චිරං ජයතු ජන­ප­තිඳේ | සිළුමිණ

චිරං ජයතු ජන­ප­තිඳේ

ජයාරූපය  විමල් කරුණාලක
ජයාරූපය විමල් කරුණාලක

මා පළමු වරට ඔහු නෙත ගැටුණේ 2005 ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට සිය සොයු­රාට උදව් උප­කාර කර­න්නට පැමිණ සිටිය දී අර­ලි­ය­ගහ මන්දි­රයේ දී ය. එදා ද සුපු­රුදු පරිදි “හා, කොහොම ද” යනු­වෙන් මා ඇමතූ ඔහු කෙටි පිළි­ස­ඳ­ර­කින් පසු ඉහළ මාලයේ පඩි පෙළ නඟි­න්නට විය.

ඊට පසුව තිස් අවු­රුදු යුද්ධය නිමා කර­න්නට ඇවැසි සියලු සැල­සුම් සකස් කර­න්නට යුද විශේ­ඥ­යන් හා එක් වූ ඔහු ලාංකේය ජන­තා­වට බියෙන් හා සැකෙන් තොරව ජීවත් වන්නට හැකි පරි­ස­ර­යක් නිර්මා­ණය කිරීමේ පුරෝ­ගා­මියා වී ඒ ජන අපේක්ෂා මුදුන් පත් කර­න්නට කළ මෙහෙය ගැන අමු­තු­වෙන් විස්තර කිරීම ගහ දන්න මිනි­හාට කොළ කඩා පෑමකි.

ප්‍රභා­ක­ර­න්ගෙන් හා කොටි ගෝල බාල­ය­න්ගෙන් අනන්ත අප්‍ර­මා­ණව පීඩා විඳ හෙම්බත් වී සිටි උතු­රු­කරේ මෙන් ම නැඟෙ­න­හිර ද ජන­තා­වට පහ­සු­වෙන් හුස්මක් කටක් ගන්නට මානු­ෂීය මෙහෙ­යුම ඔස්සේ ඉඩ­හ­සර පෑදූ ඔහු සිය සොවුරු බැසිල් රාජ­ප­ක්ෂ­යන් හා එක්ව ‘උතුරු වස­න්තය’ට මෙන්ම ‘නැඟෙ­න­හිර නවෝ­දය’ට පණ පොවද්දී ඒ දෙප­ළාතේ ජනී ජන­යාගේ හද­ගැස්ම අල්ලා බැලීමේ අව­ශ්‍ය­තා­ව­ය­කින් ම සිත පෙළෙ­න්නට විය. ඒ වුව­ම­නාව ගැන මා ලිපි­යක් ලියා­ගෙන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යට ගියේ ඊට අනු­මැ­තිය ලැබේ ද නො ලැබේ ද යන දෙගි­ඩි­යා­වෙනි.

ආර­ක්ෂක ලේක­ම්ව­රයා වූ ගෝඨා­භය රාජ­පක්ෂ වෙත මා විසින් ලියා­ගෙන ගිය ලිපිය එවක ඔහුගේ පෞද්ග­ලික සහ­කා­ර­ව­රයා සේ හුන් ආර්. ජය­සේන. ද සිල්වා විසින් කර්නල් තිලාන් අතු­කෝ­රාල වෙත යොමු කොට මහ වේලා­වක් යන්නට මත්තෙන් ආර­ක්ෂක ලේක­ම්ව­ර­යාගේ අනු­මැ­තිය ඇතිව සැකසූ ලිපි­යක් මා අත පත් කර­න්නට තරම් ඔහු බෝ නිහ­ත­මානී වූ අයුරු සිහි­පත් කර­න්නෙමි.

හත්වැනි ජනා­ධි­පති ධුර­යට අති විශාල ජන­ව­ර­මක් ලැබ ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාල­කයා බවට පත් වූ ඔහුගේ ඒ ගුණ­ග­රුක බවට හිස නමා ආචාර කර­න්නට මේ අව­ස්ථාව උප­යෝගි කර­ග­නිමි.

