වනය සර­සන කැලෑ කෙල්ලන් සොයා කඳුක­රය පීරු­වෙමි | සිළුමිණ

වනය සර­සන කැලෑ කෙල්ලන් සොයා කඳුක­රය පීරු­වෙමි

න­ජීවී සංර­ක්ෂ­ණ­යට අදා­ළව විවිධ වැඩ රාජ­කා­රීන් සඳහා වන­පෙත් තුළ ගත කරන කාල­ය­න්හීදී ගහකොළ, සතාසිව්පා­වුන් පිළි­බ­ඳව ලියැ­වුණු මහා පුස්ත­ක­යක් පරි­ශී­ල­ණය කර­න්නාක් වැනි වු හැගු­මක් මා සිත් හි නිර­න්ත­ර­වම ජනිත කර­වයි. මන්ද යත් ඒ තුළ ගත කරන්නා වු සෑම දින­යක්ම අලුත් වූ අත්දැ­කීම් සමු­දා­යක් වන­ගත දිවි­යට එක් කර­ව­න්නක් වන බැවිණි. ශ්‍රී ලංකාවේ උසින්ම පිහිටා ඇති සානුව යනු ජෛව විවි­ධ­ත්ව­යෙන් පොහො­සත් වු භූමි­යකි. ඒ ඇසුරේ ගත කරනා සෑම මොහො­ත­කම සොබා­ද­හමේ සොදු­රු­තා­වය උප­රි­ම­යෙන් බුක්ති විදිය හැකිය. පයට පෑගෙන තණ පතේ සිට විසල්ව අතු පතර විහි­දුණු රූක්ෂ වන­ස්ප­තින් තෙක් වු විවි­ධ­ත්ව­යත්, බිම් මට්ටමේ සිට තුරු වියන් දක්වා සෑම මට්ට­මක්ම නියෝ­ජ­නය කරනා සත්ව ප්‍රජා­වත් ඔවුනොවුන්ගේ ඇවැ­තුම් පැවැ­තුම් හරහා ඒත්තු ගන්වන්නේ අප­මණ දෑ උගෙ­නී­මට ඇති බවය.

එකී කරුණ සනාථ කර­ව­මින් පසු ගිය දිනෙක වනයේ ඇවිද යන අතරේ මා නෙත ගැටුණේ තවත් අපූර්ව අත්දැ­කී­මකි. ඒ අපේ රට තුළ පම­ණක් වාසය කරනා අපුර්ව විහග මිතු­රෙකි. කඳු­ක­රයේ වන සංචා­රයේ යන අත­ර­තු­රදී පෙනු­මෙන් සිත වශී­කර ගැනී­මට සම­ත්කම් කියන සිරු­රක් ඇති මේ කුරු­ල්ලාව දකින හැම විටෙ­ක­දීම සිහි­යට නැඟෙන්නේ කැලේ දුව පැන නටන කුඩා කෙල්ල­කගේ දසු­නකි.

කැලෑ කෙල්ල යන නම මේ කුරු­ල්ලට ගැළ­පෙ­නම නම බවයි, කුරු­ල්ලන් ගැන තතු දත් බොහෝ අයගේ මතය. සොදුරු රුවක් හිමි මෙවැනි කැලෑ කෙල්ලන් අපේ රටේදී පම­ණක් දැක ගත හැකි අතර මොවුන්ගේ ජීවන තොර­තු­රුත් අපූ­ර්ව­ත්ව­යෙන් අනූ­නය.

සිංහල නමින් කැහි බෙල්ලා ලෙස හඳුන්වන මෙම පක්ෂියා ඉංග්‍රී­සි­යෙන් හඳු­න්වන්නේ Sri lanka Blue Magpie නමිනි. විදු ලොව Urocissa ornata ලෙසින් නම් ලද කැහි­බෙ­ල්ලන් අයත් පක්ෂි පවුල වන්නේ කපුටු (CORVIDAE) පවු­ලය. දීප්ති­මත් වු නිල් පාටැති කුරු­ල්ලෙකි. හිස, බෙල්ල සහ පියා­සර පිහාටු රතු-දුඹුරු පැහැයේ එක­තු­වකි. ප්‍රමා­ණ­යෙන් මයිනා සහ කපු­ටා­ටත් අත­ර­මැදි වු සිරු­රක් මේ පක්ෂි­යාට හිමිය. සිරු­රට සාපේ­ක්ෂව පෙදය (වලිගය) දිගින් වැඩිය. නිල් පාට පෙද පිහාටු වල කෙළ­ව­රට වන්න කළු සහ සුදු වර්ණ රටා­වන් හේතු­වෙන් දිස් වෙන්නේ වල්ගය අග්ගිස්සි සුදු පැහැති වෛරම් වලින් හැඩ වි ඇති ආකා­ර­යකි. කැපී පෙනෙන සේ ඇස වටා පිහිටා ඇති රතු පැහැති වු පිහාටු රහිත නග්න වු මුදු­වත්, හොට සහ පාද යුග­ලත් රතු පැහැති නිසා කුරු­ල්ලාට ලැබී ඇති විචි­ත්‍රවු වර්ණ සංක­ල­නය සෙසු පක්ෂින් හා කෙසේ නම් සම කරම්ද? ඇහේ ඉංගි­රි­යාව කළු පාට වන අතර තාරා­ම­ණ්ඩ­ලය අදුරු දුඹුරු පැහැ­තිය.

