සිංහලේ රාජා­ව­ලිය ලේ විලක් කළ උමතු ඝාතන - පළමු වැනි කොටස | සිළුමිණ

සිංහලේ රාජා­ව­ලිය ලේ විලක් කළ උමතු ඝාතන - පළමු වැනි කොටස

වංශ­කථා පවසන ඉති­හා­සය අනුව රජු මරා රජ වූ පුද්ග­ල­යාට ආග­මික හෝ සමා­ජීය ප්‍රති­වි­රෝ­ධ­යක් එල්ල වී නැහැ

මුල් වක­වා­නුවේ වැඩි­ම­නත්  රාජ්‍ය නායක ඝාතන  සිදු වන්නේ විදේශ ආක්‍ර­ම­ණ­ව­ලින් නොවේ

වැඩිම ඝාතන ප්‍රමා­ණ­යක් කර තිබෙන්නේ කාම­යෙන් මත් වුණු අනුලා බිසවයි

 

නා­දි­මත් කාල­යක පටන් ලෝකයේ බොහෝ රට­වල දේශ­පා­ලන බලය පැහැ­ර­ගැ­නීම උදෙ­සාත් පව­තින පාලන තන්ත්‍රය අකා­ර්ය­ක්ෂම කිරීම උදෙ­සාත් රාජ්‍ය නායක ඝාතන සිදු වී ඇත. ඇතැම් රාජ්‍ය නායක ඝාතන රණ­බිමේ දී සිදු වී ඇති අතර, හොර රහසේ රජ­මා­ලි­ගාව තුළ සිදු වී ඇති රාජ්‍ය නායක ඝාතන ද වේ. නිද­හ­සින් පසුව ද එවැනි රාජ්‍ය නායක ඝාතන සිදු විණි.

 

1956 වසරේ දී මෙරට වූ මහා­ප­රි­මාණ සමාජ, සංස්කෘ­තික හා දේශ­පා­ලන විප්ල­වයේ අනු­හා­සා­ත්මක නාය­කයා වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩා­ර­නා­යක මහතා 1959 සැප්තැ­ම්බර් මස 25 දින එතු­මාගේ නිවසේ දී වෙඩි ප්‍රහා­ර­ය­කට ලක් වී පසු දින අභා­ව­යට පත් වූයේ ය. වර්ෂ 1993 මැයි මස පළමු වැනි දා එක්සත් ජාතික පක්ෂයේ මැයි දින පෙළ­පා­ළි­යට සහ­භාගී වී සිටි එව­කට ජනා­ධි­ප­ති­ව­රයා වූ රණ­සිංහ ප්‍රේම­දාස මහතා එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත­වාදී සංවි­ධා­නයේ ආත්ම­ඝා­තක බෝම්බ කරු­ව­කුගේ ප්‍රහා­ර­යට ලක් වී කොළඹ ආමර් වීදි­යේදී මිය­ගියේ ය. 1999 දෙසැ­ම්බර් මස 19 දින කොළඹ පුර­හල පිටියේ පැවැති චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග ජනා­ධි­ප­ති­නි­යගේ අව­සන් රැලියේ දී එතු­මිය ඝාත­නය කිරී­මට එල්.ටී.ටී.ඊ. සංවි­ධා­නයේ ආත්ම­ඝා­තක තරු­ණි­යක උත්සාහ කළ නමුත් එහිදී වූ පිපි­රී­මෙන් ජනා­ධි­ප­ති­නි­යගේ ජීවි­තය බේරිණි.