යුද්දෙන් විනාශ වූ උතු­රු­කරේ දෙමළ ජනී ජනයා කෙත­රම් දුක් කන්ද­රා­වක් විඳි­මින් සිටින්නේ ද යන්න දෙස­ති­යක් පුරා වව්නි­යාව, කිලි­නො­ච්චිය මන්නා­රම, මුල­තිව් හා යාප­නය යන දිස්ත්‍රි­ක්ක­යන් හි ගම්බිම් බෝ ගණ­නා­වක සැරි­ස­ර­මින් හොයා රැස්ක­ර­ගත් තොර­තු­රු­ව­ලින් 2010 පෙබ­ර­වාරි මහේ පටන් සති ගණ­නා­වක් සති අන්ත පුව­ත්පත් ඔස්සේ ලාංකේය ජන­තාව වෙත සන්නි­වේ­ද­නය කර­න්නට අපට හැකි විය. එදා ‘උතු­රු­කරේ හද­ගැස්ම’ මැයෙන් ලිපි පෙළක් ලිය­න්නට අපට හැකි වූයේ ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් විසින් අපට දක්වන ලද අනු­ග්‍ර­හය නිසා බව සට­හන් කිරීම කෙසේ නම් පැහැර හරිම් ද?

කිලි­නො­ච්චියේ සිට වලෙ­යි­පාඩු ගම්මා­න­යට කිලෝ­මී­ටර් හත­ළිස් පහක දුර බැහැර ගෙවා ළඟා වෙන්නට අපට පැය හයක තරම් කාල­යක් ගත කර­න්නට සිද්ධ වූ අයුරු මා සිතට නැඟෙන්නේ එවක පැවති ඛේද­ජ­නක තත්ත්වය දිගෑ­රෙ­මිනි. යුද්ධය නිමා වී මාස දහ­ය­කට පසු අප එහි යන විට තේ උගු­රක් පවා බොන්නට පුංචි කඩ­කෑ­ල්ලක් හොයා­ගැ­නීම පවා උග­හට විය. ඒ වන විට මැණි­ක්ෆාම් කඳ­වුරේ සිට එගම් වැසි­යන් යළි සිය ගෙපැල් කරා ඇවිත් ඉතා කෙටි කලකි.

ඒ වන විට වවු­නි­යාව යුද හමුදා මූල­ස්ථා­නා­ධි­ප­ති­ව­රයා වූයේ මේජර් ජන­රාල් අද ආර­ක්ෂක ලේක­ම්ව­රයා සේ පත් වීම් ලැබ සිටින කමල් ගුණ­ර­ත්න­යන් ය.

කිලි­නො­ච්චියේ ආඥා­ප­ති­ව­රයා වූයේ මේජර් ජන­රාල් රාජ­ගුරු ය. යාප­නයේ අඥා­ප­ති­ව­රයා මේජර් ජන­රාල් මහින්ද හතු­රු­සිංහ ය. ඒ හැම දෙනා ම අපට බෝ හොඳින් සැලකූ වග ද අද දවසේ ලියා තබන්නේ ඔවුන් දැක්වූ මිනි­ස්ක­ම­ට ගරු කිරීමක් ලෙසිනි.

උතුරේ අහිං­සක දෙමළ මිනි­සුන්ගේ දුක් වේදනා ද ඔවුන්ගේ අනේ­ක­විධ ගැට­ලු­ව­ලට විස­ඳුම් ද කීවේ ඔවුන් ම වග කිව­යුත්තේ ය.

ඊට පසු නැඟෙ­න­හිර ගිය මා දෙස­ති­යක් අම්පාර, මඩ­ක­ල­පුව හා ත්‍රිකු­ණා­ම­ලයේ ද සංචා­රයේ නිරත වූයේ නැඟෙ­න­හිර වැස්සන් අත්වි­ඳින්නා වූ කටුක ඝෝර දිවි පෙවෙත කෙබ­ඳු­දැයි හොයා­ගෙ­නයි. හමු­දාවේ දැඩි ආර­ක්ෂා­වක් ඔවු­නට ලැබෙන අයුරු ද ඔවුන්ගේ ගැටලු ද අප දැක­බලා හඳු­නා­ගත්තේ කුරිරු යුද්ධ­යක නිමා­වෙන් පසු උරුම වී ඇති දායා­ද­යන් කෙබ­ඳුදැ යි අත්ද­කි­මිනි.

