කිෂූ යළි පුද්ග­ලික අංශ­යට | සිළුමිණ

කිෂූ යළි පුද්ග­ලික අංශ­යට

සංචා­රක ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ සභා­ප­ති­ව­ර­යාව සිටි කිෂූ ගෝමස් මහතා සිය තන­තු­රින් ඉල්ලා අස්වී තිබේ. පාස්කු ප්‍රහා­රය නිසා බිඳ වැටුණු සංචා­රක ක‍්ෂේත්‍රය යළි නඟා සිටු­වීම උදෙසා විශාල උත්සා­හ­යක යෙදී සිටි­යදී සිදුවූ මෙම ඉල්ලා අස්වීම පිළි­බඳ අපි ඔහු­ගෙන් විම­සු­වෙමු.

“මං ආවේ ලංකාවෙ ආර්ථි­ක­යට වැද­ගත්ම දාය­ක­ත්ව­යක් සප­යන අංශ­ය­කට. එය නඟා සිටු­වීම පම­ණයි, මගේ දැක්ම තුළ තිබුණේ. එහෙම නැතිව, රජයේ සේව­යට එක්වී­මට මා තුළ තිබූ කැමැ­ත්තක් නිසා නෙවෙයි. අනික මගේ උප­ක­ල්ප­න­යට අනුව, අඩු­වෙන් ම දේශ­පා­ල­නී­ක­ර­ණය වූ තැනත් ලෙසයි මා සංචා­රක ක්ෂේත්‍රය දුටුවේ. නමුත් රාජ්‍ය සේවය තුළ පව­තින පොදු සීමා මායිම් කොතැ­න­ටත් අදා­ළයි. ව්‍යාපා­රික ලෝකයේ තර­ග­කා­රි­ත්ව­යට අවශ්‍ය ක්ෂණික තීරණ ගැනීම් ක්ෂණික ක්‍රියා­ත්ම­ක­වීම්, පෞද්ග­ලික අංශ­යේදි වගේ ගන්න තිබෙන නිද­හස අඩුයි.

එවැනි තත්ත්ව­යක් මත වුවත් සංචා­රක ක්ෂේත්‍රයේ මේ බිඳ වැටීම, හය මාස­යක් තුළ 80% දක්වා වර්ධ­නය කරන්න මට හැකි වුණා. එය ජාත්‍ය­න්ත­රය හා සස­ඳද්දි ඉතා හොඳ ප්‍රව­ණ­තා­වක්. මං මෙතැ­නින් එළි­යට යන්නේ ඒ ජය­ග්‍රාහි පසු­බි­මත් එක්ක. අලුත් ජනා­ධි­ප­ති­ව­ර­යෙක් යටතේ තව අලුත් කෙන­කුට අව­ස්ථා­වක් එනවා. ලබන පෙබ­ර­වාරි වෙන­කල් මට කාලය තිබු­ණත්, මට යන්න කියන කල් මං ඉන්නෑ. මං අයින් වෙන්නේ, මගේ ගෞර­වය සහ ජය­ග්‍ර­හ­ණය තියා­ගෙන. අනික, මේ තමයි ඒ සඳහා හොඳම වෙලාව. මං ආපහු යන්නෙ පුද්ග­ලික අංශ­යට. ජාත්‍ය­න්ත­රය හා ගනු­දෙනු කරන, දේශීය සමා­ග­ම­කට. මේ රටේ සංචා­රක ව්‍යාපා­රය ඉක්ම­නින් යථා තත්ව­යට පත්වේවා! කියලා මං ප්‍රාර්ථනා කර­නවා.

Comments