වතුර කාන්දු නොවන විදියට පැකින් ජාති හත අටකින් ඔතනවා | සිළුමිණ

වතුර කාන්දු නොවන විදියට පැකින් ජාති හත අටකින් ඔතනවා

අන්තිමේදී කිලෝ සියයේ පාර්සලය කිලෝ 150ක් විතර බර වෙනවා

ආරක්ෂක අංශ වැටලුවොත් කම්බිය කපනවා

මුහුද යටින් කම්බි දිගේ KG උතුරට එන හැටි

ගංජා සහ කේරළ ගංජාද අයත් වන්නේ මේ රටේ අන්තරායක මත්ද්‍රව්‍ය ගණයටය. ඒවා වැඩි වශයෙන්ම හුවමාරු වන්නේ උතුරු පළාත හරහාය. ඊට හේතුව කේරළ ගංජාවල උපත ඇත්තේ ඉන්දියාවේ නිසා ඒවා ශ්‍රී ලංකාවේ උතුරු පළාතට පැමිණෙන්නේ ඉන්දියාව ඔස්සේ නිසාය.

මේ වසරේ ගතවූ මාස දහය අතුළතදී නාවික හමුදාව පමණක් උතුරු පළාතෙන් අත්අඩංගුවට ගෙන ඇති කේරළ ගංජා ප්‍රමාණය මෙට්‍රික් ටොන් පනහකට අධිකය.

අනෙක් ආරක්ෂක අංශ ද ඒ හා සමාන ප්‍රමාණයක කේරළ ගංජා අත්අඩංගුවට ගෙන තිබේ. බීඩි කොළද මත්ද්‍රව්‍ය ගණයට වැටෙන අතර මේ වසරේ ගත වූ කාලය ඇතුළත උතුරේ ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇති බීඩි කොළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් හැත්තෑවක් පමණ වෙයි. බීඩි කොළ පැමිණෙන්නේද ඉන්දියාවේ සිටය.

මේ වන විට උතුරේදී කිලෝ ග්‍රෑම් දෙකක කේරළ ගංජා පාර්සලයක් රුපියල් ලක්ෂ තුනකට කිසිම අපහසුවකින් තොරව අලෙවි කිරීමට හැකියාව තිබේ. ඉල්ලුම හා පරිසරය අනුව එම පාර්සලය රුපියල් ලක්ෂ පහක් දක්වා ඉහළගිය අවස්ථාද ඇත.

ගංජා කිලෝවක් අලෙවි වන්නේ රුපියල් ලක්ෂයකටය. ඒ තොග මිලය. නමුත් කිලෝ එකක් මිලට ගෙන කුඩාවට කැබලි කොට එක වේලකට සරිලන පැකැට්ටුවක් රුපියල් පන්සියයක් වෙයි. එසේ ගංජා කිලෝවකින් රුපියල් ලක්ෂ දෙකක් උපයාගන්නා අයද සිටිති.

ඒ මිලට කේරළ ගංජා පැකැට්ටුවක් හෝ රැගෙන ඒමට හැකි වන්නේ නම් ඔහුට ඉතා පහසුවෙන්ම ලක්ෂපතියෙකු විය හැකිය. නමුත් ගෙන එන්නේ කේරළ ගංජා කිලෝ සිය ගණනිනි. පහසුවෙන්ම කෝටිපතියන් විය හැකි නිසා ඔවුන් කිසිසේත් මේ ජාවාරම අත්හරින්නේ නැත.

උතුරට මේ තරම් විශාල ප්‍රමාණවලින් මත්ද්‍රව්‍ය ළඟා වුවත් උතුරේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව ඉතා අඩුය. ඉඳහිට ගංජා මිටියක් රුපියල් දෙසීයකට හෝ පන්සීයකට මිලදී ගෙන මිතුරන් සමඟ සතුටු වන අය මිස මහා පරිමාණයෙන් ඊට ඇබ්බැහිවූවන් සොයාගැනීමට නොහැකිය.

