අලි කර­දර තිබු­ණත් අත­ර­මැදි කන්නයේ නිකම් බලා සිටියේ නැහැ | සිළුමිණ

අලි කර­දර තිබු­ණත් අත­ර­මැදි කන්නයේ නිකම් බලා සිටියේ නැහැ

මාතලේ දිස්ත්‍රි­ක්කයේ ඈත කෙළ­ව­රක පිහිටි විල්ග­මුව, දුෂ්කර ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­ස­යකි. නැගෙ­න­හි­රින් මහ­වැලි ගංඟත්, දකු­ණින් හීං ගඟත්, උතු­රින් වස්ග­මුව ජාතික වනෝ­ද්‍යා­න­යත් විල්ග­මු­වට ගෙන එන්නේ දුෂ්කර බව පර­යන අපූරු සුන්ද­ර­ත්ව­යකි. මිණිපේ යෝධ ඇළ මෙම ප්‍රදේශයේ ජන­තා­වගේ ජීව­නා­ලි­යයි. යල මහ දෙක­න්නයේ රටට බත සප­යන විල්ග­මුවේ දිරිය ගොවින් පිරි­සක් මෙවර අතර මැදි කන්න­යක් වගා කොට රටේ ආහාර නිෂ්පා­ද­න­යට ඉහළ දාය­ක­ත්ව­යක් ලබා දී තිබීම කවු­රුත් නොදන්නා සත්‍යකි. ඔවුන්ගේ මේ රටක් වටිනා සේවා­වන් බල­න්නට, මෙම දිරිය ගොවීන් සහ ගෙවි­ලි­යන් සමඟ කතාබස් කරන්නට අපි පසු­ගි­යදා ඔවුන් සොයා ගියේ විල්ග­මු­ව­ටය.

“සහ­නා­ධා­ර­යක් බලා­පො­රො­ත්තු­වෙන් අපි කිසිම ආණ්ඩු­වට බැන බැන හිටියේ නැහැ. රජයේ නිල­ධා­රී­න්ගෙන් සේවය ලබා­ගෙන අපි ගොවි­තැ­නින් අත­මිට සරු කර­ගත්තා....“ එහිදි අපට මුලින්ම හමු වූ විල්ග­මුව, නාමි­ණි­ගම පදිංචි එම්.ජී. ඉන්ද්‍රණි මහ­ත්මිය එසේ පව­සන්නේ අභි­මා­න­යෙනි.

ඇය දැන් සරු සාර වූ මුං වගා­වක හිමි­කා­රි­යකි. විල්ග­මුවේ මහ වනයේ තමන් සිදු­කළ අත­ර­මැදි කන්නයේ වගා කට­යුත්ත ගැන ඇය අපට බොහෝ කරුණු කාරණා පැවැ­සූයේ අභි­මා­න­යෙනි.

“යල මහ කන්න හැර අත­ර­මැදි කන්න­යක වගා කිරීම ගැන අපට අත්දැ­කී­මක් තිබුණේ නැහැ. පසු­ගිය අවු­රුදු ගණ­නා­වක්ම අපි යලේ වී ඇස්වැන්න අර­ගෙන ඊළග කන්න­යට වතුර දෙන­තුරු ගෙදර දොර වැඩක් කර­ගෙන හිටියා. ඒ අතර මැදි කාලේ වගා­වක් ගැන හිතුවේ නැහැ. නමුත් අත­ර­මැදි කන්නය වගා කරමු කියලා කෘෂි උප­දේ­ශ­ක­තු­මිය අපට යෝජනා කළාට පස්සේ අපි ඊට යොමු වුනා. අපි අක්ක­ර­යක මුං වගා කළා. වගාව සරු වුණා වගේම ඉහළ අස්වැ­න්නක් ගන්නත් පුළු­වන් වුණා. යලේ වී විකු­ණලා ගත්තු ලාබ­යට වැඩි ලාබ­යක අපි ගත්ත“ ඇය පව­ස­න්නිය.

විල්ග­මුව වැසියෝ මෙදා යල කන්නයේ අස්වැන්න නෙළා අව­සන් වූ විග­සම ගොවීන් මුං වගා­වට යොමුවී ඇත්තේ ඒ අයු­රිනි. පොළව සකස් කිරී­මක් නොකර, ජලය හෝ තෙල් පොහොර යෙදී­මක් නොමැ­තිව මෙම වගාව සිදු­කර තිබීම විශේ­ෂ­ත්ව­යකි. මෙම වගාව ගොවීන් හදු­න්වන්නේ ඉප­නැල්ලේ මුන් වගාව නමිනි. විල්ග­මුව, නාමි­ණි­ගම අංක 57 හි පදිංචි එම්.ජී. සුනිල් ප්‍රේම­රත්න මහතා ඉප­නැල්ලේ මුං වගා කොට සාර්ථක වූ තවත් එක් ගොවි­යෙකි. ඔහු වගාව සිදු කළ ආකා­රය අපූ­රු­වට පැහැ­දිළි කළේය.

