රටක් ලෙස අපට ජය ගත හැක්කේ කවු­රුන් දිනූ­වත්, කිසි­ව­කු­ටත් හිංසා­වක් නොවු­ණොත් පමණයි | සිළුමිණ

රටක් ලෙස අපට ජය ගත හැක්කේ කවු­රුන් දිනූ­වත්, කිසි­ව­කු­ටත් හිංසා­වක් නොවු­ණොත් පමණයි

ප්‍රංසයේ ප්‍රධාන අධි­ක­රණ සංඝ­නා­යක, ප්‍රංසයේ ජේත­වන මහා විහා­රා­ධි­පති මුරුං­ගා­ග­ස්යායේ ඤාණි­ස්සර නාහිමි

 

තිස්පස් වස­කට වැඩි කලක් තිස්සේ විදෙ­ස්ගත ධර්ම­දූත මෙහෙ­වරේ යෙදී සිටින මේ හිමියෝ මැති­ව­රණ පිළි­බඳ තම විදේශ අත්දැ­කීම් ඇසු­රෙන් ප්‍රෞඪ ඉති­හා­ස­යක් ඇති ශ්‍රී ලාංකි­යන් හා බෞද්ධ­යන් වශ­යෙන් අප මැති­ව­ර­ණ­ය­කින් පසු කට­යුතු කළ යුත්තේ කෙසේද යන්න ගැන විව­ර­ණ­යක යෙදෙති.

 

අපේ රට දුරා­තී­තයේ පටන් බෞද්ධ සංස්කෘ­තික පරි­ස­ර­ය­කින් යුක්ත වූවකි. ඒ නිසා මෙරට පාල­ක­යන් වූ බොහෝ රජ­ව­රුන් කට­යුතු කළේ බුදු දහ­මට මුල් තැන දීමෙනි. තම සතු­රාට පවා මෛත්‍රිය පැති­ර­වී­මට ඔවුන් කට­යුතු කළේ එහෙ­යිනි. ශ්‍රී ලංකා­ද්වී­පය එක්සේ­සත් කිරීම උදෙසා විජි­ත­පු­රදී කළ සට­නින් අන­තු­රුව දුටු­ගැ­මුණු රජු අතින් එළාර රජු මර­ණ­යට පත් විය. එයින් පසුව දුටු­ගැ­මුණු රජු තම සතු­රාගේ දේහය ගෞර­වා­න්වි­තව මිහි­දන් කරවා, ඉන් නොනැ­වතී, එතැ­නින් යන සියලු දෙනා එයට ගරු කළ යුතු බවට නීති­යක්ද පැන­වූ­යේය. බෞද්ධ පෙර­හ­රක් වුව ගමන් කරද්දී සියලු බෙර වාදන නවතා ගමන් කළ යුතු බව­ටද නියෝ­ග­යක් පන­වන ලදි.

ඒ අපේ රජ­ද­රු­වන් අපට ලබා දුන් ප්‍රෞඪ ඉති­හා­ස­ගත ගුණ­ධ­ර්මයි.

අපේ රටට නිද­හස ලැබී­මෙන් පසුව වර්ත­මා­නයේ ප්‍රජා­ත­න්ත්‍රීය ක්‍රම­යෙන් පාල­ක­යන් පත් කර­ග­න්නට කට­යුතු යොදා තිබේ. එය ජන­තා­වගේ ප්‍රජා­ත­ත­න්ත්‍රීය අයි­තිය රැක දීමට සමත් වූවකි. එහෙත් ඒ අගය කළ යුතු ක්‍රියා­දා­මය සාර්ථක කර­ගැ­න්මට අප කට­යුතු කර තිබේද?

 

පශ්චාත් මැති­ව­රණ අත්දැ­කීම්

 

මැති­ව­ර­ණ­ය­කින් පසු අපේ රටේ ජන­තා­වගේ ප්‍රකෝ­ප­කාරි හැසි­රීම් අප කොතෙ­කුත් දැක තිබේ. අපේ රටේ මැති­ව­රණ ප්‍රති­ඵල ප්‍රකා­ශ­යට පත් වීමෙන් පසුව සිදු වූ අවා­ස­නා­වන්ත සිදු­වීම් හමුවේ අප තව­මත් ග්‍රෝතික ජන­තා­වක් සේ ලෝකයා හමු වේ දිස් වේ. ඉති­හා­සය පුරා අප මේ අවා­ස­නා­වන්ත සිදු­වී­ම්ව­ලට මුහුණ දී තිබේ. නිවාස ගිනි තැබීම්, දේපොළ කොල්ල­කෑම්, විරුද්ධ පාක්ෂි­ක­යන්ට කරනු ලබන ශාරී­රික හිංස­න­යක් වැනි ක්‍රියා­දා­ම­යන් ම්ලේච්ඡ ජාති­ක­යන් සේ අප ලෝක­යාට පෙන්නුම් කර­න්නකි.