සැබවින්ම අද උතුරේ දක්නට ලැබෙන්නේ මහා පරිමාණයෙන් සිදු වන මත්ද්‍රව්‍ය භාවිතයක් නොව මහා පරිමාණයෙන් සිදු වන මත්ද්‍රව්‍ය ජවාරමකි.

සාමාන්‍යයෙන් සියලුම ජාවාරම් කටයුතු ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත් නොවේ. ආරක්ෂක අංශ ප්‍රකාශ කරන ආකාරයට ආරක්ෂක අංශ අතට හසු වන්නේ සියයට විස්සත් හතළිහත් අතර ප්‍රමාණයකි. අනෙක් ජාවාරම්කරුවෝ ආරක්ෂක අංශවලට වැලි ගසා පලා යති.

මත්ද්‍රව්‍ය උතුරට ගෙනඑන්නේ යැයි පැවසුණද ඒ උතුරු පළාතේ එක් කොටසකට පමණි. ඒ මන්නාරමත් යාපනයත් අතර ඇති මුහුදු කලාපයටය. ජාවාරමේ අතරමැදියන් ලෙස යොදාගෙන සිටින්නේ ඉන්දියාවේත් උතුරේත් ධීවරයෝය. ධීවර කටයුතු සඳහා මුහුදට යන බෝට්ටු මැද මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරෙන බෝට්ටුද ගමන් කරයි.

නාවික හමුදාවේ මුර යාත්‍රා ඒ බෝට්ටු නිරීක්ෂණය කරන අතරතුර ඔවුහු කෙසේ හෝ පලා යෑමට හෝ අනෙක් ධීවර බෝට්ටුවලට මැදිව ගොඩ බිමට ළඟා වීමට සමත් වෙති. නාවික හමුදාවේ උකුසු ඇසින් බේරීමට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බෝට්ටු අනුගමනය කරන උපක්‍රම රැසකි. ඒ පිළිබඳ විස්තර කළේ උතුරේ ධීවරයෙකි.

“මත්ද්‍රව්‍ය අරගෙන යන බෝට්ටුවක් දැක්කාම නාවික හමුදාවේ අධි වේගී යාත්‍රා ඒ බෝට්ටුව පස්සේ පන්නනවා. පන්නලා බෝට්ටුව නතර කරලා නිලධාරීන් බෝට්ටුවට පැනලා සෝදිසි කරනවා.එවිට මත්ද්‍රව්‍ය අසු වීම වළක්වාගැනීමට කරන්නේ මත්ද්‍රව්‍ය වතුර කාන්දු නොවෙන විදිහට පොලිතීන් වලින් ඔතාගෙන ඊට කම්බියක් ගැට ගැසීමයි.

එහෙම ඔතනවා කිව්වාට ඒක පහසු නැහැ. එක එක විදිහට කොළ වර්ග හතක විතර ඔතනවා. කේරළ ගංජාවල බර කිලෝ සීයක් නම් ඔක්කොම ඔතපුවාම කිලෝ එකසිය පනහකට වඩා බර පාර්සලයක් වෙනවා. සමහරුන් වතුර නොයන විදිහට ඒ වෙනුවෙන්ම හදාගත් ප්ලාස්ටික් පෙට්ටි උපයෝගී කරගන්නවා.

කම්බියේ එක් කෙළවරක් මත්ද්‍රව්‍ය පාර්සලයේත් අනෙක් කෙළවර බෝට්ටුවේත් ගැට ගසන්නේ තරමක් දුරක් ඇති වන ආකාරයටයි. බෝට්ටුව ඉදිරියට යන විට තරමක් ඈතින් මුහුද යටින් තමයි ඒ පාර්සලය ඇදීගෙන එන්නේ. පාර්සලයේ බරට ඒක මුහුදේ යටට යනවා. රාත්‍රී කාලය නිසා හොයාගන්න අමාරුයි. නාවික හමුදාව පරීක්ෂා කළත් අහුවෙන්නේ නෑ. අහුවෙයි කියා සිතුණොත් හෙමින් කම්බිය කපනවා. පාර්සලය මුහුදට පහත් වෙනවා. නාවික හමුදාව ගියාට පස්සේ ආයෙත් ඒක හොයා ගන්නවා. හොයාගෙන ඇදගෙන එනවා. කම්බිය තියෙන නිසා ඒක ලේසියි.