ලංකාවේ සිදු වූ රාජ්‍ය නායක ඝාත­න­ව­ලට ඉති­හා­ස­යක් තිබේ. මහා­වං­සයේ සඳ­හන් වී ඇති ලෙස දේශ­පා­ලන බලය අල්ලා­ගැ­නීම සඳහා මුල්ම රාජ්‍ය නායක ඝාත­නය සිදු වී ඇත්තේ විජය සහ ඔහුගේ පිරි­වර මෙර­ටට පැමිණි පළමු දිනයේ දී ම ය. දේශීය කාන්තා­වක වූ කුවේ­ණිගේ ආධා­ර­යෙන් මෙරට පාල­කයා වූ යක්ෂ­රා­ජයා එදින රාත්‍රියේ දී ඝාත­නය කළ විජය කුමරු එම රාජ ප්‍රධා­නි­යාගේ ආභ­රණ පැලඳ මෙරට පාල­කයා බවට පත් වූයේ ය. එම ඝාත­න­යෙන් පසුව මෙරට වාසය කළ දේශීය ජන­යාගේ බලය දුර්වල වූ නමුත් ඔවුන්ගේ පැවැත්ම සම්පූ­ර්ණ­යෙන්ම විනාශ නොවිණි.

මෙරට වූ දෙවැනි රාජ්‍ය නායක ඝාත­නය රණ­බිමේ දී සිදු වූවකි. පණ්ඩු­කා­භය කුමරු මෙරට රාජ්‍ය බලය හිමි කර­ගැ­නීම සඳහා සිය මාමා­ව­රුන් සමඟ දීර්ඝ සංග්‍රා­ම­ය­කට එළ­ඹු­ණේය. දේශීය ජන­යාගේ ආධාර හිමි වූ පණ්ඩු­කා­භය කුමරු විජ­ය­ග්‍රාහී වූයේ තමන්ගේ මාමා­ව­රුන් දස දෙනා­ගෙන් අට­දෙ­නකු මරා­දැ­මී­මෙනි. එතෙක් විධි­මත් පාල­න­ය­කින් තොරවූ මෙරට සමාජ සංවි­ධා­නය ක්‍රමා­නු­කූ­ලව සංව­ර්ධ­නය කළ පණ්ඩු­කා­භය රජු අනු­රා­ධ­පුර නග­රය මෙරට පළමු වන පරි­පා­ලන අග­න­ග­රය බවට ද පත් කළේ ය.

පණ්ඩු­කා­භ­ය­ගෙන් ආරම්භ වූ අනු­රා­ධ­පුර රජ පෙළ­පත ක්‍රම­යෙන් මෙරට පාල­නය විධි­මත් කොට රාජ්‍ය බලය සුර­ක්ෂිත කිරී­මට උත්සුක ද වූයේ ය. පණ්ඩු­කා­භය රජුගේ මුනු­පුරු දේවා­නම් පිය­තිස්ස රජුගේ (ක්‍රි. පූ. 250 - 210) රාජ්‍ය සමයේ දී වූ මහි­න්දා­ග­ම­නය හා දුමි­න්දා­ග­ම­න­යෙන් පසුව අනු­රා­ධ­පුර රාජ­ධා­නියේ වර්ධ­නය හා විධි­මත් පාල­නය තව­දු­ර­ටත් සංව­ර්ධ­නය විය. එහෙත් දේවා­න­ම්පි­ය­තිස්ස රජුගේ අභා­ව­යෙන් කෙටි කල­කට පසුව මෙරට පාල­නය කළ දේවා­නම් පිය­තිස්ස මහ­ර­ජුගේ කනිෂ්ඨ සොහො­යු­රකු වූ සූර­තිස්ස රජු, සේන ගුත්තික නම් වූ විදේ­ශීය ආක්‍ර­ම­ණි­ක­යන් දෙදෙ­න­කුගේ අතින් ඝාත­න­යට ලක්වූයේ ය. සූර­තිස්ස රජු මරා­දමා මෙරට රාජ්‍ය බලය පැහැ­ර­ගත් සේන ගුත්තික යන අස් නැවි­යන් දෙදෙනා අවු­රුදු විසි දෙකක් අනු­රා­ධ­පුර රාජ්‍යයේ බලය සියතේ තබා­ගෙන රට මෙහෙ­යවා තිබේ.

