මගේ ජීවිතයේ මඟ පෙන්වන්නෝ හරිම අඩුයි | සිළුමිණ

මගේ ජීවිතයේ මඟ පෙන්වන්නෝ හරිම අඩුයි

හොඳම ගුරුවරයා ඉන්නේ තමා තුළමයි

පාසල් කාලයයි අදයි අහසයි පො‍ෙළාවයි වගේ

අප අපට අවංක විය යුතුයි. තමන්ට ලැජ්ජ වෙන්න හොඳ නැහැ. තමා තමන්ට ලැජ්ජ වුණොත් ජීවිතේ ගොඩ නඟන්න අමාරුයි.

පුතාගේ වගකීමෙන් මට මගහැරලා යන්න බැහැ. නැත්නම් මම කැමැතියි සියල්ලන් මඟ හරින්න.

 

මිනිස් ජීවිතයේ වරදින තැන් බොහො­්ය. නමුත් වැරැදුණු බව තමාටම අවංකව පිළිගන්නේ නම්, ඒ වැරැදුණු තැන හදා ගෙන ජිවිතය ගොඩ ගන්න හොඳම මග බව ඇය විශ්වාස කරන්නීය. තමාටම වැරැදුණු තැන් හරි ගිය තැන් සියල්ල තමාට අවංකව පිළිගන්නේ දිනෙන් දින වෙනස් වන්නා වූ ජීවිතයෙන් ලබන අත්දැකීම් එතරම් කටුක නොවන බව ඇගේ දැක්මයි. එනිසාම අද ඇයට ඉතා සුබවාදීව ජීවිතය විඳින්නට හැකිව තිබෙන බව පවසන ඇය ඒ ආ ගමන් මගේ මතක අවදි කරන්නට අද අප හා එක්වන්නීය... මේ ‘දේදුන්නෙන් සමනලියක්‘ සිනමා සිත්තමෙන් පුංචි සන්දියේම හෙළ සිනමාවට පිවිස රංගනයේ විවිධ පරාස ඔස්සේ අදටත් නොවෙනස් ප්‍රේක්ෂක ආදරය මෙන්ම ආකර්ෂණය නොවෙනස්ව විඳිමින් සිටින අපේ කතානායිකාව ප්‍රවීණ රංගන ශිල්පිනි දිල්හානි අශෝකමාලා ඒකනායකය.

 දිල්හානිගේ පුංචි අවදියට ආපසු ගියොත්?

ඒ කාලේ තිබුණු ලොකුම වෙනස වගකීම්වලින් තොරයි. හරිම සැහැල්ලුයි. දැන් අපි හැමෝම ඉන්නේ ජීවිතවල ලොකු අරගලයක, තරගයක සහ වගකීම් ගොඩක නිසා එහෙම සැහැල්ලුවක් නැහැ. පාසල් කාලයයි වර්තමානයයි කියන්නේ අහසයි පොළොවයි වගේ.

කාලෙකදී ඔබේ ජීවිතයට වඩාත් සමිප වුණේ නර්තනය?

මම නර්තනය හදාරන්නේ අවුරුදු නමයෙදි. ඒ කාලෙම සර්වෝදය නැටුම් කණ්ඩායමට එක් වී සාම බැලේ එකට යන්න ලැබෙනවා. එහිදි ගොඩක් ගුරුවරු ළඟ ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ කාලේ කණ්ඩායමක ඉන්න කොට හැම නර්තන විලාසයක්ම ඉගෙන ගත යුතුයි. පොඩි කාලෙම පිටරට ප්‍රසංගවල ලංකාව නියෝජනය කරන්නත් අවස්ථාව ලැබුණා. සිනමාවට එන්න මට පිටිවහලක් වෙන්නේ නර්තනය.

සිනමාවට එන්න පිටිවහලක් වූ නර්තනයෙන් පසුකාලෙකදී ඔබ ඉවත් වෙනවා. ඒ ගැන පසුතැවීමක් නැද්ද?

