කතරගම යනවා නම් කුරුලු උයනටත් ඇවිත් යන්න | සිළුමිණ

කතරගම යනවා නම් කුරුලු උයනටත් ඇවිත් යන්න

කර්කශ, වියළි, සුළඟක් හමා ගියේ ය. පරිසරයේ වූ ගිනියම් බව ගතට ඔරොත්තු දුන්නේ නැත. ගස් කොළන් වවා තිබුණ ද හිරුගේ ගිනියම් බවෙන් මිහිකත බේරා ගන්නට තරම් ඒ ස්වල්ප ගස් ප්‍රමාණය ප්‍රමාණවත් නැත. ගස් පවා වෑයම් කරමින් සිටියේ හිරුගේ කෝපයෙන් බේරෙන්නට ය.

හැමතින් ඇසෙන්නේ කුරුලු කූජන ම පමණි. තියුණු රාව, සිහින් ගීතමය නාද, ශෝකයෙන් වැලපෙන නාද, තරහෙන් කෑගසන නාද ආදී නොයෙක් නාද දසතින් පැතිරෙමින් තිබිණි. බැලූ බැලූ අත හිටියේ කුරුල්ලන් පමණි. කුරුල්ලන් ප්‍රියකරන ඔබට නම් මෙය පාරාදීසයකි. හම්බන්තොට කුරුලු උයන කුරුල්ලන්ගේ නේක රටා, නේක නාද හා චර්යා ප්‍රිය කරන ඔබ වෙනුවෙන් ඉදි කරන ලද්දකි.

ඔබ සිතාවි, මහ වැසි ඇද හැළෙන, පරිසරය මෙතරම් තෙතබරිත කාලයක මම මේ පරිසරයේ ගිනියම් බව කියන්නේ ඇයි කියා. ඇත්තෙන් ම හම්බන්තොට වියළි කලාපයට අයත් ශුෂ්ක ප්‍රදේශයි. මේ සති කිහිපයකට ‍පෙර අකාරුණිකව මහ පොළොව වනසන වර්ෂාව ගැන හාංකවිසියක් ‍හෝ නැතිව මහපොලොව ඉරිතළා යන තෙක් හිරු මිහිකතට අකාරුණික වූයේ ය. මා කුරුලු උයන නරඹන්න හම්බන්තොට ගියේ ඒ කාලයේ ය.

දරාගත නොහැකි රස්නය මේ කුරුල්ලන් දරා ගන්නේ කෙලෙසක දැයි එහි ගිය මුල් ම නිමේෂයේ ම සිතට නැඟුණු ප්‍රශ්නයයි. පොළොවේ වළවල් හාරාගත් කුරුල්ලන් මෙන්ම තම වපසරියේ වවා ඇති කුඩා ගසක අන්තිම සෙවණැල්ල පවා සොයන කුරුල්ලන් ම සිත එක්කළේ සංවේගයකි. එබැවින් මේ කුරුල්ලන් දැඩි හිරු රශ්මියට මුහුණ දෙන්නේ කෙලෙසකදැයි එහි සේවයේ නියුතුව සිටි කාන්තාවකගෙන් මම ඇසීමි.

‘මේ කුරුල්ලෝ බොහෝ ප්‍රමාණයක් ගෙන ඇවිත් ඉන්නේ උෂ්ණ කලාපීය රටවලින්. ඒ නිසා මේ කුරුල්ලන්ට උණුසුම හුරුයි’

ඉතින් මම ඒ පිළිතුරෙන් සෑහීමකට පත්වෙන්නට හිත හදා ගතිමි. එහෙත් වැල්ලේ පස් හාරා පොළොවේ තෙතමනය සොයන කුරුල්ලන් ගැන ඇතිවෙන කනගාටුව නම් ම සිතෙන් ‍ඉවත් වූයේ නැත.

ආසියාව, දකුණු ‍ඇමරිකාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව හා යුරෝපයෙන් ගෙන එන ලද පක්ෂි වර්ග 200කට අධික ප්‍රමාණයක් මෙහි නවාතැන් ගන්වා ඇත. දේශීය පක්ෂීන් නැරැඹීමේ ආශාවෙන් යුතු ඔබට නම් හම්බන්තොට කුරුලු උයන නැරැඹීමට යෑමෙන් පලක් නැත. එහි සිටින්නේ විදේශීය පක්ෂීන් පමණි. ඒ අතරින් ගිරා වර්ග, මැ‍කෝ වර්ග, කුකුළු වර්ග, මොනර වර්ග ආදී බොහෝ එකම වර්ගයකට අයත් නමුත් පාටින්, හැඩයෙන්, ප්‍රමාණයෙන් වෙනස් පක්ෂීහු වෙති. උන්ගේ වර්ණ සංකලය අති විචිත්‍රවත් ය. පියාපත් පුරා විසිරී ඇති රටා මේ ලොව පවතින සුන්දරම හා විචිත්‍රම රටා යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. ලොව බොහෝ නිර්මාණ බිහි වෙන්නට ඇත්තේ මේ රටා හා වර්ණ අනුසාරයෙන් යැයි මසිතට සිතේ.

