ලංකාවේ රාවණා රජුට පෙම් බඳින ඉන්දියානුවෝ | සිළුමිණ

ලංකාවේ රාවණා රජුට පෙම් බඳින ඉන්දියානුවෝ

රාවණා රජු නමින් ඉන්දියාවේ කෝවිල් ගණනාවක්

ආන්ද්‍ර ප්‍රදේශයේ කකිනද ප්‍රදේශයේදී රාවණා අදහන්නේ දේවත්වයෙන්

රාවණාගේ අවසන් මොහොත සිහි කරමින් "පිණ්ඩා දාන" නමින් චාරිත්‍රයක්

‘රාවණා’ යන නාමය තරම් අවධානයට යොමුවන වෙනත් ජනප්‍රවාදගත චරිතයක් ලංකාවේ නොමැති තරම්ය. එසේම ඉන්දීය ජනතාවගේ වෛරයට පාත්‍ර වූ ප්‍රධානම ලාංකේය චරිතය වන්නේද ‘රාවණා’ ය. වාල්මිකී විසින් සංස්කෘත භාෂාවෙන් රචනා කරන ලද රාමායණය හුදෙක් ප්‍රබන්ධයක් ලෙස සැලකුවද භාරතීය ජනතාව මෙන්ම ඇතැම් ලාංකිකයන් විසින්ද රාමායණයේ එන ‘රාවණා’ ගේ චරිතය ජීවමානව වුන් චරිතයක් ලෙස විශ්වාස කෙරේ.

වාල්මිකී විසින් රාමගේ දරුවන් දෙදෙනා වූ ‘ලව හා කුසට’ කියාදුන් කතන්දරයක් බවත් එය සත්‍යයක් නොවන බවට මහාචාර්ය රොමිලා තාපර් වැනි ලෝක ප්‍රකට විද්වතුන් රැසක් තම අදහස් පළකොට තිබුණද එම අදහස් පිළිගැනීමට බොහෝ දෙනෙක් අකැමැත්තක් දක්වති. රාමායණය සත්‍යය සිදුවීමක් ලා සලකන භාරතීය ජනතාව තමන්ගේ ආත්මගත හතුරෙකු ලෙස ‘රාවණා’ පිළිබඳ සලකන්නට අදටද පසුබට නොවේ.

නවරාත්‍රි සමරමින් දසිස් සහිත රාවණාගේ පිළිරූ ගිනි තබනා උත්සවය විජයදගාමි, දුෂෙරා, ආදි නම්වලින් අදටද ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල දැකිය හැකිය. ඉන්දියාවට ගිය කල රාවණා පිළිබඳ විමසීමද ලාංකික අපි නොකළ යුතු දෙයක් තරම්ය.

මේ කතා සියල්ලම උඩුයටිකුරු කළ හැකි කතන්දරද ඒ අතර වේ. රටක් තුළ ලෝක ගණනාවක්, රටවල් ගණනාවක් දැකිය හැකි වෙනම ලෝකයක් බඳු වූ ඉන්දියාවෙන් රාවණා විනාශකර රාවණා රජුගේ නමටද වෛර කරන්නාවූ මිනිසුන් අතර රාවණා අදහන්නා වූ ගම් හා මිනිසුන් මෙන්ම රාවණාට වෙන් වූ දේවාලද ඇත. එය කොපමණ පිරිසකගේ විශ්වාසය දිනාගනීදැයි අපි නොදන්නා නිසාම, ඒ පිළිබඳ සොයා යන්නට වුවෙමු.

රාවණා රජුගේ නාමයට ගෞරවයක් ලෙස පවතින්නා වූ කෝවිල් ගණනාවක් ඉන්දියාව පුරා පැතිර පවතී. ඉන් උතුරු ඉන්දියාවේ පළමු වැනි රාවණා කෝවිල වන්නේ ජෝදාපුර්හි පිහිටි රාවණා කෝවිලය. මෙම කෝවිලෙහි සඳහන්වන පරිදි රාවණා හා ඔහුගේ බිරිය මන්දෝදරී විවාහ වුයේ මෙහිදී බවට විශ්වාස කෙරේ.

මෙහි ප්‍රධාන පුජකයා සඳහන් කරන පරිදි රාවණාගේ පරපුර වන ‘මුද්ගල්’ ගෝත්‍රයටයි. අදට ද ජෝදාපුර්හි එම පෙළපතින් පැවත එන්නා වූ පවුල් දෙසීයක් පමණ වේ. මෙම දේවාලය තුළ රාවණා හා පවුලේ සියලු දෙනාගේම ප්‍රතිමා නිර්මාණය කොට ඇත.