එම විදේ­ශි­ක­යන් දෙදෙ­නා­ගෙන් මෙරට නිද­හස් කර­ගැ­නී­මට පිය­වර ගෙන ඇත්තේ ද දේවා­න­ම්පි­ය­තිස්ස මහ­ර­ජුගේ නම වන සොහො­යුරු වූ අසේල කුම­රු­වාය. සේන ගුත්තික නම් වූ ආක්‍ර­ම­ණික පාල­ක­යන් දෙදෙන මරා­දමා අනු­රා­ධ­පුර රාජ්‍ය හිමි කොට­ගත් අසේල රජු දස­ව­සක් මෙරට පාල­නය කිරී­මට වාස­නා­වන්ත වූයේය.

අසේල රජුගේ දස වන රාජ්‍ය වර්ෂයේ දී ඉන්දි­යාවේ සොළී දේශ­යෙන් මෙර­ටට පැමිණි එළාර නම් කුම­රකු අසේල රජු අල්ලා­ගෙන මෙරට පාලන බලය සිය­තට ගත් බව මහා­වං­සයේ සඳ­හන් වේ. අවු­රුදු 44ක් මෙරට තම පාල­නය යටතේ තබා­ගැ­නී­මට එළාර රජුට හැකි විණි. අල්ලා ගනු ලැබූ අසේල රජුට සිදු වූයේ කුම­ක්දැයි මහා­වං­සයේ සඳ­හන් නොවේ. අල්ලා­ගත් මෙරට පාල­කයා වූ අසේල රජු පසුව ඝාත­නය කළේද නැති නම් ජීවි­තා­න්තය දක්වා සිර­භා­රයේ රඳ­වා­ග­ත්තේ­දැයි නිශ්චි­තව ප්‍රකාශ කිරී­මට අවශ්‍ය මූලික කරුණු වංශ­ක­ථාවේ සඳ­හන් නොවීම පාඩු­වකි.

දැහැ­මින් දීර්ඝ කාල­යක් මෙරට පාල­නය කළ එළාර රජු ද අව­සා­නයේ දී දුටු­ගැ­මුණු කුමරු අතින් ජීවි­ත­ක්ෂ­යට පත් වූයේ රණ­බිමේ දී දෙදෙනා අතර ඇති වූ ද්වන්ධ සට­න­කදී ය. එළාර රජුගේ පාර්ශ්ව­ය­යෙන් ඔහුට සහාය වූ දේශීය ප්‍රධා­නීන් බොහෝ දෙනෙකු එළාර රජුගේ අභා­ව­යෙන් පසුව දුටු­ගැ­මුණු රජ­තු­මාගේ (ක්‍රි. පූ. 161 - 137) පාල­න­යට අව­නත වූ බව පෙනේ.

දුටු­ගැ­මුණු රජ­තු­මාගේ සොහො­යුරු වූ සද්ධා­තිස්ස (ක්‍රි. පූ. 137 - 119) රජුගේ අභා­ව­යෙන් පසුව නැව­තත් මෙරට රාජ්‍ය බලය පිළි­බඳ අර්බු­ද­යක් මතු විය. රාජ්‍යය හිමි විය යුතු සද්ධා­තිස්ස රජුගේ දෙටු­පුත් ලදැ­තිස් අනු­රා­ධ­පුර අග­න­ග­රයේ වාසය නොකළ බැවින් සද්ධා­තිස්ස රජුගේ අමා­ත්‍ය­ව­රුන් භික්ෂු සංඝ­යාගේ අනු­මැ­ති­යෙන් සද්ධා­තිස්ස රජුගේ බාල පුතු වූ ථුල්ල­ත්තන (ක්‍රි. පූ. 119) කුමරු අනු­රා­ධ­පුර රාජ්‍යයේ අග­රජු ලෙස අභි­ෂේක කිරී­මෙනි. තමන්ගේ උරු­මය අහිමි වීමෙන් කුපිත වූ ලදැ­තිස් කුමරු අනු­රා­ධ­පු­රය වටලා ථුල්ල­ත්තන රජු අත්අ­ඩං­ගු­වට ගෙන තෙමේ රාජ්‍ය­බ­ලය උදු­රා­ගත්තේ ය. අත්අ­ඩං­ගු­වට ගත් තම සහෝ­ද­රයා ඝාත­නය කළේද යන්න පිළි­බඳ හෝ ඔහුගේ අව­සා­නය වූයේ කව­රා­කා­ර­ය­කින් ද යන්න පිළි­බඳ හෝ මහා­වංස කතු­ව­ර­යාගේ අව­ධා­නය යොමු වී නැත. මෙම අව­ස්ථාවේ දී ථුල්ල­ත්තන ඝාත­නය වන්නට ඇතැයි සිතිය හැක්කේ ලදැ­තිස් රජු (ක්‍රි. පූ. 119 - 109) අවු­රුදු නව­ය­කුත් මාස­යක් පමණ කාල­යක් රජ­කොට මිය­ගිය අව­ස්ථාවේ දී පවා ථුල්ල­ත්තන රජු­හට යළි මෙරට බලය හිමි නොවීම නිසාය.

