පොහෝ දින එක් විද්‍යුත් මාධ්‍යයක පුවතක් පළ විණි. ඒ ඓතිහාසික කැලණිය පුදබිමට නා ලොවෙන් ධාතු වැඩි බවයි. ධාතූන්වහන්සේ 14 නමක් වැඩ ඇති බව කැලණි විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ කී හ යි වැඩිදුරටත් එම පුවතේ කියැවිණි. එම විද්‍යුත් මාධ්‍ය කතාව ප්‍රචාරය කළේ නාග ලොවේ සිට සජීවී විකාශනයක් ගෙන එන ආකාරයට ය.
පුවතේ සාරාංශය මෙසේය. කැලණිය පුරාණ නාගයන්ගේ රාජධානියයි. බුදුන් ලංකාවට දෙවන වර වැඩම කරන විට මණිඅක්ඛිත දිව්‍ය රාජයාණන් වෙනුවෙන් විශේෂ පූජාවක් මීට සිවු වසරකට පෙර සිවුරුගල නම් කැලණි ගඟේ බුදුරජාණන් වහන්සේ ජල ස්නානය කළ ස්ථානයේ පවත්වා තිබේ. එම පූජාව කර තිබුණේ උදාර මධුසංක නැමැති ජෝතීර්වේදී විශාරදයෙකි. මේ විශාරදයා මීට අවුරුදු තුනකට කලින් තමන් බුදු වූ බව කියූ තැනැත්තා ය. බුදු වූ කෙනෙකු බුදු කෙනෙකුගේ ධාතු නාග ලොවින් ගෙන්වා ගැනීම හරිම ආකර්ෂණීය කටයුත්තකි. මේ රටේ ශ්‍රද්ධාවන්තයෝ බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනා යන්නට වූ අයුරු පෙනිණි.
ගුප්ත විද්‍යා විශාරදවරයෙකු විසින් කැලණිය ගං මිටියාවතේ පැවති විශේෂ පූජාවක් අතරතුර ධාතූන් වහන්සේ වැඩම කිරීමක් සිදුව තිබේ. වැඩම කළ ධාතූන්වහන්සේලා ප්‍රමාණය 14කි.
උදාර නාගයා පෙන්වමින් |
ශාසන ඉතිහාසයේ කියැවෙන පරිදි බුදුන් වහන්සේ තෙවැනි වරට ලංකාද්වීපයට වැඩම කරන්නේ කැලණියටයි. ඒ කැලණි ගං මුවදොර විසූ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනාවක් අනුවය. එම ආරාධනාවට කෘතගුණ සැලකීම සඳහා කැලණිය රාජ මහා විහාරය විසින් මණිඅක්ඛිත දිව්‍ය රාජයාණන් වෙනුවෙන් මීට සිව් වසරකට පෙර නානුමුර පූජාව නමින් විශේෂ පූජාවක් ආරම්භ කර ඇත. එම පූජාව පවත්වනු ලබන්නේ ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ නැමැත්තෙකි. ඒ අනුව සෑම මසකම පළමු සෙනසුරාදා එම නානුමුර පූජාව පැවැත්වෙන්නේ බුදුන් වහන්සේ ජල ස්නානය කළ බව පැවසෙන ,විහාරස්ථානයේ පිහිටා ඇති "සිවුරු ගල" නම් ස්ථානයේදීය.
ඒ අනුව ඉකුත් 9 වැනිදා රාත්‍රී 10ට පමණ සිවුරුගල දී මේ ගුප්ත විද්‍යා විශාරද තුමා විශේෂ පූජාවක් පවත්වා තොටුපළේ සේවකයන් දෙදෙනෙක් සමඟ කැලණි ගඟට ගොස් තිබේ. ඉන් අනතුරුව ඔහු කැලණි ගං පත්ලට වැදී නා ලොවට ගොස් නා ලොවින් ධාතුන් වහන්සේලා 14 දෙනෙකු සමඟ කරඬුව ගෙනැවිත් තිබේ.