මැති­ව­ර­ණ­ය­කින් පසු අප කළ යුත්තේ සියලු දෙනාම එක්ව රට ගොඩ­ගැ­නී­මට අවශ්‍ය පිය­වර ගැනී­මයි. ක්‍රීඩා­වක නියැ­ළෙද්දී එක් පිලක් ජය­ග්‍ර­හ­ණය කරන අත­ර­තුර අනෙක් පිල පරා­ජ­යට පත් වනවා සේම මැති­ව­ර­ණ­ය­ක­දීද එක් පක්ෂ­යක් ජය ගන්නා අතර අනෙක් පක්ෂය පරා­ජ­යට පත් වේ. එය ලෝක ධර්ම­තා­වයි.

 

නියම ජය­ග්‍ර­හ­ණය

 

ඒ ධර්ම­තා­වට පිටුපා අපට කට­යුතු කළ නොහැ­කිය. එහෙ­යින් ජය ගත් පාල­ක­යන් සේම ඒ පාක්ෂි­ක­යන් හා ආධා­ර­ක­රු­වන්ද කළ යුත්තේ තම ජය­ග්‍ර­හ­ණය නිහ­ඬව කිසි­ව­කුට හෝ හිරි­හැ­ර­යක් නොවන සේ භුක්ති විඳී­මයි.

අව­සන් මැති­ව­රණ ප්‍රති­ඵ­ල­යට ගරු කිරී­මට සියලු දෙනා ගෞර­වා­න්වි­තව කට­යුතු කළ යුත්තා සේම එය සාධා­ර­ණව පිළි­ග­නි­මින් අනෙක් අය සමඟ ගැටලු ගැටුම් ඇති කර නොගත යුතුයි.

පෙර සඳ­හන් කළාක් මෙන් එළාර රජුට දුටු­ගැ­මුණු රජු විසින් කළ ගෞර­වා­න්විත පිළි­ගැ­නීම සේ ඉති­හා­සය පුරා අපේ සංස්කෘ­තියේ පරා­ජි­ත­යාට පිළි­ගැ­නී­මක් තිබිණි. එය පරා­ජි­ත­යාට පම­ණක් නොව, ඔහුගේ අනු­ගා­මි­ක­ය­න්ටද තිබිය යුතුය.

ප්‍රංසය ඇතුළු ලොව බොහෝ රට­වල මැති­ව­ර­ණ­යෙන් පසු ජන­තාව තම සුපු­රුදු දෛනික කාර්ය­යන්හි නියැ­ළෙ­නවා හැරෙ­න්නට කිසිදු ගැටලු අර්බුද දක්නට නැත.

ප්‍රංසයේ එක් එක් දේශ­පා­ලන පක්ෂ­ව­ලට අයත් කාර්යාල හා දැන්වීම් පුවරු ප්‍රසිද්ධ ස්ථාන­වල (උදා­හ­රණ වශ­යෙන්: දුම්රිය ස්ථාන, බස් නැව­තු­ම්පොළ වැනි ස්ථාන අසල) දක්නට ඇත.

ඒවායේ එක් එක් දේශ­පා­ලන පක්ෂ­ව­ලට අයත් පිරිස් දේශ­පා­ලන කට­යු­තු­වල නිර­තව සිටින අතර, මැති­ව­රණ සම­යේදී බස් රථ, දුම්රිය හෝ වෙනත් කිසිදු පොදු ස්ථාන­යක මැති­ව­රණ කතා ජන­තාව අතු­රින් නොඇසේ. ජන­තා­ටව තම මතය විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචා­ර­ණය කිරී­මට අපේ­ක්ෂ­ක­යන් විසින් කට­යුතු කරන අතර, ඡන්දය භාවිත කිරී­මෙන් පසු -එනම්: එදින පස්වරු 5.00න් පසු- කිසි­වකු ඒ ගැන කතා­වල යෙදෙන්නේ නැත.

