ජාතක කථා පොතෙන් මතු­ කොට දැක්වෙන ආචාර ධර්ම | සිළුමිණ

ජාතක කථා පොතෙන් මතු­ කොට දැක්වෙන ආචාර ධර්ම

ආචාර්ය  දිල්ශාන් මනෝජ් රාජ­පක්ෂ  කථි­කා­චාර්ය  බෞද්ධ දර්ශ­නය අධ්‍ය­යන අංශය  ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව­වි­ද්‍යා­ලය

 

 

ඛුද්ද­ක­නි­කායේ කොට­සක් වන ගාථා පම­ණක් ඇති නිපාත විසි දෙක­කින් යුතු ජාත­ක­පා­ළිය විව­ර­ණය වී ජාතක අටු­වාව ද පසු ව පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ද රචනා වී ඇත. ජාතක යනු උත්ප­ත්තිය සම්බන්ධ යනු යි. ජාතක බුදු­ර­දුන් පෙර ජන්ම සම්බන්ධ කථා­වන් වෙයි. බුද්ධ­ත්වය ලැබී­මට පෙර බුදු­ර­දුන් බෝසත් නමින් හැඳින් විය. උන්ව­හන්සේ එකල බුද්ධ­ත්වය සඳහා දාන, ශීල, මෛත්‍රී, සත්‍ය ආදි දස පාර­මිතා පිරූහ. සත්ත්ව යහ­පත උදෙසා තම ජීවි­තය නොයෙ­ක්වර පරි­ත්‍යාග කළහ. බෝධි­සත්ත්ව යන්නෙන් ඥානය, සත්‍යය, දයාව ආදිය අභ්‍යාස කරන, ඉදි­රියේ දී බුද්ධ­ත්වය ලබන්නා යන අද­හස දැක්වෙයි. ජාත­ක­වල අන්ත­ර්ගත වන්නේ බුදු­ර­දුන් කථා නාය­ක­යාව හිඳ පූර්ව ජන්ම­වල දී බෝසත් චර්යාව පාල­නය කරන අයුරු යි. එම නිසා ජාත­ක­කථා උප­දේ­ශා­ත්මක වූත්, සම්පූර්ණ අර්ථ­යෙන් කලා­ත්මක වූත් සාහි­ත්‍ය­යකි. බුද්ධ කාලීන භාර­තයේ සමා­ජය, ධර්ම, දේශ­පා­ල­නය, භූගෝ­ලය, ලෞකික විශ්වාස, ආර්ථික හා ව්‍යාපා­රික ආදි සර්ව­විධ ජීවි­තය පිළි­බඳ කරුණු ජාතක කථා­ව­ලින් දක්නට ලැබේ.

 

ජාතක කථා අන්ත­ර්ග­තය අනුව විවිධ වේ. වින්ට­ර්නිට්ස් මහතා දක්වන ආකා­ර­යට අනුව ජාත­ක­කථා අන්ත­ර්ග­තය කොටස් හත­කට බෙදා දැක්විය හැකි ය.

1. ව්‍යව­හා­රික නීති සම්බන්ධ කථා

2. තිරි­ස­නුන් පිළි­බඳ කථා

3. හාස්‍ය හා විනෝ­ද­යෙන් පිරි කථා

4. ලොමු­ඩැහැ ගන්වන දිග කථා නැත­හොත් උප­න්‍යාස

5. නෛතික වර්ණනා

6. කථන මාත්‍ර

7. ධාර්මික කථා

 

 

ආචාර ධර්ම

 

