ගෝඨා­භය ජන­පති වීමත් සමඟ බදිරි වී සිටින පාතා­ලයෝ | සිළුමිණ

ගෝඨා­භය ජන­පති වීමත් සමඟ බදිරි වී සිටින පාතා­ලයෝ

 

මෙරට මැති­ව­රණ ඉති­හා­සය වෙනස් කළ මැති­ව­ර­ණ­යක් ලෙස මෙවර පව­ත්වන ලද අට­වැනි විධා­යක ජනා­ධි­ප­ති­ව­ර­ණය ඉති­හා­ස­ගත වී හමාර ය. නව දේශ­පා­ලන සංස්කෘ­ති­ය­කට පාර කියූ මේ මැති­ව­ර­ණය දූෂ­ණ­යෙන් භීෂ­ණ­යෙන් තොර සාම­කාමී එකක් වූ බව සඳ­හන් කරන්නේ මැති­ව­රණ කොමි­සම පම­ණක් නොවේ; හැම­දාම මැති­ව­ර­ණය දූෂි­තයි, ප්‍රච­ණ්ඩයි කියූ මැති­ව­රණ නිරී­ක්ෂ­ක­යන් ය. මැති­ව­ර­ණය, ප්‍රච­ණ්ඩ­ත්ව­යෙන් සහ දූෂ­ණ­යෙන් තොරව පැවැ­ත්වීම පද­නම් කර­ගෙන අපේ රටේ අනා­ගත මාවත යහ­පත් බව නිරී­ක්ෂ­කයෝ කීහ. මැති­ව­රණ කොමි­සමේ සභා­පති මහින්ද දේශ­ප්‍රිය මහතා පව­සන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා නැති දැයි විම­සන තර­මට මෙවර මැති­ව­ර­ණය හා බැඳුණු ප්‍රච­ණ්ඩ­ත්වය නිශේ­ධ­නය වූ බව ය.

පශ්චාත් මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා­වන්ට ද මෙවර නැව­තීමේ තිත තැබී ඇත්තේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී නීතීඥ රුවන් ගුණ­සේ­කර නම් පව­සන්නේ පුද්ග­ලික ආර­වුල් මත සිදු­වුණු පහ­ර­දීම් කිහි­ප­යක් හැරුණු කොට පශ්චාත් මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා යැයි කියා සැල­කිය යුතු කිසිදු පැමි­ණි­ල්ලක් පොලී­සි­යට ලැබී නැති බව ය.

මේ තත්ත්ව­යට හේතුව වෙන කිසි­වක් නොව, මැති­ව­ර­ණ­යක දී දේශ­පා­ල­ක­යන්ට නැතු­වම බැරි පාතාල අප­රා­ධ­ක­රු­වන් මෙවර නිහඬ ව සිටීම ය. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජන­පති අපේ­ක්ෂ­කයා වීම නිසාම මෙවර පාතාල අප­රාධ කරු­වන් සිටියේ අන්ද­ම­න්දව ය. ඒ නිසාම බුද්ධි අංශ විසින් කල් තියා අන­තුරු ඇඟවූ ආකා­ර­යට පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන් මෙවර දේශ­පා­ලන මැර ක්‍රියා­වල නිරත වීමට ඉදි­රි­පත් වූයේ නැත. ප්‍රධාන දේශ­පා­ලන වේදිකා දෙකේ ම අපේ­ක්ෂ­ක­යන් පාතා­ල­යට සහ මත්කුඩු ජාවා­ර­මට එරෙ­හිව හඬ නඟන විට එ් අප­රා­ධ­ක­රු­වන්ට සිදු­වන්නේ සිය ගෝල­බා­ල­යන් සමඟ මුළු ගැන්වෙ­න්නට ය.

