රෝයල් පාර්ක් චූදිතයා හා ජනාධිපති සමාව | Page 2 | සිළුමිණ

රෝයල් පාර්ක් චූදිතයා හා ජනාධිපති සමාව

ඒ 2005 වසරේ ජූනි 30 වැනි දිනය. පසු­දින එළි වන යාමයේ දින­පතා පුව­ත්ප­ත්වල පිටු ගණන් පිර­වුණේ රාජ­ගි­රිය රෝයල් පාක් නම් සුපිරි නිවාස සංකී­ර්ණයේ සිදු වූ විදේ­ශිය තරු­ණි­ය­කගේ මහ පොළොව නූහු­ලන අමා­නු­ෂික ඝාත­න­යෙනි. ස්වීඩන් ජාතික පිය­කුගේ හා ශ්‍රී ලාංකික මව­කගේ දිය­ණි­යක වූ ඇය ඉවොන් ජොන්සන් නම් 19 හැවි­රිදි රූමත් තරු­ණි­යකි. ඉවොන් ජොන්සන්ගේ මර­ණය ඉතා සැහැසි ආකා­ර­යෙන් සිදු කර තිබුණේ ඇඟලා සිටි ඇඳු­ම­කින් ගෙල සිර කිරී­මෙන් හා හිස සිමෙන්ති පොළොවේ ගැසී­මෙනි. ඇයගේ හිස් කබලේ බිඳීම් 64ක් තිබූ බව මරණ පරී­ක්ෂණ වාර්තා­වෙන් පසු අනා­ව­ර­ණය විය. ඇයගේ ඝාත­න­යට ඍජු­වම සම්බන්ධ වූයේ ඇයගේ පෙම්වතා වශ­යෙන් පෙනී සිටි ශ්‍රී ලාංකික තරු­ණ­යකු වූ අවු­රුදු 19ක් වය­සැති ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජය­මහ නම් තරු­ණ­යෙකි. ඔහු ඒ වස­රේ­දීම අත්අ­ඩං­ගු­වට ගැනුණු අතර, ඉන් පසු කොළඹ මහා­ධි­ක­ර­ණයේ පැවති දීර්ඝ නඩු විභා­ග­ය­කින් පසු 2012 වර්ෂ­යේදී ඔහුට 12 වස­රක සිර දඬු­ව­මක් නියම කෙරිණි.

සිර දඬු­වම ඇපෑ­ලෙන් මර­ණීය දඬු­ව­ම­කට

ධන­වත් පවු­ලක දරු­වකු වූ මේ සැක­ක­රුගේ හැසි­රීම් රටාව පිළි­බඳ එකල විවිධ අද­හස් මතු විය. ඒ ඔහුගේ සෙල්ල­ක්කාර චරි­තය සම්බ­න්ධ­යෙනි. කෙසේ වෙතත් ඒ් වර්ෂ­යේ­දීම මහා­ධි­ක­ර­ණය දුන් තීන්දුව අභි­යෝ­ග­යට ලක් කර­මින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට ඇපෑ­ලක් යොමු විය. මේ අභි­යා­ච­නය විනි­ශ්චය කළ විනි­සුරු මඬුල්ල සිය අව­සන් තීන්දුව ප්‍රකා­ශ­යට පත් කර­මින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යෙන් දුන් තීන්දුව යළිත් සහ­තික කර­මින් නැව­තත් මර­ණීය දඬු­වම දීම ස්ථිර කර­මින් නියෝ­ග­යක් දුන්නේය. ඉන් අන­තු­රුව විත්ති­කාර පාර්ශ්වය ඒ අභි­යා­ච­නා­ධි­ක­රණ තීන්දු­වද අභි­යෝ­ග­යට ලක්ක­ර­මින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට යොමු වූ අතර, අව­සා­නයේ මේ මර­ණයේ සියලු චෝදනා ජූඩ් ශ‍්‍රමන්ත නම් විත්ති­කරු වෙත පව­ර­මින් මහා­ධි­ක­ර­ණ­යට පම­ණක් නොව අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­ය­ටද මරණ දඬු­වම පැන­විය හැකි බවට 2014 වර්ෂ­යේදී ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඓති­හා­සික තීන්දු­වක් දුන්නේය.

