බෞද්ධ ලෝකය උණුසුම් කළ මහා සෑයේ ප්‍රතිසංස්කරණ ඉතිහාසය | සිළුමිණ

බෞද්ධ ලෝකය උණුසුම් කළ මහා සෑයේ ප්‍රතිසංස්කරණ ඉතිහාසය

රුවන්මැලි සෑය ප්‍රතිසංස්කරණයේදී එදත් විවේචන තිබුණා

ප්‍රතිසංස්කරණය සඳහා මුදල් දෙන්නන් අපාගත වන බවට බලපෑම්

චූඩා මාණික්‍යයේ පාදම සඳහා යොදාගෙන ඇත්තේ පිරිසුදු රත්ත්‍රන් කිලෝග්‍රෑම් 28 මැණික් ගල් 4300

 වසර 80ක් පැරණි චූඩාමාණික්‍යය වෙනුවට වසර සියයක් පවතින නව චූඩාමාණික්‍යයක්

දන්ත ධාතූන් වහන්සේට සෙවණ දෙන මහනුවර දළදා මාළිගය, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා ද්‍රෝණයක් සර්වඥ ධතූන් වහන්සේ නිධන්ව ඇති රුවන්මැලි මහා සෑ රදුන් ශ්‍රී ලාංකේය බෞද්ධයන්ගේ අතිශය වන්දනාවට හා ගෞරවයට පාත්‍ර වූ ස්ථාන ත්‍රිත්වයයි. එයින් රුවන්මැලි මහා සෑය පිළිබඳව යම් කතිකාවතක් මතුව ඇත. එයට හේතුව රුවන්මැලි මහා සෑයේ කොත් කැරැල්ලේ ප්‍රතිසංස්කරණ උදෙසා එම මළුවේ යකඩ බට යොදා දැවැන්ත පලංචියක් ඉදිකිරීම මඟින් සෑයට හානියක් වීද හෝ වේද යන්න පිළිබඳවයි. පෞද්ගලික සංවිධානයක් මැදිහත්වී කොත් කැරැල්ලේ රන් ආලේප කිරීම පිළිබඳව ඇතැම් පිරිස් දැඩි විවේචනද එල්ල කර තිබේ. රුවන්මැලි මහා සෑයේ  ප්‍රතිසංස්කරණවලදී මෙසේ විවේචන පැමිණියේ වර්තමානයේ පමණක් නොවන බව එහි ප්‍රතිසංස්කරණ ඉතිහාසය පිරීක්සීමේදී පෙනී යයි. අදින් සියවසකට පෙර සිදුකරන ලද ප්‍රතිසංස්කරණවලදී පවා මෙසේ විවේචන එල්ල වී ඇත.

රුවන්මැලි සෑ කොත් වහන්සේ

රුවන්මැලි සෑයේ ඉදිකිරීම් පිළිබඳව ඉතා දීර්ඝතම හා සිත්ගන්නා විස්තරයක් මහාංවශයේ ඇතුළත් වී ඇත. චෛත්‍යයේ ඉදිකිරීම් අවසන් කිරීමට ප්‍රථමව දුටුගැමුණු රජු මිය ගිය බැවින් එහි කටයුතු අවසන් කිරීමට සිදුවූයේ ඔහුගේ සොයුරු සද්ධාතිස්ස රජුටය. ඔහු ස්තූපය වටා ඇත් පවුරක්ද කරවා ඇත. රුවන්මැලි මහා සෑය වෙනුවෙන් රජ දවස සිදුකරන ලද පූජා හා ප්‍රතිසංස්කරණ පිළිබඳව විමසා බැලීම මෙහිදී වැදගත් වේ. ආරම්භයේදී ස්තූපය මුදුනත එක ඡත්‍රයක් පමණක් වන අතර ආමණ්ඩ ගාමිණී රජු (ක්‍රි.ව.19-29) විසින් එම ඡත්‍රය මත තවත් ඡත්‍රයක් කරවා ඇත. සිරිනාග රජතුමා (ක්‍රි.ව.189-209) ඡත්‍රයක් නැවත සාදවා වර්තමානයේ කොත් කැරැල්ලේ රත්තරන් අලේප කරන්නාක් මෙන් එම ඡත්‍රයේ රත්තරන්ද ආලේප කර ඇත. සංඝතිස්ස රජතුමා (ක්‍රි.ව.243-247) සහ ධාතුසේන රජුද (ක්‍රි.ව.455-473) ඡත්‍රය ප්‍රතිසංස්කරණය කර එහි රත්තරන් ආලේප කර තිබේ. එහිදී සංඝතිස්ස රජු ඡත්‍රය මත පළිඟු මුද්දක් සවිකර චූඩා මාණික්‍යයේ සතර දිශාවේ විශාල මාණික්‍ය සතරක්ද සවිකර තිබේ.