අතීතයේ මන්දෝදරීගේ නාමයෙන් හැඳින් වුණු මේ නගරය පසු කලෙක මුගල් රජකු හා විවාහ වූ ජෝදා කුමරියගේ නමින් හඳුන්වන්නට පටන් ගෙන ඇත. ජෝදාපුර්හි ජීවත්වන ‘මුද්ගිල් හෙවත් මෞද්ගිල්’ පරපුරේ ජනයා ජෝදාපූර් බලකොටුව මාර්ගයේ රාවණා දෙවොල පිහිටුවා ඇත.

මන්දෝදරිගේ උපන් බිම ලෙස සලකන මේ බිමට ‘මෞද්ගිල්’ බ්‍රාහ්මණයන් පැමිණ ඇත්තේ ලංක‍ාවේ සිටය. ඒ මන්දෝදරීගේ විවාහ උත්සවයට සහභාගී වීම පිණිසය. අදටද දුෂෙරා උත්සව කාලය තුළදී රාවණගේ අවසන් මොහොත සිහි කරමින් අවමංගල චාරිත්‍රයක අංගයක් වන ‘පිණ්ඩා දාන’ නම් චාරිත්‍රය සිදු කිරීමට මේ බැතිමතුන් සැදී පැහැදී සිටී.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශය තුළ පිහිටි විදිසාව ලංකාවේ බෞද්ධයන්ට වැදගත්කමක් තිළිණ කරන්නේ සාංචි විහාරයේ පිහිටීම හේතුකොටගෙනය. ඒ වටිනාකම දෙගුණ තෙගුණ කරන්නට හේතුවන්නාවූ කාරණයක් නම් විදිසාවේ පිහිටි රාවණා දේවාලයයි.

බෞද්ධ සාහිත්‍යයේ එන පරිදි ධර්මාශෝක රජුගේ ප්‍රියතම බිසව වූ ‘දේවි’ බිසවගේ ගම වී දිසාවයි. ඇයට ගෞරවයක් ලෙස රජු විසින් මෙහි සාංචි ස්තූපය ඉදිකළා පමණක් නොව ලංකාවට බුදු දහම රැගෙන පැමිණි අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට පැමිණියේ වේදිසාවේ පිහිටි සාංචියේ සිටය. සංඝමිත්තා තෙරණිය දහ අට ශ්‍රේණියක පිරිස සමඟ ශ්‍රී මහා බෝධිය රැගෙන ලංකාවට පැමිණියේ ද මෙහි සිටය. ඒ සියලු කාරණා අතර මෙම වීදිසාවේ රාවණා ගම හා රාවණා රජු අදහන්නාවූ දේවාලය ද වේ.

වීදිසා නුවර රාවණා රජුගේ බිසව වූ මන්දෝදරීගේ උපන් ප්‍රදේශය ලෙසද ජනප්‍රවාදයේ එයි. ‘කන්යාකුබ්’ බ්‍රාහ්මී ජනතාව වී දිසාවේදී රාවණා රජු අදහන්නට මෙහි පැමිණේ.

‘ජායි ලන්කේෂ්.... ජායි ලන්කේෂ්’ ආදි පාඨ කියමින් රාවණා වදින පුදන ජනතාව අතර පාපැදිවල නැඟී පාසල් යන දරුවන් මෙම දේවාලය අසළින් යන එන ගමනද මෙම පාඨයන් කියමින් රාවණා රජුට ගෞරව කරනු බවය.

මෙම රාවණා ග්‍රාමයේ යම් අයෙකු විවාහපත් වන විට මුල්ම විවාහ ආරාධනපත අදටද ඔවුන් මෙම රාවණා දේවාලයට පුද කිරීම සිරිතකි. එසේම මනමාලි හා මනමාලයා විවාහයෙන් පසු පළමුව පැමිණෙන්නෙද මෙම රාවණා දේවාලයටය. රාවණා දෙවොලින් රැගෙන යන තෙල් මනාල යුවළගේ හිසේ ගා ආශිර්වාද කිරීමද සිරිතකි.

මෙම ගමෙහි වැසියන් රාවණා රජුගේ ප්‍රතිමාවක් වඳින පුදන අතරම පවසා සිටින්නේ

“රාවණා රජු අපි යක්ෂ උවදුරු, නපුරු විපත්වලින් ආරක්ෂා කරනවා. අපි ඔහුගේ බැතිමතුන්, ඒ වගේම තමයි අපිට අනික් දෙවි දේවතාවුන් එක්ක ප්‍රශ්නයක් නෑ. අනික් ඕනම පූජනීය උත්සවයක් අපිත් සමරනවා. ඒත් රාවණා ගිනි තියන ‘දුෂෙරා’ උත්සවය සමරන්නේ නෑ.