 

බට­හිර දේශ­පා­ලන සංස්කෘ­තිය

 

ප්‍රංසයේ ඇති පහ­සු­කම් අනුව රාත්‍රී 8.00 වන විට මැති­ව­රණ ප්‍රති­ඵල ප්‍රකා­ශ­යට පත් කෙරෙන අතර, පසු දින බස් රථ­වල, දුම්රියේ හෝ වෙනත් පොදු ස්ථාන­යක මැති­ව­රණ කතා­වක් ඇසෙන්නේ නැත. මේ දේශ­පා­ලන සංස්කෘ­තිය අපට උරුම නොවීම අපේ අවා­ස­නා­වකි.

බට­හිර ජාතීන්ගේ සංස්කෘ­තිය අපට ළඟා කර නොගත යුතු බව අප පැව­සු­වද අප එවන් ගුණාංග අනි­වා­ර්යෙන්ම ළඟා කර­ගත යුතු වේ. අවම වශ­යෙන් මැති­ව­ර­ණ­යෙන් පසු සිදු වන අවා­ස­නා­වන්ත සිදු­වීම් හෝ වළ­ක්වා­ගැ­නී­ටම පිය­වර ගත යුතු වේ.

මැති­ව­ර­ණ­යෙන් ජය ගත් අය තමන්ට ජන­ව­රම දුන් ජන­තා­වගේ අපේක්ෂා ඉටු කිරී­මට කට­යුතු කළ යුතු අතර ජය ගැන්මට නොහැකි වූ අය කළ යුත්තේ තමන්ට කොතැ­නක හෝ සිදු වූ අඩු­පා­ඩු­වක් හෝ වර­දක් හෝ නිසා තමාට ඒ තත්ත්වය අත් වූ බව සිතා ඉදි­රි­යේදී ජය ගැන්මට කට­යුතු කිරී­මයි.

එසේ නොමැ­තිව අදූ­ර­ද­ර්ශීව කට­යුතු කර පරා­ජි­තයාට හෝ ඔහුගේ අනු­ගා­මි­ක­යන්ට හෝ රිද­වී­මෙන් සිදු වන්නේ නොන­ව­තින ගැටුම් නිර්මා­ණය වීමකි. එයින් පසු සිදු වන්නේ ‘අස­වලා මට බැන්නේය, වධ-හිංසා කළේය, මා පැර­ද­වීය, මට අලාභ හානි කළේය’ යන වෛරය සිතේ පැස­වී­මයි. එය පසු කලෙක ඔහුට බලය ලැබුණු කළ ඔහුද පෙරළා ඒ නොමනා ක්‍රියා­වම කර­න්නට පෙල­ඹ­වී­මක් වනු ඇත. එසේ නොක­රන්නේ නම් ඒ හේතු­වෙන් වෛරය සංසි­ඳෙන බව ධම්ම­ප­දයේ දැක්වේ. අප කවු­රුත් දන්නා පරිදි වෛර­යෙන් වෛරය නොසං­සි­ඳෙන අතර, වෛරය සංසි­ඳෙන්නේ අවෛ­ර­යෙනි.

‘නහි වේරේන වේරානි

සම්ම­න්තීධ කුදා­චනං

අවේ­රේන ච සම්මන්ති

ඒස ධම්මෝ සන­න්තනෝ’

ඒ අනුව අප කළ යුත්තේ කිසිදු විටෙක අනෙක් තැනැ­ත්තන්ට රිද­වී­මෙන් තොරව කට­යුතු කිරී­ම­ටය. සියලු දෙනාම දඬු­ව­මට බිය බවත් එයින් තැති ගන්නා බවත් ‘සබ්බේ තසන්ති දණ්ඩස්ස ...’ යන ගාථා­වෙන් ධම්ම­ ප­ද­යේද දක්වා තිබේ.

 

ජය­ග්‍ර­හ­ණයේ සම-කොට­ස්ක­රුවෝ

 

ඒ නිසා බෞද්ධ සංස්කෘ­ති­ය­කින් හෙබි ශ්‍රී ලාංකි­ක­යන් වශ­යෙන් අප කළ යුත්තේ සැම විටම අන­න්‍යන්ගේ පරා­ජ­යේදී තමන් ලද ජය වුවද ඔවුන්ට හිරි­හැර නොවන ලෙස භුක්ති විඳීම හෝ ඔවුන්ද එහි සම කොට­ස්ක­රු­වන් ලෙස යොදා­ගැ­නී­මයි.

