දැන් ජයග්‍රහණය සමරමු | සිළුමිණ

දැන් ජයග්‍රහණය සමරමු


මොටෝ ජී.පී. (ග්‍රෝන් ප්‍රී) යනු අන්තර්ජාතික වශයෙන් වාර්ෂිකව පැවැත්වෙන ප්‍රධානතම මෝටර් සයිකල් ලෝක ශුරතාවලියයි. 2019 මොටෝ ජී.පී. ලෝක ශූරතාවලිය ඉකුත්දා නිමාවට පත් වූයේ ස්පාඤ්ඤයේ 26 හැවිරිදි මාර්ක් මාර්කෙස් යළිත් වතාවක් ලෝක ශුරයා බවට පත් වෙමිනි.


මෙම මොටෝ ජී.පී. ලෝක ශුරතාවලිය මෙහෙයවන්නේ අන්තර්ජාතික මෝටර් සයිකල් සම්මේලනය විසිනි. මෙවර පැවැත්වූයේ 71 වැනි ලෝක ශුරතාවලියයි.


මාර්කෙස් මෙවර හිමිකර ගත්තේ තම පිට පිට 04 වැනි සහ සමස්ත 06 වැනි ලෝක ශුරතාවලිය වීම විශේෂත්වයකි. මෙවර පැවැති මුළු තරග ගණන 19කි. එම තරග කටාර්, ස්පාඤ්ඤය, ආර්ජන්ටිනාව, ඇමෙරිකාව, ප්‍රංසය, ඉතාලිය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙක් ජනරජය, ඕස්ට්‍රියාව, බ්‍රිතාන්‍යය, සැන් මැරීනෝ, තායිලන්තය, ජපානය, ඔස්ට්‍රේලියාව සහ මැලේසියාව වැනි රටවලදී පවත්වනු ලැබීය.

එහිදී මාර්කෙස් තරග 12ක්ම ජය ගැනීමට සමත් වූයේය. ඒ ආර්ජන්ටිනාව, ස්පාඤ්ඤය, ප්‍රංසය, කැටලන් (ස්පාක්ඤය), ජර්මන්, චෙක්, සැන් මැරි‍නෝ, ඇරගොන් (ස්පාඤ්ඤය), තායි, ජපන්, ඔස්ට්‍රේලියන් සහ වැලෙන්ෂියා (ස්පාඤ්ඤය) තරගයන්ය. මීට අමතරව ඔහු තවත් තරග 06 කදී දෙවැනි ස්ථාන හිමිකර ගත්තේය. ඇමෙරිකානු තරගයේදී පමණක් අතරමැදදී ඉවත් වීමට සිදුවිය.

ජපන් හොන්ඩා කණ්ඩායම නියෝජනය කරමින් තරග කළ මාර්කෙස් මෙවර හිමිකර ගත් මුළු ලකුණු ගණන 420 කි. මෙවරත් දෙවැනි ස්ථානය ඉතාලියේ 33 හැවිරිදි ඇන්ඩ්‍රියා ඩොවිෂියෝසෝටය. ඉතාලි ඩුකාටි කණ්ඩායම නියෝජනය කළ ඇන්ඩ්‍රියාට 2017 සහ 2018 වසරවලදීත් දෙවැනි ස්ථානයෙන් සෑහීමට පත් වීමට සිදු වූයේය. මෙවර හෙතෙම හිමිකර ගත් මුළු ලකුණු ගණන 269 කි.

මෙවර ලෝක ශුරතාවලියේ තෙවැනි ස්ථානය ස්පාඤ්ඤයේ 24 හැවිරිදි මැව්රික් විනාලෙස්ටය. ජපන් යමහා කණ්ඩායම නියෝජනය කළ මැව්රික් හිමිකර ගත් ලකුණු ගණන 211කි. ලකුණු 205 ක් ලැබූ ස්පාඤ්ඤයේ 24 හැවිරිදි ඇලෙක්ස් රින්ස්ට සිවුවැනි ස්ථානයයි. ඔහුගේ කණ්ඩායම වූයේ ජපානයේ සුෂුකිය.