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රති­ඵල නිකුත් වීමත් සමඟ එ් පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන් හා මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් සසල වන්නේ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ධු­ර­යට පත්වූ බැවිණි. බන්ධ­නා­ගාර තොර­තුරු අනා­ව­ර­ණය කරන ආකා­ර­යට අනුව 17 වෙනිදා දහ­වල් වන විට බන්ධ­නා­ගා­ර­ග­තව සිටි පාතාල අප­රා­ධ­ක­රු­වන් මෙන්ම බන්ධ­නා­ගා­රයේ සිටි ජංගම දුර­ක­තන වලින් මත්කුඩු ජාවා­රමේ නිර­තවූ අප­රා­ධ­ක­රු­වන් රැසක් ම සිට ඇත්තේ වැසි­කිළි පෝලි­ම්වල ය. බන්ධ­නා­ගා­රයේ රැඳී සිටි­මින් හංවැල්ල, කඩු­වෙල, නව­ග­මුව සහ ඒ අවට පැති­වල ඇති සිල්ලර කඩෙන් පවා කප්පම් ගනි­මින් මහා භීෂ­ණ­යක් ඇති කළ ඌරු ජුවා නැමැති අප­රා­ධ­ක­රුවා ද එ් වැසි­කිලි පෝලි­ම්වල රැඳී සිටීම විශේ­ෂිත ය. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජන­පති වීමත් සමඟ ඔහුගේ ජංගම දුර­ක­ත­නය නිහඬ ය.

ඌරු ජුවාගේ පම­ණක් නොව, තවත් බොහෝ අප­රා­ධ­ක­රු­වන්ගේ ජංගම දුර­ක­තන දැන් ඇත්තේ අක්‍රිය කොට ය. දැන් තමන් කුමක් කර­න්නේ­දැයි ඔවුන්ට සිතා ගන්නට නොහැ­කිය. ඩුබායි, ඉතා­ලිය සහ ඉන්දි­යාවේ රැඳී සිටි­මින් මත්කුඩු ජාවා­රමේ නිර­තව සිටි පාතා­ලයේ බොහෝ අප­රා­ධ­ක­රු­වන් ද දැන් නිහඬ ය. ඒ අයගේ නියෝ­ග­යන්ට අනුව අප­රා­ධ­වල නිර­තව සිටි සහ මත්කුඩු බෙදා හරිනු ලැබූ ඔවුන්ගේ ගෝල­යන් ද දැන් සිටින්නේ වල්මත්ව ය. ඒ බව සඳ­හන් කරන්නේ මේ අප­රා­ධ­ක­රු­වන් ගැන දීර්ඝ කාල­යක් තිස්සේ ඇස ගසා­ගෙන සිටි පාතාල අප­රාධ සහ සංවි­ධා­නා­ත්මක අප­රාධ මර්දන අංශ විසිනි. මේ අප­රා­ධ­ක­රු­වන් මර්ද­නය කිරී­මට නිසි බල­යක් නොමැ­තිව තැවෙ­මින් සිටි ඒ අංශ­වල නිල­ධා­රීන් ද දැන් සිටින්නේ ප්‍රබෝ­ධ­යෙනි. ඒ අංශ­වල නිල­ධා­රීන් පව­සන්නේ මෙරට මේ වන විට රැඳී සිටින පාතාල අප­රා­ධ­ක­රු­වන් රැසක් ම මේ වන විට රටින් පළා යෑමට සූදා­න­මින් සිටින බව ය. ඒ අයට රටින් පළා­ය­න්නට ඉඩ නොදී නීතියේ රැහැ­නට හසු­කර ගැනීමේ අධී­ක්ෂණ කට­යුතු මේ වනත් සිදු­වෙ­මින් ඇතැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සිළු­මි­ණට අනා­ව­ර­ණය කළේය. එසේම ඒ නිල­ධා­රියා පව­සන්නේ තවත් අප­රා­ධ­ක­රු­වන් පිරි­සක් තමන් කළ වැරදි ගැන පාපො­ච්ඡා­ර­ණ­යන් කර­මින් පොලීසි සහ අධි­ක­රණ වලට භාර වන්නට සූදා­න­මින් සිටින බව ය. අප­රා­ධ­රු­වන්ගේ භාෂා­වෙන් සඳ­හන් කළ­හොත් දැන් මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් සහ පාතාල අප­රා­ධ­ක­රු­වන් පොලීසි හා අධි­ක­ර­ණ­ව­ලට බාර­වී­මට සූදා­නම් වන්නේ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­වී­මෙන් බදි­රිවී ඇති බැවිනි.

