ගීතයෙන් සංගීතයෙන් ජීවිතයේ නව මං සොයන කමිල | Page 2 | සිළුමිණ

ගීතයෙන් සංගීතයෙන් ජීවිතයේ නව මං සොයන කමිල

සංගීත‍ය විටෙක මහගු ඖෂධයක් බඳුය. අර්ථාන්විත ගීත විටෙක ජීවිතයට නව මං සොයා දෙන්නේය. ගීතය, සංගීතය ඇසුරෙන් කරන ලද එවන් පර්යේෂණ, ගවේෂණ, අත්හදා බැලීම් සියල්ල එක් කොට ඔහු ‘වර්ෂා’ නම් ප්‍රසංගයක් පවත්වන්නේය. ඒ දෙසැම්බර් 7 වනදා සවස 3. 30ට කටුවාවල, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල් ශ්‍රවණාගාරයේදීය. ඔහුගේ ගී විචාර හරි අපූරුය. අප සිතනවාට වඩා දෙයක්, අප නොසිතන මානයක සිට ඔහු ගීතය දකියි. ජීවිතය, ගීතය දකින කමිල පෙරේරාගේ ජීවිතයේ ගමන් මඟ ගැනයි මේ සටහන.

අපට මේ සමාජයේදී බොහෝ ගැහැනුද මිනිස්සුද හමු වෙති. ඒ මිනිසුන් හා ගැහැනුන් අතර ඇතැමෙක් ජීවිතයේ ප්‍රශ්න හමුවේ හිතින් කඩා වැටුණෝය. ඇතැමෙක් දෛවයට ඉඩ දී සිදු වන්නේ කුමක්දැයි බලා සිටින්නෝය. තවෙකෙක් කවුරුන් හෝ පැමිණ තමන්ට මඟ පෙන්වා අතින් ඇදගෙන යන තුරු බලා සිටින්නෝය. පැරදුණු විට, පැරදී බලා සිටින, වැටුණු විට වැටුණු තැනට වී කාගේ හෝ පිහිටක් බලා සිටින මිනිසුන් අතර, ධෛර්යයෙන් උත්සාහයෙන් ජීවිතය ගොඩනඟාගත්, පරදින විට දිනන්න මං සොයන ජීවිතයේ නව ඉසවු සොයා යන මිනිස්සුද මේ අතර හමු වෙති. අහම්බෙන් මෙන් හමු වූ කමිල පෙරේරා ද එවැන්නෙකි.

ඒ සියල්ලට වඩා ඔහු මෙසේ හඳුන්වා දීම සුදුසුය...

එනම්: ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩ කමිල පෙරේරා - එහෙමත් නැත්නම් සංගීත චිකිත්සාවෙන් පුද්ගලයා මානසිකව හා කායිකව සුවපත් කිරීමට නව මං සොයන, ගීතයට නව අරුත් ගළපන, කාගේත් ආදරයට පාත්‍ර වූ ‘කමිල’ ලෙස හඳුන්වා දීම සාධාරණ යැයි සිතමි. මේ සොඳුරු කලාකරුවා අප මුලින්ම දුටුවේ ජාතික රූපවාහිනියේ ‘සිහිනයකි රෑ’ වැඩසටහනිනි. ඉන් පසු යූ ටියුබයෙනි. ඉන් පසු ‍මොහු ගැන හෝඩුවාවක් දුන්නේ ‘නෙත්මි’ සොයුරියයි.

මාලිගාවත්තේ ශ්‍රීමත් බාරොන් ජයතිලක ප්‍රාථමික පාසලෙන් මූලික අධ්‍යාපනය ලත් කමිල ඉන් පසු මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට පිවිස උසස් අධ්‍යාපනය ලබන්නේය. සාමාන්‍ය පෙළ විභාගයට වාණිජ විෂයයන් හදාරන කමිල උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේ ජීව විද්‍යා අංශයෙනි. ඉන්පසු කළමනාකරණ (විද්‍යාවේදි) සහ මානව සම්පත් හා කළමනාකරණ (විද්‍යාපති) උපාධිය හදාරන කමිල අවසානයේ තෝරාගන්නේ වෙනස්ම ක්ෂේත්‍රයකි. ඔහුගේ ජීවිතයේ ඔහු වැටුණු තැන්, නතර වුණු තැන් බොහෝය. එනමුදු ඔහු මේ කිසි තැනක නතර නොවී ජීවිතය ඉදිරියට ගෙන යන්නේ ස්වෝත්සාහයෙනි.

