ඔබ මලකි මා හදවතේ... | සිළුමිණ

ඔබ මලකි මා හදවතේ...

මල් රේණු­වක් බිම වැටෙන මද මුදු

හඬ පවා මට ඇසේ
ඔබ හෙමි හෙමින් අඩි තිය-තියා
මා ළඟට ඒදැයි සිතේ
අද සිහි­න­යකි එය
හෙට සැබෑ වේයැයි සිතේ...
සඳ තාරකා පෙම් වදන් දොඩන රැයේ
මොන තරම් නම්
මල් පිපෙ­න­වද මිහි­තලේ
ඒ එක මලක් වත් සොඳුරු නෑ මට
ඔබ මලකි මා හද­වතේ...
ඇළ-දොළ පවා ගී ගයන මේ මැදි­යමේ
කොයි­ත­රම් මුදු සර
ගැයෙ­න­වද මේ ලොවේ
ඒ එක හඬක් වත් මිහිරි නෑ මට
ඔබ ගීත­යකි මා ළයේ...

ගාය­නය හා තනුව - දයාන් විතා­රණ
පද රච­නය - රංජි අම­රා­වතී

ප්‍රේමය අතිශයින්ම සුන්දර ය. සඳට, තරුවට, මලට, ගඟට, ඇළට-දොළට සිය පෙම්වතිය සම කරන්න තරම් ඒ ප්‍රේමය මනරම් ය. එසේ ලියැවුණු ගී-කවි හරි අපූරු ය. ඇතැම් ගී-කවි විමසා බැලීමේදී හැඟෙන්නේ ඒ නිර්මාණ බොහෝ නිර්ව්‍යාජ බව ය. එවන් වූ මේ සොඳුරු නිර්මාණය මා ඇසුවේ මීට බොහෝ කලකට පෙරය. ඒ ගීතය අසා සිටීමේදී දැනෙන මිහිර මෙතෙකැයි කියන්න බැරි තරම් ය. මේ පෙම්වතා සිය ආදරියට ඇති ආදරය ගැන පවසන්නේ අපූරු ආකාරයට ය.

ගීතයේ හිමිකාරිනිය රංජි අමරාවතීය. ඇය මීට දින දින කිහිපයකට පෙර මියගියාය. ඇය ජීවත්ව සිටියදී අප හා කිහිප දිනක් කතා කළාය. එහෙත් මා ඇය කිසිදු දිනෙක දැක-හමු වී නැත. එනමුදු බොහෝ කලක සිට ඇය දිවයිනේ ජාතික පුවත්පත්වලට ලියූ කවි කියවා ඇත්තෙමි. ඇගේ කවි හරි මිහිරිය.

“රංජිට කතා කරන්න.”

මංජුල සෙනෙවිරත්නත්, විශ්ව ජයම්පති බණ්ඩාරත් දිනෙක කීහ. මා කිහිප දිනකට පසු ඇය ඇමතුවෙමි. දුරකතනය නාද වුවද ඇය පිළිතුරු නොදුන්නාය. එහෙත් එදිනම සන්ධ්‍යාවේ ඇය පෙරළා මා ඇමතුවාය.

“මේ දවස්වල මට අසනීපයි. කතා කරන්න අපහසුයි. ඒත් අපි කතා කරමු...”

ඇය බොහෝ වේලා කතා කළාය. ඇගේ කවි ගී පිළිබඳ අපි දෙදෙන බොහෝ දේ කතා කළෙමු.

ඊට කිහිප දිනකට පෙර ඇය ඉරිදා පුවත්පතකට අම්මා ගැන කවියක් ලියා තිබිණි.

‘අම්මා’

පොළොවේ වැඩියෙන්ම

මල් පිපෙන ලස්සනම තැන

අම්මාට නිඳාගන්නට දීලා

මටත් පුළුවන් ඒ ළඟින්ම නිඳාගන්න...

මම නිඳන තැන

එකම එක මලක් වත්

නැතුවට මොකද

දැනෙන කොට මට

අම්මාගේ සුවඳ....

“මම මගෙ අම්මාට ගොඩාක් ආදරෙයි. මම අම්මා ගැන බොහෝ කවි ලියලා තියෙනවා. අම්මා ගැන මට හැමවෙලේම මතක් වෙනවා. මම දැන් බොහෝම අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්නේ. ජීවිතේ කොයි මොහොතේද කියන්න බැහැ. මට කතා කරන්න අපහසුයි...”

