අපි සුද්දන්ට ඇපල් කන්න දෙනවා නම් ඒක මහ විහිළුවක් | Page 2 | සිළුමිණ

අපි සුද්දන්ට ඇපල් කන්න දෙනවා නම් ඒක මහ විහිළුවක්

ආනන්ද විද්‍යාලයේ  ප්‍රාථමික අංශය සංවිධාන කරන “රන් සලකුණ“ රන්වල බළකායේ ජන ගී ප්‍රසංගය  දෙසැම්බර් 01 වැනිදා කුලරත්න ශාලාවේදී වේදිකාගත වෙයි...

ලයනල් රන්වලයන් අපේ ජන ගී කලාව හා බෙර වාදන ශිල්පය ලාංෙක්ය අනන්‍යතාව තුළම රඳවා ගනිමින් එහි ප්‍රගමනය හා ක්‍රමික විකාශනය උදෙසා අපමණ කැපවීමකින් කටයුතු කළ අග්‍රගණ්‍ය නිර්මාණකරුවෙකි. ඔහුගේ වියොවින් පසුව ඔහුගේ නිර්මාණ කටයුතු සුරකිමින්, එය ඉදිරියට පවත්වාගෙන යන්නේ ලයනල් රන්වලයන්ගේ පුත් සහන් රන්වලයි. රන්වලයන්ට උපහාර පිණිස මීට වසර 7ට කලින් කොළඹ ආනන්ද විද්‍යාලයේදී රන්වල බළකාය විසින් ආරම්භ කරනු ලැබූ ‘රන් සලකුණ’ සංගීත ප්‍රසංගය මෙම දෙසැම්බර් 01 දින සවස 6.00ට ආනන්ද විද­්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වෙනවා. මෙම ප්‍රසංගය ගැනත් රන්වල පදනමේ නිර්මාණ කටයුතු ගැනත් ඔහුගේ පුත් සහන් රන්වල රසඳුන හා පිළිසඳරක යෙදුණා.

 

“අ‍ෙප් තාත්තගේ ජන්ම දිනය යෙදෙන්නේ නොවැම්බර් 27 දාටයි. තාත්තා ඉපදුණේ 1939 නොවැම්බර් 27 කළුබෝවිලදී. ඔහුගේ පළමු සංයුක්ත තැටිය මීට අවුරුදු 20කට කලින් තමයි නිකුත් කළේ ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන්. තාත්තා එදත් කීවේ උපන් දිනය සමරන්න කරන දෙයක් රටේ යහපතක් වෙනුවෙන් කරන්න කියලා. තාත්තා නැති වුණේ 2002 නොවැම්බර් 13 දා. අපි නොකඩවා පවත්වාගෙන ආව ‘රන් සලකුණ’ ප්‍රසංගය මෙවරත් 8 වන වරට ආනන්ද විද්‍යාලයේදි පවත්වන්නේ තාත්තට උපහාරයක් ලෙසටයි.”

මෙම ප්‍රසංගයට අනුග්‍රහය දක්වන්නේ ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයයි. රන් සලකුණට මෙතෙක් ලැබුණු ප්‍රතිචාර කොහොමද?

රන්වල බළකාය, රන්වල ළමා බළකාය, රන්වල මතු පරපුර යන අංශ තුනම එකතුවෙලා තමයි මේ ප්‍රසංගය ඉදිරිපත් කරන්නේ. මෙහි ජනගායනා, ගීත නිර්මාණ, වාදනය, නර්තනාංග ආදී සියල්ලම ඇතුළත් ප්‍රාසාංගික ජන ගී අත්දැකීමක්. අතීතයේ ගැමි සුන්දරත්වය, දේශීයත්වය අපූරුවට මෙයින් ඔප් නැංවෙනවා. ඇත්තටම අපි හිතුවෙ නෑ “රන් සලකුණ” ට මෙච්චර දුරක් එන්න ලැබෙයිද කියලා. නොහිතපු තරම් දුරක් ආවා. ඒත් අවසානය මෙය නොවේ. තාම අපි ගමනක මගයි ඉන්නේ. දර්ශන වාර එක්දාස් ගණනක් පෙන්නුවා. විදෙස් සංචාර 7කට පමණ සහභාගි වුණා. විදෙස් රටවලදි විශාල ජන සහභාගිත්වයක් තිබුණා. ඒ විතරක් නෙමෙයි කොළඹ, ගම්පහ, ගාල්ල, කුරුණෑගල ආදියෙත් ප්‍රසංගවලට ළමයින් 1500ක් පමණ සහභාගි වුණා. මේ වන විට අපෙන් ඉගෙනගත් පිරිස 20,000 ට වැඩියි.

 

රන්වල පදනමෙන් ජන ගීය දේශීය බෙර වාදන ශිල්පය ආරක්ෂා කරගෙන යන්න සිදු කරන වැඩසටහන් මොනවාද?