“යල කන්නයේ වී අස්වැන්න නෙළා අව­සන් වූ ගමන් අපි කුඹු­රට මුං වැපු­රුවා. භූතයා මැෂින් එකෙන් (සංයුත්ත කොළ මඩින යන්ත්‍රය)ගොයම් කපන නිසා කුඹුර පුරා­වට පිදුරු ඇති­රිලා තිබුණා. අපි පිදුරු පුච්චන්නෙ නැහැ. ඒවා පොහොර වෙන්න තිය­නවා. මුං පැළ­වෙන්න අවශ්‍ය තෙත­ම­නය පිදුරු තට්ටුව නිසා ලැබුණා. ඒ වගේම පිදුරු තට්ටු ව නිසා වල් පැල මතු වුණෙත් නැහැ. මෙම වගාව කරන්න පුළු­වන් වෙන්නෙ වැඩි­පුර ජලය නැති කුඹුරු වලයි. වැඩි වශ­යෙන් ජලය තිබු­ණොත් පැල කුණු වෙනවා. අපි මේ වගා­වට කිසිදු රසා­ය­නික පොහො­රක් යෙදුවේ නැහැ. දෙව­තා­වක් අස්වැන්න නෙළුවා. වගා­ක­රලා අස්වැන්න නෙලන්න ගත­වෙන්නේ දින 55 යි. අපේ හැම ගොවි මහ­තෙ­කු­ටම වගේම මටත් අක්ක­ර­ය­කින් කිලෝ 550 විතර අස්වැ­න්නක් ලැබුණා.මේ අස්වැන්න ලබා ගන්න කිසිදු පොහො­රක් යෙදුවේ නැහැ. මේ සඳහා වැය වුණු අපේ පවුලේ ශ්‍රමය ගණ­නය කරලා බැලු­වම රුපි­යල් තිස් දහ­සක් විතර වෙනවා. අපිට මෙම වගාව ශුද්ධ ලාබයි....“ ඔහු පව­ස­න්නේය.

විල්ග­මුව ගොවීන් මුහුණ දෙන අභි­යෝ­ගය වල් අලි තර්ජ­න­යයි. අතර මැදි කන්න­යක ගොවීන් සුළු පිරි­සක් වගා කට­යු­තු­වල යෙදී­මේදී වල් අලි තර්ජ­න­යට කෙසේ මුහුණ දුන්නේ දැයි අපි මෙම ගොවි මහ­තු­න්ගෙන් විම­සු­වෙමු.

ඉප­නැල්ලේ මුං වගා­වට අලි­න්ගෙන් තර්ජන සිදු නොවූ බව විල්ග­මුව, නාමි­ණි­ගම පදිංචි චමින්ද රණ­තුංග මහතා අපට පැහැ­දිලි කළේය.

“විල්ග­මුවේ අපි නිත­රම වල් අලි නිසා පීඩා­වට පත් වෙන පිරි­සක්. නමුත් මෙම ඉප­නැල්ලේ වගා කට­යු­තු­ව­ලදී අලි­න්ගෙන් වගා­වට හානි­යක් සිදු­වුණේ නැහැ. කීප අව­ස්ථා­වක් මගේ වගා බිම උඩින් අලි ගම­න්කර තිබුණා. නමුත් වගා­වට හානි කරලා තිබුනේ නැහැ. මෙම වගාව අපිට අම­තර ආදා­ය­මක් වුණා. ඒ වගේම මේ විදි­හට අත­ර­මැදි කන්නය වගා කරන්න ගොවීන් යොමු කළොත් ගොවි ජන­තා­වගේ ජීවන තත්ත්වය නගා සිටු­වන වගේම රටේ නිෂ්පා­ද­න­යට විශාල දාය­ක­ත්ව­යක් ලැබෙ­නවා. මෙම භෝගය කිසිදු පොහො­රක් හෝ රසා­ය­නි­ක­යක් යොදන්නේ නැතුව වගා කළ නිසා අස්වැ­න්නට වෙළෙඳ පොළේ ඉහළ ඉල්ලු­මක් තිබෙ­නවා. අපි හැම විටම උනන්දු විය යුත්තේ රසා­ය­නික තෙල් පොහොර යොදන්නෙ නැතිව වගා කර­න්නයි. මේ වන විට අපේ ප්‍රදේ­ශයේ විශාල පිරි­සක් වකු­ගඩු රෝගීන් බවට පත්ව සිටි­නවා. මෙම රෝග­යට මූලික හේතුව විෂ රසා­ය­නික භාවි­තය කියලා අපි විශ්වාස කරන්නේ. ඒ නිසා මෙවැනි වගා­වන්ට ගොවීන් යොමු වීම කාලීන අව­ශ්‍ය­තා­ව­ක් විදි­හට මම දකි­නවා..... “චමින්ද රණ­තුංග මහතා පව­ස­න්නේය.

