රංගනයට අකැමැත්තක් නැහැ ඉදිරියේදි සලකා බලමු | සිළුමිණ

රංගනයට අකැමැත්තක් නැහැ ඉදිරියේදි සලකා බලමු

ගොඩක් දේවල් ඇඳගෙන හිටියොත් එය ඔළුවටත් වදයක්. බුදු හාමුදුරුවෝ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව තුළ ජීවිතය ගොඩනඟා ගැනීමයි හොඳම මාර්ගය.

කාල සීමාවකට විතරක් ලබන ආදරයට වඩා ජීවිතේ හැම දවසකම ලබන ආදරය වඩා වටිනවා.

සොබාදහමෙන් අපට දෙන දෙවල් සහ නොදෙන දේවල් ද, ලැබෙන දේවල් සහ නොලැබෙන දේවල් කොච්ච්ර තිබුණත් අපට ගන්න බැරි දේවල් සහ අපට දෙන්න බැරි දෙවල් ද තිබෙනවා. ඒ හැමදේම මේ ජීවිතේට පොදු බව වටහා ගත යුතුයි.

ඉක්මනට ගිහින් ඉක්මනින් නැති වෙනවට වඩා හෙමින් හෙමින් හදා ගන්න ස්ථාවරය හොඳයි .

අහස් ගැබේ තරු කැට ගානේ  පොළො ගැබේ වැලි කැට ගානේ මහ සයුරේ රළ පෙළ ගානේ  ආදරෙයි මං ආදරෙයි.... සුමිහිරි හඬකින් ඇය එසේ ගයද්දී,  “මේ මල් යායේ ඈ පෑ සිනා  ළංවෙලා රෑ තරු වාගේ නිවුණා මැලවීලා මා දෑසේ වේදනා....“ ඔහු මෙසේ ගයයි.

දශක තුනකුත් ඉක්මවා ඔවුන් මෙසේ ගී ගයමින් ආදරය විඳිති. ඒ ආදරය සංගීතයෙන් පතුරුවති. මේ දෙපළ එකම කැදල්ලක දිවි ගෙවන්නට පටන් ගෙන වසර විසි නවයකට ආසන්නය. එදා මෙන්ම සෙනහසින් අවබෝධයෙන් දිවි ගෙවන ආදර්ශවත් යුවළක් ලෙස කාගෙත් ආදරේ ලබමින් ක්ෂේත්‍රයේ බොහොම කාර්යබහුල දිවි පෙවෙතක් ගත කරන එඩ්වඩ් ජයකොඩි සහ චරිතා ප්‍රියදර්ශනීය. සුපුරුදු කාර්යබහුල දිවිපෙවත ගෙවෙන ඔවුන්ගේ සොඳුරු කැදැල්ලට අපි මෙසේ ගොඩ වුණෙමු. ඒ සොඳුරු කැදැල්ලේ හිමිකාරිනිය හා පිළිසඳරකටය.

කොහොමද ජීවිතේ, තවමත් කාර්යබහුලයිද?

‘මාරම්බරි‘ සහ ‘නෙතු දැහැන්‘ ප්‍රසංගයට ආරාධනා රැසක් තියෙන නිසා ලබන වසරේ ඒ ප්‍රසංග පවත්වන පිළිවෙළ ගැන සැලසුම් කරමින් යනවා. අපේ නුගේගොඩ පිහිටි ‘සැරිසර‘ සංගීත ශාලිකාවට‘ත් මේ දවස්වල නවක සිසුන් බඳවා ගන්නවා. පෙර පාසල් වයසේ සිට උසස් පෙළ තෙක් හා ඉන්දියානූ භාත්කණ්ඩේ විශාරද විභාගය සඳහාත් වැඩිහිටියන් වෙනුවෙන් විශේෂ කටහඬ පුහුණු හා රසවින්ඳන පන්තිත් අපේ සංගීතාශ්‍රමයේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල උදෑසන 8.30 සිට සවස 4.00 දක්වා පැවැත්වෙනවා. භාත්කණ්ඩ විභාගෙට පෙනී සිටින්නත් දරුවන් පිරිසක් මේ දවස්වල සූදානම් කරනවා. ඒ වැඩකටයුතුයි. එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය වැඩකටයුතු එක්ක ජීවිතේ හොඳින් ගෙවෙනවා.

ඉස්සර දරුවො උස්මහත් වෙද්දී ඒ බොහෝ වගකීම් දැන් ලිහිල් වෙලා ඇති?