විශේෂ ජනා­ධි­පති සමා­වක්

කෙසේ වෙතත්, ජූඩ් ශ‍්‍රමන්ත ඇන්ත­නිට 2016 වර්ෂ­යේදී විශේෂ ජනා­ධි­පති සමා­ව­ක්‌ ­ය­ටතේ ජීවිත සමාව හිමි වෙමින් ඔහුගේ දඬු­වම ජීවි­තා­න්තය දක්වා සිර දඬු­ව­ම­ක්‌ ­ලෙස ලිහිල් කර තිබේ. මෙය බොහෝ දෙනකු නොදන්නා කතා­වකි. වින්දි­ත­යන් හා සාක්ෂි­ක­රු­වන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධි­කා­රිය ආරම්භ කර­න්නේද ඒ වස­රේ­මය.

ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක ආර­ම්භ­යත් සමඟ යළිත් රෝයල් පාක් මිනී­මැ­රුම පිළි­බඳ කති­කාව අලුත් වී ඇත්තේ මෙවර ඔහුට පූර්ණ ජනා­ධි­පති සමාව හිමි වීමත් සම­ඟය. ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා සිය ධුර කාලය අව­සන් කර­න්නට ඔන්න-මෙන්න තිබි­යදී මෙසේ ජනා­ධි­පති සමාව දීම පිළි­බඳ මේ වන විට විවිධ විවේ­චන මතු වන්නට පටන් ගෙන ඇත.

ජනා­ධි­පති සමාවේ නෛතික වගන්ති

ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­නු­කු­ලව ජනා­ධි­ප­ති­ව­ර­ය­කුට ජනා­ධි­පති සමාව ප්‍රදා­නය කිරීම පිළි­බඳ නෛතික වගන්ති අර්ථ නිරූ­ප­ණය කර ඇත්තේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 34 වැනි වග­න්තිය අනු­වය. ඒ අනුව 34 වග­න්තියේ (1) අනු­ව­ග­න්තිය යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ අධි­ක­ර­ණ­යක තීන්දු­වක් යටතේ වර­ද­කරු කරන ලද පුද්ග­ල­ය­කුට සමා­වක් ලබා දීමට ජනා­ධි­ප­ති­ව­ර­යාට බලය පැව­රෙන අතර, ලබා දෙන්නේ සම්පූර්ණ සමා­වක්ද නැති නම් කොන්දේසි සහිත සමා­වක්ද යන්න තීර­ණය කිරීමේ අයි­තිය ජනා­ධි­ප­ති­ව­රයා සතු­වෙයි. ඒ ව්‍යව­ස්ථා­පිත බලය අනුව වර­ද­ක­රුට නියම කර ඇති දඬු­වම වෙනු­වට ලිහිල් දඬු­ව­මක් නියම කිරී­මට හෝ නියම කරන ලද දඬු­වම මුළු­ම­නින්ම නිෂ්ප්‍රභ කිරී­ම­ටද ජනා­ධි­ප­ති­ව­ර­යාට බලය හිමි වෙයි. ඒ අනුව ජන­ධි­ප­ති­ව­රයා විසින් මේ රෝයල් පාක් ඝාතන නඩුවේ වර­ද­කරු සම්පූ­ර්ණ­යෙන්ම නිදොස් කොට නිද­හස ලබා දී ඇති අතර, ජනා­ධි­පති මාධ්‍ය ඒක­කය විසින්ද ඒ පිළි­බඳ තහ­වුරු කිරීම් කර ඇත්තේ ජන­ධි­ප­ති­ව­රයා ගත් ඒ ක්‍රියා­මාර්ග හේතු සාධක ඇතිව සනාථ කර­මිනි.