ප්‍රංසයේ ෆැබියෝ කුවාර්ටාරාරෝ පස්වැනි ස්ථානය හිමි කරගත්තේය. ඔහුට ලකුණු 192 කි. 20 හැවිරිදි ෆැබියෝ නියෝජනය කළේ යමහා කණ්ඩායමයි. මේ අතර හිටපු ලෝක ශූරයෙක් වන ඉතාලියේ 40 හැවිරිදි වැලෙන්ටිනෝ රොසිට මෙවර 07 වැනි ස්ථානය හිමි විය. එහිදී ඔහුට හිමි වූ ලකුණු ගණන 174 කි. රොසි ගිය වසරේදී තෙවැනියා විය.

රොසි මේ වන විට හිමිකර ගෙන තිබෙන සමස්ත ලෝක ශුරතා ගණන 09 කි. මින් 07ක්ම මොටෝ ජී.පී. අංශයෙනි. එම ශුරතා හෙතෙම හිමිකර ගෙන තිබෙන්නේ 2001 – 05, 2008 සහ 2009 වසරවලදීය. මීට අමතරව රොසි 250 සී.සී. ලෝක ශුරතාව 1999 සහ 125සී.සී. ලෝක ශුරතාව 1997 වසරේදීත් හිමිකර ගත්තේය.

මෙවර ලෝක ශුරතාවලියේදී 19 වැනි ස්ථානය හිමි කර ගත්තේ ස්පාඤ්ඤයේ ජෝර්ගේ ලොරෙන්සෝය. 32 හැවිරිදි ඔහු මෙවර තරග වාරයේ නිමාවත් සමඟම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේය. ඔහුත් නියෝජනය කළේ මාර්කෙස් මෙන්ම හොන්ඩා කණ්ඩායමයි. ලොරෙන්සෝත් හිටපු ලෝක ශූරයෙකි. ඔහුට ලෝක ශුරතා 05කි. මින් 03ක්ම මොටෝ ජී.පී. අංශයෙනි. ඒ 2010, 12 සහ 15 වසරවලදීය.

මාර්කෙස් මෙවර තම 06 වැනි ලෝක ශුරතාව හිමිකර ගත්තේ තවත් තරග 04ක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයකි. “මේ වසර මට පුදුමාකාර වසරක් බවට පත් වුණා. ඊ‍ට මුළු කණ්ඩායමම විශාල සහායක් ලබා දුන්නා. දැන් ඒ ජය සැමරීම තමයි කරන්න තිබෙන්නේ”. මාර්කෙස් මෙවර ලෝක ශුරතා ජයග්‍රහණයෙන් පසුව පැවසුවේය.

මාර්කෙස් සම්බන්ධයෙන් එක් දෙයක් පැහැදිලිය. එනම් ලෝක මෝටර් සයිකල් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයන් අතරට ඔහු දැනටමත් අයත් වන බවයි. මාර්ක් මාර්කෙස් ඇලෙන්ටා උපත ලැබුවේ 1993 වසරේ පෙබරවාරි මස 17 වැනිදාය. ඒ ස්පාඤ්ඤයේ සර්විරා නුවරදීය. එය කැටලන් කලාපයට අයත් නුවරකි. මෙම කැටලන් කලාපය ලොවට පුවත් මවන්නේ හේතු ත්‍රිත්වයක් නිසාවෙනි. එහි අගනුවර වන්නේ බාර්සිලෝනාය. අනෙක් හේතුව බාර්සිලෝනා පාපන්දු කණ්ඩායමයි. එමෙන්ම කැටලන් කලාපය ස්වයං පාලනයක් වෙනුවෙන් ක්‍රියා කිරීම තවත් හේතුවකි.