අනතුරුව 12 වැනිදා මධ්‍යම රාත්‍රිය තෙක් ධාතු ප්‍රදර්ශනයක් පැවැත්විණි. ධාතු වඳින්නට නා ලොවේ සිට ආ බව කී නයෙකු ද ප්‍රදර්ශනය විය. නාගලොවින් පැමිණි නයා ලීටර 5 හිස් වතුර බෝතලයක බහා සිටියේය. ධාතු කරඬුව විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කෙරිණි. එතැන් සිට නාගලොවින් වැඩිය ධාතු වඳින්නට ශ්‍රද්ධා සම්පන්න බෞද්ධ උවැසු උවැසියෝ වැල නොකැඩී ඇදී ආහ.
කැලණිය නායක හාමුදුරුවන් කී කතාව
කල්‍යාණි උභය රාජමහා විහාරාධිපතීන්වහන්සේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමිපාණෝ ය. ධාතු වැඩීම ගැන උන්වහන්සේ රටට කී කතාව මෙසේය.
“උදාර මධුසංක කියන මහත්මයෙක් ඒ ස්ථානයේ පූජා පවත්වනවා. නාග ලෝකයෙන් කැලණි විහාරයට ධාතුන් වහන්සේ පරිත්‍යාග කිරීමට සූදානම් බව අවුරුදු තුනක පමණ කලෙක සිට නාග ලෝකයෙන් කැලණි විහාරයට ධාතු පූජා කරන්නට යෙදෙන බව දන්වා තිබුණා. පසුගිය වෙසක් පොහෝ දින ඒ දේ ලැබෙනවා කියා ස්ථිර ලෙසම ප්‍රකාශ වුණා. නමුත් ලැබුණේ නෑ. නමුත් පසුගිය සතියේ දැනගන්න ලැබුණා ධාතුන් වහන්සේ නව වැනිදා ලැබෙනවා කියා.”
“ඒ අනුව එදින රාත්‍රී දහයට පමණ සිවුරුගලදී විශේෂ පූජාවක් පවත්වා ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ මහත්තයා සේවකයන් දෙදෙනෙකුගේ සහායෙන් කැලණි ගඟට ගියා. ටික වේලාවකින් අපට විශාල ශබ්දයක් ඇහුණා. ඒ ශබ්දය ආවේ ගගේ වතුරට තද යමක් ස්පර්ශ කළාම ඇතිවන්නා වූ ඝෝෂාව වැනි දෙයක්. ඒ වගේ හතර සැරයක ඝෝෂාවක් ආවා. එහෙම ටික වේලාවක් අපි බලාගෙන ඉන්නකොට උදාර මහත්මයා කරඬුවක් සහිතව කැලණි නදියෙන් ගොඩට ආවා.”
කරඩුව නායක හිමියන්ට පිළිගැන්වූ අවස්ථාව |
“මීට පෙර දුටුගැමුණු රජ්ජුරුවො රුවන්මැලි සෑය නිර්මාණය කළායින් පස්සේ ධාතු පුණ්‍යොත්සවයේදී රහතන්වහන්සේ නමක් නාග ලෝකයට ගිහිල්ලා ධාතුන්වහන්සේ ගෙනත් තැන්පත් කළ බව සඳහන් වෙනවා. මේවා අතර අනුශංගයක් තියනවා කියලා මට හිතෙනවා. දෙදාස් විස්ස වර්ෂය වන විට අපට හොඳ නායකත්වයක් ලැබිලා හොඳ දේශයක් ගොඩනඟන්නට අවකාශය ලැබෙනවා කියන පණිවුඩයත් ඒ සමඟම අපට ලැබුණා. ”
ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ කී කතාව
“මණිඅක්ඛිත නා රජතුමාගෙන් ගඟට එන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. ගං පතුලෙ ගුහාවකට ගිහින් මං ගොඩ ආවා. නැවත ගං පතුළට යන්න හදන විටම නාග රාජයාගේ කටේ සර්වඥ ධාතු කරඬුව තිබිලා මම දෝතට ගත්තා. ඒ ක්ෂණයකින්ම ගොඩට ආවා.“
“ඒ වෙනකොට අපි විශේෂ නාගාසනයක් හදලා තිබ්බා. එතනින් කරඬු වහන්සේ තැන්පත් කරලා වන්දනාවක් කළා. ඒ මොහොතෙදි වතුරෙන් මතු වුණා නාගයෙක්. එයා ආවේ ධාතු වන්දනා මාන කරන්න.” වන්දනා මාන කරන්නට පැමිණි නයා නාග ලෝකයට ගිය උදාර මධුසංඛ විසින් ලීටර් 05 වතුර බෝතලයක දමාගෙන සොලවමින් සිටි ආකාරය වීඩියෝ දසුන්වල දක්නට ලැබිණි.
