ලාහෝර් ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියකට ශ්‍රී ලංකාව එක් වෙයි | සිළුමිණ

ලාහෝර් ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියකට ශ්‍රී ලංකාව එක් වෙයි

 

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර දහයකට පසු ටෙස්ට් තරගාවලියකට සහභාගී වීම සඳහා දෙසැම්බර් මස පාකිස්තානයේ සංචාරයකට එක් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි. ලෝක ටෙස්ට් තරගාවලිය යටතේ පැවැත්වෙන මෙකී තරගාවලිය තරග දෙකකින් සමන්විතය. රාවල්පිණ්ඩි සහ කරච්චිහිදී මෙකී තරග දෙක පැවැත්වීමට නියමිතය.

 

මීට පෙර මුලින් සැලසුම්කර තිබුණේ ඔක්තෝබර් මාසයේ ටෙස්ට් තරගාවලිය පවත්වා දෙසැම්බර් මාසයේ සීමිත ඕවර තරගාවලිය පැවැත්වීමටය. එහෙත් පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳ පැවැති අවිනිශ්චිතභාවය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් මෙකී තරගාවලිය ආරම්භයේදී ඊට අකැමැත්ත ප්‍රකාශ කළ අතර, පසුව පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් කරන ලද ඉල්ලීමට එකඟ විය. ඒ අනුව ආරක්ෂාව පිළිබඳ පූර්ව නිගමනයකට පැමිණීමට තරග තුනකින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කළ අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට නවකයින් පිරිවරා ගොස් එකී තරගාවලිය 3-0 කින් ජය ගැනීමට සමත්විය. එකී විස්සයි 20 තරගාවලියට සපයා තිබූ ඉහළ ආරක්ෂාව සලකා බලා ටෙස්ට් තරගාවලියට එක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් එකඟතාව පළ කර තිබේ.

 

ටෙස්ට් සංචාරය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරි ඇෂ්ලි ද සිල්වා ප්‍රකාශ කරන්නේ “අපේ කණ්ඩායමේ පාකිස්තාන් සංචාරය ස්ථිර කරන්න කැමැතියි. මීට පෙර කළ සංචාරය අනුව පෙනී යනවා, ටෙස්ට් තරග ක්‍රීඩා කිරීම සඳහා සුදුසු වටපිටාවක් පාකිස්තානයේ තියෙන බව” යැයි පවසයි.

 

පාකිස්තානයේ පැවැති විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය නායක ලසිත් මාලිංග ඇතුලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනකු ප්‍රතික්ෂේප කළ අතර, ඉන් පසුව දසුන් ශානකගේ නායකත්වය යටතේ සුපිරි නවක කණ්ඩායමක් එකී තරගාවලියට එක් වූ අතර එහිදී 3-0 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. එකී සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළ රුමේෂ් රත්නායක ශ්‍රී ලංකා කණ්ඩායමට සපයා තිබූ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ ප්‍රසාදයක් පළ කළේය. රුමේෂ් එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේ තවත් කණ්ඩායම් නුදුරු අනාගතයේදීම පාකිස්තානයේ සංචාරයට එක්වනු ඇති බවයි.

දිමුත්
මේ වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා දිමුත් කරුණාරත්නයි. ටෙස්ට් තරග හයකදී ලකුණු 427 ක් රැස් කර තිබේ. වැඩිම ලකුණු සංඛ්‍යාව 122කි. ඒ නවසීලන්තයට එරෙහිව ගාල්ලේදීය. එක් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් රැස් කර තිබේ. ඉනිමක වැඩිම ලකුණු ලාභියා කුසල් ජනිත් පෙරේරායි. කුසල් දකුණු අප්‍රිකාවට එරෙහිව නොදැවී ලකුණු 153ක් රැස් කළේය.
 

 

මෙහිදී අන්තර්ජාතික ක්‍රිකට් පිළිබඳ පාකිස්තාන ක්‍රීකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ ශකීර් ඛාන් ප්‍රකාශ කර තිබුණේ මෙය පාකිස්තානයට සුවිශේෂී පුවතක්. එයින් තහවුරු වෙනවා පාකිස්තානයත් අනිත් රටවල් වගේම ආරක්ෂාකාරී කියන එක. යැයි වැඩිදුරටත් පවසයි.