ආචාර යන්නෙන් වෙතට, සමී­ප­යට, තෙක් යනාදි අර්ථ හැඟවේ. ‘ආ’ යන අව්‍ය පදය මුලින් යෙදී­මෙන් හැසි­රීම යන අරු­තෙහි යෙදෙන ‘චර්’ ධාතුව එකතු වී ආචාර යන යෙදුම තැනී ඇත. ‘ධර්ම’ යන්න දරා ගැනීම අර්ථ­වාචී යෙදු­මෙන් සැකසී ඇත. ධර්ම යනු ජීවි­තය නිර­වද්‍ය ලෙස දරා සිටී­මට උප­කාරී වන කරුණු සමූ­හය යි. මේ අනුව ජීවි­තය දරා­ගැ­නී­මට උප­කා­රී­වන කරුණු වෙත සමීප වී ඒවා හද­ව­ත­ටම ගෙන ඒ තුළ හැසි­රීම ආචාර ධර්ම යි. තමා යහ­ප­තෙහි හිඳි­මින් ලෝකය යහ­පත වෙත කැඳ­වී­මට ආචාර ධර්ම තුළ හැසි­රෙන මනු­ෂ්‍යයා සම­ත්වනු ඇත.

ආචාර ධර්ම ආචාර විද්‍යාව, ආචාර වාදය, සදා­චා­රය, සදා­චාර ධර්ම, සදා­චාර විද්‍යාව හා සදා­චාර දර්ශ­නය යනාදි පර්යාය යෙදු­ම්ව­ලින් හඳු­න්වන අතර මේ සඳහා ඉංග්‍රීසි භාෂාවේ Ethics යන්න හා Moral Philosophy යන යෙදුම් වව­හාර වේ. මෙම Ethics යන්න හා Moral Philosophy යන යෙදුම් ලතින් භාෂාවේ යෙදු­ම්වල Ethos යන්න හා Mores යන පුරුද්ද (habit), සිරිත් (custom) යන අරුත් හැඟ­වෙන පද­ව­ලින් බිඳී ගොස් සැකසී ඇත. දර්ශ­නය යන ප්‍රධාන විෂය ක්ෂේත්‍රයේ උප විෂ­යක් ලෙස ගැනෙන ආචාර විද්‍යාව මූලික තේමාව කොට­ගන්නේ මානව චර්යාව (Behaviour) අධ්‍ය­යන කිරීම යි.

ඒ අනුව මෙම­ඟින් කෙරෙන්නේ මානව ගති­පැ­ව­තුම්, චර්යා, පර­මාර්ථ, අධි­මුක්ති, අභි­ප්‍රාය, ජීවන ක්‍රම හා සංස්ථා යන්නෙහි සිදු­ක­රන ඇග­යුම් ය. මිනි­සුන්ගේ ක්‍රියා­වන් විස්තර කිරීමේ දී හොඳ ය (Good), නරක ය (Bad), වැරදි ය (Wrong) යන වචන අප ව්‍යව­හාර කරන්නේ කුමන අද­හ­ස­කින් දැයි විචා­රා­ත්මක ව පරීක්ෂා කිරීම ආචාර ධර්ම­යෙන් අපේක්ෂා කෙරේ. ආචාර ධර්ම­යෙහි ලා එසේ විස්තර කළ හැකි දෑ පුද්ග­ල­යෙකු විසින් හිතා­මතා කරනු ලබන ක්‍රියා­වන හෙයින් (යටත් පිරි­සෙ­යින් කතෘ­හට රිස්සක් කිරීමේ අව­ස­ර­යක් මද­කුදු නො ලබන තරම් ආක­ස්මික වූ හෝ අනි­වා­ර්යය වූ හෝ ක්‍රියා නො වන හෙයින්) එවැනි ක්‍රියා­වක් ඇග­යීමේ දී කතෘගේ චරි­තය පිළි­බ­ඳව විනි­ශ්ච­යක් ද අව­ශ්‍ය­යෙන් ම කළ යුතු වේ.

ආචාර ධර්ම යන්න විශ්ලේ­ෂ­ණා­ත්ම­කව මෙන්ම ප්‍රායෝ­ගි­කව නිර්ව­ච­න­ය­වන ආකා­රය තවත් ආකා­ර­ය­කින් දැක්වු­ව­හොත් ආචාර ධර්ම විද්‍යා­වෙන් හෙවත් සුසීල ධර්ම­තා­ව­යෙන් අපේ දෛනික ක්‍රියා පද්ධ­තිය හා සම්බන්ධ වූ යහ­පත හා අය­හ­පත, හොඳ සහ නරක, වැරදි හා නිවැ­රදි, යුක්තිය සහ අයු­ක්තිය යන මේවා අත්‍ය­ව­ශ්‍ය­යෙන්ම නිරී­ක්ෂ­ණ­යට භාජ­න­ය­වන බව සැල­කිය යුතු වේ. කිසි­යම් පුද්ගල චර්යා­වක් හොඳ/නරක වචන යොදා විශේෂ කර හඳුන්වා දෙන්නේ නම් එය ආචාර ධර්ම හෙවත් සදා­චා­රය හා සම්බන්ධ ප්‍රකා­ශ­යක් වේ.