අග්බෝ රජු කාලයේදී රුවන්මැලිසෑයට ශිලාමය ඡත්‍රයක් සවිකර ඇත. භාතිකාභය රජු, ධාතුසේන රජු හා දෙවන මොග්ගල්ලාන රජු (ක්‍රි.ව.614-619) විසින් අලුතින් බදාම යොදා චෛත්‍ය අලුත්වැඩියා කර තිබේ. එසේම මොග්ගල්ලාන රජු ඒ වෙනුවෙන් මහාර්ඝ උත්සවයක්ද පවත්වා ඇත. මහානාග රජු (ක්‍රි.ව.569-571) විසින් මහා ස්තූපය ප්‍රතිසංස්කරණය කර අකුණු වලින් ආරක්ෂා කිරීමට වළල්ලක්ද සවිකර ඇත. 10වන සියවස අගදී චෝල ආක්‍රමණයෙන් විනාශ වූ මහා ස්තූපය පළමුවන මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව.1153-1186) විසින් රියන් 120ක් උසට නංවා ප්‍රතිසංස්කරණය කර තිබේ.

අගනුවර අනුරාධපුරයෙන් පොලොන්නරුවට සංක්‍රමණය වීමත් සමඟ රුවන්මැලි සෑය ප්‍රමුඛ සියලූම අනුරාධපුර උරුමයන් නටබුන් වී ගියේය. 1830 දී ටෙනන්ට් මහා ස්තූපය නිරීක්ෂණය කර විස්තරයක් සපයා ඇත. ඒ අනුව එකල ගරා වැටී තිබූ මෙම ස්තූපයේ උස අඩි 189කි. ඒ පිළිබඳව සඳහන් කරන ටෙනන්ට් 1850දී තම කෘතිය ප්‍රකාශයට පත් කරන විට එය තවදුරටත් සේදී යාම නිසා එහා උස අඩි 150ක් දක්වා අඩුවී ඇති බව පවසයි. වර්ෂ 1853 වන විට නටබුන් ගොඩැල්ල මත බැතිමත් පිරිසක් විසින් පින්කමක් පවත්වා කොත් වහන්සේ නමක් තැන්පත් කර තිබිණි. වර්ෂ 1940 නව කොත පළඳන තුරු සෑය මුදුනේ පැවැත ඇත්තේ මෙම පිත්තල කොතයි.

වර්ෂ 1886දී හෙන්රි පාකර්ද මහා ස්තූපය පිළිබඳව වාර්තා කර ඇත. ඒ අනුව මෙම මහා ස්තූපය නැවත ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹූයේ 1870 දශකයේදීය. ඒ නාරංවිට සුමනසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් වූ රුවන්මැලි සෑ චෛත්‍ය ප්‍රතංසංස්කරණ සමිතිය මගිනි. එම ප්‍රතිසංස්කරණ අවසන් කර 1940 පොසොන් පොහෝ දින කොත් පලඳවා දාගැබ් වහන්සේ විවෘත කරවීය. එහිදී සවිකරන ලද රන් ආලේපිත කොත් වහන්සේ අඩි 26ක් උස වන අතර එම කොත් වහන්සේ මුදුනත සවි කරන ලද අඩියක් උසැති පළිඟු මැණික බුරුමයෙන් පරිත්‍යාග කර තිබේ. ඒ අනුව රුවන්මැලි මහා ස්තූපයේ වර්තමාන උස අඩි 338ක් හා විෂ්කම්භය අඩි 370ක් වේ.

දීර්ඝ කාලයත් තිස්සේ ජරාවාසව පැවැති රුවන්වැලිසෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භවූයේ 1872 වර්ෂයේදී ය. මතුවූ ප්‍රායෝගික ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව එතුමෝ මහා සෑයේ ප්‍රතිසංස්කරණ ආරම්භ කළහ. උන්හන්සේගේ මෙම ප්‍රතිසංස්කරණ ආරම්භ කළේ ඕවිල්ලේ කුමාරිහාමි නැතහොත් බුලන්කුලමේ කුමාරිහාමි විසින් සපයා දෙන ලද කම්කරුවන් සහ ආධාර මුදල් වලිනි.