අප තොප්පි­ගල යන විට දැක්කේ සිය ඉඩ කඩම් හොයා ගෙන යළි පැමිණ සිටින මිනි­සුන් ද ගැහැ­නුන් ද සිය ගණ­නා­වකි. ප්‍රභා­ක­රන් තිස් වස­රක පටන් අරඹා තිබුණු යුද්ධය වසර දෙක හමා­ර­කින් අව­සන් කර ලොව මහා යුද විශේ­ෂ­ඥ­යන් පවා අන්ද­මන්ද කළ එහි සැල­සු­ම්ක­රුවා අද රටේ රාජ්‍ය­ත්ව­යට පත් කර­න්නට රට වැසි­යන් ඉතා බුද්ධි­මත්ව ගත්තු තීන්දුව ප්‍රශස්ත කාර­ණා­වක් බව ද කිව­යුත්තේ ම ය.

ගෝඨා­භය රාජ­පක්ෂ නම් ඔහු 1949 ජුනි මහේ 20 වැනිදා මාතර පාල­ටුවේ සිය මෑණි­යන් වූ දන්දිනා සම­ර­සිංහ දිසා­නා­යක මැති­නි­යගේ මහ ගෙදර දී උපත ලැබුවේ ය.

ලාංකේය නිද­හස් අර­ග­ල­යට පණ පෙවූ ‘සූරි­ය­මල්’ ව්‍යාපා­රයේ නිය­මු­වන් වූයේ දොස්තර එස්. ඒ. වික්‍ර­ම­සිංහ, ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, පිලිප් ගුණ­ව­ර්ධන හා එම්. ජී. මෙන්ඩිස්, ලෙස්ලි ගුණ­ව­ර්ධන ආදී වාමාං­ශික දේශ­පා­ලන නාය­ක­යන්ය. එවුන් හා එක්ව උරෙ­නුර ගැටෙ­මින් රුහුණේ වලව් පැළැ­න්තියේ හාමු­ලාට පාඩම් පිට පාඩම් උග­න්ව­මින් සුදු අධි­රා­ජ්‍ය­වා­දීන්ට මහා කර­ද­ර­කා­ර­යකු බවට පත් වී රුහුණේ සිංහයා යැයි විරු­දා­ව­ලිය ලද රාජ්‍ය­ම­න්ත්‍රණ සභාවේ පෙරළි කළ ඩී. එම්. රාජ­පක්ෂ නම් මහ­ජන නියෝ­ජි­ත­යාය. ඔහුගේ වියෝ­වෙන් පසු පුර­ප්පාඩු වූ මන්ත්‍රී ධුර­යට පොදු­ජන කැමැ­ත්තනේ නිත­ර­ග­යෙන් තේරී­පත් වූ වීර­කැ­ටියේ මැද­මු­ලන ගම්මා­නයේ විසූ ලංකා පාර්ලි­මේ­න්තුවේ උප කතා­නා­ය­ක­ව­ර­යකු මෙන් ම වාරි­මාර්ග ඉඩම් සංව­ර්ධන ඇම­ති­ව­ර­යකු ශ්‍රී ලංකාවේ නිද­හස් අර­ග­ල­යට පණ­පෙවූ ඩී එම් සොයුරු ඩී. ඒ. රාජ­ප­ක්ෂ­යා­ණන් ගේ සිව්වැනි පුත­ණු­වන් වූ ගෝඨා­භය කොළඹ ආනන්ද විදු­හ­ලෙන් අකුරු කිරීම අරඹා අන­තු­රුව යුද හමු­දා­වට එක්වීම මේ රටේ අනා­ග­තයේ ආර­ක්ෂාව හා රැක­ව­ර­ණ­යට සොබා­ද­හම විසින් ම නිර්මා­ණය කළ උදාර පුත් රුව­නක් බව ඉතා පැහැ­දිලි ය.

චමල්, ජයන්ති, මහින්ද, චන්ද්‍රා, බැසිල්, ප්‍රීති, ඩඩ්ලි හා ගාන්දිනී යන සොහො­යු­රන් පස් දෙනකු හා සොවු­රි­යන් තිදෙ­න­කුත් අතර පස්වැන්නා සේ උපත ලද ගෝඨා­භය පාසල් අධ්‍යා­ප­නය හමාර කිරී­මෙන් අන­තු­රුව ශ්‍රී ලංකා යුද හමු­දා­වට එක් වන තුරු කිසිදු වේලා­වක සිය කාලය අපතේ නොහැර රන්සේ රකි­මින් නේක විධ පර්යේ­ෂ­ණ­ව­ලට වැය කළ බව දන්නේ කී දෙනා­ගෙන් කී දෙනා ද?