හම්බන්තොට කුරුලු උයන ආසියාවේ ලොකු ම කුරුලු උයන මෙන්ම පර්යේෂණ මධ්‍යස්ථානය ද වෙයි. සත්ත්ව විද්‍යාව හදාරන බොහෝ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට තම පර්යේෂණ සඳහා මේ කුරුලු උයන පර්යේෂණාගාරයකි. සත්ත්ව චර්යා රටා, ප්‍රජනන විධි, උන්ගේ ආහාර රටා ආදී බොහෝ දේ නිරීක්ෂණයට විද්‍යාර්ථින්ට මෙහිදී හැකිය. ඒ සඳහා විශේෂ පහසුකම් ද මෙහි සලසා ඇත. කුරුලු උයන විවෘත කර මේ වන විට හරියට ම වසර දෙකකි. උද්‍යාන භූමිය පුරා විවිධ වර්ගයේ වෘක්ෂලතා හා පලතුරු වගා කරන්නට දරන උත්සාහය කැපී පෙනේ. කුරුලු කූඩු ඇතුළත පවා විවිධ වර්ගයේ පලතුරු ගස් වවා තිබේ. වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ වියළි කාලගුණයට ඔරොත්තු දෙන පේර ගස් ය. කුරුලු උයන නැරැඹීමට යන ඔබ නගරයෙන් පිටත්වන්නේ නම් අධිවේගී මාර්ගය ඔස්සේ මාතර දක්වා ම පැමිණිය හැකිය.

මාතරින් පැමිණ හම්බන්තොට නගරය පසුකරන ඔබ කටුවාවැව හන්දියෙන් වමට හැරී 7kmක් පැමිණි විට කුරුලු උයනට ළඟා විය හැකිය. දේශීය සංචාරකයෝ තවමත් බහුල වශයෙන් මෙහි පැමිණෙනු නොපෙනේ. බැලූ බැලූ අත සිටියේ විදේශිකයන් ය. ඔවුන්ගේ වැඩි අවධානය යොමු වී තිබුණේ විවිධ වර්ණ වලින් සජ්ජිත වූ මොනර කුලයේ පක්ෂීන් වෙත ය. සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනාගත්තේ සුදෝ සුදු වර්ණයෙන් යුතු නිරන්තරයෙන් පිල් විදහා අනගි රැඟුම් පෑ මොනරුන් ය. උන් ද තමන්ගේ ලස්සන නරඹන්නට එන අයට කෘතගුණ දක්වන්නේ පිල් විදහා නැටීමෙනි.

කතරගම බලා යන ඔබට මෙතෙක් හම්බන්තොට නගරයේ මඳ ඉසිඹුවක් ලැබීමට, වෙහෙස නිවා ගැන්මට පහසුවෙන් නැරැඹීඹට හැකි ස්ථානයක් තිබුණේ නැත. එහෙත් දැන් හම්බන්තොට කුරුලු උයන ඔබට සරතැස නිවන කදිම නිවහනක් වනු නියත ය. එබැවින් දැන් ඇත්තේ වෙනදා නොදුටු හම්බන්තොටකි. මෙහි මිල ගණන් ද සාධාරණය.

අක්කර 50ක් පුරා ඇවිද වෙහෙස ගැන මතකයට හෝ නැඟුණේ නැත. අවශ්‍ය නම් සරතැස නිවා ගන්නට කදිම අවන්හලක් ද‍ මෙහි ඇත.

විවිධ වර්ණයෙන් යුතු හංසයෝ, පාත්තයෝ විලේ අලසව පීනමින් සිටියහ. සංචාරකයන් ගැන උන්ට ගානක් නැත. විලට ටිකක් උඩහට වෙන්නට පිහිටි ගල්තලාවේ සිට තැඹිලි වර්ණයෙන් වර්ණිත ව බැස යන හිරුත්, ඒ හිරු එළිය වැටී දිලෙන විල් ජලය මත අලසව පිහිනන හංසයනුත් කුරුලු උයන පිළිබඳ මතකයේ නොමැකෙන සටහනක් ව හදවතේ තැන්පත් විණි.

Comments