මෙයින් පෙනී යන්නේ හොඳ නරක ආදී විශේ­ෂණ යොදා පුද්ගල ක්‍රියා ඇග­යීම ආචාර ධර්මයේ මූලික ලක්ෂ­ණය බව යි. මනුෂ්‍ය චර්යා­වන්හි ධර්ම­තා­වය අධ්‍ය­ය­නය කිරීම ආචාර විද්‍යාව යි. එසේ ම හොඳ නරක, හරි වැරදි, සුදුසු නුසු­දුසු යනාදී නයින් මිනිස් චර්යයා ඇග­යීම ආචාර විද්‍යාව යි.

ආචාර විද්‍යාවේ පර­මා­ර්ථය සිංහල හා ඉංග්‍රීසි භාෂා­ව­ලින් පළ වී ඇති සදා­චාර විෂය හා සම්බන්ධ අර්ථ­ක­ථන හා විශ්ලේ­ෂණ සිය­ල්ලෙන්ම පෙන්වා දෙන්නේ මානව කේන්ද්‍රීය චර්යයා පද්ධ­තීන්, ඓහ­ලෞ­කික හෙවත් පාර­ලෞ­කික වශ­යෙන් ගැනෙන කිසි­යම් උප­යෝගී පර­මා­ද­ර්ශ­යක් සදෘශ්‍ය කර­ගෙන එම පර­මා­ද­ර්ශය වෙත ළඟා වීම සඳහා උප­යුක්ත වන ක්‍රියා හොඳ, යහ­පත්, හරි, යුතු වශ­යෙ­නුත් එයට අදාළ නොවන හෙවත් ප්‍රති­පා­ර්ශ්වික වූ ක්‍රියා නරක, අය­හ­පත්, වැරදි, අයුතු වශ­යෙ­නුත් විශේෂ කර ඇග­යීම සදා­චාර දර්ශ­නයේ මූලික අභි­ප්‍රාය වන බව යි. සමාජ ආචාර ධර්ම මගින් පුද්ග­ලයා පොළ­ඹ­වන්නේ සමාජ ප්‍රග­ම­න­යට හා පැවැ­ත්මට මෙන් ම පුද්ගල අභි­වෘ­ද්ධි­යට හේතු වන ක්‍රියා සඳහා ය. එසේම, එයට අදාළ නොවන කුමන ක්‍රියා­වක් වුවත් ප්‍රති­ක්ෂේප කිරීම උදෙසා ය.

ලොව ඇති අනෙ­කුත් ආගම් අත­රින් බුදු සමය වනාහි සදා­චා­රා­ත්මක ජීවන දර්ශ­න­යක් වශ­යෙන් පුද්ග­ල­යාගේ හා සමා­ජයේ අභි­වෘ­ද්ධිය වෙනු­වෙන් සදා­චා­රා­ත්මක ඉගැ­න්වීම් රැස­කින් පෝෂ­ණය වූවකි. බුදු­ද­හම තුළ එන සිය­ලුම ඉගැ­න්වීම් ප්‍රධාන කොටස් හත­ර­කට බෙදා දැක්විය හැකි ය. එනම්,

1. ඥාන විභා­ගය

2. විශ්වය හා ලෝකය පිළි­බඳ මතය

3. සදා­චාර විම­ර්ශ­නය

4. පරම විමු­ක්තිය මගින් නිවන සාක්ෂාත් කර ගැනීම.