තවත් අය කරන්නේ බෝට්ටු දෙකක් මේ වැඩේට යොදාගෙන ඒ දෙකේම කම්බි ගැට ගහලා බෝට්ටු දෙකට මැදිව මුහුදේ පාර්සලය ගිල්ලවලා ඇදගෙන එන එකයි. එක බෝට්ටුවක් නාවික හමුදාවට අහු වුණාම ඒ පැත්තේ තියන කම්බිය කපනවා. නාවික හමුදාව බෝට්ටුවට පැන්නාම ඒක ඇතුළේ අල්ලපු මාළුයි දැලුයි හැර වෙන මොකුත් නෑ. ඒවා අවුස්සලා බලලා ගියාට පස්සේ පාර්සලේ ගේනවා.

එසේ ඉන්දියා ධීවරයන් රැගෙන එන මත්ද්‍රව්‍ය ලංකාවේ ධීවරයන්ගේ බෝට්ටුවලට මාරු කරනවා. ඒ මාරු කරගෙන එනකොට තමයි නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වෙන්නේ. ඉන්දියා ධීවරයන් ඉතා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය රැගෙන එන ක්‍රමවලින් එකක් දෙකක් පමණක් මේ වන විට උතුරේ ආරක්ෂක අංශ සොයාගෙන ඇතිවාට කිසිදු සැකයක් නැත. ඒ ක්‍රම ආරක්ෂක අංශවලට හසු වන විට ඔවුන් වෙනත් ක්‍රම සොයාගනීවි.

මුහුදු මඟින් මත්ද්‍රව්‍ය රැගෙන ඒම පුංචි ළමයින් සෙල්ලම් කරනවා වැනි ක්‍රියාවකි. කාලාන්තරයක් තිස්සේම මේ ක්‍රියාවේ ඔවුන් නිරතව සිටින නිසා ඒ සම්බන්ධයෙන් ඔවුන්ට ලැබී ඇත්තේ විශේෂ ප්‍රාගුණ්‍යයකි. මනා නිපුණත්වයකි. උතුරු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ඉන්දියාවේ හා උතුරේ ධීවරයන් අතර ඇත්තේ මේ රටවල් දෙක අතර පවතින රාජ්‍ය මට්ටමේ මිත්‍රත්වයටත් වඩා තද බැඳීමකි.

ධීවරයන් එසේ බැඳීමෙන් යුතුව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළද ඔවුන් මේ ජාවාරමේ අයිතිකරුවෝ නොවෙති. ඔවුන් කුලී පදනම මත කරන ක්‍රියාවකි. කුලියට කළත් ඉන් ලැබෙන ආදායම ඉතා විශාලය. මත්ද්‍රව්‍ය පාර්සල් නිරුපද්‍රිතව ගොඩ බිමට රැගෙන ආ පසුව දෙපැත්තෙන්ම අමතර දීමනා ලැබෙයි.

උතුරේ මත්ද්‍රව්‍ය ජාවාරමේ සිටින්නේ දේශපාලනඥයන් සහ ඔවුන්ට සම්බන්ධ ව්‍යාපාරිකයන් බවට විශාල රාවයක් උතුරු පළාතේ පවතී.

දකුණේ මත්ද්‍රව්‍ය ජාවාරමද මේ කතාවට සමාන නමුත් ඔවුන් අත්අඩංගුවට පත් වන්නේ නැත. කිලෝ ගණනක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත් වන විට ඔවුන් දේශපාලනඥයන් නොව සාමාන්‍ය වැසියෝ වෙති.