මෙරට රැදී සිටින පාතාල අප­රා­ධ­රු­වන් එසේ හැසි­රෙන විට ඩුබායි සිට මෙර­ටට මහා පරි­මා­ණ­යෙන් මත්කුඩු ගෙන එන ජාවා­ර­ම්ක­රු­වෙක් වන කිරු­ළ­පොන මොරිල් නොහොත් අන්නාසි මොරිල් ද දැන් සිටින්නේ උන්හිටි තැන්ව­ලින්ද අතු­රු­දන්ව ය. නාවික හමු­දාව විසින් පසු­ගිය දා දකුණු මුහුදු තීර­යේදී අත්අ­ඩං­ගු­වට ගත් හෙරො­යින් කිලෝ 200 පවා මෙර­ටට එවා තිබුණේ මොරිල් ය. මාක­ඳුරේ මධුෂ් සමඟ මෙරට මත්කුඩු ඡාලයේ වැඩි කොට­සක් මෙහෙ­ය­වනු ලැබු­වේද ඔහු ය. මේ වන විට ඔවුන් දෙදෙනා අතර ඇත්තේ නයි මුගටි වෛර­යකි. ඊට මුල්වන්නේ මොරිල් විසින් මෙර­ටට එවන ලද මත්කුඩු කිලෝ 128 ක් දෙවු­න්දර වෙර­ළේදී මාක­දුරේ මධුෂ් සිය ගෝල­යින් යොදවා පොලිස් වෙසින් මංකො­ල්ල­කෑ­මකි. එ් හෙරො­යින් කොල්ලය සිදු­වන්නේ 2018 වස­රේ­දීය. මාක­ඳුරේ මධුෂ් ඩුබායි පොලීස් අත්අ­ඩං­ගු­වට පත්වී­මට බල­පා­න්නේද එම සිදු­වීම ය. එදා මාක­ඳුරේ මදුෂ්ව ඩුබායි පොලී­සි­යට කොටු­කර දෙන්නේ මොරිල් ය.

ඩුබායි පොලී­සි­යට කොටුවූ මධුෂ් ව මෙර­ටට බාර­දී­මත් සමඟ මත්කුඩු ජාවා­රමේ මදුෂ්ගේ කොටස ද සිය­තට ගන්නා මොරිල් පකි­ස්තා­නය හරහා මෙර­ටට මත්කුඩු ගෙන එන්නට වූයේ කිලෝ සිය ගණ­නනි. මොරිල් සිය දිය­ණි­යගේ විවාහ මංගල උත්ස­වය සැම­රී­මට ද තීර­ණය කරන්නේ ඩුබායි හී පිහිටි තරු හතේ හෝට­ල­ය­ක­දීය. අමු­ත්තන් තුන්සි­ය­ය­කට පහ­සු­කම් ඇති හෝට­ල­යක් ඒ සඳහා ඔහු වෙන්කර තැබෙන අතර විවාහ උත්ස­වය පැවැ­ත්වී­මට දින නිය­ම­ක­ර­ගෙන සිටියේ ලබන දෙසැ­ම්බ­ර­යේ­දීය. ඒ සඳහා මෙරට ඔහුට හිත­වත් සිය­ය­කට වැඩි පිරි­ස­කට දුර­ක­ත­න­යෙන් ආරා­ධනා කර තිබුණේ ගුවන් ටික­ට්පත් දෙසැ­ම්බ­රයේ මුල ලැබී­මට සල­සන බව සද­හන් කර­මිනි. ඒ ආරා­ධි­ත­යන්ට නවා­තැන් ගැනී­මට ඩුබායි හි සල­සන බව ඔහු පවසා තිබුණි. එහෙත් දැන් ඔහු තීර­ණය කර ඇතැයි දැන­ග­න්නට ලැබෙන්නේ සිය දිය­ණි­යගේ විවාහ උත්ස­වය පවා අත­හැර දැමී­මට ය. ඒ ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ධු­ර­යට පත්වී­මත් සමඟ මෙතෙක් කලක් නොමැ­තිව තිබුණු බියක් ඔහුගේ සිතට කාවැදී ඇති නිසා වන්නට පුළු­වන. දැන් ඔහුද සිය ජංගම දුර­ක­තන පවා වසා දමා සිටින්නේ ගෝල­බා­ල­යන්ට පවා උන්හිටි තැනක් සොයා ගන්නට නොහැකි වන ලෙසිනි.

ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ජන­පති සම්ප්‍රා­ප්ති­යත් සමඟ පාතා­ලයේ සහ මත්කුඩු ජාවා­රමේ මෙතෙක් කලක් වැඡ­ඹුණු අප­රා­ධ­ක­රු­වන් එසේ බියෙන් සලිත වෙමින් සිටි­යදී ඒ තුළින් රටට කියා­පාන්නේ වැඩි කල් යන්නට මත්තෙන් පාතාල අප­රා­ධ­ක­රු­ව­න්ගෙන් සහ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ව­න්ගෙන් මුදා­ගත් දේශ­යක් බවට ශ්‍රී ලංකාව පත්වනු ඇති බවට පෙර ලකුණු ය.

ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­ප­ති­ධු­රයේ දිවු­රුම් දීමෙන් අන­තු­රුව වැඩ බාර­ගැ­නී­මට සිය මිරි­හානේ පිහිටි නිවසේ සිට ජනා­ධි­පති ලේකම් කාර්යා­ල­යට ගිය ගමන ද මේ වන විට මෙරට දේශ­පා­ලන ක්ෂේත්‍රයේ හැර­වුම් ලක්ෂ­යක් බවට පත්ව හමා­රය. මෙයට පෙර ජනා­ධි­ප­ති­වරු මාර්ගයේ ගමන් ගන්නා විට ඔහුගේ ගම­නට බාධා­වක් නොව­න්නට මාර්ග වසා තැබීම සම්ප්‍ර­දා­යකි. යුද සම­යේදී නම් මාර්ග වසා තැබීම රාජ්‍ය නාය­ක­යාගේ ආර­ක්ෂාව වෙනු­වෙන් ගන්නා ක්‍රියා­මා­ර්ග­යක් වූවත් යුද්ධය නිම­වී­මෙන් අන­තු­රුව ජනා­ධි­ප­ති­ව­රයා වෙනු­වෙන් පම­ණක් නොව, මැති ඇම­ති­වරු මෙන්ම ආර­ක්ෂක ප්‍රධා­නීන් ගමන් ගන්නා විටත් පොදු මහ­ජ­න­තා­වට හිරි­හැ­ර­යක් වන තර­මට මාර්ග වසා තැබීම් සිදු­විය. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජන­ප­ති­ධු­රයේ වැඩ­බා­ර­ගන්නේ එ් ප්‍රභූ රථ­ගා­යට නැව­තීමේ තිත තැබී­මෙනි. එදා ඔහු නිවසේ සිට ජනා­ධි­පති මන්දි­ර­යට පැමි­ණෙන්නේ වාහන විසි ගණ­නක ආර­ක්ෂ­ක­යන් පිරි­ව­රා­ගෙන නැති කල­බ­ල­යක් ඇති කර­මින් නොවේ; වැඩිම වුව­හොත් තිබෙ­න්නට ඇත්තේ වාහන හතර පහක් පමණි. එදා කිසිදු මාර්ග­යක් ජනා­ධි­ප­ති­ව­රයා වෙනු­වෙන් වසා තැබුණේ නැත.ජනා­ධි­ප­ති­ව­රයා මාර්ගයේ ගමන් ගන්නා බවක් වත් ජන­තා­වට දැනුණේ ද නැත. ඔහුත් සාමාන්‍ය ලෙස එදා ජනා­ධි­පති මන්දි­ර­යට ආවේය. ඒ එන අත­ර­මඟ දුම්රිය මාර්ග­යක් ද පසු­ක­ර­න්නට සිදුවී තිබුණි. වෙන­දාට රාජ්‍ය නාය­කයා ගමන් කරන විට වසා තැබෙන්නේ දුම්රිය මාර්ගය එදා දුම්රිය ධාව­න­යට විවෘ­තව තිබුණේ දුම්රිය දෙකක් ගමන් කරන තුරු ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා ගමන් කළ වාහන සෙසු වාහන සමඟ පෝලිමේ තබ­මිනි.