පුද්ගල පරම අපේ­ක්ෂාව වන නිවන සාක්ෂාත් කර­ගැ­නීම කේන්ද්‍ර කර­ගත් දේශනා රැස­කින් යුක්ත බුදු දහම තුළ සෑම සදා­චා­රා­ත්මක ක්‍රියා­වක්ම යහ­පත් ක්‍රියා ලෙස හඳු­න්වන අතර, පර­මා­දර්ශී පුද්ග­ල­යෙකු හා පර­මා­දර්ශී සමා­ජ­යක් නිර්මා­ණය කිරීම සඳහා එහි අඩංඟු ආචාර විද්‍යා­ත්මක නිර්ණා­යක, ඇග­යුම් හා උප­දෙස් රැසකි.

බුද්ධෝ­ත්පත්ති කථා දැක්වීම් වශ­යෙන් රචිත ජාත­ක­පා­ළිය ඉපැ­රණි ග්‍රන්ථ සංඛ්‍ය­වෙ­හිලා ගැනෙයි. ජාතක කථාවේ දැක්වෙන්නේ බෝස­තා­ණන් වහන්සේ ප්‍රමුඛ තවත් බෝස­ත්වරු පිළි­බ­ඳව යි. මිනිස්, තිරි­සන් ආදි හැම අත්භ­ව­යක දී බෝස­තුන් උප­දි­තැයි දැක්වෙන්නේ ජාත­ක­කථා පොතේ දී ය. කථා­න්දර පන්සිය හත­ළිස් හත­කින් යුක්ත පන්සිය පනස් ජාතක පොත් වහන්සේ බෝසත් ආචාර ධර්ම කීමෙහි ලා බුදු­ස­ම­යට පම­ණක් ආවේ­ණික කථා­ව­ලින් පම­ණක් නොව සමස්ත ඉන්දීය සම්ප්‍ර­දා­ය­ටම උරුම කථා­න්දර ද ගෙන ලෞකික සමාජ ධර්ම මැන­වින් හෙළි­පෙ­හෙළි කරයි.

ඒ අනුව නිපාත විසි දෙක­කින් ද වර්ග පනස් හත­කින් ද යුක්ත සමස්ත ජාතක කථා පොතෙහි විව­ර­ණය කෙරෙන එමෙන්ම කථා­වල අභ්‍ය­න්ත­ර­යෙන් දිවෙන එහි අන්ත­ර්ග­ත­යෙන් පැනෙන ආචාර ධර්ම­මය පද­නම පිළි­බඳ සමා­ලෝ­ච­නා­ත්මක ශාස්ත්‍රීය අධ්‍ය­ය­න­යක් සිදු­කි­රීම මෙහි අර­මුණ යි.

 

සීලය

 

මනුෂ්‍ය චරි­ත­යෙහි දුර්බෝධ ස්ථාන කෙරෙහි සිත් යොමු කර­වන කථා වස්තු ජාතක පොතෙහි හිඟ නොවේ. මාර්ටින් වික්‍ර­ම­සිංහ ශූරීන් දක්වන ආකා­ර­යට ලෝක සාහි­ත්‍ය­යෙහි ඇතු­ළත් විය යුතු සිංහල පොතක් වෙතොත් එය ජාතක පොත හැර අනෙ­කක් නොවේ ය. එලෙස ජාතක පොත විශේෂ වීමට එක් හේතු­වක් වන්නේ අති­ශය ගැඹුරු පද­න­ම­කින් එමෙන්ම සර­ලව පුද්ග­ල­යාට උචිත චර්යා ප්‍රති­ප­දා­වක් මෙහි දක්නට ලැබී­මය. ජාතක කථා දෛනික, මෙලොව ජීවි­තය පම­ණක් නොව, ආධ්‍යා­ත්මික ජීවි­තය ද සාර්ථ­ක­ත්වය පිණිස ඉව­හ­ල්වන සදා­චාර පද්ධ­ති­යක් ඉදි­රි­පත් කරන කෝෂ්ඨා­ගා­ර­යක් වැනි ය. දෛනික ජීවි­තයේ දී එළ­ඹෙන්නා වූ නා නා විධ ගැටලු, අභි­යෝග හමුවේ නො පසු බටව ඉදි­රි­යට යාම­ටත් ඒවා ජය­ගැ­නී­ම­ටත් ප්‍රායෝ­ගික වැඩ­පි­ළි­වෙළ ආදර්ශ ද සමඟ ප්‍රවේශ ගණ­නා­ව­කින් මෙහි ඉදි­රි­පත් වේ.