ලදැ­තිස් රජු මළ කල මෙරට රාජ්‍ය බලය හිමි කොට­ගත් ඔහුගේ වෙනත් සොහො­යු­රකු වූ ඛල්ලා­ට­නාග රජු (ක්‍රි. පූ. 109 - 103) ද සය අවු­රුදු පාලන කාල­ය­කින් පසුව ඝාත­න­යට ලක් වී ඇත. එම ඝාත­නයේ විශේ­ෂ­ත්වය වන්නේ ඝාත­කයා රාජ­කී­යකු හෝ ආක්‍ර­ම­ණි­ක­යකු හෝ නොවී රජු­ගේම සෙන­වි­යකු වීම ය. මහා­ර­ත්තක නම් වූ එම සෙන­වියා ද එදි­නම ඛල්ලා­ට­නාග රජුගේ බාල සොහො­යු­රකු වූ වට්ට­ගා­මනී (වළ­ගම්බා) කුමරු අතින් ඝාත­න­යට ලක්වූ­යේය.

මෙරට රජු ලෙස සේසත් නැංවූ වළ­ගම්බා රජුට රාජ්‍ය පාල­නය කළ හැකි වූයේ මාස 5ක් පමණි. ඉනි­ක්බි­තිව ද්‍රවිඩ කුමා­ර­වරු සත්දෙ­නෙ­කුගේ ආක්‍ර­ම­ණ­යට මෙරට ලක් වූ අතර ආක්‍ර­ම­ණි­ක­යන්ට විරු­ද්ධව සට­නට ගිය වළ­ගම්බා රජු (ක්‍රි. පූ. 103 - 102) සටනේ දී පරා­ජ­යට පත්ව ජීවි­තා­ර­ක්ෂාව පතා පැන­ගියේ ය. මෙරට රාජ්‍ය බලය හිමි­කොට ගත් ද්‍රවිඩ කුමා­ර­වරු සත් දෙනා­ගෙන් දෙදෙ­නෙක් පෙරළා සිය­රට ගිය අතර ඉතිරි පස් දෙනා මෙරට රැඳෙ­මින් රාජ්‍ය පාල­නය ගෙන ගියෝ ය. මුලින් ම රජ වූ පුළ­හත්ත නම් ද්‍රවි­ඩයා ඔහුගේ ම සෙන­වියා වූ බාහිය අතින් ඝාත­න­යට ලක්වූයේ තුන් අවු­රුදු පාලන කාල­යක් අව­සා­නයේ දී ය. පුළ­හත්ත මරා­දමා අනු­රා­ධ­පු­රයේ රජ වූ බාහිය ද්‍රවිඩ රජුට මෙරට පාල­නය ගෙන­යා­මට හැකි­වූයේ අවු­රුදු දෙකක පමණ කෙටි කාල­යකි. ඔහුගේ සෙන­වියා වූ පණ­ය­මාර බාහිය රජු මරා­දමා රජ වී සත් වස­රක් මෙරට පාල­නය කළේ ය.