සැබෑ වෙනස එය පම­ණක් නොව, ජනා­ධි­ප­ති­ව­රයා ජන­පති කාර්යා­ල­යට පැමිණ මොහොතේ ජනා­ධි­පති කාර්යා­ලය ඉදි­රි­පි­ටදී ඔහුව පිළි­ගැ­නී­මට ආචාර උත්ත­මා­චා­රය සිදු­වන විට දී පවා තිබුණේ මාර්ග විවෘ­තව ය. මෙයට පෙර එවන් උත්ස­ව­යක් පැවැ­ත්වෙන විට අනි­වා­ර්යෙන් ම ඒ උත්ස­වය නිම­වන තුරු ජනා­ධි­පති ලේකම් කාර්යා­ලය වටේම ඇති මාර්ග තිබෙන්නේ වසා දමා ය. ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වැඩ බලන පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න මහ­තාට දැනුම් දෙන්නේ තමන් මාර්ගයේ ගමන් ගන්නා විට මහ­ජ­න­තා­වගේ ගමන් අව­හිර වන සේ කිසි­සේත්ම මාර්ග වසා නොතැ­බිය යුතු බවට ය. ජනා­ධි­ප­ති­ව­ර­යාගේ මතය වී ඇත්තේ තමන්ගේ ගමන් පහ­සුව වෙනු­වෙන් සෙසු මහ­ජ­න­තා­වට හිරි­හැ­ර­යක් නොවිය යුතු බවකි.

එහි දෙවැනි පිය­වර ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් තබන්නේ මහ­ජ­න­තා­වට නිද­හසේ ගමන් පහ­සුව වෙනු­වෙන් රථ වහාන තද­බ­දය අවම කිරී­මට පිය­වර ගන්නා ලෙස වැඩ බලන පොලි­ස්ප­ති­ව­ර­යාට දැනුම් දෙමිනි. එ් නියෝ­ගය ලැබී පැය කිහි­ප­යක් යන්නට මත්තෙන් වැඩ බලන පොලි­ස්පති සී.ඩී. වික්‍ර­ම­රත්න මහතා රථ වාහන අංශයේ පොලිස් ප්‍රධා­නීන්ව පොලිස් මූල­ස්ථා­න­යට කැද­වනු ලැබීය. මාර්ග තද­බ­දය අවම කිරී­මට ගත­හැකි උප­රිම පිය­වර ගන්නා ලෙස ඔහු එහිදී එ් නිල­ධා­රීන්ට උප­දෙස් දුන්නේය. මාර්ග තද­බ­දය විස­දීමේ වග­කීම එසේ රථ­වා­හන අංශයේ නිල­ධා­රීන්ට වැඩ බලන පොලි­ස්ප­ති­ව­රයා විසින් පව­රන්නේ ඒ අය­ටම අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ වග­කීම ද පව­ර­මිනි.

ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා මහින්ද රාජ­පක්ෂ ආණ්ඩුවේ ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාව සිටි­ය­දීත් මාර්ග තද­බ­දය අවම කිරී­මට විස­දුම් සෙවූ­වෙකි. කොළඹ ගාලු පාර සහ ඩුප්ලි­කේ­ෂන් පාර තනි දිසා­වට වාහන ගමන් කරන මාර්ග­යක් බවට පත්ක­රන්නේ ඔහුගේ නිය­ම­යෙනි. එදා ඒ මාර්ග තනි දිසා­වට ධාව­නය කෙරෙන මාර්ග බවට පත්ක­රන විට විරෝධ පවා ගොඩ නැගුණි. අද බොහෝ අය ඒ ගැන කතා කරන්නේ ප්‍රශංසා මුඛ­යෙනි. ගාලු පාර පම­ණක් නොව, නිද­හස් චතු­ර­ශ්‍රය සහ ඒ අවට මාර්ගත් මර­දාන සහ ටෙක්නි­කල් හදිය දක්වා කොට­සත් ටෙක්නි­කල් හන්දියේ සිට පංචි­කා­වත්ත දෙස­ටත් එදා මාර්ග තනි දිසා­වට ධාව­න­යට යොදවා මාර්ග තද­බ­දය අවම කිරී­මට මුල්වන්නේ ද ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ම ය.