මාර්කෙස්ට අපූරු නම් ද්විත්වයක් පටබැඳී තිබේ. ඒ සර්විරා කූඹියා සහ සර්විරා ගිගුරුමයි. හෙතෙම කුඩා කාලයේ සිටම මෝටර් සයිකලයට පෙම් බැන්දේය. එහි ප්‍රතිඵලය ජාතික මට්ටමින් ඉතා සාර්ථක ක්‍රීඩකයකු බවට පත් වීමයි. එම නිසාම ඔහුට ජගත් මට්ටමින් තරග කිරීමටත් ඉක්මනින්ම අවස්ථාව ලැබිණි.

ඔහු මුලින්ම තරග කළේ 125 සී.සී. අංශයෙනි. ඒ 2008 – 10 කාලයේදීය. එම කාලයේදී හෙතෙම තරග 46 කට සහභාගි විය. ජයග්‍රහණ 10කි. වාර්තා කර ගත් මුළු ලකුණු ප්‍රමාණය 467කි. එහිදී 2010 වසරේ ලෝක ශුරතාවයටත් ඔහු හිමිකම් පෑවේය. පසුව මාර්කෙස් 2011 – 12 අතර කාලයේදී මොටෝ 2 ලෝක ශුරතාවලියට තරග කළේය. එහිදීත් 2012 ලෝක ශුරතාවලිය ජය ගැනීමට ඔහු සමත් වූයේය. මෙම කාලය තුළදී ඔහු සහභාගී වූ මුළු තරග ගණන 32කි. ජයග්‍රහණ 16කි. මුළු ලකුණු 579කි.

මාර්කෙස් පිළිබඳ සෙසු ලොව අවධානය යොමු වූයේ 2013 වසරේ සිට මොටෝ ජී.පී. ලෝක ශුරතාවලියට තරග කරන විටදීය. එම මංගල තරග වාරයේදීම ලෝක ශුරතාව හිමිකර ගැනීමත් සමඟම ඔහු‍ගේ හැකියාව සනාථ වූයේය.

මෙවර ජයත් සමඟම මාර්කෙස් ලෝක ශුරතා 06ක හිමිකරුවෙකි. එය හිමිකර ගත්තේ 2013, 14, 16, 17, 18 සහ 19 වසර වලදීය. එහිදී ඔහු සහභාගී වූ මුළු තරග ගණන 127කි. ඊට ජයග්‍රහණ 56කි. ඊට අමතරව මුල් ස්ථාන 03 හිමිකර ගත් අවස්ථා ගණන 95 කි. මෙහිදී මුළු ලකුණු ගණන 2275 කි. මේ වන විටත් මාර්කෙස් මෝටර් සයිකල් ප්‍රමුඛ පෙළ ලෝක ශුරතාවලි ඉතිහාසයේ (500 සී.සී. / මොටෝ ජී.පී.) විවිධ වාර්තා රැසකටම දායක වී තිබේ.

විවිධ අංශයන් ත්‍රිත්වයකින් ලෝක ශුරතා හිමිකර ගත් ලොව සිවුවැනි මෝටර් සයිකල් ශුරයා මාර්කෙස්ය. ඔහුට පෙර මේ දුලබ දස්කම දැක්වූයේ බ්‍රිතාන්‍ය‍යේ මයික් හෙයිල්වුඩ්, එංගලන්තයේ ෆිල් රීඩ් සහ ඉතාලියේ වැලෙන්ටිනෝ රොසිය. මයික් හෙයිල්වුඩ් (උපත 1940 අප්‍රේල් 02 - විපත 1981 මාර්තු 23) විසින් 250 සී.සී. ත්‍රිත්ව ලෝක ශුරතා 1961, 66 සහ 67 වසරවලදී හිමිකර ගත්තේය. එමෙන්ම ඔහු 1966 සහ 67 වසරවලදී ලෝක ශුරයෙක් වූයේ 350 සී. සී. අංශයෙන් තරග කරමින්ය. මීට අමතරව ලෝක ශුරතා සතරක් ඔහු හිමිකර ගනු ලැබුවේ 1962, 63, 64 සහ 65 වසරවලදීය. ඒ 500 සී. සී. අංශයෙනි.