හොයාගෙන යන විට හරිම අපූරු කතා හෙළි වන්නට වූයේය. ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ මීට වසර කිහිපයකට පෙර තමන් බුදු බවට පත් වූයේ යයි ප්‍රකාශයක් සිදු කිරීම නිසා සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශයක් කර බඩ කට පිරෙන්නට කා අතුරුදන් වූ සිටි අයෙකි. දුටුගැමුණු රජුට සමාන කළ අපේක්ෂකයෙකු රට බේරාගන්නට එන බව කැලණියේ නායක හාමුදුරුවන් කී කළ ප්‍රකාශයෙන් අනතුරුව නාග ධාතු දකින්නට පැමිණි ශ්රද්ධාවන්ත බැතිමතුන්ට ජනපතිවරණ ඡන්ද ලකුණු සංකේතයක් බෙදමින් සිටි සඟරුවන දක්නට ලැබිණි.
ථූපවංස, ධාතුවංස කතා හා මහාවංශ පුවත් එක්කොට ලියන්නට හැදූ පිටපතේ මොකක් හෝ අවුලක් ඇති බව වැටහුණේ මේ සියල්ල ගළපාගෙන එද්දීය.
ථූපවංස පුවතට අනුව බුදුන් බුද්ධත්වයට පැමිණ පස් වැනි අවුරුද්දේ බක් මස අමාවක පොහොය දින බුදුහු නාගදීපයට වැඩියහ. ඒ වඩින්නේ චූලෝධර හා මහෝධර නා රජුන් අතර මිණි පළඟක් නිසා හටගත් යුද්ධය සංසිඳුවන්නට ය. එහිදී බුදුහු යුද්ධය සංසිඳුවා දහම් දෙසූහ. සිය බෑනනුවන් වූ මහෝදරට යුද සහාය සඳහා නාගදීපයට පැමිණ සිටි මණිඅක්ඛික නම් නා රජෙක් විය. මණිඅක්ඛිත කැලණිය රාජධානිය කරගත් රජ කෙනෙකි. බුදුන් ගේ බණ අසා සෝවාන් වූ බව කියන මණිඅක්ඛිත නා රජු බුදුන් වහන්සේට කැලණියට වඩින සේ ආරාධනා කළහ. එම ආරාධනාව පිළිගත් බුදුහු පන්සියයක් භික්ෂූන්වහන්සේ සමග බුද්ධත්වයෙන් අට වන වර්ෂයෙහි වෙසක් පුර පසළොස්වක පුර පොහොය දා කැලණියට වැඩි සේක. බුදුන්වහන්සේ ඇතුළු මහා සංඝයා වැඩ සිටියේ මණිඅක්ඛිත නා රාජ භවනේ කරන ලද රුවන් මණ්ඩපයක් මතය. ථූපවංස පුවතට අනුව දැනට කැලණි දා ගැබ ඇත්තේ එතැනය.