ප්‍රණ­ඝා­තය ආදී පව්ව­ලින් වැළකී සිටි­න්න­වුන්ගේ හෝ වත්පි­ළි­වෙත්හි හැසි­රෙ­න්න­වුන්ගේ චේතනා ආදිය සීලය වේ. තව­දු­ර­ටත් සලකා බලන විට සීලය ආකාර කිහි­ප­ය­කින් හඳු­නා­ගත හැකි ය. එනම්,

I. චේතනා සීල - ප්‍රාණ­ඝා­තය ආදී පව්ව­ලින් වැළකී සිටි­න්නන් තුළ හෝ වත්පි­ළි­වෙ­ත්වල යෙදී සිටි­න්නන් තුළ ඇති වන චේතනා ය

II. චෛත­සික සීලය - ප්‍රාණ­ඝා­තය ආදී පව්ව­ලින් වැළකී සිටි­න්නන්ගේ සිත්හි පහළ වන විර­තිය හා අන­භිධ්‍ය, අව්‍යා­පාද, සම්මා දිට්ඨි යන ධර්ම­යන් චෛත­සික සීල­යට අයත් වේ.

III. සංවර සීලය -ප්‍රාති­මෝක්ෂ සංව­රය, සති සංව­රය, ඤාණ සංව­රය, ඛන්තී සංව­රය, වීරිය සංව­රය ඇති කර ගැනීම සංවර සීලය යි.

 

ඉහත ත්‍රිවිධ සීල ප්‍රාති­මෝක්ෂ සංව­රය (දේශනා කොට ඇති සීල), සති සංව­රය (ඇස, කන ආදී ඉන්ද්‍රිය සංව­රය), ඤාණ සංව­රය (විද­ර්ශ­නා­වෙන් යුත් සිහිය), ඛන්ති සංව­රය (සිතෙහි ඉව­සීම ඇති කිරීම) විරිය සංව­රය (අර­මු­ණෙහි කමාදි විතර්ක දුරු කිරීම) හා අවි­ති­ක්කම සීලය (සමා­දන් වූ සීලය කයෙන්, වච­න­යෙන් නොබිඳ රැක ගැනීම) යනාදි ලෙස තව­දු­ර­ටත් ප්‍රභේද ගත­කළ හැකි ය. සීලයේ ලක්ඛණ රස, පච්චු­ප­ට්ඨාන, පද­ට්ඨාන පහත පරිදි ය.

I. සීලයේ ලක්ඛණ - කාය කර්ම ආදිය බැඳ තබා ගැනීම හා කුස­ල­යන් පිහි­ටී­මට ආධාර වීම.

II. සීලයේ රස - පව් නැසීම ය. ධ්‍යන ආදී ගුණ වැඩීම ය.

III. සීලයේ පච්චු­ප­ට්ඨාන - සිත, කය, වච­නය පිරි­සිදු කර ගැනීම යි.

IV. සීලයේ පද­ට්ඨාන - හිරි ඔත්ත­ප්පය යි. හිරි ඔතප් නැති විට සිල් බිඳේ.

 

සීල­යෙහි අනු­සස් කථා­මය ස්වරූ­ප­යෙන් ගෙන­හැර දක්වා එහි ආදර්ශ ප්‍රායෝ­ගික කළ යුතු ආකා­රය ද ජාතක කථා පොත පෙන්වා දෙයි. සීල­වී­මං­සක ජාත­කයේ දී පෙන්වා දෙන්නේ නුව­ණැත්තා පව්කම් නොකර සීල­යම වැඩිය යුතු ආකා­ර­යයි.