ඉවෝන්ගේ පාර්ශ්ව­යෙන් දැඩි විරෝ­ධතා

ජන­ධි­ප­ති­ව­ර­යාගේ මේ ක්‍රියා­ක­ලා­පය මුලින්ම දැඩිව විවේ­ච­න­යට ලක් කර­න්නට වූයේ ඝාත­න­යට ලක් වූ ඉවොන් ජොන්සන්ගේ නැඟ­ණි­යයි. ජනා­ධි­පති සමාව දීමට පෙර හා දීමෙන් පසු­වත් ඇය මේ ක්‍රියා කලා­ප­යට දැඩිව විවේ­චන ඉදි­රි­පත් කළේ සිය ෆේස් බුක් පිටු­වෙනි. මිය­ගිය ඉවෝන්ගේ නැග­ණිය වන කැරො­ල­යින් ජොන්සන් නොවැ­ම්බර් 10 වැනිදා සිය ෆේස් බුක් පිටු­වෙන් ජනා­ධි­ප­ති­ව­ර­යාට දිගු ලිපි­යක් ලියා ඇත්තේ මේ අයු­රිනි:

“මම දන්නවා ඔබ කෙදි­න­ක­වත් මෙය කියවා නොබ­ලන බව. දිය­ණි­යන් දෙදෙ­න­කුගේ පියකු වශ­යෙන් මේ වර­ද­කරු නිද­හස් කිරී­මට ඔබ ගත් තීර­ණය මට තේරුම් ගැනී­මට අප­හ­සුයි. ඝාත­න­යක් වූ විට පවු­ල­කට එම­ඟින් ඇති වන බල­පෑම කිසි­වකු කිසි දිනෙක සත්‍ය වශ­යෙන්ම තේරුම් නොගනු ඇති. අව­සා­නයේ ජනා­ධි­ප­ති­තු­මනි! ඔබ නැව­තත් මේ දරා­ගත නොහැකි වේද­නාව මගේ පවුලේ සාමා­ජි­ක­යන්ට හිමි කර දී තිබේ,” යනු­වෙන් දීර්ඝ සට­හ­නක් තබා ඇති අතර, ඇය අව­සා­නයේ සඳ­හන් කර ඇත්තේ තමා ඇතුළු තම පවුලේ උද­විය සිය සොහො­යු­රි­යගේ ඝාත­නය වෙනු­වෙන් වසර 15ක් පුරා සටන් කරද්දී ලේ තැව­රුණු මුදල් වෙනු­වෙන් සියල්ල යට­පත් කර­න්නට කළ වෑයම ගැන තමන් ඇතුළු පවුලේ උද­විය අති­ශ­යින් කණ­ගා­ටු­වට පත් වන බවයි.

අප­ටත් නිද­හස ඕනෑ ඇය ඇතුළු පවුලේ අයගේ මේ විරෝ­ධතා හේතු­වෙන් මේ සමාව දීම බොහෝ දෙනා පිළි­කු­ලින් යුතුව අද­හස් දක්වා තිබූ අතර, ලංකාවේ බන්ධ­නා­ගා­ර­වල මර­ණීය දඩු­වම ලබා සිටින වැර­දි­ක­රු­වන් අත­රද දැඩි නොස­න්සු­න්තා­වක් මතු වන්නට පටන් ගැනිණි. මේ තත්ත්වය කොත­රම් උත්සන්න වීද යත්: අව­සා­නයේ මේ විරෝ­ධතා සම­නය කර­න්නට මර­ණීය දඩු­ව­මට ලක් වූ ඇතැම් වැරු­දි­ක­රු­වන්ට සමාව දීම කෙරෙහි අව­ධා­නය යොමු කරන්න පවා සිදු විය.

