අලුතින් පත් වන ශ්‍රී ලංකාවේ සත් වන විධායක ජනාධිපතිවරයා හමුවේ ඇති අභියෝග සම්බන්ධයෙන් සමාජ විද්‍යාඥයකු, දේශපාලන විචාරකයකු මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ප්‍රධානියා ලෙස කලක් කටයුතු කළ මහාචාර්ය ජයදේව උයන්ගොඩ සමඟ කළ කතාබහකි.
• නව ජනාධිපතිවරයා හමුවේ ඇති අභියෝග ඔබ තේරුම් ගන්නේ කවරාකාරයටද?
අලුත් ජනාධිපතිවරයා හමුවේ ඇති අභියෝග අලුත් ඒවා නොවෙයි. 2015දී තිබුණු අභියෝග තවමත් අප ඉදිරියේ තිබෙනවා. මේ අභියෝග මොනවාද කියන කාරණය මේ අය හොඳින්ම දන්නවා. එවැනි අභියෝග රැසක් ඔවුන් හමුවේ තිබියදී මැතිවරණයේදී ජනතාවට පොරොන්දු රාශියක් මේ අය දුන්නා. අප 2015දීත් මේ තත්ත්වය හොඳටම දැක්කා. එහිදී අපේක්ෂකයන් විසින් අතිවිශාල බලාපොරොත්තු රාශියක් ජනතාවට දුන්නා. තමන් බලයට පැමිණ පැය 24න්, 72න්, මාසෙන්, මාස 3න්, දින 100න්, අවුරුද්දෙන් ආදි වශයෙන් නොයෙක් ආකාරයේ දේවල් ඉටු කරන බවට අතිශයෝක්ති සහගත පොරොන්දු දුන්නා. ඒ වගේම ඒ දේවල් කිරීමට තමන් සතු හැකියාව පිළිබඳ අතිශයෝක්ති සහගත චිත්‍රයක් ජන මනසේ චිත්රණය කළා. එහෙත් මේ පොරොන්දු පිළිබඳ හාස්‍යෝත්පාදක ආකල්පයක් මහජනතාව තුළ තිබෙනවා.
මැතිවරණ සමයේ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ බලාපොරොත්තුවෙන් විශාල ලෙස ජනතා අපේක්ෂා ඉහළට නැංවීමට යෑමේදී, මැතිවරණයෙන් පසු මුහුණ දීමට සිදු වන ආර්ථික-දේශපාලන යථාර්ථය විසින් ඇති කරන තත්ත්වය යටතේ අතිවිශාල පරතරයක් නිර්මාණය වෙනවා. අපේක්ෂාව හා යථාර්ථය අතර තියෙන සමනය කළ නොහැකි පරතරය හා ප්රතිවිරෝධය කියලා මෙය අපට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ජයග්‍රහණය කළ නව ජනාධිපතිවරයාට මේ ගැටලුවලට අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිදු වනවා. මේ විධියට සමාජයේ යථාර්ථවාදි නොවන අපේක්ෂා ගොඩනැංවීම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම කළ වරදක්!
• ඔබ පවසන ආකාරයට ජනමනස තුළ යථාර්ථවාදි නොවන අදහස් ගොඩනැඟීමේ ප්‍රතිඵලය ඉදිරියේදී රටේ කවරාකාරයේ තත්ත්වයක් ඇති කරාවිද?