පූජාව සිදුකළ කොස්ගහ තොටුපොළ |
මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ට අනුව බුදුන් ලංකාවට වැඩම කළ බවට කිසිම පුරාවිද්‍යාත්මක සාධකයක් නැත. බුදුන්ගේ ලංකා ගමන වන්දනීය සංකල්පයකි. එය ඇත්තේ බැතිමතුන්ගේ හදවත් තුළය. වංශකථා ලියැවෙන්නෙ ශ්රැති ගෝචර සමාජයක මනුෂ්‍යයන්ගේ ශ්‍රද්ධා ගුණය වර්ධනය කර ශික්ෂිත මිනිසුන් බිහි කරගැනීමේත්, වීර්ය වැඩි කර තමා පෙළන සතුරු ආක්‍රමණ සඳහා මුහුණ දීමට ඇවැසි පෞරුෂය නිර්මාණය කිරීමේත් අනිවාර්ය වූ සමාජ පරමාර්ථ පෙරදැරිවය. සාහිත්‍යයික පදනමකින් ලියැවෙන ධාතුවංසය, ථූපවංසය, මහාවංසය තුළ බහා ඇති නාගයන් පිළිබඳ වූ මේ කතා තුළ පවා දක්නට ඇත්තේ මොවුන් ගංගා පත්ලේ ජීවත් වන තිරිසනුන් නොව, ප්‍රභාමත් බුද්ධියක් සහිත සශ්‍රීක මිනිසුන් පිරිසක් බවය. නාග ගෝත්‍රික මිනිසුන් පිළිබඳ ටොලමි ( ක්‍රි.ව.87 -150) දැනගෙන සිටියේය. ටොලමිගේ සිතියමේ මුලතිව්, වවුනියා, හා ත්‍රීකුණාමලය අතුළත් මහවැලි ප්‍රදේශය නාග දීපය ලෙස නම් කර තිබිණි. 18 වැනි සියවසට අයත් ඕලන්ද සිතියම්වලත් නාග ඉඩම් ලෙස සමහර ඉඩම් නම් කර තිබිණි. රට පාලනය කළ උපරාජ මහා නාග, ඛල්ලාටනාග, චෝරනාග, මහාදාඨික මහානාග, ඉලනාග, මහල්ලක නාග, කුඩ්ඪනාග, අභය නාග, සිරිනාග, සතුන් නොව නාග වංශික මිනිස්සුය.
වව්නියාවේ නිරාවියෙන් හමු වන ලංකාවේ කාල නිර්ණය කළ හැකි පැරණිම සෙල් ලිපි 4ක ලෙන් පූජාවන් කළ නාග ගෝත්‍රික බෞද්ධයන් ගැන සඳහන් වේ. ඒ හතරේම ඇත්තේ නා රජුගේ දියණිය වූ අනුරධ කුමරිය හා ඇගේ සැමියා වන උත්තිය රජු ගැනය. උත්තිය යනු දෙවන පෑ තිස් රජුගේ සොයුරා ය. සරලව තේරුම් ගත යුත්තේ මණිඅක්ඛික නම් නා රජෙක් විසූවේ නම් ඔහු ගං පල්ලේ ජීවත් වූ කබර නයෙක් නොවන බවත්, බුදුන් පවා ආරාධනාවකින් වැඩම කළ හැකි තරම් පෞරුෂයක්, ශ්‍රද්ධා බුද්ධියක්, සහිත වැඩදායී උත්තුංග මනුෂ්‍යයෙක් බවය.
රුවන්මැලි සෑයේ ධාතු නිධාන කතාව
රුවන්මැලි සෑයේ ධාතු නිධාන කතාව අසා සිටීමට තරම් රසවත් සාහිත්‍යයික නිර්මාණයකි. ශ්‍රද්ධාව වඩවන අපූර්ව රචනයකි. ධාතු නිධානෝත්සවයට ඇවැසි ධාතු නා ලොවින් ගෙන්වීම සඳහා මහා සංඝයා රැස් වී එම ධූත මෙහෙවරේ යොදවන්නේ රහතන්වහන්සේ නමක් නොව, අභිඥාලාභී සෝනුත්තර නම් සාමනේර නමකි. උන්වහන්සේ සොළොස් හැවිරිදි ය. මේ ප්‍රබන්ධයට රහතුන් සම්බන්ධ කර නොගැනීමට තරම් සාහිත්‍යකරුවා විචක්ෂණය.