අපි 2000 වසරේ ලංකාවේ ප්‍රථම ප්‍රාසාංගික කලා සය මාසික පාඨමාලාව ඇරඹුවා. ජනකලා කේන්ද්‍රයේ අපේ ගම පරිශ්‍රයේදි. ඊට අමතරව ගම්පහ, කුරුණෑගල, ගාල්ල පාඨමාලා ඇරඹුවා. ජන ගායනා නැටුමට සීමා නොකර දරුවන්ගේ අවබෝධය සම්බන්ධ විවිධ ඉගැන්වීම් රටාවක් ඔස්සේ විවිධ ප්‍රවීණ ශිල්පීන් සම්බන්ධ කරගෙන අංග රචනය, නර්තනය, බෙර වාදනය, රංගනය, ගායනය ඈ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දැනුම බෙදා දුන්නා. අපේ පදනමට සම්බන්ධ අයට මාධ්‍යවලින් හා රංගනයට අවස්ථාව ලැබුණා. 2011 වසරේ චීනයේ ෂැංහයි නුවර අන්තර්ජාතික ජන ගී ප්‍රසංගයේදී අපි ලොව හොඳම ජන ගී කණ්ඩායම බවට පත්වුණා. මේ වන විට අපි ගීත 150 පමණ නිර්මාණය කරලා අවසන්. සංයුක්ත තැටි, රූපමය සංයුක්ත තැටි 9ක් කළා. ඇත්තටම මේ සම්බන්ධයෙන් තියෙන පිබිදීම පුදුම සහගතයි.

 

සමාජයේ බො‍හෝ දෙනා අතර, සමාජ මාධ්‍ය ජාලා අතර ඉක්මනින්ජ නප්‍රිය වෙන්නේ අපිටම අනන්‍ය වූ ජන ගී නොවෙයි. බාල බොළඳ පහත්රුචිකත්වයක් ඇති ගීත නේද?

නරකට කෙනෙක් ඇබ්බැහි වුණත් ඔහු දන්නවා ඒක නරකයි කියලා. කොළ කැඳ හොඳයි කියලා දන්නවා වුණත් පානය කරන්න රුචි නැහැ. ඒත් කොළ කැඳ මිනිසුන්ට ලබා දෙන ක්‍රමය වෙනස් කළොත් ඒකට හුරු වෙනවා. බටහිර ගීත, බයිලා, ඉන්දියානු, කොරියානු ගීත ආදියට සවන් දෙන්න හොඳ නැහැ කියන්නෙ නැහැ. ඒත් හොඳ නරක තෝරා බේරා ‍ගැනීම ප්‍රබුද්ධ රසිකයා සතු කාර්යභාරයක්.

ලෝකයේ ඒ ඒ රටවලට ඊට ආවේණික අනන්‍යතාවක් තියනවා. එංගලන්තයේ කිසිම ගොඩනැගිල්ලක් හදන්න බැහැ බ්‍රිතාන්‍ය අනන්‍යතාවයෙන් ඔබ්බට ගිය. එංගලන්තයේ මහරැජින ඉන්නේ රජපවුල ඒ රටට අභිමානයක් නිසයි. තායිලන්තයට ගිහින් බලන්න ඒ රටේ අනන්‍යතාව. සුද්දෝ ලංකාවට ඇපල් කන්න එන්නෙ නෑ. අපි සුද්දන්ට ඇපල් ම දෙනව නම් ඒක මහා විහිළුවක්. ඒ නිසා හැම දෙනෙක්ම දැනගන්න ඕනෑ දේශීයත්වය ලාංකිකත්වය අපේකම රැකගන්න. ඒකට පාලක පාලිත දෙපක්ෂයේම සහාය අවශ්‍යයයි. ඇතැම් බටහිර රටවල් පවා අපේ ජන ගීත ලාංකේය අනන්‍යතාව ඇති නිර්මාණ අගය කිරීම සිදු වෙනවා.

 

රන්වල පදනමේ ඉදිරි වැඩසටහන් රැසක් පෙළගස්වලා තිබෙනවා නේද?

නොවැම්බර් 30 දින ගයමු ප්‍රසංගය නිදහස් චතුරස්‍රයේ සවස 6.00 පැවැත්වෙනවා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ එකමුතුවෙන්. සෑම සෙනසුරාදාවකම සවස මෙම වැඩසටහන නිදහස් චතුරස්‍රයේ පවත්වනවා.

දෙසැම්බර් 7 සවස ගාල්ල කොටුවේ. දෙසැම්බර් 8 සවස 5.00 ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ කුඩා ළමයින්ට ජන ගී සංදර්ශන පැවැත්වෙනවා.

දෙසැම්බර් 22, 23 ඩුබායි, අබුඩාබි නගරවලත් ප්‍රසංග පැවැත්වෙනවා. දෙසැම්බර් 29 සවස ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේ ප්‍රසංගයක් තියනවා.

ජන ගී, නැටුම්, රංගනය සම්බන්ධ මාස 6 පාඨමාලා පැවැත්වෙනවා. මෙම පාඨමාලා තුළින් අපි ලබා දෙන්නේ සෑම අංශයක් පිළිබඳවම ප්‍රායෝගික දැනුම් සම්භාරයක්. බෙර වාදනයට, පැරණි සංගීතයට ප්‍රිය කරන ‍ඔබටත් පුළුවනි ඔවුන් සමඟ එක්වීමට.

රන්වල පදනම, පන්සල පාර,

තලවතුගොඩ ඔවුන්ගේ ලිපිනයයි.

Comments