ජීවිතේ වගකීම් එහෙම ලිහිල් වෙන්නේ නැහැ. ජීවිතේ නොයෙක් කාල පරිච්ඡේදවලට අනුව ඒ වගකීම් පැවැරෙනවා. පුංචි කාලේ වගකීම් යෞවනියක් වුණාම ටිකක් වැඩි වෙනවා. පෙම්වතිය, බිරිය, මව දක්වා විවිධ කාල පසු කරද්දි ඉටු කරන්න තියෙන වගකීම් එකිනෙකට වෙනස්. ඉතින් අපේ කාලයත් කළමනාකරණය කරගෙන ඒ සියලු වගකිම් සතුටින් ඉටු කිරීමයි ජීවිතය කියන්නේ.

එඩ්වඩ් - චරිතා සොඳුරු කැදැල්ලට දැන් වසර 29ක්?

වසර 29ක් කියන්නේ ලොකු කාලයක්. ජීවිතය හැමදාම සුන්දර හෝ රසවත් නැහැ. කලින් කලට ජීවිතය වෙනස්. අපිත් ජීවිතයේ ඒ විවිධ තැන් පසු කරමින් බෙදා හදාගෙන සාමාන්‍ය විදිහට පොළොවේ පය ගහලා ජීවත් වෙනවා. ඒ නිසා අපි එකිනෙකාට එච්චර කරදරයක් වෙලා නැහැ. බොහොම හොඳ අවබොධයකින් මෙතරම් කාලයක් එන්න ලැබෙන්නෙත් ඒ නිසයි.

ඔබ දෙපළ මාරම්බරි රැගෙන ලොව වටා යනවා. මිනිස් ජීවිත, ඔවුන්ගේ ආකල්ප, සමාජය සහ කලාව ගැනත් ඒ සංචාර තුළ බොහෝ අත්දැකීම් ඇති?

පිටරටවල ඉන්න මිනිසුන්ගේ මූලිකවම මම දකින ගුණාංගය, ඔවුන් යැපුම් මානසිකත්වයක නැහැ. කවුරුත් කරනකල් බලන් ඉන්නේ නැහැ. හරිම ස්වාධීනයි. පිටරටවල ජීවත් වෙන ලාංකේයන් ගැනත් මට වෙලාවකට පුදුමයි. ඔවුන් එහෙදි සියලු වැඩ තනියම කර ගන්නවා. උයාගෙන දරුවෝ බලාගෙන, රැකියාවත් කරගෙන, සමාජ සේවා වැඩත් කරනවා. මෙහෙ වගේ කාටවත් කියලා කර ගන්න මානසිකත්වයක් ඒ රටවල නැහැ. ලංකාවේ පුළුවන් තරම් උත්සාහ කරන්නේ අනුන්ගේ පහනින් එළිය බලන්න. ඒ රටවල නියමිත විදිහට කරන රැකියාවට පඩියක් ලැබෙනවා. ඒ නිසා තරඟය අඩුයි. ගෙවල් වුණත් එකම විදිහක්. මෙහෙනේ ගෙවල්වලින් සල්ලිකාරයා කවුද, දුප්පතා කවුද කියලා හොයන්නේ. එහේ හැමෝම එක සමානයි. ඔවුන් එකිනෙකාට බයත් නැහැ. අනෙක් ගෙදර මොනවද වෙන්නේ කියලා දන්නෙත් නැහැ. හොයන්නෙත් නැහැ. කලාවට වුණත් ඔවුන් හරිම ළැදියි. ‘මාරම්බරි‘ ප්‍රසංගය අපි රටවල් ගණනාවක පවත්වා තිබෙනවා. තව මගහැරිලා ඇත්තේ රටවල් දෙක තුනයි. ඒ ගිය හැම රටකම කලාකරුවන් විදිහට ඒ රටවල මිනිස්සු අපව පිළිගත්තේ හරිම ඉහළින්. හරිම ආදරෙන්. ප්‍රසංගයක් නිසා මතු වී සදාකාලික රැඳෙන යාළුකම් පවා ඇති වෙනවා.‘මාරම්බරි‘ රටවල් ගණනාවක පවත්වන්න හැකි වෙන්නෙත් ඒ රටවල කලාවට ඔවුන්ගේ තිබෙන ළැදියාව නිසයි. නමුත් අපේ රටේ තිබෙනවා පුදුමාකාර හොඳ සාරධර්ම ටිකක්. මෙහේ මිනිස්සු හරි කැමැති උදව් කරන්න. හැබැයි ඒ කරන හැමදේ තුළම පොඩි රිට්න් එකක් බලාපොරොත්තු වෙනවා. එතැනින් අපි මිදුණා නම් අපේ ඒ සාරධර්මේ හරිම ප්‍රබලයි. අපේ රට සෑම ක්ෂේත්‍රයකින්ම මීට වඩා ජාත්‍යන්තරයට ඔසවා තැබීය යුතුයි. එය ලාංකේයන් වශයෙන් අප සියලු දෙනා මත පැවැරුණු වගකීමක්.