ෆිල් රීඩ් (උපත 1939 ජනවාරි 01) සමස්ත ලෝක ශුරතා 07 ක් හිමිකර ගැනීමට සමත් වූයේය. ඒ 125 සී.සී. - 1968 මෙන්ම 250 සී.සී. 1964, 65,68,71 සහ 500 සී.සී. – 1973, 74 වසරවලදීය. රොසි (උපත 1979 පෙබරවාරි 16) මේ වන විට සමස්ත ලෝක ශුරතා 09ක් හිමි කරගෙන තිබේ. 125 සී.සී. 1997 වසරේදිය. 250 සී.සී. – 1999 වසරේදීය. මොටෝ ජී.පී. ශුරතා 2001, 02, 03, 04,05,08 සහ 09 වසරවලදීය.

මෝටර් සයිකල් ලෝක ශුරතා හිමි කරගත් දෙවැනි කැටලන් කලාපීය ක්‍රීඩකයාත් මාර්කෙස් වේ. එහි ප්‍රථමයා ඇලෙක්ස් ක්‍රිවිය වේ. හෙතෙම (උපත 1970 මාර්තු 04) ලෝක ශුරතා 02 ක් හිමිකර ගත්තේය. ඒ 125 සී.සී. – 1989 සහ 500 සී.සී. 1999 වසරවලදීය.

ස්පාඤ්ඤය නියෝජනය කරමින් ප්‍රමුඛ (ප්‍රිමියර්) මෝ‍ටර් සයිකල් ලෝක ශුරතා හිමිකර ගත් තෙවැනියාත් මාර්කෙස්ය. ඇලෙක්ස් ක්‍රිවිය සහ ජෝර්ගේ ලොරෙන්සෝට එම මුල් ස්ථාන හිමිය. වසර 35 කට පසුව සිය ප්‍රථම තරග වාරයේදීම ප්‍රමුඛ ලෝක ශුරයා වූ ප්‍රථමයා මාර්කෙස්ය. ඔහුට පෙර එම දස්කම අවසන් වරට දක්වා තිබුණේ ඇමෙරිකාවේ කෙනි රොබට්ස් (උපත 1951 දෙසැම්බර් 31) විසින් 1978 වසරේදීය. එවකට මොටෝ ජී.පී. හැඳින්වූයේ 500 සී.සී. වශයෙනි.

මේ වන විට ප්‍රමුඛ (500 සී.සී/ මොටෝ ජී.පී.) මෝ‍ටර් සයිකල් ලෝක ශුරතා වැඩිම ගණනක් හිමි කර ගත් ශුරයන් අතර මාර්කෙස්ට හිමි වන්නේ තෙවැනි ස්ථානයයි. අනාගතයේදී අනිවාර්යයෙන්ම එහි මුල් ස්ථානයට ඔහු පත් වනු ඇති බවට බොහෝ දෙනා විශ්වාසය පළ කරති.

දැනට එහි ලෝක වාර්තාව හිමි වන්නේ ඉතාලියේ ගියාකොමෝ අගොස්ටිනිටය. ඔහු (උපත 1942 ජුනි 16 ) ලෝක ශුරතා 08 හිමි කරගත්තේ 500 සී.සී. අංශයෙන් තරග කරමිනි. එම ශුරතා හිමි කරගත්තේ 1966, 67,68,69,70,71,72 සහ 75 වසරවලදීය.