පසු තැවීමක් නැහැ .වෙලාවක් නැති නිසා කෙළින්ම අයින් වුණා. මට හිතෙනවා හොඳම දේ හොඳම වෙලාවට වෙනවා කියලා.

ඔබේ රංගනයේ වඩාත් ප්‍රිය කරන චරිතය?

රඟපෑම අත්දැකීමක් නම්, නැවුම් නම් එය තිබෙන්නේ මගේ පළවෙනි චිත්‍රපටයේ.

පළමු රංගන අත්දැකීම?

අවස්ථාව මතකයි. හැබැයි දෙබස මතක නෑ. රඟපෑවේ ප්‍රෙඩී සිල්වා සමඟ. ප්‍රෙඩි අයියා ගවුමක් ඇඳගෙන ගෑනූ ළමයකුට රඟපෑවා. ඒක දැක්කහම මට හරියට හිනා ගියා. ඇත්තටම පිරිමි කෙනෙක් ගවුමක් ඇඳලා ඉන්නවා දැක්කම පුරුදු නෑනේ.

කලාවට පිවිසෙන අයට අද වගේම එදත් අභියෝග තිබුණද?

ඒ කාලේත් එහෙම දේවල් නොතිබුණා නොවෙයි. නමුත් මට එහෙම බලපෑම් ඇවිත් නැහැ. මම එන්නේ යසපාලිත නානායක්කාර යටතේ. ඔහුට මාවත් ඔහුගේ ළමයෙක් වගේ තමයි සැලැකුවේ. එතුමට ඒ කාලේ හොඳ හඬක් තිබුණා. හරි ඍජුයි. හැමෝම ටිකක් බයයි. ඒ නිසා මට ඒ වගේ බලපෑම් ආවෙම නෑ. අදටත් මට එහෙම ඍජුව බලපෑම් කරන්න කෙනෙක් බයයි. ක්ෂේත්‍රයෙන් පිට නොදන්න මිනිස්සු මට එහෙම කරලා තියෙනවා. නොදන්න මිනිස්සු හිතනවා රඟපාන අය ඔක්කොම ගණිකාවෝ කියලා. සමහර අය මේක පිටින් දාලා සල්ලිවලට ශරීරය විකුණනවා. මෝඩ මිනිස්සු මගෙනුත් ගණන් අහලා තියෙනවා. මම නම් ඒ අය දකින්නේ ලෝකේ හරි පොඩ්ඩයි.

රංගනයට යොමු වෙන්නේ එයට තිබුණු ළැදියාව නිසාද?

මම රඟපෑම ගැන කිසිම දෙයක් දන්නේ නැතිව ආ කෙනෙක්. පස්සේ තමයි මෙය මගේ වෘත්තීය වෙන්නේ. මට ලැබෙන අවස්ථාවක් ලැබෙනවා. මම එය පාවිච්චි කළාට පසුවයි මම වෘත්තිකයෙක් බවට පත්වෙන්නේ. මම හිතුවේ නෑ මෙතරම් දීර්ඝ කාලීනව රඟපායි කියලා. මගේ ජීවිත කතන්දරේ එය හරි අහම්බෙන් වුණු දෙයක්.

රංගන ජීවිතයේ දුක් මුසු තැන් ඇති?

රංගනයේ දී තෘප්තියක් නැති තැන් හරි අඩුයි. මම බලාපොරොත්තු වුණාට වඩා රංගනයෙන් මට දේවල් ලැබුණා. මේ ආ ගමනේ පොඩි පොඩි හිත් අමනාපකම් ඇති වෙලා ඇති. නමුත් එහෙම දුකකුත් මම ඉතුරු කරගෙන නෑ. හැබැයි අපිට හිටිය ජ්‍යෙෂ්ඨ කලාකාරයෝ ටිකක් නැති වෙද්දි මේ වගේ අය නැවත එන්නේ නෑනේ වගේ පොඩි දුකක් තියෙනවා.

රංගන දිවියේ අපහසුම චරිතය?