වැරු­දි­ක­රු­ගෙන් ප්‍රකා­ශ­යක්

මේ අතර ජනා­ධි­පති සමාව හිමි වූ ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජය­මහ නම් තරු­ණ­යාද එක්තරා නිවේ­ද­න­යක් නිකුත් කර­මින් කියා සිටියේ තමන්ට ලැබුණු මේ අව­ස්ථාව ගැන අනු­කම්පා සහ­ග­තව සිතා බලන මෙනි. ඒ ලිපියේ වැඩි­දු­ර­ටත් මෙසේ සඳ­හන්ව ඇත:

“මගේ දෙමා­පි­යන් දික්ක­සාද වූ නිසා මම කැඩුණු භාණ්ඩ­යක් වුණා. මම තනි­ව­මයි හැදී-වැඩුණේ. පවු­ලක සමී­ප­ත­ම­යකු වීම කුම­නා­කා­රයේ කරු­ණක්ද යන්න ගැන මම දැන­ගෙන සිටියේ නෑ. ඒ වන විට මගේ වයස අවු­රුදු 16යි. දැන් මට අවු­රුදු 34ක්. මගේ තරුණ කාල­යම මම ගත කළේ අඩි 6X8 කාම­ර­යක. මට හිරු එළිය ලැබුණේ දින­කට විනාඩි 30ක් පම­ණයි. ඒක මගේ ජීවි­තයේ අඳු­රු­තම කාල­යක්. මම නිදා­ගත්තේ බිමයි. දව­ස­කට පැය 12ක් මාව හිර කරලා තිබුණේ. මම දන්නවා ඔබගේ වෛරය හා තරහා මා කෙරෙහි බව. ඒත් අවු­රුදු 19දී හිර­ගත වූ කෙනා නොවෙයි දැන් මම. ජොන්සන් පවු­ලට සිදු වූ දේ ගැන කන­ගා­ටුව ප්‍රකාශ කරන්න මට වචන නෑ. කාට වත් නපු­රක් කිරීමේ අද­හ­සක් මට තිබුණේ නෑ. මේ වේද­නාව පිට­තට ගන්න වචන මට නෑ. ඔබ වෙනු­වෙන් සිදු වූ දේ නැවත නිවැ­රදි කිරීම වෙනු­වෙන් මට කරන්න හෝ කියන්න හා්ෙ දෙයක් නෑ. ඔබ මා දරු­වකු ලෙස දන්නවා. සිදු වූ දේ ගැන මම මහත් සේ ලජ්ජා­වට පත් වනවා. මේ සිදු වූ දෙයෙහි වේද­නාව ඔබ සියලු දෙනාට මෙන්ම මගේ පවු­ල­ටත් තිබෙ­නවා. පසු­ගිය වසර 15 සෑම දෙන­කු­ටම දුක, අහිමී වීම් තිබූ කාල­යක්. මම කීප අව­ස්ථා­වක්ම ඔබ සම්බන්ධ කර­ගෙන මගේ කණ­ගා­ටුව හද­ව­තින්ම ප්‍රකාශ කිරී­මට උත්සාහ කළා. ඒත් එය සාර්ථක වුණේ නෑ. මට ඉවොන්ව නැවත දෙන්න බෑ.

“සමා­ජ­යට- ඔබගේ තර­හව මට දැනෙ­නවා. මම දැන් වෙනස් මනු­ස්ස­යෙක්. මට මීට පෙර රතන හමු­දු­රුවෝ මුණ­ගැ­හුනේ මගේ ජීවි­තයේ පහ­ළම ස්ථාන­යක සිටින විටයි. ඒ වසර පහ­කට පමණ පෙර. උන් වහන්සේ අපට භාව­නාව පිළි­බඳ උප­දෙස් දුන්නා; නැව­තත් මට මාව විශ්වාස කරන්න ඉගැ­න්වූවා. මම ආර්ථික විද්‍යාව පිළි­බ­ඳව විශේෂ උපා­ධි­යක් හැදෑ­රුවා.