පුතු චන්දීප සහ දියණිය ශාරන්‍යා සංගීතයට ප්‍රවිෂ්ටව සිටිනවා. ඔවුන්ගේ ප්‍රවිෂ්ටයට ඔබ දෙපළගේ අනන්‍යතාව කෙතරම් බලපෑවාද?

ඔවුන් සංගීතය කරනවාද කියලා අපි දැනන් හිටියෙත් නැහැ. පුතා කළේ මුල්‍ය කළමනාකරණය පිළිබඳ උපාධියක්. අධ්‍යාපන කටයුතු අවසන් වුණහම ලංකාවට ඇවිත් වසරක් විතර සංගීතයට යොමු වෙන්න කැමැති කිව්වාහම අපි එයට ඉඩ දුන්නා. දුවයි පුතයි බොහොම සාමාන්‍ය විදිහට ජීවත් වෙන, හැම කෙනකුගේම හොඳ අගය කරන යහපත් දරුවෝ දෙන්නෙක්. ඔවුන් හොඳ දෙයක් කරද්දි හෝ කරන්න උත්සාහ කරද්දි අපිත් හැම තිස්සේම උදව් කරනවා. ඔවුන්ගේ නිර්මාණ කටයුතුවලට අපේ උපරිම සහාය ලැබෙනවා. මෙතෙක් ඒ දෙන්නාගෙන් අපට කිසි වරදක්, හිත රිදුණු අවස්ථාවක් ඇති වෙලා නැහැ. ඔවුන් ඉදිරියටත් ඒ විදිහටම ජීවත් වේවි යැයි බලාපොරොත්තු වෙනවා.

සංගීත ක්ෂේත්‍රය ඔස්සේ ඔවුන්ගේ ඉදිරි ගමන ගොඩනැගේවීද?

කියන්න දන්නේ නැහැ. ඒ දෙදෙනාම දක්ෂයි. මිනිස්සු හරි ආදරෙයි. ඔවුන් ඔවුන්ගේ ගමන ගොඩ නඟාගනීවි. පසු කාලීනව, අපි නැති දවසක අපේ නිර්මාණත් ගයාවී. පුතාගේ අලුත් ගීතයක් පසු ගිය දවසක් එළි දැක්වුණා. ඒ හැරුණාම ‘නෙතු දැහැන්‘ ප්‍රසංගයට අපි තුන්දෙනාම ගායනයෙන් සහභාගී වෙනවා. එය අප පවුලේ ප්‍රසංගයක්. පසු ගිය කාලේ මාරම්බරි සී.ඩී. පැක් එකට එකතු වුණු ‘ඔබේ අහස‘ ගීත එකතුවට මහචාර්ය සුනිල් ආරියරත්න ලියූ ‘ඔබේ අහස‘ ගීතය සංගීතවත් කළේ මගේ පුතා. ඒ, ඔහු මා වෙනුවෙන් සංගීතවත් කළ පළමු ගීතය.

සුභාවිත සංගීතයට දරුවන්ගේ තිබෙන නැඹුරුව?

පුතාට විවිධ ශෛලියේ ගීත ගැයීමේ හැකියාව තිබෙනවා. නමුත් ඔහු සිංහල සින්දු අහන රසවිඳින කෙනෙක්. ඔහුට තිබෙන්නේ හෙමිහිට බොහොම පරෙස්සමෙන් නිර්මාණ කරමින් යන ගමනක්. ඉක්මනටම ගිහින් ඉක්මනින් නැති වෙනවට වඩා හෙමින් හෙමින් හදා ගන්න ස්ථාවරය හොඳයි .

මේ වෙද්දි එඩ්වඩ් පවුලේ ඔබ හැර සියල්ලන්ගේ රංගන දක්ෂතා ඉස්මතු වී තිබෙනවා?

එඩ්වඩ් දැන් ගුත්තිල චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණ පොවනවා. දුව ‘සිරි රජ සිරි‘ චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. පුතයි දුවයි ‘හිරි පොද වැස්ස‘ චිත්‍රපටයේ රඟපෑවා. පුතා ‘නිරාශා‘ ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායක වුණා. මටත් රංගනයට ගොඩක් ආරාධනා ලැබෙනවා. මේ ළඟදිත් අධ්‍යක්ෂවරයෙක් ඇහුවා රඟපාන්න කැමැති නැද්ද කියලා. ඉස්සර අනෝමා රාජකරුණා ගේ සංගීත වැඩසටහන්වල පොඩි පොඩි රංගන ඉදිරිපත් කර තිබෙනවා. රංගනයට අකමැත්තක් නැහැ. ඉදිරියේදි ඒ ගැනත් බලමු.