'චායා මායා' ටිකක් අමාරු වුණා. ද්විත්ව රංගනය නිසා. රඟපෑම කියන්නේ හිතලා කරන්න බැරි දෙයක් මනසත් එක්ක තියෙන පොඩි ක්‍රමයක්. ඒ චරිතය හරියට ආරූඪ වෙන්න බාහිර දෙවල් හරියට බලපානවා. ඒක බලහත්කාරයෙන් කරන්න බැහැ. බලහත්කාරයෙන් කළොත් මිනිස්සුන්ට දැනෙනවා.

රංගන ශිල්පිනියක් නොවුණ නම්?

ටික කාලයක් නර්තනයේ යෙදිලා, කසාද බැඳලා පැත්තකට වෙලා ඉඳියි.

ජීවිතයේ උගත් පාඩම?

ජීවිතේ හැම මොහොතක්ම පාඩමක්. විශේෂයෙන් ඉගෙන ගත් පාඩම් කියන්නේ අපි කියන දේ අහගෙන ඉන්නවා, පොතෙන් පාඩම් ඉගෙන ගන්නවා, එය අපි තව කෙනකුගෙන් ගන්න දෙවල් විදිහටයි මම දාලා තියෙන්නේ. පැවැත්මට ඕනෑ වෙන්නේ තමන් තුළින්ම ඉගෙන ගන්න දේවල්. මං හිතනවා තමාගේ හොඳම ගුරුවරයා ඉන්නේ තමා තුළමයි.

ජීවිතයේ මඟ පෙන්වීමක් ලැබී තිබෙනවාද?

මගේ ජීවිතේ මගපෙන්වන්නෝ හරි අඩුයි. මම අනෙක් අයගේ ඒවා අහන්න කරන්න අමාරු කෙනෙක්. අනුකරණය මට හරි අමාරුයි. මගෙන් එන දේ තමයි මට වටින්නේ. මම තරුණ කාලේ කරපු ඔක්කොම හරි කියලා ඉන් කියවෙන්නේ නැනැ. වරදින තැන් ආවා, ජීවිතේට අනවශ්‍යය අය එනවා. ඒ බැටත් කාලා යද්දි තමයි තේරෙන්නේ මට මේ තැන් වැරදුණා කියලා. තමන්ම තේරුම් ගත යුතුයි තමන්ට වැරදුණු බව. එතකොට ආයිත් එකම වැරැද්දට වැටෙන්නේ නැහැ. අද මගේ ජීවිතය හරි පහසු වෙලා තියෙන්නේ ඒ වැරැදුණු සහ හරි ගිය තැන් සියල්ල මම දන්න නිසා. මගේ වැරුද්ද මම තනියෙන් පිළිගන්නවා. අපි අපිට අවංක විය යුතුයි. තමන්ට ලැජ්ජ වෙන්න හොඳ නැහැ. තමා තමන්ට ලැජ්ජ වුණොත් ජීවතේ ගොඩ නඟන්න අමාරුයි.

ආදරය විරහව පිළිබඳ ඔබේ අර්ථකථනය?

ඒවා සාමාන්‍යය සිදුවීම්. ආදරය කිරීම, ආදරයෙන් පැරදීම, ඒ විඳින වේදනාව හෝ සතුට මේ ඔක්කොම මම ගන්නේ සාමාන්‍යය සිදුවීමක් විදියට.

මවගෙන් ලැබුණු වටිනාම අවවාදය?

අම්මා සහ තාත්තා වැඩිය කතා කරන දෙන්නෙක් නෙමෙයි. අම්මගෙන් මම අරන් තියෙන එකම දේ ඇගේ ශක්තිය. ගෙදර සියල්ලම ඇගේ අණසකට යටයි. දෙයක් කරන්න ගත්තම අවසානය තෙක් කරනවා. මම හිතනවා මමත් ටිකක් ඒ වගේ කියලා.

ජීවිතේ සතුට හෝ දුක ඔබ දකින්නේ?