මෙහි දෙවැනි ස්ථානය වැලෙන්ටිනෝ රොසි සතුය. ඔහුට මොටෝ ජී.පී. ලෝක ශුරතා 07 කි. මාර්කෙස්ට ලෝක ශුරතා 06 කි. වැඩිම ලෝක ශුරතා හිමි කරගත් ශුරයන් අතර සිවුවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවේ මික් ඩුහන්ට හිමිය. ඔහුට (උපත 1965 ජුනි 04) ලෝක ශුරතා 05 කි. ඒ 500 සී.සී. ලෝක ශුරතා 1994 – 98 දක්වා පිට පිට හිමි කරගනිමින්ය.

05 වැනි ස්ථානය බ්‍රිතාන්‍යයේ ජෙෆ් ඩියුක්ටය. ඔහුට (උපත 1923 මාර්තු 29 - විපත 2015 මැයි 01) ලෝක ශුරතා 04කි. ඒ 1951,53,54 සහ 55 වසරවලදීය. මීට අමතරව තවත් ශුරයන් තිදෙනෙකුත් ලෝක ශුරතා 04 බැගින් හිමි කරගෙන තිබේ. ඔවුන් සියලු දෙනාම තරග කළේ 500 සී. සී. අංශයෙනි.

එංගලන්තයේ ජෝන් සර්ටීස් - 1956, 58,59,60 ලෝක ශුරයා විය. බ්‍රිතාන්‍යයේ මයික් හෙයිල්වුඩ් 1962 – 65, ඇමෙරිකාවේ එඩී ලෝසන් - 1984,86,88 සහ 89 ලෝක ශුරයාය. තවත් ශුරයන් තිදෙනෙකුට ලෝක ශුරතා 03 බැගින් හිමිවිය. ඇමෙරිකාවේ කෙනි රොබට්ස් 1978 – 80 ලෝක ශුරයාය. එරටේම වේන් රෙයිනි 1990 – 92 ලෝක ශුරයාය. ඔවුන් තරග කළේ 500 සී. සී. අංශයෙනි.

මොටෝ ජී.පී. ලෝක ශුරතා ත්‍රිත්වය ජෝර්ගේ ලොරෙන්සෝ හිමි කර ගත්තේ 2010, 12 සහ 15 වසර වලදීය. පිට පිට වැඩිම ලෝක ශුරතා ගණනක් හිමිකර ගත් ශුරයන් අතර මාර්කෙස්ට සම සිවුවැනි ස්ථානය හිමිය. එහිදීත් මුල් ස්ථානය අගොස්තිනිටයි. ඔහුට 1966 – 72 අතර ලෝක ශුරතා 07 කි. එහි සම දෙවැනි තැනට මික් ඩුහන් සහ වැලෙන්ටිනෝ රොසිය. ඔවුන්ට ශුරතා 05 බැගිනි. ඒ ඩුහන් 1994- 98 සහ රොසි 2001 – 05 අතර කාලයේදීය. හෙයිල්වුඩ් සහ මාර්කෙස්ට පිට පිට ශුරතා 04 බැගින්ය. හෙයිල්වුඩ් 1962 – 65 සහ මාර්කෙස් 2016 – 19 අතර කාලයේදීය.

ප්‍රමුඛ පෙළ ලෝක ශුරතාව හිමි කරගත් ළාබාලතම ශුරයා වන්නේත් මාර්කෙස්ය. 2013 වසරේදී ඔහු විසින්. සිය මංගල ලෝක ශුරතාව හිමි කරගනු ලබන විට ඔහුගේ වයස අවුරුදු 20 දින 266කි. ‍එහිදී දෙවැනි තැන ඇමෙරිකාවේ ෆ්‍රෙඩී ස්පෙන්සර්ටය. හෙතෙම 1983 වසරේ ලෝක ශුරයා විය. එවිට ඔහුගේ වයස අවුරුදු 21 දින 258කි.

