ඇනා කැරනිනාගේ තිඹිරිගෙය | සිළුමිණ

ඇනා කැරනිනාගේ තිඹිරිගෙය

ලියෙෆ් නිකොලායෙවිච් තෝල්ස්තෝයි(1828 - 1910) රුසියානු සාහිත්‍යයේ විශිෂ්ටතම නවකතාකරුවා ලෙස සැලකේ. ඔහු සිය පරිණත අවධියෙහි රචනා කරන ලද ‘යුද්ධය හා සාමය’ කෘතිය විචාරකයන්ගේත් පාඨකයන්ගේත් වෙසෙස් අවධානයට ලක්වීය. සිය ශිෂ්‍ය අවධියේ කසාන් විශ්වවිද්‍යාලයට ඇතුළුව ඉංග්‍රීසි, ඉතාලි, ග්‍රීක යන භාෂා උගත් තෝල්ස්තෝයි නීතිය ද හැදෑරීමක නිරත විය.

ඔහු යස්යානා පෝල්යානා නම් ග්‍රාමයේ පැරණි වංශවත් සිටු පරපුරක උපත ලැබුවේය. රුසියාවේ කොකේස් ප්‍රදේශයේ තුර්කි ගරිල්ලන් හා සටන් කිරීමට හමුදා සේවයට බැඳුණු ඔහු ඉන් ලද අත්දැකීම් සිය නිර්මාණ සඳහා ද යොදා ගත්තේ ය.

‘ළදරුවිය, ළමාවිය හා තරුණවිය’(1852) තෝල්ස්තෝයි රචනා කළ පළමු කෘතිය වූ අතර එය ස්වයං චරිතාපදාන ලක්ෂණ පෙන්වන්නක් වශයෙන් සැලකේ. ‘යුද්ධය හා සාමය’(1869), ‘ඇනා කැරනිනා’(1873), ‘ඉවාන් ඉලියෙවිච්ගේ මරණය’(1886), ‘ක්‍රොයිට්ෂර් සොනාටා’(1889) යන නවකථා තෝල්ස්තෝයිගේ අනන්‍යතාව මතු කළ නිර්මාණ කෘති වේ.

‘මිනිසෙකුට කෙතරම් ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය ද’(1886), ‘යක්ෂයෝ’, වැනි කෙටිකථා සහ කෙටිනවකථා සම්බන්ධයෙන්  ඔහු උනන්දු වූව ද ඔහුගේ කෙටිකථාවල සාධනීයතාව පරයා ඉස්මතුවන්නේ නවකථාවල ගුණාත්මකභාවය යි. සාහිත්‍ය නිර්මාණ හැරුණුවිට ඔහු රචනා කළ ‘කලාව යනු කුමක්ද?’(1897) සහ ‘මගේ පාපොච්චාරණය’(1881) වැනි ග්‍රන්ථ ද සාහිත්‍යකරුවන් අතර ප්‍රකට ය. තෝල්ස්තෝයිගේ අවසාන කෘතිය වශයෙන් සැලකෙන ‘හජ්ජි මුරාඩ්’ ප්‍රකාශයට පත්වීමට ප්‍රථමව ඔහු මිය ගිය අතර ඔහුගේ ග්‍රන්ථ ප්‍රකාශනය සම්බන්ධයෙන් පැවති ආරවුල් තත්ත්ව පිළිබඳව ද සමාජ කතිකා ගොඩ නැඟී තිබේ.

සෝන්යා ඇන්ඩ්‍රියෙව්නා නම් තැනැත්තිය හා විවාහ වීමෙන් පසු ඔහුට දරුවන් 12දෙනෙකු ලැබූ අතර ඉන් කිහිපදෙනෙක් ම අකාලයේ මිය ගියහ. තෝල්ස්තෝයිගේ විවාහ දිවිය සම්බන්ධයෙන් පවා වෙන ම සාහිත්‍යයක් පැවති අතර පෞද්ගලික තතු සම්බන්ධයෙන් රචනා වී ඇති ග්‍රන්ථ ද බහුලය.

1915 ඔක්තෝම්බරයේ පැවති රුසියානු විප්ලවයට අවැසි සමාජමය බලවේගය සිය සාහිත්‍යය කෘතීන්ගෙන් විශද කිරීම හේතුවෙන් රුසියානු විප්ලවයේ කැඩපත වශයෙන් ඔහුව නම් කර ඇත. සිටු තනතුර ඉවත ලා රුසියානු ගැමියකු වශයෙන් සාමාන්‍ය ගොවි ජනයා හා තෝල්ස්තෝයි ගොඩනඟා ගත් අව්‍යාජ දිවිපෙවෙතත්, රදල ජනයාගේ සැබෑ තතු සිය නිර්මාණවලින් හෙළිකිරීමට පෙලඹීමත් නිසා පිටිසරබද රුසියානු ජනතාව පවා ඔහු කෙරේ ගරු බුහුමන් දැක්වූහ. තෝල්ස්තෝයිගේ චරිතප්‍රදාන, ලිපි, දින සටහන් මුද්‍රණය කිරීම සඳහා පෙර’පර දෙදිග ම ලේඛකයන් උනන්දු වූ අතර ඔහුගේ නිර්මාණ අරබයා වත්මනෙහි ද සංවාද හා පර්යේෂණ සිදුවෙමින් පවතී.

Comments