“ලන්ඩන් ව්‍යාපා­රික පාස­ලෙන් මම මේ උපා­ධිය ලබා­ගත්තේ මට අන්ත­ර්ජා­ලය සඳහා ප්‍රවේශ වීමට පරි­ග­ණ­ක­ය­ක්වත් නැති විටයි. අඩුම තරමේ මට මේස­යක් වත් තිබුනේ නෑ. මම වැසි­කි­ළිය මත වාඩි වී මගේ කොට්ටය මේස­යක් කර­ගත්තා. මම මේක කළේ මම වෙනස් වී ඇති බව පෙන්වී­ම­ටයි. මම විවෘත විශ්ව­වි­ද්‍යා­ලයේ පශ්චාත් කළ­ම­නා­ක­රණ උපා­ධිය හදා­ර­නවා,” යැයි ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජය­මහ නම් තරු­ණයා මේ විරෝ­ධතා හමුවේ දුක්ගැ­න­වි­ල්ලක් ඉදි­රි­පත් කර ඇත්තේ වසර 13ක සිර­ද­ඬු­වම් විඳි කාලයේ තමා බොහෝ සෙයින් යහ­පත් පුද්ග­ල­යකු වී ඇති බව පව­ස­මිනි.

ජනා­ධි­ප­ති­ව­රණ ප්‍රචා­රක කට­යුතු වඩාත් උණු­සුම් වූ පසු­ගිය සතියේ දේශ­පා­ලන වේදිකා රැසක විවිධ පාර්ශ්ව විසින්ද මේ සම්බ­න්ධ­යෙන් අද­හස් මතු කර­න්නට විය. කැබි­නට් නොවන ඇමැති අජිත් පී. පෙරේරා මහතා මේ සම්බන්ධ විවේ­චන ඉදි­රි­පත් කර­මින් පවසා සිටියේ යම් චූදි­ත­ය­කුට ජනා­ධි­පති සමාව දීමේදී අනු­ග­ම­නය කළ යුතු ක්‍රියා පිළි­වෙ­ළක් ඇති බවත්, මේ සමාව දීමේදී ඒ ක්‍රියා පිළි­වෙළ අනු­ග­ම­නය කළේද යන්න පැහැ­දිලි කළ යුතු බවත්ය. එනම්: ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථා­වට අනුව වැර­දි­ක­රු­ව­කුට ජනා­ධි­ප­ති­ව­රයා විසින් සමාව ප්‍රදා­නය කරද්දී ඒ නඩුව විභාග කළ විනි­සු­රු­ව­ර­යා­ගේත්, නීති­ප­ති­ව­ර­යා­ගෙන් හා අධි­ක­රණ ඇමැ­ති­ව­ර­යා­ගෙන් වාර්තා­වක් කැඳ­විය යුතු වුවත් එෙලෙස නොකළේ නම් එය අනා­ග­ත­යට වැරුදි පූර්වා­ද­ර්ශ­යක් වන බවත්ය.

විවිධ විරෝ­ධතා මැද රෝයල් පාක් වැරැ­දි­ක­රුට ජනා­ධි­පති සමාව දීම සම්බ­න්ධ­යෙන් ජනතා විමුක්ති පෙර­මුණේ නායක අනුර කුමාර දිසා­නා­යක මහ­තාද සිය විරෝ­ධ­තාව දක්වා ඇත. “මෙසේ නිද­හස ලබා දීම නීති විරෝධි, අසා­ධා­රණ හා අයුක්ති සහ­ගත දෙයක්. අධි­ක­ර­ණ­යක් විසින් නිසි පරිදි සිදු කරන ලද දීර්ඝ නඩු විභා­ග­ය­කින් අන­තු­රුව දෙන ලද දඬු­ව­මක් මෙසේ එක පෑන් පහ­රින් කපා­දැ­මීම අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්ව­යට, නීතියේ ආධි­ප­ත්‍යට කරන බල­වත් පහ­රක්...”

ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ අව­සන් කැබි­නට් හමු­වේ­දීද මේ පිළි­බඳ ඔහු­ගෙන් විම­සීම් කළේ ඇමැති මණ්ඩ­ලයේ කිහිප දෙනෙකි. එසේ ප්‍රශ්න මතු කරද්දී ජනා­ධි­ප­ති­ව­රයා පවසා ඇත්තේ ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජය­මහ නම් තරු­ණයා එසේ නිද­හස් කළේ වසර 13ක් බන්ධ­නා­ගා­ර­ග­තව සිටි කාලයේ ඔහුගේ යහ­පත් කල්කි­රි­යාව හේතු­වෙන් බවත්, තමා කළ වර­දක් හේතු­වෙන් බන්ධ­නා­ගා­ර­ග­තව සිටි කාලයේ ඔහු උපාධි 2ක් ලබා­ගත් බවත්, මේ වන විට ආචාර්ය උපා­ධි­ය­ටද සූදා­න­මින් සිටින බවත් යන කරුණු ඉව­හල් වූ බවත්ය. එසේම මේ සම්බ­න්ධ­යෙන් ජනා­ධි­පති මාධ්‍ය අංශ­යෙන්ද දිගු පැහැ­දිලි කිරී­මක් කර ඇති අතර, එහි සඳ­හන් වූයේ මොහුට නිද­හස ප්‍රදා­නය කිරීම පිටු­පස මන්ත්‍රී අතු­ර­ලියේ රතන හිමි ඇතුළු පිරි­සක් ඉදි­රි­පත්ව සිටි බවයි. අතු­ර­ලියේ රතන හිමි මේ තරු­ණ­යාගේ මවු­පි­යන් සහ ඥාතීන් ජනා­ධි­ප­ති­තු­මාට මුණ­ගස්වා මේ පිළි­බඳ දීර්ඝ කරුණු දැක්වී­මක්ද සිදු කර තිබූ බව වාර්තා වෙයි. අතු­ර­ලියේ රතන හිමි, බද්දේ­ගම සමිත හිමි, කෙර­දේ­වල පුඤ්ඤ­ර­තන හිමි, බළ­න්ගොඩ බුද්ධ­ඝෝෂ හිමි, රද­ගුරු රේමන්ඩ් වික්‍ර­ම­සිංහ, නීතිඥ මහේෂ් මඩ­වල, නීතිඥ නාලනී මන­තුංග, නීතිඥ නිල්රුක් ඉහ­ළ­ක­ත්‍රිගේ, නීතිඥ කුමුදු නානා­ය­ක්කාර යන අයද ගාල්ල වැලි­වත්ත විජ­යා­නන්ද විහා­රයේ විජ­යා­නන්ද සමාජ සේවා සංව­ර්ධන පද­නම, උණ­ව­ටුන රූම­ස්සල නව ජීවන අම­ද්‍යප සංග­මය යනාදි සිවිල් සංවි­ධා­නද ශ්‍රමන්ත ජූඩ්ට සමාව ප්‍රදා­නය කරන ලෙස ජනා­ධි­ප­ති­තු­මා­ගෙන් ඉල්ලා සිටි බව ඒ නිවේ­ද­නයේ දක්වා තිබිණි.

ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ බලය

සිර­ක­රු­වන්ට සමාව දීමට ජනා­ධි­ප­ති­ව­ර­යාට බලය හිමි වන්නේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 34 වග­න්ති­යට අනු­කූ­ල­වය. 34 වග­න්තියේ (1) අනු­ව­ග­න්තිය යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ අධි­ක­ර­ණ­යක තීන්දු­වක් යටතේ වර­ද­කරු කරන ලද පුද්ග­ල­ය­කුට සමා­වක් දීමට ජනා­ධි­ප­ති­ව­ර­යාට බලය පැව­රෙන අතර වර­ද­ක­රුට දෙන්නේ සම්පූර්ණ සමා­වක්ද නැත හොත් කොන්දේසි සහිත සමා­වක්ද යන්න තීර­ණය කරන්නේ ජනා­ධි­ප­ති­ව­ර­යාය. අදාළ වර­ද­ක­රුට නියම කර ඇති දඬු­වම ලිහිල් කිරී­මට හෝ නියම කරන ලද දඬු­වම මුළු­ම­නින්ම නිෂ්ප්‍රභ කිරී­මට මෙහිදී ජනා­ධි­ප­ති­ව­ර­යෙ­කුට ව්‍යව­ස්ථා­වෙන් බලය හිමි වන්නේය. මේ කරුණු කොයි ආකා­ර­යෙන් පැවැ­සු­වද අධි­ක­ර­ණ­ය­කින් මරණ දඬු­වම නියම වූ පුද්ග­ල­යෙ­කුට සමාව ලබා දීමේ දී 34 (ඈ) වග­න්තිය යටතේ ජනා­ධි­ප­ති­ව­ර­යාට යම් සීමා පනවා තිබේ. එවන් පුද්ග­ල­යකු නිද­හස් කිරී­මට පෙර අදාළ නඩුව විභාග කළ විනි­සු­රු­ගෙන් වාර්තා­වක් ගත යුතු අතර, ඒ සම්බ­න්ධ­යෙන් නීති­ප­ති­ව­ර­යා­ගෙන්ද අධි­ක­රණ අමා­ත්‍යාං­ශ­යෙන්ද යම් යම් උප­දෙස් ගත යුතු බව සඳ­හන් කර ඇත.

