‘හරිම ෂෝක්’ නිර්මාණය වුණේ කඳුළු අතරින් | Page 2 | සිළුමිණ

‘හරිම ෂෝක්’ නිර්මාණය වුණේ කඳුළු අතරින්

පහුගිය දවසක ලිබර්ටි ලයිට් සිනමාහලේදි අපි අලුත් චිත්‍රපටයක් බැලුවා. ඒකෙ නම “හරිම ෂෝක්”. ඇත්තටම ඒ චිත්‍රපටයත් හරිම ෂෝක් කියලා ෆිල්ම් එක බැලුවාම අපිටත් තේරුණා. හැබැයි ඒ චිත්‍රපටයෙන් විවරණය වෙන්නේ මීට වසර ගණනාවකට ‍ඉහත ලංකාවෙ සමාජයේ තිබූ එක්තරා අඳුරු පැතිකඩක්. වලව් පැලැන්තිය හා ධනවත් පැළැන්තිය විසින් පීඩිත පන්තිය හා නිර්ධන පන්තිය තළා පෙළා හෙළා දුටු ආකාරය තමයි මේ සිත්තමෙන් කියවෙන්නේ. වලව්කාර සල්ලිකාර බලවතුන් තම නිලබලය ධන බලෙන් බොහෝ අකටයුතුකම් කිරීම හේතුවෙන් අසරණයන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවුණත් සොබා දහම තුළින් හෝ නොපෙනෙන බලවේග තුළින් හෝ කාලයාගේ ඇවෑමෙන් වරදකරුවන්ට නිසි දඬුවම් ලැබෙන අයුරු මින් කියවෙනවා.

‘හරිම ෂෝක්’ චිත්‍රපටයේ කතාව, දෙබස්, තිර රචනය, නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය දේශමාන්‍ය ලාල් දේවරත්න මහතාගෙයි.

“හරිම ෂෝක්” කතා පුවතට තේමා වෙන්නේ 1970 ගණන්වල ලංකාවේ තිබූ සමාජ වාතාවරණයයි. එදා ධනය බලයට නිලයට කුලයට ඕනෑම පහත් දෙයක් කිරීමට හැකිවීම තුළින් දිළින්දන්, පීඩිතයන් තව තවත් පීඩාවට පත්වුණා. රදල පන්තිය නිසා ඇතැමුන් ලිංගික සූරාකෑම්වලට පවා ලක්වුණා. හරිම ෂෝක් චිත්‍රපටයේ “සිරිල්” පුංචි සන්ධියේ සිටම පවුලේ, සමාජයේ හිරිහැරවලට ලක්වෙනවා. දරුවෙක් කුඩා කාලේ දෙමාපියන්ගේ ආදරයට ලක් නොවුණොත් සමාජයට බිය වෙනවා. ඒත් සිරිල්ට රූමත්, ධනවත් තරුණියක් පෙම්කර ඔහුව විවාහ කරගන්නේ ඔහුගේ අසරණකම නිසයි. දියණියත් සමඟ සතුටින් පවුලේ ජීවිතයක් ගත කළත් වලව්වේ හාමුගෙන් පවුලට සිදුවන අතවර අපමණයි. වලව්වේ හාමුගේ අකටයුතුකම්වලට විරුද්ධ වීම නිසා සිරිල්ගේ බිරියටත් දියණියටත් ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවෙනවා. කාත් කවුරුත් නොමැතිව අසරණ වන සිරිල්ට අදෘශ්‍යමාන දෙවියන් පිහිට වී ඔහුව ශක්තිමත් කර ජීවිතයට ජය ලබා දෙනවා විතරක් නෙමෙයි වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙනවා.

ඔබගේ සිනමාගමනය ගැන තොරතුරු කොහොම ද?

“මම රඹුක්කන පරපේ මහා විද්‍යාලයෙන් පසු වැඩිදුර අධ්‍යාපනයට යන්නේ වලල්ගොඩ මහා විද්‍යාලයට. පත්තරේ තිබුණු දැන්වීමකට ගායනා තරගයකට යෑම මගේ කලා ජීවිතයට හොඳ තෝතැන්නක් වුණා. අරුණෝදයේ ගී, වසන්තයේ ගී කියලා කැසට්පට නිකුත් කළා. ඉන්පසු කලාවට, රංගනයට සම්බන්ධ වෙනවා. මහේෂ් කුමාරසිංහ මහතා සමීපයේ නාට්‍ය පාඨමාලා කරලා, බාහිර උපාධිය හදාරන්න යොමුවෙනවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, සෝමලතා සුබසිංහ, බන්දුල ජයවර්ධන, ජේ.ඒ. ගුණවර්ධන, රෝහණ බැද්දගේ, පරාක්‍රම නිරිඇල්ල, ජයන්ත චන්ද්‍රසිරි යන ප්‍රවීණයන් සමඟ සමීපව කටයුතු කරන්න හැකි වුණා. මගේ පළමු වේදිකා නාට්‍යය රතු ගිනි දැල්. සහරා, කියලා වැඩක් නෑ, රතු මාවත, දිසාපාමොක්, වැනිසියේ වෙළෙන්දා, සුද්දෝ කළු පාටයි වේදිකා නාට්‍ය පසුව නිර්මාණය කළා.