රුවන්මැලි සෑයේ ධාතු නිධානය පූර්වාපර සංධි ගළපා කළ පබැඳුමකි. රුවන්මැලි සෑයේ ධාතු ගැන මුලින්ම සඳහන් කරන්නේ පිරිනිවන් මංචකයේ වැඩ හිඳින බුදුන්වහන්සේය. තමන්වහන්සේ පිරිනිවන් පෑ පසු ධාතු ද්‍රෝණ අටක් කෝලිය රජ දරුවන්ට ලැබෙන ආකාරයත් ඉන් එක් ද්‍රෝණයක් නිදන් කර රාමග්‍රාමයේ තැනූ දාගැබ බිඳී ගොස් ධාතු කරඬුව මුහුදට වැටෙන ආකාරයත් එම කරඬුව ගැන මාංඤරික නම් නා රජු මඟින් දැනගන්නා මහකෙළ නාග රජු එය රැගෙන ගොස් රන් රුවනින් ආඪ්‍ය ධාතු මන්දිරයක් තනා එහි තැන්පත් කරන ආකාරයත් කතුවරයා බුදුන්ගේ මුවට නන්වන්නේය. අජාසත් රජු හා ධර්මාශෝක රජු ධාතු ද්‍රෝණ අටෙන් එකක් අඩු බව දැනගෙන විමසන විට නා ලොවේ එම ධාතු ඇති බවත් රුවන්වැලි සෑයේ තැන්පත් වන්නේ ඒ ධාතු බවත් කතුවරයා රහතුන්ගේ මුවින් කියවන්නේය. අනතුරුව නා ලොවට කිමිදෙන සෝනුත්තර සාමනේර තැන මහකෙල නා භවනට වැද ධාතු පිළිබඳ විමසන ආකරයත්, මහකෙළ නා රජු මහා සිය බෑනනුවන් නාග වෙසකට හරවා ඔහුගේ උදරයේ ධාතු කරඬුව සඟවා මහාමේරු පර්වතය පාමුලට යවන ආකාරයත්, අනතුරුව ප්‍රයෝගයකින් එම කරඬුව නා රජුගේ උදරයෙන් ගන්නා සෝණුත්තර සාමනේරයන් අනුරාධපුරයට වැඩම කරන ආකාරයත් එම සාහිත්‍යයික රචනයේ දැක්වෙයි.
සංජීව තොටුපොළ පෙන්වමින් |
කැලණියේදී සිදු වන්නේ මේ කතා දෙක රී මික්ස් කර සකස් කරන්නට හැදූ පිටපත මහාවංසකරුගේ ප්‍රභාමත් සාහිත්‍ය රචනාවට සම වනවා වෙනුවට ප්‍රේම දඩයමේ කොපියකට සමාන වීමය. තමන්ගේ අපේක්ෂකයෙකු දුටුගැමුණු කාලයට වඩමවා අභිෂේක කරන්නට ගොස් නා ගැනීම සිත් අලවන සුලු වූයේය. අප කැලණි විහාරයට යන්නේ මේ සිද්ධියේ මුල මැද අග බලාගන්නටය.
කැලණිය විහාරයේ වගකිවයුත්තෙකුගෙන් ඒ ගැන ප්‍රකාශයක් ගැනීමට ගියත් නායක හාමුදුරුවන් කඨින පින්කමක් සඳහා විදේශගත වී සිටියේය. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේගේ අදහස වී තිබුණේ ඒ ගැන මාධ්‍යයට කියා පලක් නැති බවය. මාධ්‍ය මේ දේවල් පිළිගන්නෙ නැති බවය.
කැලණියේ සරන බැතිමතුන් නම් ධාතු පැමිණියේ මණිඅක්ඛික නා රජුන්ගේ නාග භවනෙන් බව කැට දමා කීහ.
“අයෙ ඉතින් මොනවද මේ කියන්නෙ. ඔය නාග ලෝකෙට ගිය මහත්තයා මණිඅක්ඛිත නා රජ්ජුරුවො එක්ක නිතරම කතා බස් කරනවා. නා රජ්ජුරුවො එක්ක කතා බහ කරලා තමයි ධාතු ගෙන්නගෙන තියෙන්නෙ. පෝය දවසේ ධර්ම දේශනාවේදී ලොකු හාමුදුරුවොත් ඒ මහත්තයා ළඟ තියාගෙන බණට කිවුවා එතුමා නාග දූතයෙක් කියලා. ඒ මහත්තයගෙ ඇඟේ පාට දැක්ක ද... දැක්කා නම් පෙනේවි. දෙකක් නෑ එතුමා පින්වන්ත නාග රාජයෙක් “. නිතරම කැලණි පන්සලට යන එන සිල් මාතාවක් කීවාය.