යථාර්ථවාදි නොවන අපේක්ෂා ගොඩනැඟුවාම සිදු වන්නේ බලයට පත් වන ආණ්ඩුව විශාල අර්බුදයකට විවර වීමයි. අඩුම තරමින් ඔවුන් තුළ ජනිත කළ බලාපොරොත්තුවලින් බාගයක් හෝ ඉටු කිරීමට නොහැකි වුණොත් සමාජය තුළ දේශපාලනය සහ දේශපාලනඥයන් පිළිබඳ විශාල කලකිරීමක් ඇති වනවා. මේ නිසා සමාජ අසහනය වර්ධනය වනවා; මහජනයා හා පාලකයන් අතර තිබෙන දූරස්ථභාවය වැඩි වනවා. වර්තමාන ආණ්ඩුව මේ අර්බුදයට තදින්ම මුහුණ පෑවා. ඔවුන් බලයට එද්දී අතිවිශාල බලාපොරොත්තු සම්භාරයක් ජනතාවට දුන්නා. හොරු අල්ලනවා කිව්වා; ඒ අයට දඬුවම් කරනවා කිව්වා; ඔවුන් සොරකම් කළ මුදල් ජනතා ශුභසාධනය වෙනුවෙන් යොදවන බව කිව්වා; ප්රජාතන්ත්රවාදය ඇති කරනවා, ස්වාධීන කොමිසන් සභා පිහිටුවනවා, තොරතුරු දැනගැනීමේ අයිතිය ලබාදෙනවා, දූෂණය නැති කරනවා ආදි වශයෙන් බොහෝ පොරොන්දු දුන්නා. ඇත්තටම මේ දේවල් ඉටු කරන්න බැරි පොරොන්දුත් නොවෙයි. ඔවුන් මේ දේවලින් කිසියම් ප්‍රමාණයක් ඉෂ්ට කළත්; ඔවුනුත් දූෂණයේ හවුල්කාරයන් බවට පත් වුණා. මේ තමයි එක්තරා විධියකට අපට තිබෙන විශාලම අභියෝගය.
• ශුභසාධන පොරොන්දු දීම නරක දෙයක් කියලා ඔබ සිතනවාද?
ඊයේ නිමා වූ ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී අප දුටුවා අපේක්ෂකයන් විශාල ලෙස ශුභසාධනවාදි පොරොන්දු ජනතාවට දෙනවා. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා ගත්තොත් සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ ව්‍යාපාරයට පැමිණියේ ටිකක් ප්‍රමාද වී. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ තේමාව බවට පත් වුණේ දුගීභාවයෙන් ආන්තිකකරණයට පත් ජනයාගේ අපේක්ෂකයා බවට නාමකරණය වීමයි. එය ඔහුට හුරුපුරුදු තේමාවක්. ඒ වන විටත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික ආරක්ෂාව මූලික කරගෙන සෑහෙන ඉදිරියට පැමිණ තිබුණා. එහෙත් සජිත්ගේ මේ තේමා පාඨය නිසා ජනතාව ඔහු කෙරෙහි ශීඝ්‍රයෙන් ආකර්ෂණය වුණා. ඔහු එහිදී කළ වැදගත් දෙයක් තමයි එජාප නව ලිබරල්වාදී ප්‍රතිපත්ති කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ හෝ ක්‍රියාමාර්ග සමඟ අනන්‍ය නොවී රාජ්‍ය ශුභසාධන ව්‍යාපෘතිය ඉදිරියට ගැනීම. ඔහු නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණවලට අනන්‍ය නොවී ඊට වක්‍ර විවේචනයක් ගෙන එමින් තර්කයක් ගොඩනැඟුවා. ඒ තමයි ශුභසාධනවාදි රාජ්‍ය මාදිලියේ සමහර අංග නැවත ගේනවා කියලා දීපු පොරොන්දුව. ඒත් මැතිවරණ ව්‍යාපාරය තුළ මේ දේවල් නොකියා ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මුල ඉඳන්ම පරිස්සම් වුණා. එහෙත් ඔහු දැක්කා සජිත් ප්‍රේමදාස මහතාගේ ශුභසාධනවාදි ව්‍යාපෘතිය ඔහුගේ ජාතික ආරක්ෂක ව්‍යාපෘතියට විශාල තර්ජනයක් වෙමින් ඉදිරියට යන බව. පසුව ඔහු කළේ සජිත් අනුකරණය කරමින් ශුභසාධන ව්‍යාපෘතිය ඉදිරියට ගැනීමයි. ඒ අනුව පොහොර නොමිලයේ දෙනවා... ගැබිනි මාතාවන්ගේ සහනාධාරය වැඩි කරනවා... මේ ආදි නොයෙක් දේ කිව්වා. මේ දේවල් පිළිබඳ බොහෝ දෙනා හාස්‍යයෙන් කතා කළත් මා එය හාස්‍යයට ලඝු කරන්නේ නැහැ.
• ඇයි ඒ?