යුද්ධය නිමා­වී­මෙන් පසු ආර­ක්ෂක ලේක­ම්ධු­ර­යට අම­ත­රව නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­රයා ලෙස ද පත්වන ගෝඨා­භය රාජ­පක්ෂ මහතා නගර අලං­ක­ර­ණ­යට විශාල වැඩ කොට­සක් ඉටු කළේය. ඒ සදහා හයි­යක් ලෙස පොලී­සියේ පරි­සර අංශ­යක් ස්ථාපිත කර­න්නේද ඔහුගේ මඟ පෙන්වීම යට­තේය. ඒ පරි­සර අංශය කොළඹ නග­රය ඇතුළු තදා­සන්න තගර ආශ්‍රිත පිරි­සි­දු­කම සහ අලං­ක­ර­ණය වෙනු­වෙන් කළ වැඩ කොටස අති විශාල ය. පළාත් පාලන ආය­තන සමඟ සම්බ­න්ධි­ක­ර­ණය වෙමින් කැළි කසල ක්‍රම­වත්ව බැහැර කිරී­මට ජන­තාව පුරුදු පුහුණු කළේය. ඒ තුළින් ලස්සන කොළ­ඹක් ඔහු ගොඩ නැගු­වේය. මහා මාර්ග­වල තැන තැන තිබුණු කසල බක්කි ඒත් එක්කම ගැලවී ගිය අතර ටොෆි කොළ­යක් පවා මහා මාර්ග­ව­ලට විසි නොක­රන තැනට ජන­තාව හැඩ ගැසුණේ ය. එකල කොළඹ නග­රයේ කාණු පද්ධ­තිය පවා කසල වලින් බැහැර කලාප බවට පත්වූ අතර බුල­ත්විට හපා මාර්ග­යට කෙළ ගැස­න්නට පෙර ඒ ගැන දෙව­රක් සිත­න්නට පවා ජන­තාව පෙල­ඹුණේ ය.

පාර්ලි­මේන්තු මාර්ගය දෙපස ඇති නාගස් පෙළ අද එ් මාර්ග­යට අලං­ක­ර­ණ­යක් වී ඇත්තේ ද ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා නිසා ය. පොල්දූව හන්දියේ සිට පාර්ලි­මේ­න්තුව දෙසට ගමන් කරන විට මාර්ගයේ වම්පස ඇති නාගස් පෙළ එකල උසට වැවෙ­න්නට ඉඩක් නොවීය. නාගස් පෙළට සමා­න්ත­රව ඉහ­ළින් විදුලි රැහැන් පද්ධ­ති­යක් ගමන් කළ බැවින් නාගස් නිර­න්ත­ර­යෙන් පෑහී­මට ලක්විය. ආර­ක්ෂක සහ නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­ර­යාව සිටි­යදී ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා එ් මාර්ගයේ ගමන් කරන විට නෙත ගැටෙන්නේ නාග­ස්වල අතු පාහන විදුලි බල මණ්ඩ­ලයේ සේව­ක­යන් පිරි­සකි. පරි­ස­ර­යට ඇලුම් කළ ඔහුට නා ගස්වල අතු පෑහීම දැඩිව දැනුණේ ය. පොලී­සියේ පාරි­ස­රික අංශයේ ප්‍රධා­නියා ලෙස එකල කට­යුතු කළ පොලිස් අධි­කාරී ක්වින්ටස් රේමන්ඩ් මහ­තාව කැදවා උප­දෙස් දෙන්නේ ගස්වල අතු හිතූ හිතූ ආකා­ර­යට කැපී­මට ඉඩ නොදෙන ලෙසත් ගස් අතු කප­න්නන්ට එරෙ­හි­වත් නීතිය දැඩිව ක්‍රියා­ත්මක කරන ලෙසත් ය. එය එතැ­නින් නිමා වූයේ නැත. පාර්ලි­මේන්තු මාර්ගයේ නා ගස් වලට වින කැටූ විදුලි රැහැන් පද්ධ­තිය පොලොව යටින් රැගෙන යන්නට අවශ්‍ය පිය­වර ගත්තේ ය. එදා ඔහු ඒ පිය­වර නොග­න්නට අද පාර්ලි­මේන්තු මාර්ගයේ එක් පැත්තක නාගස් පෙළ ඇත්තේ කර­ටිය නොමැ­තිව ය.

