වේයන්ගොඩ ශාන්ත මරියා ‘කුරුලු ගී සර’ ප්‍රසංගය දා | සිළුමිණ

වේයන්ගොඩ ශාන්ත මරියා ‘කුරුලු ගී සර’ ප්‍රසංගය දා

වේයන්ගොඩ ශාන්ත මරියා විදුහලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් විසින් ගායනා කරන ලද ගීත 12ක් අඩංගු ‘කුරුලු ගී සර’ සංයුක්ත ගී තැටිය ජනගත කිරීමේ උත්සවයක් පසුගිය 9 වැනිදා සවස වේයන්ගොඩ, නයිවල ‘ඩ්‍රීම් පැරඩයිස්’ රංග ශාලාවේදී සිදු කෙරිණි. මෙම සංකල්පය වත්මන් විදුහල්පති බී.ඩී.අයි.කේ. කරුණාරත්න මහතාගේ වන අතර, සියලුම ගීත පාසල් දරු දැරියන්ගේ වාද්‍ය වෘන්දයෙන් සත්සර ගැන්වූයේ පාසලේ සංගීතාචාර්ය විශාරද චාමර රුවන් තිළිණ සහ සංගීතාචාරිණී කුසුම් රණසිංහගේ අධීක්ෂණයෙනි. ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ ‘කුරුලු ගී සර’ ප්‍රසංගය සඳහා හිටපු නාවික හමුදාපති, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පීඨාධිපති දයා සඳගිරි මහතා, ප්‍රවීණ රංගධර ජාක්සන් ඇන්තනී, ගායන විශාරද රෝහණ ධර්මකීර්ති, සම්මානනීය සිනමා හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ ලලිත් රත්නායක, ප්‍රවීණ ඡායාරූප ශිල්පි, ගායක දයාන් විතාරණ, ගායන විශාරද නාලක අංජන කුමාර, වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.පී. වීරසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ආරාධනා ලැබ සිටියහ. කථනය වසන්ත රෝහණ සහ ස්ටෙෆ්නි ලාසරස්ගෙනි. විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සහ පාසල් සංවර්ධන සමිතියේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් මෙම උත්සවය සංවිධානය ‍කොට තිබූ අතර මෙහි සම්බන්ධීකරණ සහාය ක්‍රිෂාන් නානායක්කාරගෙනි.

සටහන සහ සේයාරූ

ටෙනිසන් එදිරිසිංහ

Comments