පෙර සිදු වූ සියල්ල පිළි­බඳ මනා අව­බෝ­ධ­ය­කින් පසු වූ පණ­ය­මාර රජුගේ සෙන­වියා ද පණ­ය­මාර රජු මරා මෙරට රාජ්‍ය බලය අල්ලා­ගෙන සත් මසක් රජ කිරී­මට සමත් වූයේ ය. පිල­ය­මාර නම් වූ ඔහුගේ සහා­යට දෘඨික නම් වූ ප්‍රබල සෙන­වි­යෙක් වූයේ ය. පිල­ය­මා­රගේ අව­සා­නය සිදු වූයේ ද ඝාත­න­ය­කිනි. පෙර ද්‍රවිඩ රජ­ව­රුන්ගේ මෙන්ම ඔහුගේ ඝාත­කයා වූයේ ද සිය සෙන­වි­යාම ය. අනු­රා­ධ­පු­රයේ රජ වූ අව­සන් සත්ද්‍ර­විඩ ආක්‍ර­ම­ණි­කියා වූ දාඨික අවු­රුදු දෙක­කට ආසන්න කාල­යක් මෙරට රාජ්‍ය බලය සියතේ රඳවා ගැනී­මට සමත් වූයේ ය.

එම සමස්ත කාලය පුරාම සැඟවී සිටි වළ­ගම්බා රජු අනු­රා­ධ­පු­රයේ රජ කර­මින් සිටි දාඨික රජු මරා යළිත් මෙරට ස්වාධී­න­ත්වය තහ­වුරු කිරී­මට සමත් වූයේ ය. වළ­ගම්බා රජුගේ දෙවන පාලන කාලය (ක්‍රි. පූ. 89 - 77) අව­සා­නයේ දී මහා­චුලි මහා­තිස්ස රජ වූ අතර කෙටි කල­කින් ඔහු මර­ණ­යට පත්වූයේ ය.

නැව­තත් මෙරට රාජ්‍ය නායක ඝාතන රැල්ලක් ඇති වන්නේ වළ­ගම්බා රජුගේ පුතකු වූ චෝර­නාග රජුගේ පාලන සමය (ක්‍රි. පූ. 62 - 50) ආරම්භ වීමත් සම­ඟය. එම පාලන සමයේ දී මෙරට ආරම්භ වූ රාජ්‍ය නාය­ක­යන්ගේ ඝාතන ක්‍රියා­ව­ලි­යට මූලික වූයේ කම්ර­ස­යට ගිජු වූ චෝර­නාග රජුගේ බිසව වූ අනුලා දේවිය නිසාය. චෝර­නාග රජුගේ රාජ්‍ය නිල­ධ­ර­යකු කෙරෙහි සිත ඇලුණු අනුලා දේවිය සිය සැමියා වූ චෝර­නාග රජු විෂ කවා මැර­වීය. චෝර­නාග රජුගේ ඇවෑ­මෙන් හිස් වූ සිහ­සු­නට තම සිත් ගත් සිව නම් වූ ද්‍රවිඩ දොර­ටු­පා­ලයා පත් කළ අනුලා දේවිය ඔහුගේ මහේ­ෂි­කාව වී කම්සැප විඳීය. අවු­රු­ද්ද­කට පමණ පසුව නුව­ර­වඩු තන­තුර හෙබවූ වටුක නම් තවත් ද්‍රවි­ඩ­යකු කෙරේ ලොල් වූ අනුලා දේවිය සිව රජුට ද වස දී ඝාත­නය කළාය. රාජ්‍ය­ත්වය හිමි කොට­ගත් වටුක ද්‍රවි­ඩ­යාගේ මෙහෙ­සිය බවට පත් වූ අනුලා දේවිය එක් අවු­රුදු දෙම­සක පමණ කාල­යක් සතු­ටින් වාසය කළාය.