රංග කලා පාඨමාලාව ගැන තොරතුරු ටිකක්...

නාට්‍ය හා රංග කලාව හදාරන අයට සිනමා රංගනය, වේදිකාව, සිනමාව, රූපවාහිනිය පුහුණු කිරීමට ‘විකසිත’ සිනමා පාඨමාලාව පටන් ගත්තා. 1990 සිට මේ දක්වා සිසුන් 23000 පමණ පිරිසක් ඉගෙන ගත්තා. ඊට අමතරව මම ධනාත්මක චින්තනය පිළිබඳව උගන්වනවා. කලාකරුවෙකු වෙන්න නම් සැබෑ මනුෂ්‍යයකු විය යුතුයි. මිනිස්සු කියන්නේ මැණිකක් වගේ උසස් කියනඑකයි. මනසින් ද උසස් හා පොහොසත් අය තමයි කලාකරුවන් වෙන්නේ. මුළු මහත් සමාජයටම ආදරය කරන යථාර්ථය තේරුම් ගන්න අයෙක් විය යුතුයි.

‘හරිම ෂෝක්’ චිත්‍රපටය පුරාවට රසවත් අත්දැකීම් එහෙමත් ඇති නේද?

‘හරිම ෂෝක්’ චිත්‍රපටය ප්‍රේක්ෂකයන් සිනහවෙන් පිරෙව්වට මොකද කඳුළු සාගරයක්. දුෂ්කරතා බොහොමයක් මධ්‍යයේ තමයි නිෂ්පාදනය කළේ. අලුතින් සිනමාවට අවතීර්ණ වන අයට කැමරා ආම්පන්න සපයන ආයතන තුළ මාෆියාවක් තියෙනවා. මටත් හරිම දුෂ්කරතාවලට මුහුණ පාන්න සිදුවුණා. ලක්ෂ 8ක් විතර වියදම් කරලා ගත්ත සමහර දර්ශන ඉවත් කළා. මා ඉතාමත් මානසික පීඩනයකට පත්වුණා. ඇත්තටම මේ චිත්‍රපටය මම කඳුළු අතරින් නිර්මාණය කළ එකක්. නාවලපිටියේ රූගත කිරීම් කරද්දි වතුර නැතුව ලබුගමට එන්න සිදුවුණා. මෙම චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, කළමනාකරණය, ඇඳුම් නිර්මාණය නවකයන් විසිනුයි සිදුකළේ.

ඔබගේ වෙනත් නිර්මාණ එහෙම...

සිකුරුලන්තය, අහිමි, මෙඩි සිනා, සුදු අඟුරු ආදී ටෙලිනාට්‍යවලට මම සහාය වුණා. ශිල්පීන් ලබා දුන්නා. ප්‍රවේගය, සුපර් සික්ස්, හතර වරන් (නැටුම් අධ්‍යක්ෂණය) ආදියෙන් චිත්‍රපට 30 වඩා ගණනකට සහාය වුණා. ඒත් කිසිම දේකට මුදල් අරන් නැහැ. මගේ රංගන පාසලේ ළමයින් 100 වැඩි පිරිසකට රංගන අවස්ථා ලැබිලා තියනවා. මම අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලන්නේ ළමයින්ට හොඳ චරිත දෙන්න කියලයි.

ඉදිරියේදි ඔබ අලුතින් කරන්න බලාපො‍රොත්තු වන නිර්මාණ එහෙම...

මම ලියලා තියනවා 1989 භීෂණය තුළ මිනිස්සු නොදැකපු පැත්ත. ඒ කාලේ මම නාට්‍ය කරන කාලෙත් භීෂණය ප්‍රබල ලෙස බලපෑවා. ඒත් හැම දෙනෙකුගේම ඇස නොගැටුණු තේමාවක් චිත්‍රපටයකට ගෙන එන්න හිතාගෙන ඉන්නවා. සමාජ සේවා රැසක් දැනටමත් කරනවා. දේශමාන්‍ය, කලානිධි, ලංකා පුත්‍ර සම්මාන ලැබී තියනවා.

හරිම ෂෝක් චිත්‍රපටයේ අජිත් වීරසිංහ, අනුෂා දමයන්ති, ලාල් දේවරත්න, ධනංජි තාරුකා, ආරියසේන ගමගේ, රාජසිංහ ලෝලුවාගොඩ, කුමාර රණපුර, සුරාජ් විකසිත රත්නදේශ, කෞශල්‍යා චන්ද්‍රතිලක, කුසුම් ප්‍රියංකා, ශ්‍රීමාලි, දිල්කි මිහිරාජි, ජය ශ්‍රී බණ්ඩාර, එෂාන් මධුරංග ප්‍රභාත් අරවින්ද රංගනයෙන් දායක වෙනවා.

සිරිල්ගේ චරිතය රඟපාන්නේ ලාල් දේවරත්නයි. අංක 339/2, පහළ, බෝමිරිය, කඩුවෙල ලාල් දේවරත්නගේ ලිපිනයයි.

සේයා රූ - ටෙනිසන් එදිරිසිංහ

 

Comments