“පංච­ශී­ලය, දස­ශී­ලය ත්‍රිවිධ සුච­රි­තය යනාදි ගුණ ධර්ම පිරී­මෙන් පර­තෙ­රට පැමි­ණියා වූ නුව­ණා­තැත්තා වූ ස්වභාව වූ යථෝක්ත වූ ගුණ ධර්ම­යන් රක්ෂා කිරී­මෙහි වීර්යය ඇත්තා වූ මම පාප කර්ම­යට ප්‍රති­ච්ඡන්න ස්ථාන­යක් නො දකිමි”

සීල පරික්ඛ ජාත­කයේ දී පෙන්වා දෙන්නේ ඇසූ­පිරූ ශාස්ත්‍රය ද අධ­ර්ම­යෙන් උප­යන ලද ධනය ද නොව වඩා වටින්නේ සීලය බවයි.

“ශීලය වැඩිදෝ හෝයි ඇසු­පිරූ ශාස්ත්‍රය ද වැඩිදෝ හෝයි සිතා පරික්ෂා කළෙමි. ඉන් වඩිනේ ශීලය දනි­මියි ස්වාමීනි, කීය. උතුම් ජාති හා උතුම් වූ ශාස්ත්‍රය දනි­තත් වඩනේ ශීල­ය­මයි, කීහ. තව ද රජ්ජු­රුවෝ, බ්‍රාහ්ම­ණයෝ, වෙළඳ, ශුද්‍ර ආදි වූ අය අධ­ර්ම­යෙහි හැසිර සම්පත් උප­දවා පොහො­සත්ව රැකේ නම් එසේ වූ පොහො­සත් වීමට වඩා දැහැ­මෙන් සෙමෙන් සීලය රක්ෂා කර දවස් හැරීම යහ­ප­තැයි සීල­යම වඩනේ ය.”

කය, වච­නය සංවර කර­ගත යුතු ආකා­රය ද මැනැ­වින් පහ­දන අයුරු ජාතක කථා­ව­ලින් ප්‍රකට වේ. නන්දි­වි­සාල ජාත­කයේ දී පරුෂ වච­නයේ ආදී­නව පෙන්වන ආකා­රය මෙයට නිද­සුන්ය.

“සර්ව­ඥ­යන් වහන්සේ වදා­රන සේක්, මහ­ණෙනි, පරුෂ වච­නය නම් කිසි­වක් හටත් මනාප නොවන්නේ ය...... අන්‍යයා හා සමාඟ කථා කරන්නේ චතු­ර්දෝෂ විර­හිත වූ මිහිරි වූ මට­සි­ලුටු වූ මොළොක් වූ ප්‍රිය වච­නය බිණිය යුත්තේ ය.”

“ජාතක පොත පොදු ජනයා උදෙසා පොදු ජනයා විසින්ම රචිත ගද්‍ය­යක් වැන්න. ගිහි­යාට උචිත මඟ නොහොත් දස පාර­මිතා ධ්වනිත කරන්නේ ජාතක කතා ය” යනු­වෙන් මාර්ටින් වික්‍ර­ම­සිංහ මහතා ජාතක පොතේ ඇති වැද­ග­ත්කම පෙන්වා දෙයි. බුදු­ද­හම අනු­දැන වදා­රණ සදා­චාර මඟ ප්‍රායෝ­ගි­කව පිළි­ඹිබු වන්නේ මෙහි දී වීම ඒ සඳහා ඉහ­වල් වී ඇති ප්‍රධාන හේතු­වක් බව පෙනේ. බුදු­ස­මය පෙන්වා දෙන සීල­යෙහි අනු­සස් ප්‍රායෝ­ගික සමාජ තලය තුළ ක්‍රියා­වට නන්ව­මින් සමාජ ක්‍රියා­න්වි­තයේ දී තමාට ද අනුන්ට ද යහ­ප­තක් සිදු කර­ගත හැකි අයුරු මෙහි අන්ත­ර්ගත වේ.

