‘පෑඩ්මෑන්’ ට ජාතික සම්මානයක් | සිළුමිණ

‘පෑඩ්මෑන්’ ට ජාතික සම්මානයක්

කෙළිලොල් චරිතවලට සීමා වූ යුගයක් සුපිරි නළු ආක්ෂේ කුමාර් ගේ සිනමා ජීවිතය තුළ තිබුණා. මේ වන විට ඔහුගෙන් එවැනි ජනප්‍රියවාදී රංගනයන් දකින්න ලැබෙන්නේ නැහැ. සමාජය දැනුවත් කරන, කාගේත් ඇස් අරවන චරිත නිරූපණයට තමයි, ඔහුගේ නැඹුරුවක් ඇත්තේ. දැන් 52 වැනි වියෙහි පසුවන ආක්ෂේ බොලිවුඩ් සිනමා ලොව තුළ ආකර්ෂණීය චරිතයක් බවට පත්වෙලා.

ඉන්දීය කාන්තාවන් බල ගන්වන චිත්‍රපට වලයි ඔහු මෑතකදී රඟපෑවේ. ‘ටොයිලට් - ඒක් ප්‍රේම් කථා’, ‘පෑඩ්මෑන්’ සහ ‘මිෂන් මංගල්’, එවැනි චිත්‍රපටවලින් කිහිපයක්. ඒ අතරින් ‘පෑඩ්මෑන්’ චිත්‍රපටය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ටත් සමීපයි. ආර්. බාල්කි අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටයට පදනම් වුණේ ජනප්‍රිය නිළි (ආක්ෂේ කුමාර් ගේ බිරිඳ) ට්වින්කල් ඛන්නා විසින් රචනා කරන ලද “The sanitary Man of Sacred Land” නම් වූ කෙටි කතාවයි. මේ ප්‍රබන්ධයට පාදක වුණේ සත්‍යය සිදුවීම් පෙළක්. චිත්‍රපටය නිෂ්පාදනයට දායක වුණේත් ට්වින්කල් ඛන්නායි.

පසුගියදා පැවැත්වුණු 66 වැනි ඉන්දීය ජාතික සිනමා සම්මාන උලෙළේදී ‘පෑඩ් මෑන්” චිත්‍රපටය ජාතික සම්මානයෙන් පිදුම් ලැබුවා. උලෙළට ඉදිරිපත්වූ චිත්‍රපට 300 අතරින් ‘පෑඩ් මෑන්’ට එම සම්මානය හිමි වූයේ 2018 වසරේ නිර්මාණය වූ සමාජ ප්‍රශ්නයක් පිළිබඳව සාකච්ඡා කළ හොඳම චිත්‍රපටය වෙනුවෙන්.

‘මේ සම්මානය’ ‘පෑඩ් මෑන්’ චිත්‍රපටයට හිමිවුණු බව මට කිව්වේ මගේ බිරිඳ ටීනා (ට්වින්කල්) යි. ඒක මට දන්වලා එයා මගෙන් අහනවා ඒක ඇත්තක්ද කියලා. ඒක ඇත්තක් තමයි. මම ඒ වෙලාවෙ හිටියෙ ‘මිෂන් මංගල්’ චිත්‍රපටයේ ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගි වෙමින්. මම ගොඩක් මහන්සිවෙලයි හිටියේ. ඒත් ට්වින්කල්ගේ ආරංචියත් එක්කම මහන්සිය කොහේදෝ ගියා. ටීනා මුලින්ම නිෂ්පාදනය කළ චිත්‍රපටයට සම්මානයක් හිමිවීම සතුටක්. ඒ අතරම, මේ චිත්‍රපටය සාර්ථක වුණේ අධ්‍යක්ෂ ආර්. බාල්කි සහ සියලුම ශිල්පීන්ගේ කැපවීම නිසා කියලත් කියන්න ඕනෙ.” ආක්ෂේ මාධ්‍ය හමුවකදී පැවසුවා.

Comments