බට­හිර විද්‍යා­ඥ­යන්, ලේඛ­ක­යන් හා විචා­ර­යන් බුදු දහම අගය කරන්නේ එහෙ­යිනි.

ජෝන් වෝල්ටර්ස් නම් ලේඛ­කයා බෞද්ධ­යන් ගැන පවසා ඇත්තේ මෙවැ­න්නකි: ‘බෞද්ධයෝ තම ආගම වෙනු­වෙන් කිසිම විටෙක යුද නොවැ­දු­ණහ.

මිථ්‍යා­දෘ­ෂ්ටීන් නැති කිරීම, අන්‍ය ලබ්ධි­ක­යන්ට වධ බන්ධන කිරීම හෝ බල­යෙන් තම ආග­මට බඳ­වා­ගැ­නීම හෝ කිසි විටෙක සිදු නොවීය. එය නිතර අන් අද­හස් ඉව­ස­න­සුලු විය. නියම බෞද්ධ­යන්ට සතු­රා­ගේත් මිතු­රා­ගේත් ජීවිත එකය. හැම දරුණු ක්‍රියා­ව­කින්ම වැළකී සිටිය යුතුය. හොඳම පලි ගැනීමේ මාර්ගය නම් කරු­ණා­වන්ත සිති­වි­ලිය.’

මැති­ව­ර­ණය අව­සන් වීමෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුව හොත් එයින් පාඩු සිදු වන්නේ අප­ටම බව අම­තක නොකළ යුතු වේ. අපේ අස­ල්වා­සීන් සමඟ අඬ-දබර වීම හෝ පහර දීම් ආදිය කිසි­සේත්ම නොකළ යුතුය. එසේ වුව හොත් අප කිසි සේත්ම බෞද්ධ­යන් නොවන අතර, ගෝත්‍රික ජන­තාව මෙන් බල­යට පත් වූ පසු සෙසු ග්‍රෝති­ක­යන් පලවා හරි­න්නන් බවට පත් වනු ඇත.

 

එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකා­ශ­නය

 

1948 වසරේ දෙසැ­ම්බර් මස 10 වැනිදා එක්සත් ජාතීන්ගේ මූලික මානව අයි­ති­වා­සි­කම් පිළි­බඳ විශ්ව ප්‍රකා­ශ­න­යේද ජන­තා­වගේ දේශ­පා­ලන මත දැරීමේ නිද­හස, ආගම ඇද­හීමේ නිද­හස වැනි කරුණු පැහැ­දි­ලිව දක්වා තිබේ. අප සැම­වි­ටම ඒ නීතිය පිළි­ගත යුතුය.

අධි­රා­ජ්‍ය­යක් ගොඩ­නැ­ඟී­මට කට­යුතු කළ අශෝක රජු අව­සා­නයේ එය අතැර දමා ධර්ම­යම නියම අධි­රා­ජ්‍යය බව හඳු­නා­ගෙන ‘ධර්මා­ශෝක’ වූ අතර, මහා ඇලෙ­ක්සැ­න්ඩර් රජු­ටද අව­සා­නයේ අධි­රා­ජ්‍ය­යක් ගොඩ­නැ­ඟීම නව­තා­ද­ම­න්නට සිදු වූ බව අප අම­තක නොකළ යුතුය.

මෙන­යින් ධාර්මික බවින් තොරව අපට කිසිදු ජය­ග්‍ර­හ­ණ­යක් කරා ගමන් කළ නොහැ­කිය. ඒ නිසා ජනා­ධි­ප­ති­ව­ර­ණ­යක් පව­ත්වන මේ අව­ස්ථාවේ අප කල්පනා කළ යුත්තේ මෙයින් ජය ගන්නා අපේ­ක්ෂ­කයා කව­රකු වුවත්, ජය ගන්නා පක්ෂය කුමක් වුවත් සෙසු පක්ෂ­වල අපේ­ක්ෂ­යන්ට හෝ අනු­ගා­මි­ක­යන්ට හෝ පාක්ෂි­ක­යන්ට හෝ කිසිදු ආකා­ර­යක තාඩන-පීඩන, හිංසා සිදු නොකර සිටී­මට කට­යුතු කළ යුතු බවයි.

අප සැම මැති­ව­ර­ණය ජය ගත්තා වන්නේ එවි­ටය.

 

සේයා­රුව - ෂාන් රඹු­ක්වැල්ල

Comments