මෙම කැහි බෙල්ලන් රැළ වශ­යෙන් ගැවැ­සී­මට ප්‍රියය. ඉන් තම රැළේ ආර­ක්ෂාව හොඳින් සැල­සෙන බව කැහි­බෙ­ල්ලන් හොඳින්ම ප්‍රත්‍යක්ෂ කර ගෙන සිටියි. මන්ද යත් කැදිලි තන­න්නෙත්, පැට­වුන් රැක බලා ගන්නේත්, පෝෂ­ණය කර­න්නේත් සාමු­හි­ක­වය. මේ චර්යා රටාව කුරුලු බසින් සමාජ සුවැ­දීම ලෙස හදු­න්වයි. මෙම පක්ෂීන් අර­ඹයා සිදු කළ අධ්‍ය­යන වලින් අනා­ව­ර­ණය වී ඇත්තේ පළමු මුරයේ පැට­වුන් ස්වාධී­නව තම කට­යුතු කිරී­මට හැකි­යාව තිබි­යදි මව් රැක­ව­ර­ණ­යෙන්න් මිදු­ණත්, තම මාපි­යන් යළිත් වරක් බිජු දමා ඉන් බිහි­වෙන පැට­වුන් පෝෂ­ණය කරන අව­ධි­යේදී පෙර සද­හන් කළ පළමු මුරයේ පැට­වුන්ද මා පියන්ට සහ­යෝ­ගය ලබා දෙන බවය. එනම් පවුල යන සංක­ල්පය මේ කුරු­ල්ලන් තුළත් දැක ගත හැකිය. කැහි­බෙ­ල්ලන්ගේ කුරුලු රංචු­වක කුරු­ල්ලන් 06 ත් 08 ත් අතර ගණ­නක් වාර්තා වේ. එසේ වුවත් කුරුල්ලා සහ කිරි­ල්ලිය යන දෙදෙ­නාගේ බැදීම් නම් නොවෙ­නස්ව පවතී. කුරුලු පෙම්ව­තුන් තනිව හැසි­රෙන හැටිත් නිරී­ක්ෂ­ණය කළ හැකිය.

කැහි­බෙ­ල්ලන්ගේ හඬේ ආකාර කිහි­ප­යක්ම ශ්‍රව­ණය කළ හැකිය. එනම් තීව්‍ර වු ගැඹුරු නාද­යක් උප­තින්ම මේ පක්ෂීන්ට උරුම වී ඇත. “චීප් ... චීප් ...” සරින් නගන හඩ වන­පෙත පුරා විහි­දුවා යැවීමේ සම­ත්කම් කැහැ­බෙ­ල්ලන් සතුය. නිද­හසේ වනයේ තනි වුණු විටදී “වී ... වී...” හඬින් යුතු සුයු­රු­වම් හඬක් මෙන්ම තරහා ගිය විටදී “ක්‍රෑක්... ක්‍රෑක් ...” නදින් කෑ ගැසී­ම­ටද මෙම පක්ෂීහු පුරු­දුව සිටිති. එසේම විහග ලොව විවිධ වු කුරු­ල්ලන්ගේ හඩ අනු­ක­ර­ණය කිරිමේ හැකි­යා­වත් මේ පක්ෂීන් සතු බව කුරුලු නිරී­ක්ෂ­ක­යින්ගේ මත­යයි.