පසුව ඇයට හමු වූ දරු­භ­තික තිස්ස නම් පුද්ග­ල­යකු කෙරේ ලොල් වූ එම කාමි­නිය පෙර දී මෙන්ම යළිත් තම සැමියා වූ වටුක රජු ද වස දී මරා දැමීය. දරු­භ­තික තිස්ස ද රජ බවට පත් කළ අනුලා දේවිය ඇයට රිසිසේ යළිත් කම්සැප විඳීමේ නිරත වූවාය. අවු­රු­ද්දක පමණ රාජ්‍ය කාල­ය­කින් පසුව දරු­භ­තික තිස්ස රජු ද ඝාත­න­යට ලක් වන්නේ ඔහුගේ බිසව වූ අනුලා දේවි­යගේ වස කෑමෙනි.

මෙවර අනුලා දේවිය සිය සැමියා වූ දරු­භ­තික තිස්ස රජු මරා දමන්නේ දෙමළ බමු­ණකු සමඟ සංවා­සය කිරී­මට ගිජු­වීය. අනුලා දේවි­යගේ කය සනසා මෙරට රජු බවට පත් නිලීය ද්‍රවි­ඩ­යාට ද සය­ම­ස­කට වැඩි කලක් රජ සැප විඳී­මට අනු­ලාව ඉට නොතැ­බු­වාය. ඇයගේ සිත්ගත් තවත් සෙන­වි­යකු (බල­තකු) සමඟ කම්සැප විඳී­මට අපේක්ෂා කළ අනුලා බිසව නිලීය රජු ද වස දී මරා දමා රාජ්‍ය බලය සිය­තට ගත්තා ය.

තමන්ගේ සිත් ගත් බලතා සමග වෙසෙ­මින් අනුලා රාජ­නිය අවු­රුදු පහක පමණ කාල­යක් එතැන් පටන් (ක්‍රි. පූ. 47 - 42) මෙරට රාජ්‍ය නායි­කාව ලෙස කට­යුතු කළාය. මෙරට ඉති­හා­සයේ වැඩිම රාජ්‍ය නාය­ක­යන් සංඛ්‍යා­වක් ඝාත­නය කිරී­මෙන් අනුලා රාජ­නිය තබා ඇති වාර්තාව අනා­ග­තයේ දී පවා බිඳ දැමී­මට යමෙකු සමත් වෙතැයි සිතිය නොහැ­කිය. මෙත­රම් සූක්ෂ­මව රාජ්‍ය නාය­ක­යන් ඝාත­නය කර­මින් තමන්ට, රුචි රාජ්‍ය උරු­ම­යක් නැති සේව­ක­යන් පවා රාජ්‍ය­ත්ව­යට පත් කර­මින් අනු­රා­ධ­පුර රාජ­ධානි ඉති­හා­සයේ මුල් භාගයේ දී දේශ­පා­ල­නය රඟ­ම­ඬලේ සුවි­ශේෂී වූ භූමි­කා­වක් රඟ පෑ අනුලා රාජ­නි­යගේ අව­සා­නය ද ඝාත­න­ය­කින්ම නිම විය.

මහා­චූ­ලික රජුගේ පුත්‍ර­යකු වූ මක­ල­න්තිස්ස (ක්‍රි. පූ. 41 - 19) කුම­රුවා අනුලා දේවි­යගේ බලය පිරිහී තුබූ අව­ස්ථා­වක දී ඇය මරා රාජ්‍යය පැහැ­ර­ගෙන අවු­රුදු විසි දෙකක් යහ­තින් අනු­රා­ධ­පුර රාජ්‍යයේ පාල­නය ගෙන ගියේ ය.