පරි­ස­රය අප­වි­ත්‍රව තබා ගැනීම නිසාම එකල පොලිස් ස්ථානා­ධි­ප­ති­වරු රැස­කට ස්ථානා­ධි­ප­ති­ධු­ර­යන් අහිමි වූ අවස්ථා ද බොහෝය. අද කොළඹ නග­රයේ මාර්ග දෙපස දක්නට ඇති ගස්වැල් ඔහුගේ සංක­ල්ප­ය­කට අනුව සිට­වනු ලැබූ ඒවා ය. ඒ ගස්වැල් බලා කියා ගත්තේ පොලිස් පරි­ස­රික ඒක­කය විසිනි. එහෙත් ඒ පාරි­ස­රික පොලිස් ඒක­කය පසු­ගිය කාලයේ නාමික පොලිස් ඒක­ක­යක් බවට පත්වන්නේ එහි වටි­නා­කම නිසි ලෙස බල­ධා­රීන් විසින් අව­බෝ­ධ­කර නොගත් බැවිනි. දැන් නැව­තත් පොලිස් පාරි­ස­රික ඒක­ක­යට පණ ලැබෙන්නේ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ නියෝ­ග­යෙනි. දැන් මහ මග සහ ඇල­ව­ල්ව­ලට අවි­ධි­මත් ලෙස කසල බැහැර කර­න්නට ඉඩක් නැත්තේය. ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා වැඩ බලන පොලි­ස්ප­ති­ව­ර­යාට උප­දෙස් දී ඇත්තේ පාරි­ස­රික පොලිස් ඒකක මගින් පළාත් පාලන ආය­තන සම්බ­න්ධි­ක­ර­ණය කර­මින් කැළි­ක­සල එකතු කිරීමේ කට­යුත්ත විධි­මත් කරන ලෙස ය. පසු­ගිය කාලයේ රටේ නගර රැසක කැළි කසක කදු ගොඩ ගැසුණේ එ් සම්බ­න්ධි­ක­ර­ණය නොමැති වූ බැවිණි.

ජනා­ධි­ප­ති­ව­ර­යාගේ එ් නියෝග අකු­රට පිළි­ප­දි­මින් පොලී­සිය ඉකුත් 20 වෙනිදා සිටම වැඩට බැස්සේය. පොලිස් පාරි­ස­රික ඒක­කය අලුත් ජව­ය­කින් වැඩ පටන් ගන්නේ මුලින් ම ජන­තාව දැනු­වත් කර­මිනි. ඉදිරි දින කිහි­පය තුළ පොලිස් පාරි­ස­රික අංශයේ නිල­ධා­රීන් පළාත් පාලන ආය­තන නිල­ධා­රීන් සමඟ කැළි සකල ඉවත් කිරීම් සම්බ­න්ධ­යෙන් ගෙයින් ගෙට ගොස් ජන­තාව දැනු­වත් කිරීමේ වැඩ සට­හ­නක් ද ක්‍රියා­වට නන්වනු ඇත. ඒත් එක්කම ශබ්ද විකා­ශන යන්ත්‍ර මඟින් කැළි කසල මහ මග දම­න්නන්ට සහ ඇළ දොලට දම­න්නට එරෙ­හිව ඇති නීති­මය තත්ව­යන් පිළි­බ­ඳව මහ­ජ­න­තාව දැනු­වත් කිරීමේ කට­යු­ත්තක් ද පොලී­සිය පැත්තෙන් සිදු­වී­මට නිය­මිත ය.

Comments