නිවේදිකාවක, ගායිකාවක විදිහට ආ ගමන ගැන මොකද හිතෙන්නේ?

සතුටුයි. මම කැමැත්තෙන් හිටියෙත් ගුවන් විදුලි නිවේදිකාවක් වෙන්න. ඒ මගේ පවුල් පසුබිම එක්ක වෙන්න ඇති. ඒ හීනෙත් හැබෑ කරගෙන අවුරුදු 35ක් විතර නිවේදන කටයුතුවල නියැළෙමින් ලොතරැයි වැඩසටහනත් අවුරුදු 33 පමණ නිවේදන කටයුතු කරමින් ඒ ආ ගමන ගැන සතුටුයි.

පුංචි වයසෙන් කලාවට පා තබා වසර 35කුත් ඉක්මවා කලාවේ නියැළෙමින් ජීවිතය බොහොම සමබර ගමනක් ආ ඔබට හෙට පරපුරට දෙන්න ඔවදන් බොහෝ ඇති ?

අපට තියෙන්නේ ජීවිතේ හරිම කෙටි කාලයක් බව මම හැම තිස්සේම විශ්වාස කරවා. ඒ තුළ අප කාලෙන් කාලෙට විවිධ භූමිකාවල නිරත වෙනවා. සොබාදහමෙන් අපට දෙන දෙවල් සහ නොදෙන දේවල් ද, ලැබෙන දේවල් සහ නොලැබෙන දේවල් ද, කොච්චර හිතුවත් කොච්ච්ර තිබුණත් අපට ගන්න බැරි දේවල් සහ අපට දෙන්න බැරි දෙවල් ද තියෙනවා. ඒ හැමදේම මේ ජීවිතේට පොදු බව වටහා ගත යුතුයි. අපට ලැබෙන ඒ දේවල්, ලැබෙන අවස්ථා සහ අප නිරුපණය කරන අවස්ථා මත යම් මට්ටමක සාර්ථකත්වයක් පෙන්නුම් කරන්න පුළුවන්. ඒ දේවල් එක්ක මගේ ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි මට දැනෙන්නේ හොඳයි කියලා. වසර ගණනක් මේ ක්ෂේත්‍රයේ එන රැළිවලට හසු නොවී ඇවිත් තිබෙන දුර ගැන හිතෙනකොට බොහොම නිහතමානීව සතුටු වෙන්න පුළුවන්. මට ඒ කාලෙත් මොකකින්වත් ලංකාවේ අංක එක වෙන්න අවශ්‍යතාවක් හෝ තරගයක් තිබුණේ නැහැ. මම ජනප්‍රියයි. තැනකට ගියොත් මාව හඳුනනවා, සලකනවා. ජනප්‍රියත්වය කියන්නේ ඒකනේ. ඒ ජනප්‍රියකම මට ඇති. තරුවක් විදිහට ජනප්‍රිය වෙන්න මට අවශ්‍ය වුණේ නැහැ. කොච්චර ජනප්‍රිය වුණත් කොච්චර දක්ෂ වුණත්, කොච්චර හොඳ වුණත් අවසානේ අපි මැරෙනවාමයි. අරන් යන්නේ හෝ ඉතුරු වෙන්නේ අර කරපු හොඳ විතරයි. රසික ආදරය කාලයක් පුරාවටම නොවෙනස්ව හදවතින්ම දිනාගෙන සිටීමත් ලොකු දෙයක්. කාල සිමාවකට විතරක් ලබන ආදරයට වඩා ජීවතේ හැම දවසකම ලබන ඒවන් ආදරය වඩා වටිනවා. වේදිකාවේ, රූපවාහිනියේ අපේ කාර්යය කළාට සාමාන්‍ය ජීවිතේදී අපි බොහොම සාමාන්‍ය මිනිස්සු. මගේ ගෙදර වැඩ කරගන්නේ, කඩේ යන්නේ මමයි. ජීවිතේ ගොඩක් දේවල් ඇඳගෙන හිටියොත් එය ඔළුවටත් වදයක්. බුදු හාමුදුරුවෝ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව තුළ ජීවිතය ගොඩනඟා ගැනීමයි හොඳම මාර්ගය.

ඡායාරූප - ශාන් රූපස්සර

Comments