ගෝඨා­භය ශ්‍රී ලංකා යුද හමු­දා­වට එක්වූයේ 1971 බක්මහේ දී ය. හරි­යට ම කිය­නවා නම් බක්මස විසි හය වැනිදා ය. ඒ වන විට ඔහුගේ මද්දු අයියා මහින්ද රාජ­පක්ෂ ශ්‍රී ලංකා රාජ්‍ය සභාවේ බෙලි­අත්ත අසුන නියෝ­ජ­නය කර­මින් ළාබාල ම මන්ත්‍රී­ව­රයා ලෙස බෙලි­අත්තේ ඡන්ද­දා­ය­ක­ය­න්ගෙන් වරම් ලැබ ගත වී තිබුණේ ඉතා කෙටි කාල­යකි. ඔහු කැඩෙට් නිල­ධා­රි­යකු සේ දිය­ත­ලාව හමුදා පුහුණු මධ්‍ය­ස්ථා­න­යෙන් සාර්ථ­කව සිය පුහුණු කට­යුතු නිමා කර 1972 මැයි මස දෙවැනි ලුති­න­න්ව­ර­යකු සේ කොමි­සන් ලැබී ය. සංඥා බළ­කායේ නිල­ධා­රි­යකු සේ සම්බන්ධ වූ හේ වස­රක පුහු­ණු­වක් ලද්දේ ඉන්දි­යාවේ රාව­ල්පිණ්ඩි හි යුද පුහුණ පාසලේ දී ය.

කොටි ත්‍රස්ත­වා­දීන් හා පැවති සට­න්වල දී අභී­තව සිය වග­කීම් සම්භා­රය රට වෙනු­වෙන් කළා වූ ගෝඨා­භය රාජ­පක්ෂ එවක ලුති­නන් කර්න­ල්ව­ර­යකු සේ ප්‍රභා­ක­රන් අල්ලා­ගැ­නීමේ ඔන්න මෙන්න තිබි­යදී ඉහ­ළින් ඒ මෙහෙ­යුම නැවැ­ත්වී­මට ඉහ­ළින් ලද නියෝ­ගය මෙරටේ කොටි­යන් විසින් ඇරඹු යුද්ධය තිස් හවු­රු­ද්දක් දක්වා ඉදි­රි­යට ඇදී ගියේ ය. කෙසේ හෝ ගජබා රෙජි­මේ­න්තුව ඇර­ඹී­මෙන් පසු ඊට එක්වූ ගෝඨා­භය රාජ­පක්ෂ උතු­රු­කරේ ඇරඹි යුද මෙහෙ­යුම් ගණ­නා­ව­කට සිය දාය­ක­ත්වය සැපයූ ආකා­රය බොහෝ පත්තර සගයෝ හොඳින් දනිති. යාප­නය කොටුව අල්ලා­ග­න්නට කළ අති බිහි­සුණු මෙහෙ­යුමේ දී ඔහු කළ අනගි මෙහෙය කෙසේ විස්තර කර­න්නද? ඔහු එතැ­නට ගියේ සන්නාහ සන්නද්ධ බළ­කායේ සේව­යෙන් පසුව ය.

ජෙන­රාල් ඩෙන්සිල් කොබ්බෑ­ක­ඩුව හා ලුති­නන් ජන­රාල් විජය විම­ල­රත්න යන වීරෝ­දාර සෙන්ප­ති­යන් හා ඉතා ළඟින් හිඳි­මින් ගෝඨා­භය සිය උසස් නිල­ද­රු­වන් දෙන්නා සමඟ ගජබා රෙජි­මේ­න්තුවේ ලුති­නන් කර්නල් වර­යකු සේ උතු­රු­කරේ ජනයා ප්‍රභා­ක­ර­න්ගෙන් ගලවා ගන්නට දැරූ ධෛර්යත් සිය පණ­මෙන් ආදරේ කළ කොබ්බෑ­ක­ඩුව හා විම­ල­ර­ත්න­යන් අරාලි තුඩු­වේදී ජීවි­ත­ක්ෂ­යට පත් වීමත් නිසා ඔහු කෙත­රම් මාන­සික පීඩා­ව­කට වින්දේ ද යන්න දන්නේ ඔහු පමණි.

