­රයේ ඉස්කෝ­ල­ය­කට දාගන්න පදිංචි සහ­ති­ක­යක් ඉදි­රි­පත් කර­න්නට නොහැකි වීමෙන් දරුවෝ පාස­ල්ව­ලට භාර­ගන්නේ නෑ. මේක ලොකු අප­රා­ධ­යක්. එයා­ලත් ආසයි නග­රයේ පාස­ල්ව­ලට ගිහින් ඉගෙන ගන්න. ඒකට අව­ස්ථා­වක් නෑ. වැහි­කා­ලෙට මේ පහත් බිම් සේරම යට වෙනවා. පාර­වල් මඩ ගොහුරු බවට පත්වෙලා පයි­න්වත් යන්න බෑ. මේ පාර හදලා දෙන්න කියලා දන්න කාලෙක ඉදලා ඉල්ලීම් කලාට මේ වන තුරුත් හදලා දුන්නේ නෑ. මේ ගමේ ළමයි කි.මි 6 ක් පමණ දුරින් තිබෙන පාස­ල­ක­ටයි යන්නේ. සිසු සැරිය බස් එකක් විත­රයි වැඩ කරන්නේ. බස් එකක් ගෙවල් ලග­ටම එන්නේ නැහැ. කිලෝ­මි­ටර් 2ක් 3ක් පයින් ගිහින් තමා බස් එක­කට නගින්නේ. ඒ තරම් දුෂ්ක­ර­තා­වක් මේ ළමයි විඳි­නවා. ණයක් අරන් ගෙයක් දොර­ක්වත් හදන්න විදි­යක් නෑ. පදිංචි ඉඩමේ ඔප්පු­ව­ක්වත් නැති නිසා බැංකු ණය­ක්වත් අපිට දෙන්න කැමති නෑ. මේ දුෂ්ක­ර­තා රජයේ සේව­කයෝ, මැති ඇමැ­ති­වරු හැමෝම දන්නවා. ඡන්දය ගන්න­කොට නම් හැමෝම අපිට බලා­පො­රොත්තු දීලා ඡන්දය අරන් යනවා. ඊට ප්සසේ මේවට පිළි­යම් යොදන්න තියා අපිව මත­ක­වත් නෑ. අපි ගැන නොවේ, අපේ දරුවෝ ගැන හිතලා මේ ඉල්ලීම් ටික කරලා දෙන්න“ ඒ එල්. කරු­ණා­රත්න මහ­තාය.

 

රජයේ රැකි­යා­ව­ක්වත් නැහැ

 

ශ්‍රි මහා බෝධින් වහ­න්සේට පුද සත්කාර කරන බොහෝ දෙනෙක් අද අත් විඳින්නේ මෙවන් දුක් ගැහැ­ටය. ඔහු පී. වීර­රත්න (42) මහ­තාය.

“රජයේ රැකි­යා­වක් කරන්න කැමැ­ත්තෙන් හිටි­යත් ඒකට අව­ස්ථා­වක් නෑ. අඩුම තරමේ වගා ණය­ක්වත් අපිට ලබා දෙන්න මේ නිල­ධා­රීන් කාරු­ණික වෙලා නෑ. 70 දශ­කයේ පමණ අස්ව­ද්දන ලද කුඹු­රු­ව­ලට බල­ප­ත්‍ර­යක් ඔප්පු­වක් ලබා දීමට පිය­වර නොගන්නා නිසා­වෙන් ගොවි­යන්ට විවිධ දුෂ්ක­ර­තා­ව­යන්ට මුහුණ දීමට සිදු­වුණා. මමත් කාල­යක් ශ්‍රී මහා බෝධියේ පුද සත්කා­ර­ව­ලට නිරත වී සිටියා. ශ්‍රී මහා බෝධීන් වහ­න්සේට පුද සත්කාර කරන මිනි­සුන්ට උප­හා­ර­යක් ලෙසින් වකු­ගඩු රෝහ­ලක් ස්ථාපිත කරන්න කට­යුතු යෙදු­ණත් කුමක් හෝ බල­වේ­ග­ය­කින් අපෙන් ගිලිහී ගියා. මේ වන විටත් මෙම ගම්මාන 09ක් 20කට ආසන්න පිරි­සක් ජය ශ්‍රී මහා බෝධීන් වහ­න්සේගේ අව­තේව කට­යු­තු­වල නිර­ත ­වෙ­මින් සිටි­නවා. අපේ කාල­යෙන් හරි අඩක් ගෙවී ගොසින් ඉව­රයි. ඒත් අපේ දරුවෝ මේ දුක විදින්න ඕනේ නෑ. පදිංචි නිව­සට, ඉඩ­මට ඔප්පු­වක් ලබා දීලා, පාර හදලා දීලා බස් එකක් දාලා‍ ­දෙන්න බැරි­ක­මක් නෑ. ඒත් මොන අහේ­තු­ව­කට මන්දා අපට ඒවා භුක්ති විදින්න පින නෑ. දන්න කාලෙක ඉදන් මේ ඉල්ලීම ඉටු කර ගන්න මේ ගම්මා­න­වල සියල්ල එකතු වුනත් ක්‍රියා­වට නංවන්න හැකි­වුණේ නෑ. දැන්වත් අපේ දරුවෝ ගැන හිතලා මේ ඉල්ලීම් ඉටු­ක­රලා දෙන්න කියලා ඉතා කාරු­ණි­කව ඉල්ලා සිටි­නවා.....“