 

පාකිස්තානයේ අවසන් වතාවට ටෙස්ට් තරගාවලියකට එක් වූ කණ්ඩායම වන්නේ ද ශ්‍රී ලංකාවයි. 2009 මාර්තු 03 දා ලාහෝර් ප්‍රහාරයත් සමඟ ම කිසිදු අන්තර් ජාතික මට්ටමේ ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයේ ටෙස්ට් තරග සඳහා එක් නොවුහ. එම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හත් දෙනකු තුවාල ලැබුහ. ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ගමන් කළ පරිවාර රථ පෙළෙහි රියදුරෙකු සහ පොලිස් නිලධාරීන් හය දෙනකු 3/3 ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් විය. මේ වසරේ මාර්තු 3 දාට හරියට එකී සිද්ධියට වසර දහයකි.

 

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර 1982 – 2017 දී ටෙස්ට් තරග 53ක් පවත්වා තිබේ. ශ්‍රී ලංකාව තරග 16ක් ජයගෙන ඇති අතර පාකිස්තානය තරග 19ක් ජයගෙන තිබේ. විසඳුමකින් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 18කි. පාකිස්තානයේ දී අවසන් වතාවට ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කර ඇත්තේ ද ශ්‍රී ලංකාවයි. ඒ 2008 – 09 දීය. එහිදී කරච්චි පැවැති පළමු ටෙස්ට් තරගය ජය පරා‍ජයෙන් තොරව අවසන් විය. ශ්‍රී ලංකාව මුල් ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 644 යි. දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 144යි. පාකිස්තානය මුල් ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 765 යි.

 

ලාහෝර් පැවැති ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහර දුන් පාකිස්තානය සියලුම දෙනා දැවී ලකුණු 606 ක් රැස් කළ අතර, ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 110 ක් රැස් කරගෙන සිටි මොහොතේ තෙවැනි දිනයේ පන්දුවට පහර දීමට පිටියට පිවිසෙන විට 3/3 ප්‍රහාරයට ලක්විය.

 

1982 – 2009 දී ශ්‍රී ලංකාව පාකිස්තානයේදී තරග 21 කට ක්‍රීඩා කර තිබෙන අතර එහිදී තරග 6ක් ජයගෙන තරග 8ක් පරාජය වී තිබේ. ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 7කි.

 

ශ්‍රී ලංකාව අවසන් වරට පාකිස්තානයේදී ටෙස්ට් තරගයක් ජය ගෙන ඇත්තේ 2000 දීය දෙපිල අතර පේෂාවර්හි පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 57 කින් පාකිස්තානය පරාජය කිරීමට සමත් විය. තරග තුනකින් සමන්විත වූ එකී ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාව 2-1ක් ලෙස ජය ගැනීමට ද සමත්විය. රාවල්පින්ඩි හි පැවැති පළමු ටෙස්ට් තරගයද ශ්‍රී ලංකාව කඩුලු දෙකකින් ජයගත් අතර, කරච්චිහි පැවැති තෙවැනි ටෙස්ට් තරගය ලකුණු 222කින් ජය ගැනීමට පාකිස්තානය සමත් විය. පාකිස්තාන් කණ්ඩායම මොයින් ඛාන් සහ ශ්‍රී ලංකා කණ්ඩායම සනත් ජයසුරිය විසින් මෙහෙයවා තිබේ. එකී තරගාවලියේ වීරයින් ලෙස පාකිස්තානයේ වකාර් යුනිස් සහ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සම්මාන දිනා ගෙන තිබේ.

විශ්ව
ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්ව ප්‍රනාන්දු මේ වසරේ වැඩිම කඩුලු ලාභියායි. තරග 3කදී කඩුලු 16ක් බිඳ දමා තිබේ. ඉනිමක හොඳම පන්දු යැවීම ඩර්බන්හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 62කට කඩුලු 4කි. තරගයක හොඳම පන්දු යැවීමද එකී තරගයේදී ලකුණු 133කට කඩුලු 8කි. ඉනිමක හොඳම පන්දු යැවීම වාර්තාකර ගෙන ඇත්තේ ලසිත් ඇඹුල්දෙණියයි. ලසිත් දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන්හිදී ලකුණු 66කට කඩුලු 5ක් බිඳ දමා තිබේ.