ධර්මපාලතුමාගේ විරෝධය

1910දී වර්ෂාව නිසා ඒ දක්වා ඉදිකර තිබූ චෛත්‍යයේ නැගෙනහිර කොටස කඩාවැටී තිබේ. එයට මූලික හේතුව වී ඇත්තේ ප්‍රතිසංස්කරණ කටයුතුවල දුර්වලතාවයි. මෙයින් පසුව චෛත්‍ය වර්ධන සමාගම චෛත්‍යයේ පැරැණි බැම්ම සම්පූර්ණයෙන්ම ගලවා ඉවත්කර සිමෙන්ති, කළු ගල් හා ගඩොළු ආදිය යොදවා අලුතින්ම නිර්මාණය කිරීමට ආරම්භ කර තිබේ. චෛත්‍යයේ කඩා වැටීම් සමඟ ප්‍රතිසංස්කරණ පිළිබඳව විවිධ විවේචන එල්ලවී ඇති අතර චෛත්‍ය වර්ධන සමිතියේ ශාඛා සමිති මගින් ආධාර මුදල් එවීමද නතර කර ඇත. නාරංවිට සුමනසාර හිමියන්ගේ මූලිකත්වයෙන් කරන ප්‍රතිසංස්කරණවලට විරුද්ධව ආ විවේචන පිටුපස කොළඹ මහාබෝධි සමාගමද සිටියේය. ආරම්භයේ චෛත්‍ය වර්ධන සමිතියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍ර තුමා ඉන් ඉවත්වූයේය. අනතුරුව එතුමාගේ සහ අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රධානත්වයෙන් පළවුණ “සිංහල බෞද්ධයා” පුවත්පත මගින් රුවන්මැලි සෑයේ ප්‍රතිසංස්කරණ විවේචනය කළේය. මීට පිළිතුරු වශයෙන් සිරි අනුරාපුර පුවත පත්‍රය මගින් මහාබෝධි සමාගම හා එහි නායකයන්ද විවේචනය කරමින් පුවත් පළකර තිබිණි.

එක් අවස්ථාවක ‘සිංහල බෞද්ධයා‘ පුවත්පතේ ලිපියක් පළකරන ධර්මපාලතුමා බුදුන් දහම් දෙසුවා මිස පන්සලකට වී වෙහෙර විහාර නොසෑදු බව දක්වමින් නාරංවිට සුමනසාර හිමියන් විවේචනය කළේය. එසේම රුවන්මැලි සෑයේ ප්‍රතිසංස්කරණයන්ට ආධාර ලබා දෙන්නන් අපාගත වන බවද ලියා තැබුවේය. සිංහල බෞද්ධයා පුවත්පතට ලිපියක් රචනා කරන ලද තවත් අයෙකු රුවන්මැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ සඳහා විදේශයන්ගෙන් ගෙන්වන ලද සිමෙන්ති හා ද්‍රවිඩ කම්කරුවන් යොදා ගැනීමද විවේචනයට ලක්කර තිබිණි. සිරි අනුරාපුර පුවතට අනුව වරක් ධර්මපාලතුමාගේ මෑණියන්ද ආධාර එකතු කරමින් පැමිණ චෛත්‍යයේ කටයුතු සඳහා දායක වී ඇති නමුත් ඇයගේ ක්‍රියාකලාපය පිළිබඳව කලකිරුණු චෛත්‍ය වර්ධන සමාගමේ ලේකම් වූ රාජපක්ෂ නොතාරිස් අස්වී තිබේ. මෙම අර්බුදයද ධර්මපාලතුමා හා රුවන්මැලිසෑ ප්‍රතිසංස්කරණ අතර විරසකයක් ඇතිවීමට බලපාන්නට ඇත.