මම හැමවෙලේම උත්සාහ කරනවා සතුට යම් කිසි ප්‍රමාණයකට පවත්වගෙන යන්න. එතකොට මට දුකක් කියලා නැහැ. මෙතෙක් පොඩි පීඩනයක් කියලා එකම එක දෙයයි තියෙන්නේ. ඒ තාත්තගේ හදිසි අනතුර. මට තියෙන ප්‍රශ්නේ ඔහුගේ මරණය නෙමෙයි. ඔහුට වුණු සිදුවීම. එය හැමවෙලේම මගේ ඔළුවට එනවා. ඔහු බස් එකකින් එළියට වැටිලා නැති වුණේ. අදත් බස් එකක් දැක්කහම ටිකක් ගැස්සෙනවා.

ඔබේ ජීවිතයේ ආදර්ශ පාඨය?

මම මමයි. මගේ සතුට මගේ දුක මමමයි. පිට කෙනකුට මට කිසිම හානියක් කරන්න බැරි තරමට මාව ගොඩනගා ගත යුතු යැයි කියන තැනක ඉන්න කෙනෙක්.

ඔබේ ජීවිතේ වටිනාම දේ?

පුතා. ඒ වගකීමෙන් මට මඟහැරලා යන්න බැහැ. නැත්නම් මම කැමති සියල්ලෝ මඟහරින්න. මම හරිම නිදහස් පුද්ගලයෙක්. ස්ථිරව කාවවත් අල්ලන් නැහැ.

ඔබේ දුර්වලකම?

ඒ කාලේ නම් හරියට දුර්වලකම් තිබුණා. මං ගෑනු පිරිමි භේදයකින් තොරව හරියට මිනිස්සු විශ්වාස කළා. මගේ ලොකුම දුර්වලතාව වුණේ අනික් අය මං වගේ කියලා හිතපු එක. දැන් එහෙම නැහැ. දැන් කිසිම කෙනෙක් මගේ පරිපථය තුළ විශ්වාසයි කියල නැහැ.

ජීවිතේ අතපසුවීම් තිබෙනවද?

මගහැරෙන්න ඇති. ඒ කාලේ අහස උසට ආස දේවල් තියෙන්න ඇති. ඒ සියල්ලම නොලැබෙන්නත් ඇති. මගහැරෙන්න ඇති. අද වෙද්දි ඒ ගැන දුකක් හෝ සතුටක් කියලා විශේෂයක් නැහැ.

වැඩිපුර තරහා ගන්නේ?

මිනිස්සුන්ව රවට්ටනකොට ටිකක් තරහ යනවා. මම වෙලාවකට සාප කරනවා ඇයි මිනිස්සු මෙහෙම රවට්ටන්නේ කියලා.

ඔබට මුණගැසුණු හොඳම පුද්ගලයා?

සමහරවිට තාම මුණගැහිලා නැතිව ඇති. මෙතන ඉන්න කෙනා මේ දැන් හොඳයි. ඊළඟට ආව කෙනා ඉතා හොඳ ඇති. එතනින් එහා තව ඉතාමත්ම හොඳ කෙනෙක් ඉන්න පුළුවන්. එයා තාම ඇවිත් නැතිව ඇති. ඒ නිසා මගේ ජීවතේ මෙයා තමයි හොඳම කියලා කවදාවත් කියන්නේ නැහැ.

ජීවිතේ නැවත හරිගස්සගන්න අවස්ථාවක් ලැබුණොත්?

මට සිදුවුණු එක අතපසුවීමක් ගැන පොඩි කනගාටුවක් තියෙනවා. ඒ කියන්නේ මම ඉස්සර අධ්‍යාපනයට හරි දක්ෂයි. ඒ වුණාට අපේ ලෝකේ එහෙම බර නැහැ. ඒක මව්පියන්ට ලොකු දෙයක් නෙවෙයි. ඒ දෙන්නට සිතුවිල්ලක් තිබුණා නම් අධ්‍යාපනය අනාගතේ දී අපේ දරුවට වැදගත් වෙයි ඒ නිසා මෙයාව ටිකක් ඉහළට උගනවන්න ඕනා කියන දේ. අන්න ඒ උදව්ව එදා ඔවුන්ගෙන් ආවා නම් අද මං කියන කෙනා මීට එහා ඉන්නවා. සමහර වෙලාවට ඒ අඩුපාඩුත් එක්ක අපිව සමාජයේ පීඩාවට පත් කරන තැන් තියෙනවා. ඒවාට උත්තර දෙන්න මං පරක්කු වැඩියි.