ඕස්ට්‍රේලියාවේ කේසි ස්ටෝනර් 2007 ලෝක ශුරයා වුයේය. එවිට ඔහුගේ වයස අවුරුදු 21 දින 342 කි. වැඩිම සමස්ත තරග ගණනක් ජය ගත් ක්‍රීඩකයන් අතර මාර්කෙස්ට හිමි වන්නේ තෙවැනි ස්ථානයයි. එහි මුල් තැනට රොසි සිටියි. ඒ ජයග්‍රහණ 89 ක් නිසාය. අගොස්තිනිට ජය 68 කි. මාර්කෙස්ට ජය 56 කි. ඩුහන්ට ජය 54 කි. ලොරෙන්සෝට ජය 47කි.
තරග වාරයකදී වැඩිම ජයග්‍රහණ අත් කරගත් ශුරයාත් මාර්කෙස් වේ. ඒ 2014 වසරේදී මුළු තරග 18කින් ජය 13ක් හිමි කරගනිමිනි. ඩුහන් 1997 වස‍රේදී තරග 15න් 12ක්ම ජය ගත්තේය. මාර්කෙස් මේ වසරේදී තරග 19න් 12ක් ජය ගැනීමට සමත් විය.

තමන් තරග කළ ප්‍රථම තරග වාරයේ වැඩිම ජයග්‍රහණ අත්කර ගත් ක්‍රීඩකයින් අතර මුල් ස්ථානයක් මාර්කෙස්ටය. ඔහු 2013 වස‍රේදී තරග 06 ක් ජය ගත්තේය. මේ අතර කෙනි රොබට්ස් 1978 වස‍ෙර්දී තරග 04ක් ජය ගත්තේය. ජෙෆ් ඩියුක්ට 1950 වසරේදී ජයග්‍රහණ 03කි.

වැඩිම අවස්ථා ගණනකදී මුල් ස්ථාන 03 හිමි කරගත් ක්‍රීඩකයන් අතර මාර්කෙස් සම සිවුවැනි ස්ථානයේ සිටියි. රොසිට එවැනි අවස්ථා 198 කි. ලොරෙන්සෝට 114කි. ස්පාඤ්ඤයේ ඩැනි පෙඩ්රෝසාට (උපත 1985 සැප්තැම්බර් 29) ඉහත අවස්ථා 112කි. ඩුහන් සහ මාර්කෙස්ට 95 බැගිනි. වාරයකදී වැඩිම අවස්ථා ගණනකදී මුල් ස්ථාන 03 හිමි කරගත් ක්‍රීඩකයා වන්නේත් මාර්කෙස්මය. මෙවර තරග වාරයේදී තරග 19න් 18කදීම ඉහත දස්කම දැක්වීමට හෙතෙම සමත් විය.

වැඩිම මුළු ලකුණු ප්‍රමාණයක් හිමි කරගෙන සිටින මෝටර් සයිකල් ක්‍රීඩකයන් අතර මාර්කෙස්ට හිමි වන්නේ 06 වැනි ස්ථානයයි. ඔහුට ලකුණු 2275 කි. ඔහුට ඉදිරියෙන් 05 දෙනෙක් සිටිති. රොසිට 5305 කි. පෙඩ්රෝසාට 2970 කි. ලොරෙන්සෝට 2899 කි. ඩොවිෂියොසෝට 2421කි, මික් ඩුහන්ට 2283කි.

තරග වාරයකදී වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමි කරගැනීමේ වාර්තාවත් මාර්කෙස් සතුය. ඒ මේ වසරේදීය. ඔහුට තරග 19කදී ලකුණු 420කි. ලොරෙන්සෝට 2010 වසරේදී තරග 18කදී ලකුණු 383කි. සිය මංගල මොටෝ ජී.පී. ලෝක ශුරතාව හිමිකර ගත් විට මාර්කෙස්ගේ වයස අවුරුදු 20 දින 266කි. එය ළාබාලතම ක්‍රීඩක වාර්තාවයි.