විල්ග­මුවේ ගොවි ජන­තා­වට නව අත්දැ­කී­මක් ලබා දෙමින් අතර මැදි කන්නය සාර්ථ­කව වගා කිරී­මට මග පෙන්වීම් කළ විල්ග­මුව හෙට්ටි­පොළ කෘෂි­කර්ම උප­දේ­ශීකා ගයානි ඉන්දිකා රත්නා­යක මෙණෙ­විය මුණ ගැසී­ම­ටද අපි අම­තක නොක­ළෙමු.

“මෙම වගාව අපි ඉප­නැල්ලේ මුං වගාව නමින් හදු­න්ව­නවා. මෙම ආදර්ශ වගා කට­යුත්ත සඳහා විල්ග­මුවෙ ගොවි මහ­තුන් 32 දෙනෙකු තෝරා ගත්තා. මධ්‍යම පළාත් කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව මඟින් 50%ක දාය­ක­ත්ව­යට මුං බීජ ලබා දුන්නා. මේ අය ගොයම් කපා අව­සන් වූ සැනින් ඉප­නැ­ල්ලට බීජ වැපි­රීම සිදු කළා. අක්ක­ර­ය­කට බීජ කිලෝ අටක් වපු­ර­නවා. වසු­නක් විදි­හට පිදුරු යොද­නවා. පිදුරු ආව­ර­ණය නිසා ජලය වාෂ්ප වීම අඩුයි. දින 60 අස්වැන්න නෙලන්න පුළු­වන්.එක ගොවි මහ­තෙ­කුට ශ්‍රම­යත් ඇතු­ළුව අක්ක­ර­ය­කට රුපි­යල් 35800ක් වැය වී තිබුණා. අක්ක­ර­යට කිලෝ 550ක අස්වැ­න්නක් ලැබුණු බව අස්වනු සමී­ක්ෂ­ණ­යෙන් තහ­වුරු වුණා. අත­ර­මැදි කන්න­යක් වගා කිරීම තුළින් ගොවි ජන­තා­වට අම­තර ආදා­ය­මක් ලැබෙ­නවා වගේම ඊළග කන්නයේ දී වී වගා­වට යොදන රසා­ය­නික පොහොර ප්‍රමා­ණය සීමා කරන්න පුළු­වන්. ඉදිරි වර්ෂ­යේදී විල්ග­මුව හෙට්ටි­පොළ ප්‍රදේ­ශයේ මෙම වගාව තව දුර­ටත් ව්‍යාප්ත කිරී­මට අපේක්ෂා කර­නවා.“ විල්ග­මුව හෙට්ටි­පොළ කෘෂි­කර්ම උප­දේ­ශීකා ගයානි ඉන්දිකා රත්නා­යක මෙන­විය එසේ පැවැ­සූයේ මේ ඉප­නැල්ලේ මුං වගාවේ ආර­ම්භය පිළි­බ­ඳ­වය.

දේශී­යව සාර්ථ­කව වගා කළ හැකි ධාන්‍ය වර්ග බොහෝ­ම­යක් තව­මත් පිට­ර­ටින් ගෙන්වනු ලැබේ. මෙවැනි වගා ක්‍රම වලට ගොවි ජන­තාව යොමු කිරීම තුළින් ආන­ය­නය සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් අඩු­කර ගැනී­මට හැකි­වනු ඇත. ගොවි­යාට අත­හිත දීමට රජයේ ආය­තන මෙන්ම නිළ­ධා­රීන් සුවි­ශාල ප්‍රමා­ණ­යක් අපේ රටේ සිටි­යත් ඒ බොහෝ­ම­යක් අතින් මෙවැනි අගනා කට­යුතු සිදු වන්නේ නැත. ඒ තත්ත්ව­යෙන් මිදී කෙදි­නක හෝ ඔවුහු ගොවීන් සමඟ මෙවැනි සක්‍රීය සේව­යන්ට එක්වූ දිනක මේ රට යළිත් පෙර­දිග ලෝකයේ ධාන්‍යා­ගා­රය බවට පත්වීම වැඩි ඈතක නැත.

Comments