“මම පවුලේ එකම දරුවා. තාත්තා නාවික හමුදාවේ සේවය කළේ. අම්මා රැකියාවක් කළේ නැහැ. අපට ඒ කාලේ බොහෝ අගහිඟකම් තිබුණා. මා දන්නා දා ඉඳලාම අපි හිටියේ කුලී ගෙවල්වල. 1987 අවුරුද්දේ තමයි අපට මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයෙන් නිවෙසක් ලැබුණේ. මම පාසල් ගියේ පාසල් යන වයස පසු කර වසර දෙකකටත් පස‍සේ. මගේ ඉගෙනීමේ කටයුතුවලට බොහෝ උදවු කළේ මගේ පුංචි අම්මයි, බාප්පයි. උසස් පෙළ විභාගය අවසන් වුණාට පසුව මගේ මුල්ම රැකියාව වුණේ ගුවන් සේවා සමාගමක ගුවන් ටිකට්පත් නියෝජිතයකු ලෙස සේවය කිරීම. ඒත් ටික කලකින් -ඒ කියන්නේ 2001 අවුරුද්දේදී- මම නාවික හමුදාවට බැඳුණා. ඒ වැඩබලන උපලුතිනන්වරයකු ලෙස. යුද්ධය තිබුණ ‍කාලේ මම හිටියේ උතුරු නැඟෙනහිර. ඉන් පස්සේ මට අවස්ථාව ලැබුණා නාවික හමුදාවේ නවකයන් පුහුණු කරන කටයුතුවලට සම්බන්ධ වෙන්න. ඒ කටයුතු අතරේ මට හිතුණා මම අලුත් දෙයක් කරන්න ඕනෑ කියලා. දවසක් විවිධ මිතුරන් එක් වුණු රැයක අප කතාබහ කරමින් ඉන්න අතරතුර මම ගීතයක් කියලා ඒකේ තේරුම කිව්වා. පහුවදා එහි සිටි විද්වතෙක් මට කිව්වා ‘උඹ ඔය පැත්තෙන් ගියොත් හොඳයි’ කියලා. ඔය අතර හිටියා නිල්වලා විද්‍යා පීඨයේ නානායක්කාර කියලා කථිකාචාර්යවරයෙක්. ඔහු මා වඩාත් දිරිමත් කළා. ඉන් පස්සේ තමයි මම මේ ගැන හිතන්න ගත්තේ. මම මට ඉඩ ලැබෙන වෙලාවට ‘මියුසික් තෙරපි’ ගැන සෙව්වා; පර්යේෂණය කළා; ග‍වේෂණය කළා; සමාජයෙන් සමාජයට මෙය වෙනස් විදියට යොදවන්නේ කොහොමද කියලා අධ්‍යයනය කළා.”

ඔහු තම සිත එක් අරමුණක තබාගෙන අලුත් ගමනක් යෑමට තීරණය කළේය. අර්ථාන්විත ගීත සොයමින්, සංගීතය යොදාගනිමින් ඔහු නව අත්හදා බැලීමක යෙදුණේය. එය කමිලගේ ජීවිතයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් විය.

“මම ‘පුනරාගමනය’ කියලා ප්‍රසංගයක් පැවැත්වූවා. ඉන් පස්සේ ‘ප්‍රේමතටාකය’ ප්‍රසංගය. විශ්වවිද්‍යාල විද්‍යාපීඨ, නාවික හමුදාවේ යම් යම් පුහුණු වැඩසටහන්වලදී මේ වැඩසටහන කළා. විශේෂයෙන්ම ‘සිහිනයකි රෑ’ වැඩසටහනට සහභාගි වුණාට පස්සේ අපේ රටේ මෙන්ම විදෙස්ගතව සිටින බොහෝ අය මා සමඟ එක් වුණා. මට හිතුණා අලුත් පරපුරට, අපේ සමාජයේ මිනිසුන්ට ‘රිදම්’ එකකට කතා කරන්න ඕනෑ කියලා. එහි ප්‍රතිඵලය තමයි ‘වර්ෂා’. වෙනස් වෙනස් රසයක් සමඟ ගීතයට වැඩි යමක් දීමයි මගේ අරමුණ. වර්ෂා වැඩසටහනේ සංගීතය මෙහෙයවන්නේ ‘පල්ස්’ සංගීත කණ්ඩායම. කථනයෙන් සම්බන්ධ වන්නේ දිල්ෂාන් පතිරත්න මාධ්‍ය සොයුරා. ‘පල්ස්’ මගේම සංගීත කණ්ඩායමක්. මෙහිදී මම ගීත දහයක් පිළිබඳ විවිධ තේමා ඔස්සේ කතා කරනවා. ඒ ගී ගයන්නේ රිද්මා සත්සරණි, නොසිදි ගමගේ සමඟපල්ස් සංගීත කණ්ඩායම. මම විශ්වාස කරනවා ‘වර්ෂා’ ඔබට අලුත්ම අත්දැකීමක් වේවි කියලා. මම ජීවිතයේ බොහෝ කටුක අත්දැකීම් ලබලා තියෙනවා. මගෙ ජීවිතයේ ලැබීම කියන දේ මට තිබුණේම නැහැ. එහෙත් මම හැමදාම රාජාලියෙක් වෙන්න උත්සාහ කළා. ඒ නිසා පාත්තයන් ඇසුරු කිරීම අතහැර දැම්මා. මම මෙහිදී පාත්තයන් කියලා අදහස් කළේ මාව නොසලකා හැරිය ඉතාම සුළු පිරිසක් සිටිනවා; අන්න ඒ අයවයි. ජීවිතේ ආපස්සට හැරිලා බලන කොට අද මට මා ගැනම නිහතමානි සතුටක් දැනෙනවා. ”

Comments