
ශ්‍රී ලංකාවේ මෑත යුගයේ සිටි ජ්‍යෙෂ්ඨතම පුරාවිද්‍යාඥයා වූ මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලක මහතා පසුගිය දා අප අතරින් සදහට ම සමු ගත්තේය.
ප්‍රේමතිලක මහතා, 1922 ජුනි 07 වන දින කැලණිය වනවාසලදී උපත ලැබීය. ඔහු ප්‍රදේශයේ පාසැල් කිහිපයක ම අධ්‍යාපනය ලැබූ බව සඳහන් වෙයි. දුටුගැමුණු රජයේ මිශ්‍ර පාඨශාලාව, කැලණිය ශාන්ත මරියා විද්‍යාලය, කොටහේනේ වේල්ස් කුමාර විද්‍යාලය ඒ අතර වෙයි. ලංකා විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම උපාධිය දිනාගත් ඔහු පශ්චාත් උපාධි අධ්‍යාපනය ඉන්දියාවේදී හා එංගලන්තයේදී ලබා ගත්තේය. ඉන්දියාවේ කල්කටා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් දර්ශන ශූරි උපාධිය ද දිනාගැනීමට ඔහු සමත් විය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ආරම්භක අංශ ප්‍රධානියා වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන සමඟ සේවය කළ එකම කථිකාචාර්යවරයා වූයේ ප්‍රේමතිලක මහතා ය. පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයකු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු සහ මහාචාර්යවරයකු ලෙස එම අංශයටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් පමණක් නොව පුරාවිද්‍යා විෂය ක්ෂේත්රයටත් එතුමාගෙන් සිදු වූ සේවය අති විශාල ය. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයට අනුබද්ධව අධ්‍යයන කෞතුකාගාරයක් සංස්ථාපනයෙහි පුරෝගාමියා ද විය.
මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ අවධියේ පේරාදෙණිය පුරාවිද්‍යා අංශයේ කාර්යභාරය වූයේ පශ්චාත් උපාධි සඳහා අධ්‍යාපනය ලබා දීමත් ඉතිහාසය, පෙරදිග භාෂා හා බෞද්ධ සංස්කෘතිය වැනි විෂයයන් සඳහා වූ අධ්‍යයන අංශවල සිසුන් සඳහා ආධාරක දේශන පැවැත්වීමත් පමණි. පුරාවිද්‍යා අධ්‍යයන අංශය මඟින් එම විෂය පිළිබඳ ශාස්ත්‍රවේදී හා විශේෂ ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලා ආරම්භ කරන ලද්දේ මහාචාර්ය ප්‍රේමතිලක මහතා විසිනි. එකම කථිකාචාර්ය තනතුරකින් ආරම්භ වූ පුරාවිද්‍යා අංශය විවිධ විෂය ක්ෂේත්රයන්ගේ විශේෂඥයන් වන කථිකාචාර්යවරුන් ගණනාවකින් සමන්විත පරිපූර්ණ අධ්‍යයන අංශයක් බවට පත් කරන ලද්දේ මහාචාර්ය ප්‍රේමතිලකයන් විසින් ය. මහාචාර්ය ප්‍රේමතිලක මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සංස්ථාපනයේදී මහාචාර්ය සේනක බණ්ඩාරනායක මහතාගේ සමීපතම ගමන් සගයෙක් විය.
යුනෙස්කෝ - ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහන යටතේ ආරම්භ කෙරුණු ව්‍යාපෘති හයෙන් දෙකක ම එනම් පොළොන්නරුවේ ආලාහන පිරිවෙන ව්‍යාපෘතිය හා මහනුවර ව්‍යාපෘතිය යන ව්‍යාපෘති දෙකෙහි ම පුරාවිද්‍යා අධ්යක්ෂවරයා වශයෙන් මෙරට පුරාවිද්‍යා උරුම කළමනාකරණය සම්බන්ධයෙන් මහාචාර්ය ප්‍රේමතිලක සූරීන් අතින් ඉටු වූයේ අමරණීය සේවයකි. සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිවල ගවේෂණ, කැණීම් හා සංරක්ෂණ කටයුතුවලට විශ්වවිද්‍යාල සිසුන් යොදවා ගනිමින් පුරාවිද්‍යා විෂයය ගැන ඔවුනට පුළුල් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුමක් ලබා දීමට කටයුතු කළේය. ඒ ක්‍රියාදාමය අනුව බිහි වූ වෘත්තීය පුරාවිද්‍යාඥයන් සංඛ්‍යාව විශාල ගණනකි. ඉන් බොහෝ දෙනෙක් අද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු, මධ්‍යම සංස්කෘතික අරමුදල යන ආයතනවල වගකිව යුතු සේවයක් ඉටු කරති. තවත් අය විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් ලෙස පුරාවිද්‍යා විෂයය ප්‍රවර්ධනය කරමින් සිටිති.
මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් කෞතුකාගාර පිහිටුවීමේදී මහාචාර්ය ප්රේමතිලකයන්ගෙන් සිදු වූ සේවය ප්‍රසංසනීය වේ. පොළොන්නරුවේ ස්ථාපිත කර ඇති කෞතුකාගාරය හා තොරතුරු මධ්‍යස්ථානය මෙන් ම දඹුල්ලේ පිහිටි ශ්‍රී ලංකා බිතු සිතුවම් කෞතුකාගාරය ද ඔහු කෞතුකාගාර සම්බන්ධයෙන් කර ඇති සම්ප්රදානය පිළිබඳ නිදර්ශන වේ.
මහාචාර්ය ප්‍රේමතිලක මහතා විරල ගණයේ පර්යේෂකයෙක් මෙන් ම ලේඛකයෙක් ද වන්නේය. මුල් අවධියේදී ම ඔහු මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ The Stupa in Ceylon නම් ග්‍රන්ථය සිංහල භාෂාවට පරිවර්තය කොට පළකළේය. මහාචාර්ය ප්‍රේමතිලක, ආචාර්ය රෝලන්ඩ් සිල්වා යන විද්වතුන් දෙදෙනාගේ සහ ආචාර්ය නන්දනා ඩුටිවොං යන විද්වතියගේ සම කර්තෘත්වයෙන් ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ බිතුසිතුවම් පිළිබඳ කාණ්ඩ තිහකින් සමන්විත සුවිශාල ග්රන්ථ මාලාව මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. අනාගතයේදී හායනය වී යා හැකි බිතුසිතුවම් සහිත පැරැණි විහාර අතරින් තෝරා ගන්නා ලද ස්ථාන තිහක් ගැන මෙම ග්රන්ථ මාලාව සම්පාදනය කර ඇත. එක් එක් ග්‍රන්ථයක තෝරා ගත් ස්ථානයේ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික පසුබිම ද එහි ඇති බිතුසිතුවම් පිළිබඳ විමර්ශනයක් ද ඒ චිත්රවල විශාල ප්‍රමාණයේ ඡායාරූප ඵලක ප්‍රමාණවත් සංඛ්‍යාවක් ද අන්තර්ගත වන්නේය. ඒ හා සමානව ශ්‍රී ලංකාවේ මූර්ති කලා නමින් තවත් ග්රන්ථ මාලාවක් පළ කිරීමට ද මහාචාර්ය ප්‍රේමතිලක මහතා ඇතුළු කර්තෘ තිදෙන පියවර ගෙන ඇත. ඒ අතරින් “බුද්ධ ප්‍රතිමා”, “බෝධිසත්ව ප්‍රතිමා”, “ශිව ප්‍රතිමා” හා “විෂ්ණු ප්‍රතිමා” යන ග්රන්ථ මේ වනවිට ලියා පළකොට ඇත.
ශ්‍රී ලංකාවෙන් සොයා ගන්නා ලද මංජුශ්‍රී වාස්තු විද්‍යා ශාස්ත්‍රය නම් පුරාණ සංස්කෘත ග්‍රන්ථය පිළිබඳ මහාචාර්ය ප්‍රේමතිලක මහතාගේ සමසංස්කාරකත්වයෙන් පළ වූ සංස්කරණය විශිෂ්ට ශාස්ත්‍රීය සම්ප්රදානයක් ලෙස විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වී ඇත.
මහවැලි ව්‍යාපෘතියේ දියකඳින් මාතලේ නාලන්ද ගෙඩිගෙය යටවීමට නියමිතව තිබිණ. එය ක්‍රි.ව. අටවන සියවසට පමණ අයත් වන එකක් වන අතර පල්ලව ගෘහනිර්මාණ සම්ප්‍රදායට අනුව ගලෙන් කරන ලද, තාන්ත්‍රික බෞද්ධ ප්‍රතිමා ගෘහයක් විය. එය ශ්‍රී ලංකාවේ ස්මාරක අතර වූ ඒ වර්ගයේ එක ම නිදසුන ද විය. මහාචාර්ය ප්‍රේමතිලක සූරින්ගේ විශිෂ්ට මෙහෙවර නොවූයේ නම් මහවැලි ජලයෙන් යටවී සදහට ම අහිමි වන්නට ඉඩ තිබිණ. ගලින් ගල ගලවා ඒ අසල ම උස් බිම් කඩක එම ගොඩනැගිල්ල විධිමත් ලෙස ප්‍රතිනිර්මාණය කරන ලද්දේ ඔහු ය. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාවේ ඉතිහාසය තුළ මහාචාර්ය පී.එල්. ප්‍රේමතිලක යන නාමය රන් අකුරින් ලියැවෙන්නට එම කාර්යය වුව ද ප්‍රමාණවත් ය.