ඒ ගැන මේජර් ජන­රාල් කමල් ගුණ­ර­ත්න­යන් විසින් ලියන ලද කෘති­යෙන් ලාංකීය පාඨ­ක­යන් විශාල පිරි­සක් කිය­වන ලද බව විශ්වාස කරමි. ඔහු මෙතෙක් ලංකාවේ බිහිවූ රාෂ්ට්‍ර පාල­ක­යන් අත­රින් ඉහ­ළම සුදු­සු­කම් ලද නර­ප­ති­යා­ණන් බව සඳ­හන් කරන්නේ ඔහු හදා­රන ලද නේක විධ විෂ­යන් හි නිපු­ණ­යෙකු බව පෙනේ.

1983 දී මදු­රාසි විශ්ව­වි­ද්‍යා­ල­යෙන් ආර­ක්ෂක හැදෑ­රීම් හමාර කරන ලද්දේ ඇම්. ඒ. උපා­ධි­යක් ලබ­මිනි. කොළඹ සර­ස­වි­යෙන් තොර­තුරු තාක්ෂ­ණ­වේ­දය පිළි­බඳ පශ්චාත් උපා­ධි­යක් ලද ගෝඨා­භය අන­තු­රුව 2009 දී ගෞරව ආචාර්ය ධුර­යක් පිරි­න­මන ලද්දේ ඔහු විසින් රටට දැයට සම­යට කරන ලද අමිල සේවාව වෙනු­වෙනි.

සිය සොවු­රා­ණන්ගේ ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් ධුරය හොබ­ව­මින් යුද්ධ­යක් නිමා කර­න්නට ත්‍රිවිධ හමු­දාව පොලි­සිය හා සිවිල් ආර­ක්ෂක බළ­කා­යත් ඉතා බුද්ධි­මත්ව හසු­රු­ව­න්නට තරම් උපාය උප­ක්‍ර­ම­යන් හි දක්ෂතා දැක්වූ ඔහු එක තැන පල්වෙ­මින් ගඳ ගස­මින් පැවති බේරේ වැව හා ඒ අවට පරි­ස­රය ලෝකයේ අන් දියුණු නුව­ර­වල් හා නොදෙ­වෙනි කර­මින් කොළඹ පුර­ව­රය ලෝකයේ වඩාත් සිත්ගත් නගර අත­රට එක් කර­න්නට තරම් සම­ත්කම් පෑවේ නාග­රික සංව­ර්ධ­නයේ ලේකම් තන­තුර ලැබී­මෙන් පසුව යි.

ගෝඨා­භය රාජ­පක්ෂ නම් හත්වැනි ජනා­ධි­ප­ති­ව­ර­යා­ණන් ස්වකීය පද­වි­යට පත් වී දින දෙකක් තුනක් ඇතු­ළත මේ රට යොමු විය යුතු දිසා­න­තිය කෙබ­ඳු­දැයි රටට, ජන­තා­වට ලෝක­යාට පෙන්වී­මට තරම් සම­ත්ක­මක් පා ඇත. අප එසේ සඳ­හන් කරන්නේ ගෝඨා­භය රාජ්‍ය නාය­ක­ත්ව­යට පත් වුව­හොත් යන බියෙන් ගැහෙ­මින් පසුවූ හොරුන් තක්ක­ඩි­යන් හා දූෂි­ත­යන් ද පාතාලා කුඩු රජ­ව­රුන් ද කීවේ ඔහු හමු­දා­කා­ර­යකු මිස දේශ­පා­ල­නය ගැන කිසි­වක් නොද­න්නකු බවයි.

ගෝඨා­භය යනු දේශ­පා­ලන පන්න­ර­ය­කින් පිරිණු පවු­ලක සමා­ජි­ක­යෙකි. ඔහු පැටි සංදියේ පටන් ම දැක්කේ තම පියා­ණන් විසින් අහිං­සක ගිරු­වා­ප­ත්තුවේ ගොවි­යන් ධීව­ර­යන් එක්ක කරන දේශ­පා­ල­නය බව මේ මුග්ධයෝ නොදත්හ.