පසුව අනු­රා­ධ­පු­රයේ රජ වූ ඉල­නාග රජුගේ (ක්‍රි. ව. 35 - 44) ඇවෑ­මෙන් රජු වූ ඔහුගේ පුතු වූ චන්ද්‍ර­මුඛ සිව (සඳ­මු­හුණු සිව) (ක්‍රි. ව. 44 - 52) රජුගේ අව­සා­නය සිදු වන්නේ ද ඝාත­න­ය­කට ලක් වීමෙනි. අවු­රුදු අට­කට ආසන්න කාල­යක් අනු­රා­ධ­පුර රාජ්‍යය පාල­නය කළ චන්ද්‍ර­මුඛ සිව රජුගේ ඝාත­කයා වූයේ ඔහුගේ ම සොහො­යුරා වූ යස­ලා­ලක තිස්ස කුම­රුය. තිසා­වැවේ දී පැවැත්වූ ජල ක්‍රීඩා උත්ස­ව­ය­කට සහ­භාගී වෙමින් සිටි චන්ද්‍ර­මුඛ සිව රජු එහිදී මරා දැමූ යස­ලා­ලක තිස්ස කුම­රුවා අනු­රා­ධ­පුර රාජ්‍යයේ මහ­රජු ලෙස ඔටුනු පැල­දීය. සත් අවු­රු­ද්දක් (ක්‍රි. ව. 52 - 59) මෙරට පාල­නය කළ යස­ලා­ලක තිස්ස මහ­රජු ඝාත­න­යට ලක්වන්නේ ඔහුගේ ම අනු­වන ක්‍රියා­වක් හේතු­කොට ගෙනය.

ඔහුගේ රූප­යට සම වූ දොර­ටු­පා­ල­යෙකු තම රාජ්‍ය­ස­භාවේ වූ බැවින් ඔහුට රාජ­කීය ආභ­රණ අන්දවා සිංහා­ස­නා­රූඪ කොට තම අම­ත්‍ය­යන් ඔහු සමඟ කට­යුතු කරන ආකා­රය දැක­ගැ­නී­මට ප්‍රිය කළ යස­ලා­ලක තිස්ස මහ­රජු දොරටු පාල­ක­යාගේ ඇඳුම් හැඳ­පැ­ලඳ රාජ­සභා දොර­ටුව මුර කළේ ය. මැති, ඇමැති, සෙන­වි­ව­රුන් ව්‍යාජ රජුට ගරු­සරු දක්වන අව­ස්ථාවේ දොර­ටු­පාල වේශ­යෙන් සිටිනා මහ­රජු සිනා­සීම පුරු­ද්දක් කොට ගත්තේ ය.

එම වෙස්පෙ­ර­ළි­යෙන් වාසි ලබා­ගැ­නී­මට අදි­ටන් කොට­ගත් ශුභ නම් වූ ඒ දොර­ටු­පා­ල­කයා එක් දිනක් රාජ්‍ය­ස­නයේ සිටිද්දී දොර­ටු­පාල වේශ­යෙන් සිටිනා යස­ලා­ලක තිස්ස රජු සිනා­සී­මට මුල­පිරූ විට ව්‍යාජ කෝප­යක් පෙන්වා රජ­තු­මාට අප­හාස කිරීමේ වර­දට හිස සිඳ මරා දැමී­මට නියෝග කළේය. යස­ලා­ලක තිස්ස රජු සත්‍යය ප්‍රකාශ කළ මුත් එය පිළි­ගැ­නී­මට කිසි­වෙක් එකඟ නොවූහ.