එසේ කීවද ඇය එදිනද විනාඩි තිහකටත් වැඩි වේලාවක් කතා කළාය. ඉන් පසුවද කිහිප දිනක් කතා කළාය. උන් හිටි හැටියේම ඇගේ කතාව නතර විය. දිනෙක දුරකතනයට ඇමතුවේ ඇගේ සොහොයුරියයි.

“එයාට දැන් කතා කරන්න අමාරුයි... නිදි. ගෙදර අය සමඟවත් කතා කරන්නේ නැහැ.”

රංජිගේ කතාව සදහටම නතර විය. ඈ ජීවත්ව සිටියදි ‘මල් රේණුවක් වැටෙන හඩ’ ගැන ලියන්න බැරි වීම දුකකි. ඇය ඒ ගීතයේ පද එකිනෙක කියමින් දයාන් විතාරණයන් තම පද ගැයීම ගැන අපමණ සතුටට පත්ව සිටියාය. භෞතික සැප සම්පත් නොසෙවූ සුන්දර ගැමි පරිසරයක දවස ගෙවූ රංජිගේ ගේය පද ඇය තරමටම නිර්ව්‍යාජ ය. ඇය ලියූ ගීපද රචනා කිහිපයක්ම ගයා ඇත්තේ ගායන ශිල්පි දයාන් විතාරණ විසිනි.

“මම මේ ගීතය ගැයූවේ 2004 වසරේ. මෙය මට තැපෑලෙන් ආව ගී පද මාලාවක්. මම ඒ වෙන කොට රංජිව දැනගෙන සිටියේ නැහැ. මම ගීතයට තනුවක් නිර්මාණය කරන්න කසුන් කල්හාරට දුන්නා. කසුන් තනුව නිර්මාණය කළාට පස්සේ ඒ කොළය සුළගේ ගිහිල්ලා. ඉන් පස්සේ මම මෙයට තනුවක් නිර්මාණය කළා. එය මම “ඩැෆඩිල් මල” ලියූ චාමින්ද රත්නසූරියට පෙන්නුවා. ඔහු කිව්වා මෙය හොඳයි කියලා. සුරේෂ් මාලියැද්ද තමයි සංගීතය කළේ. සඳරුවන් මේ සඳහා විෂුවල් එකකුත් නිර්මාණය කළා. ගීතය බොහෝ ජනප්‍රිය වුණා. දවසක් මම කඳුරට සේවයේ ගුවන්විදුලි වැඩසටහනකට සම්බන්ධ වුණා. මේ වැඩසටහන අහගෙන හිටපු රංජි මට කතා කළා. එදා තමයි ඇය දැනගෙන තිබුණේ මා ඇගේ ගීතය ගායනා කළ බව. අප හමු වුණේ 2005 වසරේදී. ඉන් පසුව අපි බොහෝම ළෙන්ගතු මිතුරන් වුණා. ඇය අසනීපයෙන් සිටින බව දැනගත්තාම මම ගියා ඇය බලන්න. ඒ ගිය මාසේ විසි අට වෙනිදා. ඇය මා සමඟ කතා කළා. මම ඈ ලියූ ගීතය ඇයට ඇසෙන්නට ගැයුවා. ඇය බොහෝම සතුටු වුණා. ඇයට එක්වරම ජවයක් ලැබුණා වගේ. ඇය හොඳින් කතා කළා. මා ඇය ලියූ මේ පහන නොනිමෙන්න, ගේ දොරකඩ මිදුල පුරා යන ගී දෙකත් ගයා තිබෙනවා. රංජි හරි ලස්සනට ලියනවා. ඇගේ අකුරු රවුම්. හරි ලස්සනයි. මා අසා තිබෙනවා ඇය ආචාර්ය වික්ටර් රත්නායකටත් ගීතයක් නිර්මාණය කළ බව. රංජි බොහෝම සරල ජීවිතයක් ගත කළ කෙනෙක්...”

දයාන් පවසන්නට වුයේ සුසුමක් හෙළමිනි.

අප රංජි හඳුනන්නේ පුවත්පත් කවි පිටු ඔස්සේය. කලක් ඇය සිළුමිණ කවි පිටුවටද කවි ලීවාය. ඇගේ නිර්මාණවලට ඇගයීම් ද ලැබිණි. ‘නෙළුමක පෙති’ හා ‘ආදරයේ ගිරි හිස’ නමින් නිර්මාණ සංග්‍රහයන් දෙකක් ද මේ කාලයේ ඇය ලියා පළ කළාය.

ආදරණීය රංජි ඔබට නිවන් සුව ලැබේවා!

Comments