ඔබට සැලැසුම් තිබුණද?

සැලැසුම් නැහැ. හැබැයි මං දැන් උපයන දේ අනුව ජීවත් වීමට සැලැසුම් කරනවා. අනාගතේ මේ දේවල් නැති වුණොත් කොහොමද ජීවත් වෙන්න කියන එකට සැලැස්මක් තියෙනවා. ඒ හැරුණු කොට හෙට දවස ගැන මම දන්නේ නැහැ.

ගැහැනියකට රූපයේ තිබෙන වැදගත්කම?

රූපය කියන දේ ලැබුණේ පෙර පිනකට ලු. ඒත් ඒ රූපයම මිනිස් ජීවිත විනාශ කරලත් තියෙනවා. මිනිස් ශරීරයක් අඩුපාඩුවක් නැතිව පිහිටන එක හොඳයි. නමුත් ඊට වඩා හොඳ මනසක් තිබිය යුතුයි.

විනෝදාංශය?

හු‍ෙදකලා පරිසරය තමයි මගේ විනෝදේ. සද්ද බද්ද අඩුයි නම් මම ආසයි. මම ගොඩක් සතුටින් නම් උයන්නත් කැමති. දුකින් නම් උයන්නේ නැහැ. සංචාරයටත් මං හරි ආසයි. ජීවිතේ ඉතුරු කාලේ සල්ලි ලැබුණොත් මං ඇති තරම් ඇවිදිනවා.

පුතා ගැන තිබෙන ලොකුම හීනය?

පුතා ගැන මේ රට ඇතුළේ හීන දකින්න හරි අමාරුයි. අර කීව ක්‍රමවේදත් එක්ක. මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ සතුටින් නෙමේ. එතකොට මට පොදු දුකක් තියෙනවා ළමයෙක් ගැන. ඒක මගේ පුතාට විතරක් අයිති දෙයක් නෙමෙයි. සතුටින් ඉන්න පුළුවන් රටක ළමයි ජීවත් වෙන්න ඕන. එහෙම ජිවත් වෙන්න පුළුවන් දවසක් රටේ අනාගතයේ තියෙයි ද? එහෙම තියෙනවා නම් ඒක ලොකු හීනයක්. ඇත්තටම මේ රටේ ජීවත් වෙන අම්මලා තාත්තලාට එය හීනයක්. සතුටින් ජීවත් වීමේ අයිතිය මව්පියන්ගේ හීනයක්

ඉදිරි පරපුරට ඔබෙන් ලැබෙන උපදෙස?

රංගන ජීවිතය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. මේක හරිම දැඩි ජීවිතයක්. මේ ලෝකේ හරි ගැඹුරුයි. කලාව කියන දේ කෙනෙක්ට ලැබුණොත් දෙපැත්තෙන් එන දේවල් සමඟ ඍජුව ගමන් කරන්න මොලේ තිබිය යුතුයි. අපිව අපි හරියට යොදවා ගත්තේ නැත්නම් තමයි සියදිවි නහගන්න වෙන්නේ. ජීවිතේට හොඳ යාළුවෝ ඉන්න ඕනේ. හැමවෙලේම ඇසුරු කළ යුත්තේ තමන්ට වඩා උගත් මිනිස්සුන්ව. ජීවිතය ගැන අවබෝධයක් තියෙන එහෙම යාළුවෝ ඉන්නම ඕනේ. නැත්නම් විනාශ වෙන තැන්වල දී බේරෙන්න හරි අමාරුයි.

ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ

 

Comments