“අර බෝතලේ දාල හිටිය නාග රජයා... අම්මෝ ලස්සන... මහත්තයා දැක්කද ඒ නයාගෙ වයිරං... සිරියාවෙ බෑ. නාග ලෝකෙ නයි මෙහෙ නයි වගේ නෙමෙයි. හරිම සිරියාවන්තයි.” එසේ කීවේ සුදු වතින් සැරසී සිටි වියපත් මාතාවකි.
“ඔය සිදු වීම ගැන අපි මුකුත්ම දන්නෙ නෑ. අපි දැක්කෙත් ටීවී නිවුස්වලින්. මං කෙළින්ම කියනවා...හාමුදුරුවෝ වැරැදි වැඩක් කළේ... දායක සභාව දැනුවත් කරන්න උන්වහන්සේට තිබුණා... දායක සභාව රැස් කරන්නෙ පෙරහර පවත්වන්න විතරයි. පන්සල තනිකරම පාලනය වන්නෙ හාමුදුරුවන්ට ඕන විදිහටයි. ඔය උදාර කියන කෙනා එක් වතාවයි මං දැකලා තියෙන්නෙ. පන්සලක් වුණාම කිසිම දේශපාලනඥයකුගේ අතකොලුවක් නොවිය යුතුයි. කැලණිය පන්සල කියන්නෙ මුළු රටේම මිනිසුන්ට අයිති පුණ්‍ය භූමියක්...” නම සඳහන් කිරීමට අකමැති කැලණි විහාරයේ දායක සභාවේ මහත්මයෙක් පැවසුවේය.
තොටියා කී කතාව
නා රජු වෙනුවෙන් පූජාව පවත්වා තිබුණේ කැලණි විහාරය ඉදිරිපිට තිබෙන සිවුරුගල නම් ස්ථානයට එපිටින් වූ කොස්ගහ තොටුපළ නමැති ස්ථානයේය. එම ස්ථානයට ගිය අපට හමු වූයේ කැලණි විහාරයට යාබදව වෙසෙන සංජීවය. පරම්පරාවෙන්ම උරුම වූ කැලණි ගඟේ පාරුව හසුරුවන්නේ ඔහුය.
ධාතු ලබාගැනීමට කැලණි ගංදියට උදාර මධුසංක රැගෙන යන්නෙ සංජීවය. මේ ඔහු අපට කී කතාවය.
“මං මේ ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. නව වැනිදා දවල් වෙද්දී පන්සලෙන් පණිවිඩයක් ලැබුණා. මෙහෙම දෙයක් වෙනවා... ඒ පුද්ගලයාට පීනන්න බෑ... එයාව ආරක්ෂා කරගන්න කියලා. මං තව මගේ ගෝලයෙකුත් සූදානම් කරගත්තා. ඔය දවසේ රෑ දහයට විතර ගිහින් කොස්ගහළඟ තොටුපළෙන් බැස්සා. ඊට පෙර තොටුපළේදී ඒ මහත්මයා පූජාවක් කළා. ලොකු හාමුදුරුවෝත් පොලිසියේ මහත්තයකුත් සමඟ තවත් අය හිටියා.
එයාට ඉණ මට්ටමට වතුරට යන්න ඕනේ කීවා. ඔහු සරමක් ඇඳගෙන ගඟට බැස්සෙ... පස්සෙ තවත් යන්න ඕන කිව්වා. නාග ලෝකයෙන් කතා කරනවා කීවා... මං එයාව ඉණෙන් අල්ලා ගත්තා. ගෝලයා අතින් අල්ල ගත්තා. ඇයි පීනන්න බෑනේ. ඊට පස්සෙ අයින දිගේ අපි තුන්දෙනාම යනකොට පොඩි වළකට වැටුණා. දහය හමාරට විතර බැහැලා දොළහමාර විතර වෙනකල් වතුරේ හිටියා. හෙල්ලෙන්නවත් බෑ. මම පණ බයේ.