කය වච­නය සංවර කර­ගැ­නීමේ වැද­ග­ත්ක­මත් එලෙස සංවර කර­ගත යුතු ආකා­ර­යත් පන්සිය පනස් ජාතක පොතේ අන්ත­ර්ගත වේ. විශේ­ෂ­යෙන් ම බෝස­තා­ණන් වහන්සේ බුද්ධ­ත්වය පිණිස පාර­මිතා පූර­ණය කිරීමේ දී ශීල පාර­මිතා ව පූර­ණය කරන ආකා­රය දැක්වෙන චම්පෙ­යිය, සංඛ­පාල හා භූරි­දත්ත යන ජාතක කථා ප්‍රකට කරන්නේ මෙම කරුණ යි. ගූඪ චිත්ත චෛත­සික ධර්ම­යන් මතු­වීම නිසා අහිං­ස­ක­යන් මිනී­ම­රු­වන් ද, ශාන්ත­යන් අදා­න්ත­යන් ද, මැඩ­ගත් කාමා­ශාව ඇති­යන් කාම­වි­කා­ර­යෙන් පිස්සු වැටු­ණ­වුන් ද වන සැටි හෙළි කෙරෙන කථා­වස්තු ජාතක පොතෙහි බහුල ව ඇත.

 

සදා­චාර දර්ශන අධ්‍ය­ය­නය

 

විශ්ලේෂී න්‍යායා­ත්මක ව සදා­චා­රය දර්ශන අධ්‍ය­ය­නය ප්‍රධාන තේමා තුනක් ඔස්සේ සිදු­ක­රයි.

1. ප්‍රාමා­ණික සදා­චා­රය (Normative Ethics )

2. අධි සදා­චා­රය (Meta Ethics)

3. ව්‍යව­හා­රික සදා­චා­රය (Applied Ethics)

 

සර­ලව ගත්විට ප්‍රාමා­ණික ආචාර විද්‍යාව යනු සමා­ජයේ සම්මත, ආගම ආදි හොඳ, නරක පිළි­බඳ ඇග­යු­ම්ශීලී නිර්ණා­යක ලබා දෙන සමාජ සංස්ථා­ව­ලට අනු­කූල ව ජීවත් වීමයි. අධි සදා­චා­රය නම් පුද්ගල චර­ණය ඇග­යු­ම්ශීලී පද­න­ම­කින් අධ්‍ය­ය­නය කිරී­මයි. ඒ ඒ වෘත්ති­යට අදාළ ආචාර ධර්ම ක්‍රියා­වට නැංවීම ව්‍යව­හා­රික හෙවත් ප්‍රායෝ­ගික සදා­ච­රය යි.

සම­ස්ත­යක් ලෙස ජාතක පොතේ එන සිය­ලුම කථා­වල සදූ­ප­දේශ අධ්‍ය­ය­නය කර­න­විට උක්ත සදා­චාර දර්ශ­නයේ අධ්‍ය­යන ක්ෂේත්‍ර ත්‍රිත්වය ම අති­ශය අධ්‍යා­ත්මික පද­න­මක් ගන්නා බව පෙනේ.

සමාජ සම්මත ගුණ­ධර්ම අනු­ග­ම­නය කිරීම පිළි­බඳ මෙතැ­කැයි කිව නොහැකි තරම් සදූ­ප­දේශ ප්‍රමා­ණ­යක් ජාතක කථා­ව­ලින් ඉදි­රි­පත් වේ. ඉහ­තින් සාකච්ඡා කළ ජාතක කථා­වල එන සීල­යෙහි වටි­නා­ක­මින් අව­ධා­ර­ණය කෙරෙන ආචා­ර­වි­ද්‍යා­ත්මක උප­දෙස් සදා­චාර දර්ශ­නයේ ප්‍රාමා­ණික ආචා­ර­ස­මා­චාර සම්පන්න පාර්ශ්ව­යට අයත් විව­ර­ණ­ව­ලට අදාළ වටි­නා­කම යටතේ ඇග­යී­මට ලක්කළ හැකිය. මීට අම­ත­රව මහා­සු­ත­සෝම ජාත­කයේ දී පෝරි­සා­ද­යාට සුත­සෝම රජු පෙන්වා­දෙන යහ­පත් ගුණ­ධර්ම කෙරෙන් ද ප්‍රාමා­ණික සදා­චාර දර්ශ­න­යට අදාළ විව­රණ මතු වේ. එම විව­රණ නම්,