උත්තර ප්‍රදේශයේ ‘බිස්රාක්’ ප්‍රදේ‍ශයද සමස්ත සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය සිතුම් පැතුම් සහිත බැතිමතුන් සහිත භූමියකි. ගෞතම බුද්ධ නගරයෙන් කිලෝමීටර් දහයක් පමණ දුරින් පිහිටි ‘බිස්රාක්’ නගරය රාවණා අදහනු ලබන සිද්ධස්ථානයකින් සමන්විත වුවකි.

ඔවුන් විශ්වාස කරන පරිදි බිස්රාක් ප්‍රදේශය යනු මහා රාවණා රජුගේ උපන් භූමියයි. රාමායනයේ සඳහන් පරිදි බිස්රාක් රාවණාට උපත දුන් බිම වන අතර පසු කලෙක ඔහු ලංකා‍වේ රජු වී ඇත. මේ ප්‍රදේශවාසීන් කිසි විටෙක ‘දුෂෙරා’ උත්සවය පවත්වන‍්නේ නැත. රාවණා රාමගේ හතුරකු ලෙස සළකන ඉන්දිය වැසියන් රාවණාගේ පිළිරූ පුළුස්සා විනාශ කරනු ලබන නවරාත්‍රි දිනයේදී බිස්රාක් හි රාවණා බැතිමතුන් රාවණා වැඳුම් පිදුම් කරති.

ඔවුන්ගේ විශ්වාසයේ පරිදි රාවණ‍ාගේ පියා වන විශ්රාවණ හට ලැබුණු ශිව ලිංගයක් මෙම සිද්ධස්ථානයේ තබා වැඳුම් පිදුම් කොට ඇත. මේ වන විට මෙහි ශිව ලිංගයක් හා රාවණා රජුගේ ප්‍රතිමාවක් තබා වැඳුම් පිඳුම් කරනු ලැබේ. ඔවුන් රාවණා රජු “මහා බ්‍රාහ්මින්” යන නමින් හඳුන්වනු ලබයි.

හිමාචල් ප්‍රදේශයේ ‘කන්ගරා’ දිස්ත්‍රික්කයේ ‘බයිජනාත්’ කෝවිල ශිව දෙවියන් හා රාවණා රජු වදින පුදනු ලබන පුදබිමකි. පුරාවෘත්තවල සඳහන් වන පරිදි රාවණා විසින් මෙම ස්ථානයේදී ශිව දෙවියන් වැඳ පුදා තිබේ. ශිලාමය කැටයමින් යුත් පෞරාණික කෝවිල අදටද රාවණා හා ශිව බැතිමතුන්ගේ නොමඳ වන්දනාවන්ට පුද පුජාවන්ට පාත්‍රවේ. බින්වා ගංගාවේ වම් ඉවුරේ පිහිටි ‘බයිජාන්ත්’ දේවාලය.

මධ්‍ය ප්‍රදේශයේ ‘මන්ඩසවුර්’ දේවාලයද රාවණා චරිතය අදහනු ලබන බැතිමතුන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වූ කෝවිලකි. මෙම “මන්ඩසවුර්නට රාවණා රජුගේ බිරිය වූ “මන්දෝදරි” දේවිය සිහිපත් කරවන බවද මෙහිදී රාවණා හා මන්දෝදරී විවාහ වූ බවටද ජනප්‍රවාදයේ එයි. එසේම මෙය මන්දෝදරිගේ ගම බව මද විශ්වාස කරනු ලැබේ. මෙහි හා ඒ ආසන්න ‘කාන්පුර්හි” තැනූ විශාල රාවණා ප්‍රතිමාවට වදින පුදන ජනතාව පවසන්නේ රාවණා හට වේද ග්‍රන්ථ පිළිබඳ තිබූ විශාල දැනුමක් ශිව පිළිබඳ වූ විශ්වාසයත් නිසා ඔවුන් රාවණා අදහන බවත් රාවණා ප්‍රතිමා පිලිස්සීම කවදාවත් සිදු නොකරන බවත්ය. ඔවුහු ‘රාවන් බාබා නමහඃ’ ලෙස තම ගෞරවය පළ කරති.

ආන්ද්‍ර ප්‍රදේශයේ කකිනද ප්‍රදේශයේද අදටද රාවණා රජු දේවත්වයෙහිලා අදහන්නාවූ බැතිමතුන් බහුලය. රාවණා වෙනුවෙන් ඉදිවූ ආන්ද්‍රවේ එකම කෝවිල මෙය වේ. ඔවුන් විශ්වාස කරන පරිදි ශිව දෙවියන් ඇදහීම පිණිස රාවණා විසින් මෙම දෙවොල ඉදිකොට ඇත.

Comments