කෙසේ වූවත් ලෝකයේ දිළි­ඳු­කම කර­පින්නා ගත් රටක් බවට ගෙවී­ගිය සිවු වස­රක කාලය තුළ ආප­ස්සට යමින් පැවති ශ්‍රී ලංකා­ද්වී­පය නම් අපේ මවු­බිමේ වත්මන් භාර­කා­ර­ත්වය ලද ඔහු වෙත පැවරී ඇති වග­කීම් කන්ද­රාව නම් එසේ මෙසේ ප්‍රමා­ණ­යක් නොවේ. දැවැන්ත අභි­යෝග රැසක් ඔහු හිස මත පැටවී ඇත්තේ ය.

විනා­ශය කරා ඇද දමා ඇති හෙළ බොදු සංස්කෘ­ති­යේත්, ආර්ථි­ක­යේත් ජාතික ආර­ක්ෂා­වේත් ඉදිරි මංපෙත සාර්ථ­කව ඉදි­රි­යට ගෙන යෑමට ඔහු මනා සංය­ම­ය­කින් යුක්තව කට­යුතු කළ යුතු වග අපට පෙනේ. ඔහු දිහා බලා සිටින්නේ මේ රටේ ජන­තාව පම­ණක් නොවේ. විශේ­ෂ­යෙන් ම මවු­බි­මට හතු­රු­කම් කර­න්නට කල්ම­ර­මින් සිටින මේ බිමේ ම උපන් නරුම ප්‍රති­ගා­මී­ත්වය ද බට­හිර ප්‍රති­ගා­මී­ත්වය ද දෑස් දල්වා­ගෙන බෝ විම­සි­ලි­මත්ව බලා හිඳින වග අපි දනිමු.

ගෝඨා­භය රාජ­පක්ෂ නම් නර­ප­ති­ව­ර­යා­ණන්ට වියත් මඟ ගොනුව හිඳින විය­තු­න්ගෙන් අනන්ත අප්‍ර­මාණ සහා­යක් මේ රට වැටී තිබෙන අගා­ධ­යෙන් ගොඩ ගන්නට පිහි­ටා­ධාර ලැබේ ය යනු අපගේ ඒකාන්ත විශ්වා­සය යි. දෙස් විදෙස්හි සිටින නේකා­කාර දක්ෂතා හැකියාවන් ගෙන් සපිරි මේ බිමට ආද­රය කරන දේශ­මා­මක සියලු දෙනා එක මිට­කට කැටි කර­ග­න්නට රාජ­පක්ෂ නව ජනා­ධි­ප­ති­ව­ර­යා­ණන්ට ඇති හැකි­යාව කෙරෙහි පොදු මහ­ජ­න­තාව නිබ­ඳ­වම බලා හිඳී.

මුල්ගි­රි­ගල, කසා­ගල, හාත­ගල නයි­ගල ආදී රාජ මහා වෙහෙර විහාර ඇසු­රෙන් ජීවය ලද ඩී. එම්. රාජ­පක්ෂ සහ ඩී. ඒ. රාජ­පක්ෂ පර­පු­රු­වල පුරු­කක් වන්නා වූ ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­පති පද­වියේ දිවු­රුම් දෙමින් කළ ප්‍රකා­ශය අති ශ්‍රේෂ්ඨ එකකි. ඔහු පැව­සුවේ බෞද්ධ දර්ශ­නය ඔස්සේ හැදී වැඩුණු තමන් සිංහල බෞද්ධ සංස්කෘ­තියේ හර පද්ධ­තිය අනුව යෙමින් හැම විට කාලය ගත කර­න්නාක් සේ ම ඒ මඟ අනුව රට මෙහෙ­ය­ව­න්නට සැදී පැහැදී සිටින වග යි.

සියලු ජන කොට­ස්ව­ලට කිසිදු බේද­ය­කින් තොරව සල­කන වගයි. තමන් ජන­ප­ති­ව­රයා බවට පත් වූයේ සිංහල ඡන්ද­දා­ය­ක­යන්ගේ කති­ර­යෙන් වුවත් තමන්ට විරු­ද්ධව ඡන්ද දුන් සැම­ටත් එක සේ සමා­නව සල­ක­න්නට තමන් බැඳී සිටින වග ඔහු සපථ කළේ ය.