ලෝක ශුරතා 06ක් හිමි කරගත් ළාබාලතම ශුරයාත් මාර්කෙස්ය. මෙවර ලෝක ශුරයා වන විට ඔහුගේ වයස අවුරුදු 26 දින 230 කි. ප්‍රමුඛ පෙළ ලෝක ශුරතා තරගයක් ජය ගත් ළාබාලතමයාත් මාර්කෙස්මය. එ් දක්කම දක්වන විට ඔහුගේ වයස අවුරුදු 20 දින 63කි.

මාර්කෙස්ගේ ක්‍රීඩා දිවියට විශාලතම සහාය ලැබෙන්නේ ඔහුගේ පවුල වෙතින්ය. පියා වන ජුලියා ලොව පුරාම ගොස් මාර්කෙස්ගේ තරග නරඹයි. මව එසේ නොකළත් සෑම විටකම ඔහුව දිරිමත් කරන්නීය. මල්ලී වන ඇලෙක්ස් මෝටර් සයිකල් ලෝක ශුරයෙකි. ඒ 2014 වසරේදී මොටෝ 03 සහ 2019 වසරේදී මොටෝ 02 ලෝක ශුරයා වෙමින්ය.

මෝටර් සයිකල් ඉතිහාසයේ දී එකම වසරේදී ලෝක ශුරතා හිමිකර ගත් ලොව ප්‍රථම සොහොයුරන් වන්නේත් මාර්කෙස්ලාමය. ඒ 2014 සහ 2019 වසරවලදීය. එමෙන්ම මෙම දස්කම ඔවුන් අවස්ථා 02 කදීම දක්වා තිබීම විශේෂත්වයකි. ඇලෙක්ස් (උපත 1996 අප්‍රේල් 23) ප්‍රථම වරට මොටෝ ජී.පී. ලෝක ශුරතාවලියට ලබන එනම් 2020 වසරේදී තරග කරයි. එහි ‍විශේෂත්වයකුත් ඇත. එනම් ඔහුත් නියෝජනය කරන්නේ මාර්ක් මාර්කෙස්ගේම කණ්ඩායම වන හොන්ඩාමය.

මෙම වසරේදී හොන්ඩා කණ්ඩායම නියෝජනය කළේ මාර්කෙස් සහ ජෝර්ගේ ලොරෙන්සෝය. එහෙත් ලොරෙන්සෝ මෙවර තරග වාරය නිමාවත් සමඟම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේය. එම නිසා ලොරෙන්සෝගේ ස්ථානය ඇලෙක්ස්ට ලැබිණි.

මාර්ක් මාර්කෙස් තවමත් විවාහ වී නැත. එමෙන්ම ඔහුට පෙම්වතියකුත් නැත. වරක් මාධ්‍යවේදීන් ඒ ගැන විමසූ විට ඔහු පැවසුවේ තමන්ගේ පෙම්වතිය මෝටර් සයිකලය බවය. මර්කෙස් මෝටර් සයිකලයට බිය නැත. එහෙත් ඔහු බියක් දක්වන දෙයකුත් ඇත. හෙතෙම තවමත් බෝට්ටුවක නැඟ මුහුදු සවාරියක ගොස් නැත.

ඔහුට කැටලන්, ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි භාෂා චතුරව හැසිරවිය හැකිය. ඔහු පුණ්‍යාධාර කටයුතුවලත් නිරත වෙයි. ලොව බොහෝ ධනවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වන විට වාසය කරන්නේ සිය උපන් රටවල නොවේ. ඒ ආදායම් බදු වලින් නිදහස් වීමටයි. එහෙත් මාර්කෙස් එසේ නොවේ. ඔහු තවමත් වාසය කරන්නේ සිය උපන් ගමේමය.

මාර්කෙස් පාපන්දු ක්‍රීඩාවටත් රුචිකත්වයක් දක්වයි. ඔහුගේ ප්‍රියතම කණ්ඩායම බාර්සිලෝනාය. මේ වන විට ඔහුගේ මුහුණු පොතෙහි සාමාජිකත්වය මිලියන 04 ඉක්මවයි.
 

Comments