උතුරේ පවතින්නේද ඒ තත්ත්වයමය. නමුත් ගත වූ කාලය තුළ සිදු වූ සමහර සිද්ධි දෙස බලන විට මත්ද්‍රව්‍ය ජාවාරමට දේශපාලනඥයන් සම්බන්ධ නැතැයි කීමටද හැකියාවක් නැත. ඉන්දියාවේ දේශපාලනඥයන්ගෙන් විශාල පිරිසක් අමතර ආදායමක් ලෙස ට්‍රෝලර් යාත්‍රා මිලට ගෙන බදු ක්‍රමයක් යටතේ ධීවරයන්ට කුලියට දෙයි. ඒ අන්දමටම උතුරේ දේශපාලනඥයෝද අමතර රැකියාවක් ලෙස ට්‍රෝලර් යාත්‍රා යොදවා තිබේ. ඒ ඔස්සේ ගොඩනැඟී ඇති සබදකම් මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා පහසුවෙන් කරගෙන යෑමට ඔවුන්ට ශක්තියක් වී තිබේ.

යම් හෙයකින් ආරක්ෂක අංශවලට හසුවුවත් එසේ හසුවන්නේ එම ජාවාරමේ නිරත දේශපාලනඥයන් නොව කුලියට ගත් ධීවරයෝය. උතුරේ මත්ද්‍රව්‍ය ජාවාරමට උතුරු නැඟෙනහිර දේශපාලනඥයන් හවුල් බව නොබියව ප්‍රකාශ කළේ අධ්‍යාපන රාජ්‍ය ඇමතිනී විජයකලා මහේස්වරන් මහත්මියයි. මන්නාරම අඩම්පන් මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී ඇය ඒ බව කියා සිටියාය. මත්ද්‍රව්‍ය උවදුරෙන් පාසල් ළමයින් බේරාගැනීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවද අමාත්‍යවරිය එහිදී කියා සිටියාය.

දේශපාලනඥයින්ගේ අණට කීකරු වන පොලීසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැළි වන බැවින් උතුරේ මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදු වන බවද අමාත්‍යවරිය කියා සිටියාය. විජයකලා මහේස්වරන් අමාත්‍යවරියගේ කතාව හමාර වී පැය හතළිස් අටක් ගත වීමට මත්තෙන් යාපනයේ තෙන්මරච්චි පළාතෙන් කේරළ ගංජා කිලෝ හැත්තෑ හතක් අසු විය.

යාපනය පොලීසියට අනුයුක්ත විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් පැමිණ ඒ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගනු ලැබුවේ සැකකරුවන් දෙදෙනෙකුද සමඟිනි. ඒ සැකකරුවන් දෙදෙනාම උතුරේ ක්‍රියාකාරී දේශපාලානඥයන් දෙදෙනෙකුගේ පුතුන් බව පසුව හෙළි විය.

යාපනයේ තෙන්මරච්චි ප්‍රදේශයේ පදිංචි තංගරාසා නිෂාන්(25) හා ගුණසේකරන් රාගු (32) යන එම සැකකරුවන් දෙදෙනාගේ ප්‍රකාශ අනුව හෙළි වී ඇත්තේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එම සැකකරුවන් දෙදෙනාගේම පියවරුන් දෙදෙනා උතුරේ ක්‍රියාත්මක දේශපාලන පක්ෂ දෙකකින් යාපනයේ පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාව සදහා මන්ත්‍රීවරුන් ලෙස තේරී පත් වූ දෙදෙනෙකු බවයි. සැකකරුවන් නිදහස් කරගැනීමට එම පක්ෂ දෙකේ නායකයන් ලවා පොලීසියට බලපෑම් කළද පොලීසිය වහාම සැකකරුවන් චාවාකච්චේරි මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ නිසා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී.

කිලිනොච්චියේ දේශපාලනඥයෙකුගේ ගෝලයන් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවකදී ඒ අංශයේ සිටි සියලුම පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලැබිණි. එසේ නතර නොවී එම අංශය වසා දමන ලෙස බලපෑම්ද එල්ල විණි.

ඉන්දියාවෙන් උතුරට ගෙනත් උතුරෙන් දකුණට ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම නතර කිරීමට නොහැකි වන තරමට මේ ව්‍යාපාරය ජාල ගත වී තිබේ.

Comments