මෙසේ ජනා­ධි­පති සමාව දීම පිළි­බඳ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ සඳ­හන් වුවද එසේ සමාව දීමේදී සැල­කිය යුතු කරුණු මොන­වා­දැයි නීතියේ සඳ­හන්ව නැත. ඒත් නීති ක්ෂේත්‍රයේ විශා­ර­ද­යන් සිය අත්දැ­කීම් ඔස්සේ පව­සන්නේ මෙසේ නිද­හස් කිරීම් කරන්නේ බර­ප­තළ නොවන වැරැ­දි­ව­ලට සම්බන්ධ අය බවයි.

ජනා­ධි­පති සමාවේ ඉති­හා­සය

ඉති­හා­සයේ මිනී­මැ­රුම් වැර­දි­ක­රු­වන්ට සමාව දුන් ප්‍රථම අව­ස්ථා­වද මෙය නොව­න්නේය. හිටපු ජනා­ධි­පති ජේ ආර් ජය­ව­ර්ධන මහ­තාගේ සමයේ මිනී­මැ­රුම් හා ස්ත්‍රී දූෂණ චෝද­නා­ව­ලට ලක්ව සිර දඬු­වම් විඳි­මින් සිටි ගෝන­වල සුනිල්ට ජනා­ධි­පති සමාව ලැබිණි. එසේම හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා විසින් මිනී­මැ­රුම් චෝදනා ලබා සිර දඬු­වම් විඳි­මින් සිටි හිටපු ඇමැති බිරි­යක වූ මොනිකා ප්‍රනා­න්දුට ජන­ධි­පති සමාව ප්‍රදා­නය කෙරිණි.

ජනා­ධි­පති සමාව සමා­ජයේ කතා­බ­හට ලක් වූ අවස්ථා කිහි­ප­යක් තිබිණි.

2004 වර්ෂයේ පොදු­ජන එක්සත් පෙර­මුණේ පාර්ලි­මේන්තු මන්ත්‍රී එස් බී දිසා­නා­ය­කද අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ වර­දට සිර­ගත කෙරිණි. හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­ණ­තුංග පාලන සමයේ රජයේ ප්‍රබල ඇමැ­ති­ව­ර­ය­කුව සිටි එස් බී දිසා­නා­යක කලක් ශ්‍රී ලංකා නිද­හස් පක්ෂයේ මහ ලේකම් ලෙසද කට­යුතු කළේය. මහින්ද රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා 2006දී එස් බී දිසා­නා­ය­කට ජනා­ධි­පති සමාව දුනි. හිටපු හමු­දා­ප­ති­ව­ර­යකු වන ෆීල්ඩ් මාෂල් ජන­රාල් සරත් ෆොන්සේ­කාට එරෙ­හිව තිබු සියලු චෝද­නා­ව­ලින් ඔහු නිදොස් කොට නිද­හස් කිරී­මට ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන ක්‍රියා කළේය.