ප්‍රධාන වශ­යෙන්ම බිජු­ලන සමය වන්නේ දෙසැ­ම්බර් - මාර්තු අතර කාල­යය. මේ අයගේ කැදිලි බොහෝ විටදී හමු වන්නේ ජලා­ශ්‍රිත එනම් සිහිල් බව නිබ­ද­වම රැදි පරි­සර පද්ධති ආස­න්න­යේය. ඇළ - දොළ සමී­පයේ පිහිටි වන­ව­දුලු වල පිහිටි ගසක ඉහළ අතු දෙබ­ලක හදන කූඩුව කපු­ටෙ­කුගේ කූඩු­වක් හා සමා­නය. විවෘ­තය. ඒ තුළ වර­කට බිත්තර 03 ත් 05 ත් අතර සංඛ්‍යා­වක් කිරි­ල්ලිය දමයි. කුරුලු දෙමා­පියෝ එකා මෙන් මේ බිත්ත­රත්, පැට­ව්නුත් රැක බලා ගනිති. බිත්තර සුදු පාට වුවඳ පසු බිමේ රටා­ව­කට දුඹුරු පාට හුරු තිත් වැටි ඇත. බිම් මට්ට­මෙන් පටන් ගන්නා ආහාර සෙවීමේ කාර්යය උස් තුරු විට­ප­යන් දක්වාම ව්‍යාප්තව ඇත. එනම් වන­පෙතේ ගහක්, ගලක්, බිමක් යන මේ කියන ඕනෑම තැනක් කැහි බෙල්ලන්ගේ බොජුන් හල්ය. එම බොජුන් හළේ ඇති ඕනෑම කෑමක් මේ පක්ෂීහූ බුක්ති විදිති. නමුත් ඔවුන්ට ආහාර සොයා ගැනීම හිතන තරම් පහසු කට­යු­ත්තක් නොවේ. සර්ව භක්ෂක ආහාර පුරුදු සහිත මේ පක්ෂීන් පල­තුරු, කටු­ස්සන්, ගෙම්බන්, කුරු­මිණි, දළඹු, පළ­ගැටී වැනි විවිධ ආහාර වර්ග සොය සොයා ක්‍රියා­ශී­ලීව වන­පෙත තුළ ඔබ - මොබ සැරි සරති.

දුටු පම­ණින් මොවු­නගේ ගැහැනු සහ පිරිමි පක්ෂින්ගේ පැහැයේ හෝ සිරුරේ හැඩයේ වෙන­සක් දැක ගැනීම අප­හසු වුවත්, හොදින් බලන්න කුරුල්ලා ගේ සහ කිරි­ල්ලි­යගේ සියුම් වු පැහැ වෙන­සක් නිරී­ක්ෂ­ණය කළ හැකිය. කුරුලු ලොව පැහැ­යෙන් වැඩි ඇත්තෝ කුරුල්ලෝ ලෙසත්, කුරු­ල්ලන්ට සාපේ­ක්ෂව පැහැ අඩු ඇත්තියෝ කිරි­ල්ලියෝ ලෙසත් පොදුවේ වෙන් කර ගත හැකිය. වර්ත­මා­නයේ මොවුන් හමු වන්නේ පහ­ත­රට තෙත් කලා­පීය වැසි වනා­න්තර, ඉහළ කඳුකර වැසි වනා­න්තර සහ කදු පාමුල වනා­න්තර ඇසු­රේය. ස්ථාන ලෙස සිංහ­රාජ වන­පෙත සහ හොර්ට­න්තැන්න යනු කැහි­බෙ­ල්ලාගේ සියලු අව­ශ්‍ය­තා­ව­යන් සපු­රන කදිම නිව­හන් වේ. නකල්ස්, රෑන කන්ද පාමු­ලට වන්නට පිහිටා ඇති වනය සහ සම­නල වන­පෙ­තත් කැහි­බෙ­ල්ලන්ගේ හොඳ නවා­තැන් ලෙස හැඳින්විය හැකිය.

කැහි බෙල්ලන් යනු සීමිත වු වප­ස­රි­යක ජිවත් වීමට ප්‍රිය කරන විහග විශේ­ෂ­යක් නොව රැළ වශ­යෙන් සැදී පුළුල්ව පැති­රුණු සීමා­වක් තුළ ගැව­සෙ­මින් ආහාර සොයා පියැ­ඹී­මට රුචි­ක­ත්ව­යක් දක්වන කුරුලු විශේ­ෂ­යකි. නමුත් සොබා­වික සම්පත් විනා­ශය නිසා බොහො සත්ව විශේ­ෂ­යන්ට එමෙන්ම සංවේදී වූ පාරි­ස­රික කලා­ප­යන් තුළට සීමා වී ජීව­ත්වන සත්ව විශේ­ෂ­යන්ගේ පැවැ­ත්මට ඇති කර ඇති තර්ජ­න­යන් නම් අප­ම­ණය. එය කැහි බෙල්ලන් ගේ පැවැ­ත්මට බලපා ඇත්තේ කොතෙක්ද යත් රතු දත්ත පොතේ කැහැ බෙල්ලාගේ නමද සටහන් වී ඇති බව කණ­ගා­ටු­වෙන් සිහි­පත් කළ යුතු­මය.

සේයා රූ - වෛද්‍ය චම්මික දිසා­නා­යක

Comments