1. දාන, ශීලාදි පුණ්‍ය ක්‍රියා­වල යෙදීම

2. මව්පිය උප­ස්ථා­නය

3. කය ජරා­වට ගිය ද ගුණ­ධර්ම පව­තින බව ද එය පර­ලො­වට හිත­කර බව

4. සත් පුරුෂ ආශ්‍රය

5. පස්ප­ව්ව­ලින් වැළැ­කීම

6. සත්‍ය­වන්ත වීම

7. උත්තම පිරිස් ඇසුරු කිරීම යනා­දිය යි.

 

සීල­යෙහි හැසී­රී­මෙන් දිට්ඨ­ධ­ම්ම­වේ­ද­නී­යව ආනි­සංස අත්වන අයුරු බෝසත් චර්යා­වෙන් ද සීල­යෙහි නොපි­හි­ටී­මෙන් දිඨි­ධ­ම්ම­වේ­ද­නී­යව විප­ත්ව­ලට මුහුණ දීමට සිදු­වන අයුරු දේව­දත්ත චරි­ත­යෙන් ද ප්‍රකට වේ. කුලා­වක ජාත­කයේ දී භික්ෂු­ව­කට පෙර­හ­න්ක­ඩෙන් පැන් පෙරා පානය වැළ­ඳී­මට බුදු­ර­දුන් උප­දෙස් දී ඇත්තේ සීල­යෙහි ආනි­සංස ද දක්ව­මිනි. එප­ම­ණක් නොව රාජ දඬු­ව­මින් ගැල වී දිවි බේරා­ගැ­නි­මට පවා සීලය ඉව­හල් වූ ආකා­ර­යත් දිව්‍ය සැප සම්පත් ලබි­ම­ටත් උප­ස්ථ­ම්භ­යක වූ ආකා­ර­යත් එම ජාතක කථාවෙ විස්තර වේ.

“අපි ප්‍රාණ­වධ නොක­රම්හ. සොර­කම් නොක­රම්හ. කාම මිථ්‍යා­චාර නොක­රම්හ. රා නොබොම්හ. මෛත්‍රී භානා කරම්හ. දන් දෙම්හ. මං සම­ක­රම්හ. බොරු නොකි­යම්හ. පොකුණු සාර­වම්හ. ශාලා කර­වම්හ. මේ නිසා ශීලය අපට පිහිට විය.”

සම­කා­ලීන විශ්ලේෂී දර්ශ­නයේ බල­පෑ­මට ලක් වූ ආචාර වද්‍යා­ත්මක උප­වි­ෂ­ය­වන්නේ අධි සදා­චාර දර්ශ­න­යයි. සම­කා­ලීන දර්ශ­නයේ විශ්ලේෂී චින්ත­න­යට හසුවූ මෙම උප­වි­ෂය දාර්ශ­නික අධ්‍ය­ය­න­වල දී බහුල වශ­යෙන් භාවිත කෙරේ. සදා­චාර දර්ශ­නය දී සදා­චාර සම්ප­න්න­ක­මට වටි­නා­කම් ලබා දීම, ගුණ යහ­ප­ත්කම් යනු කව­රේ­දැයි හැදෑ­රිම, සදා­චාර නිර්ණා­යක අධ්‍ය­ය­නය, පින-පව, කුසල-අකු­සල, යහ­පත-අය­හ­පත හා හොඳ-නරක යන සදා­චා­රා­ත්මක පාරි­භා­ෂික යෙදුම් පිළි­බඳ හැදෑ­රීම අධි­ස­දා­චාර විද්‍යා විෂය යටතේ සාකච්ඡා කෙරෙන අතර මෙම දාර්ශ­නි­කව ආචාර ධර්ම හැදෑ­රීම සම්බන්ධ පරි­පූර්ණ මඟ පෙන්වී­මක් ජාතක කථා­ව­ලින් දක්නට ලැබේ.

 

Comments