නවසිය අසූගණන්වල සිට ක්‍රියාත්මක වුණු වෙළෙඳපොළ කේන්ද්‍රීය ලිබරල්වාදි සහ පසුව ආ නව-ලිබරල්වාදි ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ නිසා සමාජය තුළ ඉතා විශාල ලෙස ආදායම් බෙදී යෑමේ අසමානතා ඇති වුණා. මේ නිසා දුගීභාවය ක්‍රමයෙන් වර්ධනය වුණා. කිසියම් විදියකට මධ්‍යම පන්තියේ ව්‍යාප්තියක් ඇති වෙලා තිබුණත්; මධ්‍යම පන්තියත් ඉන්නේ විශාල ආර්ථික අහේනියකින් මිරිකෙමින්. රාජ්‍ය සේවයේ වේවා, පෞද්ගලික අංශයේ වේවා මේ අයත් ජීවත් වන්නේ ණයවලින්. ඒ ණය බරින් ගැලවෙන්න ඔවුන් විකල්ප ආදයම් මාර්ගවලට පවා යොමුව සිටිනවා. සමහරුන් උදේ ඉඳන් හවස 5 වෙන කල් රැකියාව කරලා, ඉන් පසුව ත්‍රී විලර් එළවනවා. තවත් අය විවිධ ස්ථානවලට භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොමුව සිටිනවා; සමහරුන් මල් පැළ විකුණනවා; ඉරිදා සෙනසුරාදා පොළේ බඩු විකුණනවා. මේ විදියට දෛනික අවශ්‍යතා සපුරාගන්න ඔවුනුත් විකල්ප කරා යොමුව සිටිනවා. හදවතක් නැති වෙළෙඳපොළ බලවේග විසින් මේ අයට රැකවරණයක් සලසන්නේ නැහැ. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම මේ අයගේ දුක්ගැනවිලිවලටත් කිසියම් ඉඩක් දෙන්න කියල සමාජය විසින් බල කර තිබීම මා මේ මැතිවරණ ව්‍යාපාරය තුළ දුටු සාධනීය ලක්ෂණයක්. මේ නිසා අද සමාජයේ තිබෙන අඩු-පාඩු ගැටලු ප්‍රකාශයට පත් කරන වේදිකාවක් බවට මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය පත් වූවා. මෙතනදී පුරවැසියන්ටත් අභියෝගයක් තිබෙනවා. ඒ තමයි මේ මැතිවරණ අපේක්ෂකයන්ට හදිසියේ පහළ වුණු දුප්පතා ගැන කැක්කුම ඇත්තටම රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කරන්නේ කොහොමද කියන-එක.
• නව-ලිබරල්වාදි ක්‍රමය තුළ ශුභසාධන ප්‍රතිපත්ති යථාර්ථයක් කරගන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම මේ සඳහා කටයුතු කිරීමට යෑමේදී ප්‍රධාන බලවේග තුනකින් විශාල විරෝධයක් එල්ල වනවා. එකක් තමයි ලෝක බැංකුව හා අන්තර්ජාතික මූල්‍ය අරමුදල. ඒ අය රාජ්‍ය ශුභසාධනය අනවශ්‍ය ක්‍රියාවක් විධියටයි දකින්නේ. ඔවුන් මෙය අර්ථකථනය කරන්නේ සාර්ව ආර්ථික ව්‍යූහය විකෘති කිරීමක් ලෙසයි. මීට එරෙහි වන දෙවන කණ්ඩායම තමයි ව්‍යාපාරික පන්තිය. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පන්තියේ අය වගේම මැදපන්තියේ සමහර අයත් දුප්පත් අයට ආණ්ඩුවෙන් මුකුත් නිකම් දෙන්න ඕනෑ නැහැ කියන මතයේ ඉන්නවා. ඒ අයත් මහන්සි වෙලා වැඩ කරලා දියුණු වන්න ඕනෑ කියන තර්කයේ තමයි ඔවුන් සිටින්නේ.