ඔහුගේ ඍජු ගුණාං­ග­ව­ලට එය කදිම සාක්ෂි­යකි. ආනන්ද විදු­හ­ලෙන් ලද බෞද්ධ පරි­ස­ර­යෙක හැඩ ගැසී­මත් යුද හමු­දවේ නිල­ද­රු­වකු සේ ලද හික්මීම හා වින­ය­ග­රුක බවත් ඔහු පසු­ගිය ජනා­ධි­ප­ති­ව­රණ සටනේ දී පෙන්වීය.

ඔහු වින­යට මුල්තැන දෙන උතුම් මිනි­සෙකි. මේ රටේ හැම අංශ­යක්ම පිරිහී විනාශ වී පව­තින්නේ විනය කෙරෙහි පැවති අඩු සැල­කි­ල්ලයි. විවෘත ආර්ථික ක්‍රම­යෙන් අප ලද්දේ අය­හ­පත් දේවල් ම ය. එයින් රට තොට මෙන් ම ජනතා සිත්ස­තන් ද දූෂ්‍ය වී විනාශ වී පවතී. ඉතින් මේ විනාශ වූ රට යළි බොදු දසුන මුල් කොට­ගත් මෙත්සි­තින් පිරි ජන­තා­වක් ස්ථාපිත කර­න්නට නම් අංක එක සේ පෙන්වා දිය හැක්කේ හැම පුර­වැ­සි­යාම රටේ වින­ය­ග­රුක පුද්ග­ල­යකු විය යුතු බවයි.

විනාශ වෙමන් පව­තින මේ රටේ වෙසෙන දෙමළ හා මුස්ලිම් මෙන් ම අන්‍ය ජන­කො­ටස් හි පව­තින නොහොඳ නෝක්කා­ඩු­කම් දුරින් දුර­ල­න්නට හැකි පිළි­ය­මක් වේ ද එය අප්‍ර­මා­දව කළ යුත්තක් බව ඉතා පැහැ­දිලි ය. අප කතා කරන්නේ සිංගි­රි­සිය. ඒත් අප අස­ල්වැ­සි­යාගේ බස දෙමළ කතා කර­න්නට හෝ ඉගෙන ගන්නට හෝ අක­මැති ය. නැත්නම් උව­ම­නා­වක් නැත. එසේත් නොවන්නේ නම් අපේ බෙදීම වාසි­ය­කට හර­වා­ග­න්නට කැස කැවූ පාල­කයෝ අප එකි­නෙ­කාගේ බස උගැ­න්මට ජන­තා­වට ඉඩ හස­රක් පෑදී­මෙන් වැළකී සිටි­යහ. එයින් රටක් සේ ජාති­යක් සේ අපට සිද්ධ වූයේ අවු­රුදු සිය­ය­ක­ටත් වඩා පසු­ප­සට ගොස් සුසු­ම්ල­මින් බලා හිඳි­න්නට ය. ලෝකයා ඉදි­රි­යට යද්දී අපි යුද වැදු­ණෙමු. ඒ අපේ ම රටේ අපේ ම අස­ල්වැසි සහෝ­ද­ර­යන් සමඟ ය.

ඉදින් මෙය තව දුර­ටත් එසේ නොකළ යුත්තේ ය. වහ වහා එය නතර විය යුත්තේ ය. අපේ වත්මන් ජනා­ධි­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යා­ණන්ට මේ ගැන අමු­තු­වෙන් පෙන්වා දිය යුත්තක් නොවේ. කෙසේ හෝ වේවා ඔබට ගමන් කර­න්නට සිදු වී ඇත්තේ අතුරේ ගම­නකි. ඒ ගමන බෝ සීරු මාරු­වට යා යුතු බව පෙන්වා දීමට කැමැ­ත්තෙමු. නිබ­ඳ­වම අත්වැල පරෙ­ස්ස­මට අල්ලා ගන්නට දිරිය ශක්තිය ඇති­වේවා යනු සුව­හ­සක් ලාංකේය පොදු මහ ජන පැතු­මයි.

චිරං ජයතු ජන­ප­තිඳේ!

 

Comments