 

පාර අබලං

 

ඔහු මේ ගම්වල දරු­වන් පාස­ලට ප්‍රවා­හ­නය කරන එන්. සම­ර­ජීව (47) මහ­තාය.

“මම රැකි­යාව විදි­යට කරන්නේ ඩීමෝ බට්ටා වාහ­න­යක පාසල් දරු­වන් ප්‍රවා­හ­නය කිරී­මයි. වසර 16ක සිට මේ ඩීමෝ බට්ටා ර‍ථයෙන් පාසල් දරුවෝ ප්‍රවා­හන කර­නවා. ඒ වෙනත් වාහ­න­යක් මෙම පාර­ව­ල්වල දුවන්න බැරි නිසයි ඩීමෝ බට්ටා රථ­ය­කින් දරුවෝ ප්‍රවා­හ­නය කරන්නේ. මේ තත්ත්වය හේතු­වෙන් දරු­වන් දැඩි අප­හ­සු­තා­ව­යට පත් වෙලා. පාසලේ සිට මෙම ගමට කිලෝ­මී­ටර් 6ක පමණ දුර ප්‍රමා­ණ­යක් ප්‍රති­සං­ස්ක­ර­ණ­යට කිරී­මට ඉල්ලීම් කරත් අදාල බල­ධා­රීන් පිය­වර ගත්තේ නෑ. විහාර මැද­ව­ච්චිය ගමේ තමයි මම ඉන්නේ. එම වැව යටතේ කුඹුරු අක්කර 100කට වැඩි ප්‍රමා­ණ­යක් අස්වැ­ද්දීම කරන නමුත් වර්ෂාව නැති විට කුඹුරු යායම විනාශ වෙනවා. විහාර මැද­ව­ච්චිය වැවට තිසා වැවෙන් ජලය නිකුත් කිරී­මට හැකි වුණත් කුඹුරු ටික විනාශ වෙනවා දැක දැක අදාල බල­ධා­රීන් ජලය ලබා නොදී ඉන්නවා. “

ඔවුන්ගේ දුක්ගැ­න­විලි නිමක් නැත. එහෙත් ඔවුන් තමන්ට උරු­ම­යෙන් පැවැ­රුණු රාජ­කා­රීන් ඉටු කරන්නේ කිසිදු කන් කෙඳිරි­ල්ලක් නොක­රය. ඔවුහු ඒ තර­මට ශ්‍රි මහා බෝධින් වහ­න්සේගේ සේවා­වන් පුද සත්කාර වෙනු­වෙන් සිය ජීවි­තය කැප කර ඇත්තෝය. තව­මත් ඔවුන් ජීවත් වන්නේ තමන්ට උරු­ම­යෙන් හිමි වූ ඉඩම් වලය. එහෙත් අද උරු­ම­යට වඩා නීතිය බල­වත් හෙයින් සිය දෛනික කර්ත­ව්‍ය­යන් ඉටු කර ලිමට යෑමේදි ඔවුන්ට මුහුණ දිමට සිදුව ඇත්තේ අමි­හිරි අත්දැ­කිම් ගොන්න­ක­ටය. මේ නිසා­වෙන් ඔවුහු වරින් වර බල­ධා­රීන් හමුවේ මේ දුක් ගැන­විලි පැවැසූ වාර අන­න්තය. එහෙත් විහා­ර­පා­ළු­ගම, විහා­ර­හ­ල්මි­ල්ල­කු­ලම, විහා­ර­ක­ල්ලං­චිය, විහාර කැප්පෙ­ටි­යාව, විහාර ඉලු­ප්පු­කු­ලම, විහාර පුසි­ය­න්කු­ලම යන විහා­ර­ග­ගම්වල ජීවත් වන මොවුන්ට සාධා­ර­ණය ඉටු වන වගක් නම් පෙනෙන්නේ නැත. එහෙත් ඔවුන්ට එක් විශ්වා­ස­යක් ඇත්තේය. ඒ ජය ශ්‍රී මහා බෝධින් වහ­න්සේගේ නාම­යෙන් තමන්ට කෙදි­නක හෝ සාධා­ර­ණ­යක් ඉටු­ වනු ඇති බවය.

 

Comments