සෙනරත් පරණවිතානයන්ගේ විවේචන

ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාවේ පියා ලෙස සැලකෙන මහාචාර්ය සෙනරත් පරණවිතානයන් 1972දී රචිත ‘පුරාවිදු පර්යේසණ‘ නම් කෘතියේ ද රුවන්මැලි සෑයේ සිදුවූ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව විවේචනාත්මකව අදහස් දක්වා තිබේ. එහි සටහනක් තබන පරණවිතානයන් “1946 මාර්තු අගදී පමණ දකුණු වාහල්කඩේ ප්‍රතිසංස්කරණ කටයුතු සමිතිය මඟින් අරඹන ලදි. ඒ ගොඩනැගිල්ලේ මූණතට අල්ලන ලද ගල් තහඩු අඩි 10ක් 12ක් පමණ උසට ආරක්ෂා වි තිබුණු නමුත් ඒ පැරැණි ගොඩනැගිල්ල ගලින් ගල ගලවා ඉවත්කර ඒ වෙනුවට අලුත් ගොඩනැගිල්ලක් ඒ ස්ථානයේ ඉදිකිරීමට සමිතිය තීරණය කර තිබුණි. පැරණි බදාම තට්ටුව ආරක්ෂා කරවීමත් අලුත් වැඩවලට ඒ බදාම තට්ටුව පදනම කර ගැනීමත් උසස් කාර්මික දක්ෂතා ඇති අය ලවා කරවිය යුතු දෙයක්විය. සමිතියේ සේවකයන් කිසිවෙකුට මේ දක්ෂතා තිබුනේ නැත. දෙපාර්තමේන්තුවට නොදන්වාම ගොඩනැගිල්ල ගැලවීමේ කාර්යය ආරම්භ කරන ලදි. ඒ කාර්යය කරගෙන යන ලද්දේත් ඒ අතරතුර සම්බවිය හැකි පුරාවස්තු පිළිබඳ සුදුසු නිරීක්ෂණයක් කිරීමට හෝ ඒ පිළිබඳ සටහන් තබාගැනීමට හෝ සෑහෙන සැලැකිල්ලක් දක්වමින් නොවේ.”

ඒ පිළිබඳව තවදුරටත් විස්තර කරන පරණවිතානෝ “...... එසේ වුවත් ගොඩනැගිල්ල ගලවා දැමීමේ ඉතුරු වැඩ කොටස ක්‍රමවත් ලෙසකින් නිම කරවීමට සමිතිය එකඟ කරගත නොහැකි විය. සමිතිය විසින් නව ගොඩනැගිල්ලට මුල් ගල තැබීම සඳහා සුබ දිනයක්ද ළඟ ළඟම නියම කරගෙන උත්සවයට සහභාගිවීම සඳහා සම්භාවනීය පුද්ගලයන් කීපදෙනෙකුට ආරාධනා කර තිබුණි. සමිතියට වුවමනා වූ එකම දෙය ආරාධිත සම්භාවනීය අමුත්තන්ට අවහිරයක් නොවන පරිදි මුල් ගල් තැබීමේ උත්සවය යෝජිත ආකාරයෙන් පැවැත්වීමය. මීට සමාන කර බලනවිට පැරණි වස්තුවකට හානියක්වීම හෝ පුරාවිද්‍යානුකූල සාක්කියක් නැතිවී යාම හෝ ඔවුන්ට එතරම් සැලැකිය යුතු දෙයක් නොවීය. ප්‍රායෝගික වැදගත්කමක් එතරම් දුරට හෝ කොහෙත්ම හෝ නොමැති කරුණු ගැන පුරාවිද්‍යාඥයන් දක්වන උනන්දුව සමිතියේ උදවියට තේරුම්ගත නොහැකි දෙයක් විය.”

රුවන්මැලි මහා සෑයේ ප්‍රතිංසංස්කරණ පිළිබඳව අනගාරික ධර්මපාලතුමන්ගේ විවේචන තුළ යම් යම් පෞද්ගලික අභිමතාර්ථයන්ද කැටිව තිබූ බව පැහැදි වනවා සේම සෙනරත් පරණවිතානයන් පුරාවිද්‍යාත්මක දෘෂ්ටියෙන් දක්වන විවේචන තුළ පැහැදිලි සත්‍යයක් ඇති බවද වැටහේ. මෙම මත ගැටුම් මැද ප්‍රතිසංස්කරණ අවසන් කිරීමෙන් පසුව චෛත්‍ය විවෘත කිරීමේ වෛජයන්ති මංගල්‍ය 1940 ජුනි මස 15 වැනි දින අරඹා තිබේ. සිළුමිණ සවිකිරිමේ කටයුතු ජුනි 17 දින උදෑසන 8.50ට යෙදුණු සුබ නැකතින් සිදුකර ඇත. චූඩාමාණික්‍ය විවෘත කිරීම ජුනි 19 පොසොන් පොහෝදින සිදුකර ඇති අතර එදිනම සවස 4ට පමණ ඩී.බී.ජයතිලක, ඩී.එස්.සේනානයක, ඩබ්.ඒ.සිල්වා ප්‍රමුඛ බෞද්ධ නායකයන් පිරිසක් විසින් කොත් වහන්සේ විවෘත කර තිබේ.

Comments