මොකද ගඟේ ඉන්න කිඹුල්ලු ප්‍රමාණය අපිනේ දන්නෙ... අපිව ගෙනිච්චෙ නයි පෙණ වගේ මොනවාදෝ ආරක්ෂාවට අත්වල පලඳවලා. එකපාරටම ගඟේ එහා ඉවුරෙන් උණ පඳුරක් කඩාගෙන වැටෙන ආකාරයෙන් ශබ්දයක් ආවා. කපු මහත්තයා මට හිමිහිට කීවා, “ඔන්න දැන් වඩිනවා කියලා. සුදු පාට නයි පෙණයක් වගේ එකක් මතු වුණා. අැවිත් ඒ එක්කම යට ගියා... මගේ ගෝලයත් දැකලා. එකපාරටම රැල්ලක් ආවා. කපු මහත්තයා කීවා “ඔය දැන් ළඟම එනවා... බයවෙන්න එපා මං ආරක්ෂා කරනවා කීවා. ඒ කියලා විනාඩි පහක් ගියේ නෑ. එයාව බඩෙන් විතරක් අල්ලගන්න කීවා. ඔහු අත්දෙක එකතුකොට දික් කරලා වතුර හෙල්ලුවා. එකපාරටම අර කරඬු වහන්සෙ අත උඩට ආවනේ... තනිකරම චෛත්‍ය කරඬුවක්. රන්වන් පාටයි. ඒක ඇතුළේ තමයි ධාතු තියෙනවා කීවේ.”
ඒ අනුව මධුසංඛ මහත්තයා නා ලොවට ගිහින් නාගයාගේ කට විවර කර එහි වැඩ සිටි කරඬුව ගෙනත් නැත. තොටියා බඩ මැදින් අල්ලාගෙන සිටිද්දී නා ලොව මධුසංඛ මහත්තයා ළඟට පැමිණ තිබේ.
“කරඬුව අරන් ගොඩට ආවා... එතැනදී මගේ ගෝලයාට කීවා කරඬුව වැරෙන් අල්ලගන්න... දැන් ඕක වඳින්න නාගයෝ එනවා කියලා. ඒ එක්කම කපු මහත්තයා බෝතලයක් ඉල්ලුවා. මට නැවතත් කීවා එයා අල්ලන්න කියා. මං කීවා දැන් නම් මට අල්ලන්න බෑ... මෙච්චර වෙලා මහත්තයා අල්ලගෙන හිටියනේ... මරුවා සමඟ වාසයක්නේ කළේ කියලා. මං බලාගෙන හිටියා. නාගයෝ පස්දෙනෙක් වතුරෙන් මතු වෙලා ආවා ... එක නයෙක් කෙළින්ම ආවේ බෝතලයට. ඕක තමයි වුණේ...” බෝතලේ ඉන්න නයා ගැන ඔහු කීවේ එසේය.
මේ අවට නයි එහෙම ඉන්නවා ද? මම ඇසුවෙමි.
“අපෝ මේ හරියෙ නයි ඕනෑ තරම් ඉන්නවා... මහත්තයට කීවේ මං දැකපු කතාව... ඒකෙන් පස්සෙ මට නින්ද යනවා අඩුයි...එච්චරයි.” ඔහු කීවේය.
නයි කතාව එසේය. ධාතු කතාව ගැන නම් දුකය. බුදුන් වැඩියා ද නැද්ද යන්න නම් හරියටම කියන්නට දන්නේ නැත. අඩුම තරමින් කැලණි විහාරය සිංහල කලා සම්ප්රදායේ නූතන ප්‍රතිමූර්තිය බඳු කලා ගාරය ය. එහි ගෞරවයවත් මේ නයි නටවන්නට ගිය ඇත්තන් කල්පනා කළා නම් කැලණිය මේ තරමට කොමිටල් වෙන්නේ නැත. දෙවියන්ට කියා රී ලෝඩ් ගෙන්වාගෙන බැටරි චාජ් කර දෙන්නට ගිය පාස්ටර් ගානට මහාචාර්ය බෞද්ධ භික්ෂුවක් ඇද වැටුණේ ඇයි දැයි තේරෙන්නේ නැත. එම හැසිරීමේ මූලය දේශපාලනික නම් සාසනයට තුනුරුවන්ගේ සරණය.
ඡායාරූපය - රංජිත් අසංක