පාකිස්තානය 2009 දී කරච්චිහිදි ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 6ක් දැවී රැස් කළ ලකුණු 765 එතෙක් මෙතෙක් සිය ටෙස්ට් ඉතිහාසයේ ඉනිමක රැස් කර ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද සැලකෙයි. එකී තරගයේදීම ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී රැස් කළ ලකුණු 644 පාකිස්තානයේදී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ද වාර්තා පොත් අතරට එක්වෙයි.

 

පාකිස්තානයේ යුනිස් ඛාන් 2009 දී ශ්‍රී ලංකාවට එරෙහිව රැස් කළ ලකුණු 313 දෙරට අතර ටෙස්ට් තරගවලදී පිතිකරුවකු ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද සැලකෙයි. සනත් ජයසූරිය 2004 දී රැස් කළ ලකුණු 253 ශ්‍රී ලංකා පිතිකරුවකු ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සැලකෙයි. තිලාන් සමරවීර 2009 දී ටෙස්ට් තරග දෙකකදී පිට පිට ද්විශතක දෙකක් (ලකුණු 231 සහ 214) රැස් කිරීමද මෙකී ටෙස්ට් තරග ඉතිහාසයේ සුවිශේෂි සංධිස්ථානයක් ලෙස සැලකෙයි.

 

මුත්තයියා මුරලිදරන් 1995 – 2009 දී පාකිස්තානයේදී ටෙස්ට් තරග 9කදී කඩුලු 50 ක් බිඳ දමා ඇති අතර පාකිස්තානු පන්දු යවන්නකු නොවන ක්‍රීඩකයෙකු පාකිස්තානයේ දී බිඳදමා ඇති වැඩිම කඩුලු සංඛ්‍යාව ලෙස ද මෙය සටහන් වෙයි.

 

පාකිස්තානය අවසන් වරට ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කළේ දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදීය. එහිදී 3-0 ක් ලෙස එකී ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය. 2009 ලාහෝර් ප්‍රහාරයෙන් පසු විදේශ රටවල් පාකිස්තානයේ තරග කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැති සියලුම තරග පැවැත්වූයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදීය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම 2017 – 18 දී ශ්‍රී ලංකාව 2-0 කින් එකී ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ද සමත්විය. පාකිස්තානය අවසන් වරට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී තරග කළේ නවසීලන්ත ටෙස්ට් තරගාවලියයි. තරග තුනකින් සමන්විත වූ එම තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත්විය. ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයේ සහ පාකිස්තානය ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ මේ වන විට පසුවෙයි.

 

පාකිස්තානය ශ්‍රී ලංකාවට එරෙහිව මෙවර ටෙස්ට් තරගාවලිය ඇරඹීමට පෙර ඕස්ට්‍රේලියාවේදී ටෙස්ට් තරග 02 කට ක්‍රීඩා කරනු ඇත. මින් දෙවන තරගය ඇඩිලේඩ් නුවරදී පැවැත්වේ. එය දිවා රාත්‍රී තරගයකි.

 

ටෙස්ට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන මෙකී තරගාවලිය පාකිස්තානය මුහුණ දෙන පළමු තරගය රාවල්පිණ්ඩි සහ දෙවැනි තරගය කරච්චිහිදී පැවැත්වෙයි. ශ්‍රී ලංකාව ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ තරග දෙකකට ක්‍රීඩා කර එකක් ජයගෙත තරගයක් පරාජය වී තිබේ. ඉන්දියාව ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ මෙතෙක් සහභාගී වූ තරග හයම ජයගෙන පෙරමුණේ පසුවෙයි.

 

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගාවලිය ආරම්භ වන මේ වසරේ ශ්‍රී ලංකාව තරග 6 කට ක්‍රීඩා කර තරග 3ක් ජය ගෙන තරග 3ක් පරාජය වී තිබේ. පාකිස්තානය තරග දෙකක් ක්‍රීඩා කර තරග දෙකම පරාජය වී තිබේ.

 

Comments