ජනා­ධි­පති පොදු සමාව යටතේ 71 කැරැල්ලේ ප්‍රධාන විත්ති­කරු වූ ජනතා විමුක්ති පෙර­මුණේ නායක රෝහණ විජේ­වී­රට ජනා­ධි­පති සමාව ලැබී­මත් සුවි­ශේෂ සිදු­වී­මකි. නැක්ස­ල­යිට් චෝද­නාව යටතේ සිර­ගත කෙ‍රුණු විජය කුමා­ර­ණ­තුංග ජේ ආර් ජය­ව­ර්ධන ජනා­ධි­පති සමාව යටතේ නිද­හස් කිරී­මත් එකල සමා­ජයේ බොහෝ කතා බහට ලක් විය.

රෝයල් පාක් ඝාතන සිද්ධියේ වර­ද­ක­රු­වන්ට ජනා­ධි­පති සමාව ලැබී­මට ප්‍රථම ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා මීට පෙර අවස්ථා දෙක­කදී එම බලය භාවිත කර තිබිණි. එයින් එක් අව­ස්ථා­වක් වන්නේ තමන් ඝාත­නය කිරී­මට පැමිණි බව කියන කොටි සාමා­ජි­ක­යකු නිද­හස් කිරී­මය. එය ඔහුට විශාල ජනතා ප්‍රසා­ද­යක් අත් කර දුන් කරු­ණක් විය. දෙවැන්න අධි­ක­ර­ණ­යට අප­හාස කිරීමේ චෝද­නා­වට වර­ද­කරු වූ ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි­යන්ට සමාව දීමය. ඒ අව­ස්ථාවේ විවිධ අය විවිධ මත ප්‍රකාශ කළද ජනා­ධි­පති සමාව හිමි වීමෙන් පසුව ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි ජනා­ධි­ප­ති­ව­රයා මුණ­ගැ­සුණු ආකා­රය මාධ්‍ය මඟින් දකි­න්නට හැකි විය.

මූලික අයි­ති­වා­සි­කම්

ජනා­ධි­පති සමාව අභි­යෝ­ග­යට ලක් කළ හැකිද යන්න නීති ක්ෂෙත්‍ර­යට සම්බන්ධ බොහෝ දෙනා විවිධ මත පළ කරති.

ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ 35 වැනි වග­න්තිය අනුව ජනා­ධි­පති ධූරය දරන තැනැත්තා/ තැනැ­ත්ති­යට එරෙ­හිව කිසිදු ආකා­ර­යක සිවිල් හෝ අප­රාධ නඩු පැව­රිය නොහැකි ලෙස සඳ­හන් වී තිබේ. ඒත්, එම ප්‍රති­පා­දන සහ මුක්තිය ඉවත් කර­මින්, ජනා­ධි­ප­ති­ව­ර­යාට එරෙ­හිව නීති­ප­ති­ව­රයා වග උත්ත­ර­කරු කර­මින් මූලික අයි­ති­වා­සි­කම් කඩ­වීමේ නඩු පැව­රීමේ හැකි­යාව 19 වැනි සංශෝ­ධ­න­යෙන් ලැබී ඇත. ගල­ගො­ඩ­අත්තේ ඥාන­සාර හිමි නිද­හස් කිරී­මෙන් සන්ධ්‍යා එක්නැ­ළි­ගො­ඩගේ මූලික අයි­ති­වා­සි­කම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ නඩු­වක් ගොනු කිරී­මට හැකි­යාව ලැබී ඇත්තේ මේ හේතු­වෙනි. ජනා­ධි­පති සමාව දීම වර­දක් යැයි පව­ස­මින් ඍජුව නඩු පැව­රී­මට නීති­යක් නැති බව සඳ­හන් වෙයි. ඒත් 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය යටතේ යම් වර­ද­ක­රු­වකු නිද­හස් කිරීම මඟින් තවත් පුද්ග­ල­ය­කුගේ මූලික අයි­ති­වා­සි­කම් කඩ වී තිබෙන බව සඳ­හන් කර­මින් නඩු පැවැ­රීමේ හැකි­යාව ගැනද සඳ­හන් වෙයි.

Comments