සවුදි කුමරකුට පෙම් බඳින හොලිවුඩ් තරුව | සිළුමිණ

සවුදි කුමරකුට පෙම් බඳින හොලිවුඩ් තරුව

සවුදි රජකුමරකුට පෙම් බඳින හොලිවුඩ් තරුවක් ගැන කසුකුසුවක් පසුගිය දිනවල අහන්න ලැබුණා. රූපශ්‍රීයෙන් අග තැන්පත් ‍මේ තාරකාව තමයි, ලින්ඩ්සේ ලෝහන්. නිළියක, ගායිකාවක, ගීත රචිකාවක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙස හොලිවුඩ්පුරවරයේ වැජඹෙන ඇය, මෝස්තර සැලසුම් ශිල්පයටත් ව්‍යාපාරික කටයුතුවලටත් දක්ෂයි.

ලින්ඩ්සේ ගේ හදවත දිනාගත් රාජකුමාරයා වෙසෙන්නේ සවුදි අරාබියේ. 34 වැනි වියෙහි පසුවන ඔහුගේ නම, මොහොමඩ් බින් සල්මන් බින් අබ්දුලාසිස්. ඔහු මේ වන විට සවුදි අරාබියේ නියෝජ්‍ය අගමැතිවරයා ලෙස කටයුතු කරනවා.

තතු දත් ආරංචිවලට අනුව මේ අරාබි කුමරු සහ ලින්ඩ්සේ මේ වනවිට ලොව වටා සංචාරය කරමින් සිටින බවයි පැවසෙන්නේ. මොහොමඩ් බින් සල්මන් කුමරුට අයිති පෞද්ගලික ගුවන් යානයෙන් තමයි, මේ ගමන් බිමන් සිදුවෙන්නේ. පැතිරී යන ආරංචි එලෙස වුවත්, තම දියණිය සවුදි රජ කුමරෙකු සමඟ පෙම් සබඳකමක් ‍නොපවත්වන බවයි, ලින්ඩ්සේගේ පියා වන රූපවාහිනී නිවේදක මයිකල් ලෝහන් පවසන්නේ. තම දියණිය සහ රජකුමරා අතර තිබෙන්නේ මිත්‍රත්වයක් පමණක්ය කියලයි, ඔහු තවදුරටත් පවසන්නේ. “ඒක ගෞරවනීය සම්බන්ධයක්. මගේ දුවට සල්මන්ව හමුවුණේ මැදපෙරදිග සරණාගතයන් පිරිසකට ආධාර කරන්න ගිය වෙලාවකදියි.

ඒ දෙන්නා යාළුවො විතරයි. මගේ දුවට මැදපෙරදිග රටවල බලසම්පන්න හිතවත් පිරිසක් ඉන්නවා. සිරියාවේ රැඳිල ඉන්න සරණාගතයන්ට උදව් කරන්න තමයි මගේ දුව ගියේ. එයා කරපු ඒ යහපත් වැඩ කටයුතු ගැන කවුරුවත් කතා කරන්නෙ නැහැ. අර වගේ ඕපදූප තමයි කියන්නෙ.” ලින්ඩ්සේගේ පියා තරමක නුරුස්නා ස්වරයකින් එලෙස පැවසුවා.

 

Comments