මීදුම් වලා පීරමින් ශ්‍රී පද්මයේ ගිරි කුළට අවාරයේ ගිය ගමනක් | සිළුමිණ

මීදුම් වලා පීරමින් ශ්‍රී පද්මයේ ගිරි කුළට අවාරයේ ගිය ගමනක්

තද මන්දාරම මවන ගැබ්බර වලාකුළු අඬන්න ඔන්න මෙන්නය. කඳුළු බිඳු වැටෙන්නා සේ ඇද හැලෙන සිහින් සිරි පොද වැස්සේ තෙමෙමින් අවාරේ නව අත්දැකීමකට මුල පිරුවෙමු. නල්ලතන්නිය හෙමිහිට වෙනස් වී තිබේ. ඉදි වී ඇති නව ගොඩනැඟිලි, පන්සල්, කෝවිල් ඒ අතරය.

කර රැඳි වැඩි බර නවාතැන්පළක තැබූ අපි වැහි කබායට බැස්සේ ඉක්මනින්ම ගමන පටන් ගැනීමේ චේතනාවෙනි. හිතූ තරම් තදවැහි ඇද හැලෙන්නේ නැත. හඬන්නට වෙර දරන වැහිවලා අතරින් එබිකම් කරන හිරු කිරණ, හරිත කදු මස්තකයෙන් ගලන දිය රිදී පාටින් බබළවයි.

මීදුම් වලාවෝ සුළඟත් සමඟ සංහිඳියාවෙන් අත්වැල් බැඳගෙනය. මෘදු සළුපට දඟකාර ගති පාමින් සොඳුරු දසුන් සඟවා ගන්නට දැඩි උත්සාහයක නිරත වී සිටියි. අවාරේ ඇද හැලෙන මහ වරුසාවට උපදින විසල් දිය දහරා නෙත් සිත් වසඟ කරයි. මේ අැලි විසල් පර්වතවල ගැටී පොර බදන්නේ සීත ගඟුල ‍පෝෂණය කිරීමේ අදිටනිනි.

පාරේ ඉදිවූ තාවකාලික මඩු මග දෙපස දිරාපත් වමින් ‍පැවැතියේ දෙපස අලංකාරය උදුරාගෙනය. බුදු පිළිම බොහෝමයකි. තවත් දෑ ඉදිවෙමින් පවතී.

එක හැල්මේ ආ ගමන නැවතුණේ ශීත ගඟුල ආසන්නයේදීය. වෙහෙස අබිබවා නැඟී ආ කුසගින්න නිවී ගියේ රැගෙන ආ අග්ගලා ගෙඩියක ප්‍රණීත රසයෙනි. පාළු පඩි මතින් වැලි මිශ්‍ර කොට්ට කර ගසා ගත් නාවික සෙබළු ලහි ලහියේ වැඩ කරති.

ඒ මේ දුවන නෙත් ආකර්ෂණය එකවර නැවතුණේ දිය බල්ලකුගේ දඟකාරකම් ඉදිරියේදීය. පාද සිඹින කූඩලු මිනින්දෝරු මහත්වරුන්ට කොන්ක්‍රීට් පඩි නිසා උදාවී ඇත්තේ නරක දසාවකි.

වැහි මීදුම් අඳුර මැදින් රිදී රේඛාවක් සේ සොඳුරු දසුන් මවන සතා හැඬූ ඇල්ල, කළු සුදු වර්ණයේ නියම කලාත්මක බව උලුප්පා දක්වයි. සිහින් සේද මීදුම් සළු නෙත් ඉදිරියේ විනිවිද පෙනෙන කැඩපතක් බඳුය.

සොබා අසිරිය විඳ ගනිමින් ආ වෙහෙසකාරි ගමන නැවතුනේ ගඟුල ‍තැන්න අම්බලම අසලිනි. එය දැන් නාවික කඳවුරකි. ඔවුන්ගෙන් ලැබුණු උණුසුම් කෝපි කෝප්පය වෙහෙසකාරි ගතට ලැබුණ ඖෂධයක් වැනිය.

වැහි පිනි නෑවුණ උඩවැඩියා සිහින් ශීත සුළ‍ඟේ අණසකට වශී වී ඇති සෙයකි. තටු ගසමින් ඔබමොබ සැරිසරන කහ කන් කොණ්ඩයාගේ හඬ වෙනදා තරම් තියුණු නැත. කලබලයෙන් දිව ආ මුගටියකු ඉද්ද ගැසුවා සේ නැවතුණේ සගයන්ගේ හ‍ෙඩ් සැරකමටය.

වෙනදාට කන් අගුල් වැටෙන ශීතලය හෝ හෝ හඬින් වියැකී ගොසිනි. නිබඳ තෙත ගතිය ප‍ඩි මත ලිස්සා යෑමේ අවස්ථා වැඩි කරයි. කාලය නොදැනෙන්න අපව ගමනේ අවසන් අදියරට රැගෙන ‍ගොසිනි.

අහස් ගව්ව තරණය එතරම් අමාරු නැත. පඩි අතර පරතරය අඩු වී දෙපස අත්වැට නවීකරණය වී තිබේ. පැය හතරක ගමන අහසේ වලාකුළු අතරට අපව රැගෙන ගොසිනි. පෙනෙන මානයේ අප වටකොට ගත් වලාකුළුය. මීදුම් බැස ගොස් හිරු කිරණ මුළු මළුව පුරාම අාලෝකවත් කරයි. කඩිමුඩියේ සකසා ගත් පූජාව අවසන් වන තුරුම වැහි වලාවෝ ආශිර්වාද කරමින් දුර ඈතට වී බලා සිටිති.

මීදුම් සළු සෙමෙන් ඉවත් වී වටපිට අසිරිය නෙත් ඉදිරියේ දිගහරියි. ගවර විල තැන්න ඉතා පැහැදිලිය. ග්‍රේට් වෙස්ටර්ස් හෝර්ටන් තැන්න හා සඳගල තැන්න පෙනී නොපෙනී යයි. මුදුන් හිස් වසා ගත් බෑන සමනොළ හා ධර්මරාජගල කැමරා කාචයේ සටහන් කිරීමට වෙහෙසක් දැරීමට සිදුවිය. ඊට දකුණතින් කුණුදිය පව්ව විරාජමානව නැඟී සිටියි.

පැය කීපයක් මළුව අසල ගත කළ කණ්ඩායම, අවාරේ සොඳුරු බව විඳ ගනිමින් පය එසැවූයේ යළි මෙවැනි අත්දැකීමක් විඳ ගැනීමේ අදහස හිතේ රඳවා ගනිමිනි.

ඡායා - කුමුදු, නයන්ජන හා විරුෂන්

Comments