ඇත්තෙන්ම එය අප රටේ පමණක් නොවෙයි, අමෙරිකාවේ පවා එහෙමයි. දුගී ජනතාවට ආණ්ඩුවෙන් සහනයක් දෙන්න ගිය ගමන් ව්‍යාපාරික පන්තියේ සහ මධ්‍යම පන්තියේ ප්‍රතිචාරය වන්නේ අප ගෙවන බදු මුදල් නිකම් ඉන්න දුප්පත් කම්මැළි මිනිසුන්ට දෙන්න එපා කියන-එකයි. මේ තර්කය දැන් දැන් ශ්‍රී ලංකාවෙත් ඇති වෙලා තිබෙනවා. මීට එරෙහිවන තුන්වන කණ්ඩායම තමයි මේ රටේ ඉන්න ආර්ථික විශේෂඥයෝ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වගේම අප රටේ ඉන්න බොහෝ ආර්ථික විශේෂඥයන් හැම දෙනාම වගේ නව-ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියට අනුගත වූ අය. ඒ අය කියන්නේ ශුභසාධන කාර්යය සඳහා රජ්‍ය අංශය තවදුරටත් මැදිහත් නොවිය යුතු බවයි. ඒත් මගේ තර්කය මේකයි: මේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම මේ ශුභසාධනය සම්බන්ධයෙන් පොරොන්දු දී තිබෙන්නේ මේ රටේ බහුතරය නියෝජනය වන දිළිඳු ජනතාවටයි; විශේෂයෙන් ගොවීන්ට, කම්කරුවන්ට, කාන්තාවන්ට, දරුවන්ට, රැකියා නැති අයට, නිවාස නැති අයට. ඒ නිසා අනිවාර්යයෙන් ඔවුන් මේ පොරොන්දු ඉටු කළ යුතුයි.
• එහෙත් මෙහිදී බොහෝ දෙනා මතු කරන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි මේ සඳහා මුදල් හොයාගන්නේ කොහොමද කියන කාරණාව. ඇත්තටම ඒ සඳහා විසඳුමක් තිබෙනවාද?
පහුගිය සෑම රජයක් යටතේම සිදුවූ බව කියන රාජ්‍ය මුදල් අවභාවිතය හා දූෂණය කියන කරුණු අධ්‍යයනය කර බැලුවොත් විශාල මුදල් නාස්තියක් සිදු වන බව පේනවා. ඒ දේවල් නතර කර, වඩාත් ඵලදායි ආකාරයෙන් රාජ්‍ය මුදල් කළමනාකරණය කළොත් ගැටලුවක් නැතිව මේ දේවල් දෙන්න පුළුවන්. මෙතැන ගැටලුව වී තිබෙන්නේ දුගී ජනතාවට සලසන ශුභසාධනය ආර්ථික සංවර්ධනයේ කොටසක් බවට පත් කිරීමට අපොහොසත් වීමයි. ඒ නිසා බොහෝ දෙනාට පේන්නේ ගොවීන්ට නිකම් දෙන පොහොර ටික පමණයි. එහෙත් දේශපාලන අරමුණු සඳහා පොහොර ටික නිකම් දුන්නට මඳි. සංවර්ධන ක්‍රියාවලියට ඒ දෙන සහනය යොදාගන්නේ කොහොමද කියන-එක සලකා බැලීමත් අත්‍යවශ්‍යයි. මේ නිසා කවරකු බලයට පත් වුණත් මේ දුන් පොරොන්දු ඉටු කළ යුතුමයි. එසේම ඒවා ඉටු කිරීමේදී හුදෙක් පොරොන්දු ලෙස දීමෙන් එහාට ගොස්, ආර්ථික සමාජීය ප්‍රතිසංවර්ධන දැක්මක සහ සැලැස්මක කොටසක් බවට එය පත් කළ යුතුයි. එවිට එය ආර්ථිකයට බරක් නොවී ආර්ථිකයේ කොටසක් බවට පරිවර්තනය කළ හැකියි. එනිසා එය ඡන්දය දිනාගැනීමේ උපක්‍රමයක් ලෙස භාවිත නොකර, දුගී ජනතාව ආර්ථික ක්‍රියාවලියට සක්‍රීයව දායක වන කොටස්කරුවන් බවට පත් කළ යුතුයි. ඒ ආකාරයට රාජ්‍ය ශුභසාධනය මඟින් ශක්තියක් සපයමින් ගැමි ආර්ථික ක්‍රියාවලිය සංවර්ධනය කරලා, නව රැකියා අවස්ථා උත්පාදනය කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ සඳහා ආර්ථික, සමාජීය ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසංවර්ධන ක්‍රියාවලියේ කොටසක් බවට ඔවුන් පත් කළ යුතුයි. විශේෂයෙන්ම මේ රටේ සිටින ආර්ථික විශේෂඥයන් ලංකාවේ සංවර්ධන ප්‍රතිපත්තිය පිළිබඳ අලුතින් හිතන්න පටන් ගන්න ඕනෑ.
සේයාරුව - කේ ඩී ආර් නිලන්ත