යස­ලා­ලක තිස්ස මරා දමා රාජ්‍ය බලය ලබා­ගත් ශුභ රජු වසර හයක් (ක්‍රි. ව. 59 - 65) මෙරට පාල­නය කළ අතර ඔහුගේ අව­සා­නය සිදු වූයේ ද රජ මිදුළේ දී සිදු වූ ඝාතන කුම­න්ත්‍ර­ණ­ය­කට ලක් වීමෙනි. ශුභ රජු මරා­දමා මෙරට රාජ්‍ය බලය හිමි කොට­ගත් වසභ රජු (ක්‍රි. ව. 65 - 109) ලංකා ඉති­හා­සයේ දීර්ඝ කාල­යක් රාජ්‍ය බලය හිමි­කොට තබා ගැනී­මට වාස­නා­වන්ත වූයේ ය. එළාර රජු මෙන් ම වසභ රජු ද අවු­රුදු 44 ක් මෙරට රාජ්‍ය බලය මෙහෙ­ය­වී­මට වාස­නාව ලද්දේ ය. ජරා­වාස ව පැවැති බොහෝ වෙහෙර විහාර ප්‍රති­සං­ස්ක­ර­ණය කළ ඒ රජු මෙරට වාරි­මාර්ග සංව­ර්ධ­නය කිරී­මට ද තම අව­ධා­නය යොමු කළේ ය.

අනු­රා­ධ­පුර රාජ­ධා­නියේ ආර­ම්භක යුගයේ දී සිදු වූ රාජ්‍ය ඝාතන අතර විදේ­ශීය ආක්‍ර­ම­ණි­ක­යන් අතින් සිදුව ඇති රාජ්‍ය ඝාතන ප්‍රමා­ණය අල්ප වේ. එම යුගයේ දී බොහෝ රාජ්‍ය ඝාතන සිදු වී ඇත්තේ රජ පවුලේ සාමා­ජි­ක­යන්ගේ බල අර­ග­ලය නිසාය. ද්‍රවිඩ සෙනෙ­වි­යන් රාජ්‍ය බලය පැහැ­ර­ගැ­නීම සඳහා බලයේ සිටි ද්‍රවිඩ පාල­කයා ඝාත­නය කිරීම ද මෙකල මතුව පෙනෙන ප්‍රව­ණ­තා­වකි. මෙම කාල පරි­ච්ඡේ­දය තුළ සිදු වූ සුවි­ශේෂී වූ රාජ්‍ය නායක ඝාතන මාලාව එක් රජ බිස­ව­කගේ අස්වා­භා­වික ලිංගික ආශාව නිසා සිදු වී තිබීම ද අපගේ අව­ධා­න­යට යොමු විය යුතු වේ.

අසේල රජු අල්ලා­ගෙන බල­යට පත් වූ එළාර රජු අසේල රජ­තුමා පසුව හෝ ඝාත­නය කළේ දැයි ස්ථිරව පැවැ­සී­මට අවශ්‍ය සාධක මහා­වං­සයේ නැත. ථුල්ල­ත්ත­ගෙන් බලය පැහැ­ර­ගත් ඔහුගේ සොයුරු ලජ්ජි­තිස්ස රජ පෙර අප විසින් පෙන්වා දෙනු ලැබූ ලෙස ථුල්ල­ත්තන රජ ඝාත­නය කළේ­යැයි සිතිය හැක්කේ ඔහුගේ නව වසක රාජ්‍ය කාලය අව­සා­නයේ බල­යට පත් වන්නේ ථුල්ල­ත්තන නොව ඔහු­ගේම වෙනත් සොහො­යු­රකු ලෙස සඳ­හන් වන නිසාය. මෙම යුගය පුරා බලයේ සිටි රාජ්‍ය පාල­කයා ඝාත­නය කොට බලය පැහැ­ර­ගත් පුද්ග­ල­යාට සමා­ජ­යෙන් හෝ ආග­මික නාය­ක­ය­න්ගෙන් හෝ කව­රා­කා­ර­යක හෝ අප්‍ර­සා­ද­යක් හිමි නොවීම ද විශේ­ෂ­ත්ව­යකි. එනි­සාම බලයේ සිටින පාල­කයා ඝාත­නය කොට බලය පැහැර ගැනී­මට කිසි­වකු තුළ දෙගි­ඩි­යා­වක් නොවූ බව ද පෙනෙ­න්නට තිබේ.

 

මතු සම්බ­න්ධයි...

Comments